මුහම්මද් (සල්) තුමාගේ උපන් දිනය හා වර්ථමාන මුස්ලීම් සමාජ ක්‍රියාකලාප

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව ඕනෑම රටක, සමාජයක ආගමික ශාස්තෘවරයෙකු නොඑසේ නම්, සමාජ යහපතට කිසියම් සේවාවක් කල යුග පුරුෂයකු, එසේත් නැත්නම් ජනප්‍රිය දේශලාඥයෙකු… සමාජයෙන් සමුගෙන කාලයක් ගෙවීයන විට ඔහු කෙරෙහි ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය දැක්වීම පිණිස ඔහුව ප්‍රතිමා ඇඹීම, රූප ඇදීම එමෙන්ම ඒවාට ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම, ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වීම සමාජයේ පොදු සම්ප්‍රදායන් වේ. නමුත් මේ සියළු සම්ප්‍රදායන් බිඳ දමමින් සැබෑ ආදරය, ගෞරවය ඇත්තේ පොදු ජනයා තරඟයට නිර්මාණය කරන ප්‍රතිමා හෝ පිංතූර තුල නොව තම හඳවතේ බව ලෝකයාට කියාදුන් එකම ශාස්තෘවරයාණන් වන්නේ මුහම්මද් (සල්) තුමාණන්ය. අදට ලොව කිසිදු පිලිමයක්, පිංතූරයක් හෝ වෙනයම් ආකෘතියක් එතුමා නමින් නිර්මාණය වී නොතිබීම තුල එය මනාව පිළිඹීබු වේ. එපමණක් නොව අද ජනතා ආදරය ගෞරවය ලබන බව පැවසෙන බොහෝ පිලිම හා රූප වර්ෂය පුරා අව්වට වේලි, වැස්සට තෙමී, අසූචිවලින් නෑවී වර්ෂයකට වතාවක් හෝ දෙවතාවක් ජනතා ආදරය ගෞරවය පුද ලබයි. නමුත් මෙවැනි ඊනියා ආදර ගෞරව ඉස්ලාම් අනුමත නොකරන අතර මුස්ලීම්වරුන්ගේ ආදරය ගෞරවය දිනා සිටින මුහම්මද් (සල්) තුමාණන් එවැනි තවත් චරිතයක් ද නොවේ.

ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය තම ප්‍රාණයට වඩා ආදරය ගෞරවය දක්වන කෙනෙකු වේ නම්, ඒ මුහම්මද් (සල්) තුමාණන්ය. එම ආදරය තම මාපියන්, සහෝදර සහෝදරියන්, දූදරුවන් හා සැපසම්පත්… යනාදී සියල්ල ඉක්ම වූ ආදරයකි. සැබෑ මුස්ලීම්වරයෙකු තුල එතුමාණන් කෙරෙහි එවැනි ආදරයක් පැවතීම අනිවාර්‍ය සාධකයක් යන්නත් ඉස්ලාමීය ඉගෙන්වීමයි. නමුත් අවාසනාවකට නබිතුමාණන්ට ආදරය කලයුත්තේ කෙසේද? එතුමාණන්ට ගෞරව කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව නිසි ආකාරයේ වූ ආගමික මඟපෙන්වීමක් නොලද මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් අද එතුමාණන් කෙරෙහි දක්වන ආදරය, ගෞරවය ඉහතින් සදහන් සම්ප්‍රදායක ආදරය ගෞරවය බවට පරිවර්ථනය වෙමින් ඇත. අද මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් එතුමාණන්ට ආදරය ගෞරවය දක්වන බවට පවසමින් ඉස්ලාමීය ඉගෙන්වීමන්වලින් බැහැරව නොයෙක් ක්‍රියාකාරකම් හි නිරතව ඇත. විශේෂයෙන් එළඹෙන 25 දින (2013/01/25) ලෝව සම්මත දින දර්ශනය හා මුස්ලීම් සමාජයේ සැලකිය යුතු පිරිසකගේ පිලිගැනීමට අනුව උතුම් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය යෙදී ඇත. මේ දිනය නිමිති කොට ගෙන විවිධ කටයුතු අප රට තුල සූදානම් වෙමින් ඇත. මෙවන් සමාජ පසුබිමක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක් ද? යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. විශේෂයෙන් මෙම විෂය වඩාත් හොදින් පැහැදිලි කරගැනීම පිණිස එය ප්‍රධාන කරුණු තුනක් සැලකිල්ලට ගෙන කථා කිරීම අත්‍යඅවශ්‍ය වේ. එනම්,

මෙහි පලමු කාරණය සැලකූවිට ඒ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල තරමක් ගැඹුරින් සාකච්චා කොට ඇත. (එම ලිපිය කියවීම සදහා මෙහි click කරන්න) දෙවන කාරණය සැලකූ විට එය තරමක් සංකීර්ණ තත්වයකි. අද අප රටේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මූලික අවබෝධය පවා නොමැතිව ඉස්ලාම් විවේචනය කිරීමේ කලාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. මෙය අන්තර්ජාලය තුල සැරිසරන මුස්ලීම්වරුන්ට අලුත් කාරණයක් නොවේ. එවැනි පිරිස් ගොඩනඟන වැරදි මතවාද නිවැරදි කිරීම පිණිස මුස්ලීම් සමාජය ද කිසියම් මෙහෙවරක් සිදුකලයුතව ඇත. ඒ අනුව ඉහත දෙවන කාරණයට අදාලව ද මෙම අඩවිය තුල තරමක් දුරකට හෝ ‘අල්ප දැනුමේ අදෝනාව‘ නමින් මීට ඉහත කරුණූ සාකච්චා කොට ඇත. ඒ අනුව මෙහි විශේෂයෙන් අවදානය යොමු කලයුතුව ඇත්තේ තෙවන කාරණය වන ‘සැබෑවටම මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය ගෞරවය දක්වන්නේ කෙසේද?’ යන්න පිලිබදවයි. එසේනම් ඒ පිලිබදව දැන් විමසා බලමු. ඒ සදහා පිවිසුමක් ලෙස ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ප්‍රථමයෙන් ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

නුඹලා අල්ලාහ් (දෙවි) ප්‍රිය කරන්නන් වන්නේ නම්, (මුහම්මද් වන) මා අනුගමනය කරන්න. එවිට අල්ලාහ් (දෙවි) ඔබලාව ප්‍රිය කරනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 3-31

මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් මා ඉහතින් සදහන් ආකාරයට මුස්ලීම්වරයෙකු නබිතුමාණන් ව ප්‍රිය කලයුත්තේ ඇයි ද? යන්න සරලව පැහැදිලි කරයි. මේ අනුව මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය, ගෞරවය දැක්වීම ඉස්ලාමයේ මූලික අංගයක් යන්නත්, එය මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය වගකීමක් යන්නත් දැන් තවදුරටත් ඔබට පැහැදිලි විය යුතුය. ඒ අනුව මෙය ඉස්ලාමයේ අංගයක් වන නිසා මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීම ද ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූල වීම අත්‍යඅවශ්‍ය බව අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. එසේ නම් එය අනිකුත් සමාජවල පවතින සම්ප්‍රදායක ආගමික ශාස්තෘවරුන් හා පූජකවරුන් ගෞරව කිරීම කරන ආකාරයට කල නොහැකි බවත් පැහැදිලිව වටහාගත යුතුය. මන්ද ඉස්ලාම් ලොව තුල තවත් දහමක් නොව එය අසමසම දිව්‍යමය මඟපෙන්වීමක් වන බැවිණි. මා එසේ අවදාරණය කිරීමට සුවිශේෂි හේතුවක් ඇත. එනම්, ඉස්ලාම් මුස්ලීම් සමාජයට පනවන දිව්‍යමය කොන්දේසියක් ඇත. එය පහත හදීසය තුලින් වඩාත් හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත.

අන්‍ය ආගමික සංස්කෘතීන් පිලිපදින්නා, එම ආගම ද පිලිපදින තැනැත්තා (බඳු) වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය- අබූදාවූද්

ලොව ඕනෑම රටක ඒ ඒ රටට අවේනික සංස්කෘතීන් මෙන්ම ඒ රට තුල වෙසෙන විවිධ වූ ජන සමාජ හා ආගම්වලට අවේනික වූ සංස්කෘතීන් ද පවතින්නේය. නමුත් ඒ ආකාරයේ වූ දේශයකට, ජාතියකට, ගෝත්‍රයකට ආවේනික වූ සංස්කෘතියක් පිලිබදව ඉස්ලාම් කිසිවිටෙක කථා කරන්නේ නැත. ඒ අනුව දේශය, ජාතිය, ගෝත්‍රය… යනාදී කාරණයන්ට සීමා නොවූ සංස්කෘතියක්ට උරුමකම් කියන ලොව එකම ජන සමාජය වන්නේ ඉස්ලාම් දහම අදහන මුස්ලීම් සමාජය පමණි. එපමණක් නොව දිව්‍යමය මඟපෙන්වීමක් තුල හා දේව වක්තෘවරයෙකුගේ ආදර්ශයන් තුල ගොඩනැඟුනු ලොව එකම සංස්කෘතිය වන්නේ ද මුස්ලීම්වරුන් සදහා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන සංස්තෘතිය පමණි. ලොව අනිකුත් දහමන් දර්ශනයන් තුල මෙන් ඉස්ලාම් දහම තුල ද දහම හා සංස්කෘතිය වෙන් කොට කථා කලහැකි මාතෘකාවක් නොවේ. මන්ද ඉස්ලාම් දහම කියන්නෙත්, සංස්කෘතිය කියන්නේත් ඉස්ලාම් දහමේ මඟපෙන්වීමන්ටය. එනම් ශුද්ධ වූ කුර්ආනයේ හා/හෝ නබිතුමාණන්ගේ ආදර්ශය තුල ගොඩනැගෙන මඟපෙන්වීමන්ටය.

මෙවන් වූ උතුම් සංස්කෘතියකට උරුමකම් කියන ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය අද බොහෝ විට කරමින් සිටින්නේ කුමක්ද?. අනිකුත් සමාජයවල හා ආගම්වල සංස්කෘතීන් ඉස්ලාම් දහමට ගලපාගෙන එය තම සංස්කෘතීන් ලෙස ලෝකයා ඉදිරියට ගෙනයාමයි. මෙම තත්වයේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අතර ද වෙනසක් වී නැත. ඉහත හදීසයට අනුව මෙවැනි ක්‍රියාවන් තුලින් අපට උදාවෙන අවාසනාවන්ත ඉරණම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජය සිතා බැලිය යුතු නොවේද?. අද මුස්ලීම්වරුන්ගේ සංස්කෘතිය පිලිබදව කථා කිරීමට සිදුව ඇත්තේ ලොව විවිධ සංස්කෘතීන් තුල ගිලීගොස් තම සංස්කෘතිය කුමක්ද? ඔවුන්ගේ සංස්කෘතිය කුමක්ද? යන්න පවා තොරා බේරා ගැනීමට නොහැකිව වල්මත් වී ගිය සමාජයක් හමුවේය.

විශේෂයෙන් ‘මීලාදුන් නබි’ යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සමරන්නට ලහි ලහියේ සූදානම් වන මේ වකවානුවේ ඉහත කරුණ පිලිබදව මුස්ලීම් සමාජය දැන්වත් විමසා බැලිය යුතුය. එතුමාණන්ට ආදරහො ගෞරවය දක්වන බව පවසමින් මේ සමරන්නට සැරසෙන උත්සවය කොතරම් දුරකට ඉස්ලාමීය ඉගෙන්වීමන්ට හා සංස්කෘතීන්ට අනුකූල ද? යන්න ප්‍රථමයෙන් විමසා බැලීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම පැවරෙන අනිවාර්‍ය වගකීමකි. එතුමාණන්ගේ ජන්ම දිනය පෙරටු කරගෙන අප රට තුල වසරින් වසර විවිධ උත්සව හා ආගමික කටයුතු සංවිධානය වෙමින් ඇත. එය කොතරම් ද යයි පවසනවා නම්, අන්‍ය සහෝදර සමාජයේ නත්තල්, වෙසක්, පොසොන් වැනි සංස්කෘතික උත්සවයන් සංවිධානය කිරීමේ දී යොදාගන්නා සියළු අංග ඊට වඩා ඉහල මට්ටමින් මෙහි සංවිධානය වෙමින් ඇත. එනම් පෙරහැර, විවිධ වූ බල්බ් වැල්, වර්ණවත් කූඩු, කොඩිවැල්, තරු හා අඩසඳ වැනි විශාල ආකෘති, විවිධ පාඨ ලියූ කොඩි, දාන… යනාදීය එවැනි කිහිපයකි. එසේනම් මේ අපි අනුගමනය කරමින් සිටින්නේ උතුම් වූ ඉස්ලාමීය සංස්කෘතිය ද?, නොඑසේ නම් අනිකුත් ආගම් හා සමාජවලට අවේනික වූ සංස්කෘතීන්ද?. නත්තල් දිනයේ කිතුණු ජනයා කරනු ලබන විවිධ සංස්කෘතීන් අප ද සංවිධානය කරමින් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සැමරීම ඉස්ලාමීය සංස්කෘතියක් ද? නොඑසේ නම් වෙනසක් දිනයේ බෞද්ධ ජනයා කරනු ලබන විවිධ සංස්කෘතික අප ද සංවිධානය කරමින් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දින සැමරීම ඉස්ලාමීය සංස්කෘතියක් ද?. නොඑසේ නම් ඔවුනට නත්තල් හා වෙසක් වුවාසේ අපටත් අනිවාර්‍යයෙන් ජන්ම දිනයක් සැමරීමට අවශ්‍ය යන්න ඔබේ අපේක්ෂාවද? නැවතත් ඔබේ අවධානයට ඉහත හදීසය ගෙන එමි.

අන්‍ය ආගමික සංස්කෘතීන් පිලිපදින්නා, එම ආගම ද පිලිපදින තැනැත්තා (බඳු) වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය- අබූදාවූද්

එසේනම් මෙතෙක් කථා කල කරණූ තුලින්, විශේෂ‍යෙන් ඉහත හදීසය ඉතා සරලව පැහැදිලි කරන කාරණය තුලින් මෙවන් තත්වයක මුස්ලීම්වරයෙකුගේ ක්‍රියා කලාපය කෙසේ විය යුතුද? යන්න දැන්වත් ඔබ අවබෝධ කරගත යුතු නොවේද?. මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරන බව හා ගෞරව කරන බව පවසමන් සිටින ඔබ සැබෑවටම එතුමාණන්ට ආදරය කරනවා නම්, එතුමාණන් ගෞරව කරන්න ඔබේ අපේක්ෂා කරන්නේ නම්, ඔබ කලයුතු වන්නේ,

  •  මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් බව පූර්ණ ලෙස විශ්වාස කිරීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ නියෝගයන් පූර්ණ වශයෙන් පිලිගෙන හැකි පමණින් එයට අවනත වීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්වලට එරෙහි නොවී එය ජීවිතයේ ගෙන පිලිපැදීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම්වල කිසිවක් අඩුවැඩි නොකොට ඒ ආකාරයෙන් ම පිලිපැදීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තම ජීවිතය තුල ආදර්ශයක් ලෙස ගෙන පිලිපැදීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ව තම ප්‍රාණය, වස්තූන්, මාපියන් හා දූදරුවන්ට වඩා ප්‍රිය කිරීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ට හැකි සෑම අවස්ථාවකම ‘සලවාත්’ කීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ ශුද්ධ වූ කුර්ආනය හැකි සෑමවිටම පාරායනය කිරීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ දහම ඉගෙනීමට හා අවබෝධ කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කිරීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන් පෙන්වාදුන් ආගමික වතාවත් නිසි ලෙස ඒ ආකාරයටම ඉටුකිරීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයාණන් බව පිලිගැනීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන් කල මෙහෙවර ඉදිරියට ලොව තුල ගෙන යාමට උනන්දුවීමයි,
  •  මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉගෙන්වීමන්ට හා මඟපෙන්වීමන්ට පරස්පර වූ සියළු ක්‍රියාවන්ගෙන් පූර්ණ ලෙස දුරස්වීම,

ඉහතින් මා සදහන් සියල්ල හෝ කිහිපයක් නොසලකා හැර නොඑසේ නම් සුළුකොට සලකා ‘අපි මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරනවා’ යයි පවසමින් බල්බ් කොඩිවැල් අදිමින් තවත් සංස්කෘතියක් ඉක්මවායාමට හෝ අභියෝග කිරීමට කටයුතු කිරීම සැබෑ ආදරය දැක්වීමක් නොවේ. එසේ නම් මෙවන් තත්වයන් වහවහා වෙනස් වියයුතුය. ඉස්ලාමීය රාමුව තුල ක්‍රියා කරන මුස්ලීම් සමාජයක් ලොවපුරා ස්ථාපනය වියයුතුය. මෙම ඉස්ලාමීය පණිවුඩය මුස්ලීම් සමාජය තුල ස්ථාපනය කිරීමේ මුඛ්‍ය වගකීම පැවරෙන්නේ ඉස්ලාම් දහමේ නියමුවන් වන ආගමික විද්වතුන්ටය. එසේ නම් ඔවුන් පටු අරමුණූ හා ලෞකික ලාභ ප්‍රයෝජන පසෙක දමා මේ මෙහෙවර තුල පෙරමුණ ගතයුතුය. කෙසේ වෙතත් මෙම වගකීම ආගමික විද්වතුන්ට පමණක් පැවරිය හැකි එකක් නොවේ. මුස්ලීම් පොදු ජනතාවට ද තමන් අදහන දහමේ සීමාවන් නිවරුදිව හදුනාගෙන පිලපැදීමේ වගකීම ඉස්ලාම් පවරා ඇත. ඒ අනුව ඒ ඒ පාර්ශවයන් තම තමන්ගේ යුතුකම් වගකීම් නිසිලෙස හදුනාගෙන උතුම් වූ සමාජයක් හා සංස්කෘතියක් උදෙසා ක්‍රියා කිරීමට සෑම සියළුදෙනාටම ශක්තිය ලැබේවා!, ඒ සදහා ඔවුන්ගේ මනස විවෘත වේවා! යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමි මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම