මුහම්මද් (සල්) තුමාණන් සමඟ දිනක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික ජීවිතය කවර ආකාරයකට පැවතුනේද? එම චරිතය මිනිස් සමාජයට විශේෂයෙන් මුස්ලීම් සමාජයට කොතරම් ආදර්ශමත් එකක් වූයේද? වැනි කරුණු 'එතුමාණන්ගේ සාමාන්‍ය දිනක්' මූලික කරගෙන පියවරින් පියවර මෙහි තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට අදහස් කරමි.

ඒ මේ ආකාරයටය...

පෙරවදන

ඉස්ලාම් දහම තුල පමණක් නොව ලෝක ඉතිහාසය තුලත් මුහම්මද් (සල්) තුමාණන් කොතරම් බලවත් චරිතයක්ද? යන්න ඉතිහාසඥයින්, ගවේෂකයින් සහ නොයෙක් ක්ෂේත්‍රවල විද්වතුන් ඕනෑවටත් වඩා වැඩියෙන් කථා කොට ඇත. එපමණක් නොවේ මෙම යහමග අඩවිය තුලම එම විෂය අවස්ථා ගණනාවකදී විවිධ මාතෘකා ඔස්සේ සාකච්චා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

මීට වසර 1400 කට පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයක එතුමාණන් ආරම්භ කල ආගමික වක්තෘ මෙහෙවර අද බිලියන ගණනක අනුගාමිකයන් පිරිසක් දිනාගැනීමට සමත් වී ඇත. එක් පසෙකින් ආගමික ශාස්තෘවරයෙකු ලෙස ඉස්ලාම් දහමට නායකත්වය දෙමින්ද තවත් පසෙක රාජ්‍ය නායකයෙකු ලෙස රටේ පරිපාලන කටයුතුවලට නායකත්වය දෙමින්ද එතුමාණන් කල මෙහෙවර අති විශිෂ්ඨය. එතුමාණන්ගේ ඒ විශිෂ්ඨ වූ මෙහෙවර අධ්‍යනය කල ඉතිහාසඥයකු මෙනේම ලේඛකයෙකු ද වන ‘මයිකල් එච් හාට්’ මහතා තම 'The 100, A Ranking of the Most Influential Persons in History' ගවේෂණ කෘති මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව තබන සටහනක් මෙහි ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි.

එය මෙසේය...

"ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට නායකත්වය දීමට මා විසින් තෝරා ගන්නා ලද මුහම්මද් තුමා සමහර පාඨකයින් මවිතයට පත් කළ හැකි අතර අනෙක් අය විසින් ප්‍රශ්න කරනු ලැබිය හැකිය, නමුත් ආගමික සහ ලෞකික මට්ටම් දෙකෙහිම අතිශයින් සාර්ථක වූ ඉතිහාසයේ එකම මිනිසා ඔහුයි"

කෘතිය - 'The 100, A Ranking of the Most Influential Persons in History'.

(වැඩිදුර දැනගැනීම පිණිස - කිතුණු භක්තිකයෙකු වන මොහු ‘THE 100’ නම් කෘතියක් සදහා ලෝක ප්‍රබලයන් සියක්දෙනෙකු පෙලගැස්සීම් සිදුකල අතර එහි පලමු ස්ථානය මුහම්මද් (සල්) තුමාණන්ට ලබාදුන් අතර එයට ඔහු ඉදිරිපත් කල හේතු අතර ඉහත කාරණය ද එකකි. )


අනුගමනයට සුදුසුම චරිතය

මුහම්මද් (සල්) තුමාණන් ඉතිහාසඥයින් අතර වඩාත් ගෞරවාදරයට හා ඇගයීමට පාත්‍ර වූ ප්‍රබල චරිතයකි. ඒ එතුමාණන් ලෝකයට ලබාදුන් ආදර්ශ අදටත් ලෝකයා මවිත කරවන්නක් වීම හේතුවෙනි. එපමණක් නොව ලොව කිසියම් චරිතයක් එලෙසම අනුගමනය කරන්න කටයුතු කරන අනුගාමික පිරිසක් සිටින චරිතයක් වේ නම්, ඒ අතර මුල්තැන සිටින්නේ මුහම්මද් (සල්) තුමාණන්ය. එතුමාණන් ලෝකයාට පෙන්වාදුන් ඒ පරමාදර්ශය ‘හදීස්’ ලෙස ග්‍රන්ථාරූඪ වී අදටත් 100% ආරක්ෂිතව පවතී. ඒ අතර එය පරිශීලනය කරමින් ලොව බිලියන ගණනක් එතුමාණන්ගේ අඩිපාරේ යමින් ඔහු අඳින, පළඳින ආකාරය, කෑම කන සහ නිදාගන්නා ආකාරය... යනාදී ලෙස එලෙසම අනුගමනය කරන අනුගාමිකයින් පිරිසක් ද සිටී. එසේ අනුගමනය කිරීම මුස්ලිම් සමාජය කෙරෙහි කුසල් ගෙනදෙන වගකීමක් වන අතර අනුගමනය සදහා සුදුසුම පරමාදර්ශි චරිතයත් එතුමාණන් ම බව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් මෙසේ අවදාරණය කරයි.

"දෙවියන් වහන්සේගේ දූතයාණෝ දෙවියන් වහන්සේ සහ අවසාන දිනය කෙරෙහි බලාපොරොත්තු තබා නිතර නිතර සිහි කරන ඔබට විශිෂ්ට ආදර්ශයකි."

අල්කුර්ආනය 33-21

මේ ආකාරයේ විශිෂ්ඨ ආදර්ශයන්ගෙන් පරිපූර්ණ මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තුල දෛනික චර්යාවන් කවර ආකාරයක් ගත්තේද? යන්න මෙම ලිපිය තුලින් ඉදිරියට විමසා බැලීමට මූලික වූ හේතු දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම්වරුන් එම චරිතය අනුගමනය කිරීම අපගේ ආගමික වගකීමක් වන නිසා,
  • ලෞකික සාර්ථකත්වයට එම ආදර්ශ ඉතා හොඳ මඟපෙන්වීමක් වන නිසා,

අප අපගේ දිවිය තුලම යහපත් පුරුදු කිහිපයක් ගොඩනඟාගෙන එය හොදම පුරුදු සහ චර්යාවන් ලෙස පිලිගෙන දෛනිකව එය අනුගමනය කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත් එසේ ගොඩනඟාගත් දෛනික චර්‍යාව හේතු කොටගෙන මෙලොව මෙන්ම පරලොව විමුක්තිය අපට දිනාගත හැකිවේද?, ඒ තුල සැබෑම ඵලදායී, අර්ථවත් ජීවිතය තිබෙනවාද?, එය සහතික කරන්න පුළුවන් කාටද? යන පැනයන් පවතී.


මුහම්මද් (සල්) තුමාව ම අනුගමනය කරන්නේ ඇයි?

මා මෙසේ කරුණූ පෙලගසන විට කෙනෙකුට ‘ඇයි ලෝකේ ඕනෑ තරම් ආදර්ශ චරිත තියෙන්නේ ඇයි මුහම්මද් (සල්) තුමාණන්වම අනුගමනය කරන්න ඕන කියන්නේ’ යනුවෙන් සිතෙන්නට පුළුවන. ‘ඔව්’, ලෝකේ ආදර්ශමත් චරිත බොහෝමයක් තිබෙන බව සැබෑවකි. අන්තර්ජාලයෙන් එවැනි චරිත ඕනෑතරම් සොයාගත හැකි බවද සැබෑවකි. නමුත් අප එහි දකින්නේ ඔවුන් අපට දැකීමට ඉඩ සැලසූ ඔවුන්ගේ දින චරියාවේ හොඳම කොටස හෝ කොටස් කිහිපයක් මිස සම්පූර්ණ චරිතය නොවේ. එමනිසා අප එලෙස තෝරාගන්නා චරිත හෝ පුද්ගලයන්ගේ සමස්ථ දිවිය තුල ඔවුන් කම්මැලි සහ නරක දවසක් ගත කරන විට ඔවුන්ගේ පුරුදු සහ චර්යාවන් කෙසේවීද? යන්න එහි දක්නට නොලැබේ. එසේම තම දිවියේ කිසියම් මානයක් පමණක් මතු කොට ඒ තුල ලෝකයටම ආදර්ශමත් බව කියාපාන බොහෝ එවැනි චරිත තම සමස්ථ පුරුදු හා දින චර්යාවන් සමාජයට ඉස්මතු කර දැක්වීම නොකරයි. එපමණක් නොව එවැනි චරිත ලෞකික දිවියට ආදර්ශමත් වූවත් පරලොව විමුක්තියට එවැනි චරිතවලින් කිසිදු පලක් නොවේ.

මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික චර්‍යාව ඉහතින් සදහන් ආකාරයේ අසම්පූර්ණ එකක් නොවේ. ඉහතින් මා සදහන් කලාසේ එය ‘හදීස්’ ලෙස පැහැදිලිව ලේඛනය වූ ඉතිහාසයකි. එය විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකු හට එතුමාණන්ගේ දෛනික දිවියේ සෑම මොහොතක්ම ඉතා පැහැදිලිව සටහන් වී ඇත. මෙම සත්‍යය එතුමාණන්ගේ ඉතිහාසය ගවේෂණය කල බොහෝ ඉතිහාසඥයින් සහ චරිතාපදාන කරුවන්ගේ ප්‍රකාශ තුලින් ද මනාව පැහැදිලි වේ.


මුහම්මද් (සල්) තුමාණන්ගේ චරිතය පිලිබදව විද්වත් මත

එවැනි කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

  • රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමි මෙසේ පවසයි – “මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම ප්‍රචාරය කලේය!”
  • Michael H Hart මෙසේ පවසයි – “ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.”
  • Bosworth Smith මෙසේ පවසයි – “මුහම්මද් තුමා තුල සීසර් හා පොප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්‍ෂක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි!”
  • De Lacy O’Leary මෙසේ පවසයි – “සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථවේ.”
  • තොල්ස්තොයි මෙසේ පවසයි – “ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරැ චරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්‍යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත.”

මේ ආකාරයට මුස්ලීම් නොවන ඉතිහාසඥයින් සහ චරිතාපදාන කරුවන් පවා මුහම්මද් (සල්) තුමාණන් හට මෙවැනි යහපත් චරිත සහතිකයක් ලබාදෙන්නේ එතුමාණන්ගේ මෙහෙවරේ තිබෙන ප්‍රබල බව නිසාම නොවේද?. වසර 23 ක වක්තෘ මෙහෙවර තුල එතුමාණන්ට එදිරිවාදිකම් කල සමකාලීන ඉස්ලාම් විරෝධීන්ට පවා එතුමාණන්ගේ දින චර්‍යාවන්හි වරදක් කීමට නොහැකි විය. එවැනි නිදසුනක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,


එතුමාණන්ගේ හොඳ කියන සමකාලීන හතුරන්

මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීනයකු මෙන්ම මුස්ලීම්වරුන්ට එරෙහි සෑම යුද්ධයකදීම නායකත්වය ගෙන ‘මුහම්මද් (සල්) තුමාණන් ඇතුළුව සමස්ථ මුස්ලීම් ජනයාම ඝාතනය කලයුතුයි’ යන චේතනාවෙන් පෙරමුණ ගෙන කටයුතු කල ‘අබූ සුෆියාන්’ නැමැත්තා එක්තරා අවස්ථාවක ‘හිරකල්’ (නම් මුස්ලීම් නොවූ) රජු ඉදිරියේ නබිතුමාණන් පිලිබදව මුසාවක් පැවසීමේ අරමුණින් ගිය අවස්ථාවක රජුගේ පැනයන් හමුවේ ‘සත්‍ය’ පමණක් පැවසූ ඉතිහාසය ‘බුහාරි’ නම් හදීස් ග්‍රන්ථයේ සවිස්තරව සටහන් වී ඇත. එයින් කොටසක් මෙහි උපුටා දක්වන්නේ නම්,

‘... හිරකල් රජු විමසයි, ‘ඉස්ලාමය අනුගමනය කරන පිරිස් දිනෙන් දින වර්ධනය වනවාද? නොසේ නම් අඩුවනවාද?’ එයට අබූසුෆියාන්, ‘වර්ධනය වෙමිනුයි තිබෙන්නේ’,
යලිත් හිරකල් රජු ‘එම දහම වැලදගත් පිරිස් අතුරින් කවරෙකු හෝ එම දහම ප්‍රතික්ෂේප කොට දහම අතහැර ගොස් තිබේද?’ එයට අබූසුෆියාන් ‘නැත රජතුමණි’,
යලිත් හිරකල් රජු ‘මෙම (ඉස්ලාම්) දහම ප්‍රකාශ කිරීමට පෙර කාලවල (මුහම්මද් වන) ඔහු නුඹලා අතර බොරුවක් පවසන බවට සැක කොට තිබෙනවාද?’ එයට අබූසුෆියාන් ‘නැහැ රජතුමණි’,
යලිත් හිරකල් රජු ‘ඔහු ජනතාවට වංචාවක්, මුලාවක් කර තිබෙනවාද?’ එයට අබූසුෆියාන් ‘නැහැ රජතුමණි, අප දැන් ඔහු සමඟ ගිවිසුමකට එළඹ සිටින්නෙමු. එහි දී ඔහු කුමණ ආකාරයට කටයුතු කරාවිද? යන්න නොදනිමු...’

මූලාශ්‍රය - බුහාරී

(මෙම හදීසය සහ ඊට අදාල විග්‍රාහය යහමග අඩවිය තුල මීට ඉහත පලවූ ලිපියකින් කියවීමට හැක. ඒ සදහා මෙහි Click කරන්න.)


එතුමාණන්ගේ හොඳ කියන සමකාලීන හතුරන්

වක්තෘ මෙහෙවර ආරම්භය හා සමාජ ප්‍රතිචාරය එදා පැවතී ජීවන රටා අදට ආදර්ශ වන්නේ කොහොමද? දින චර්‍යාව කියවීමට පෙර අවදාරනය කරමි. මුහම්මද් (සල්) තුමාණන්ගේ දෛනික දින චර්‍යාව ඉදිරියට...

ඉදිරියට...

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම