ඉස්ලාම් ගැන උනන්දුවක් නැති අපගේ ආගම් විවේචනය කරන්නේ ඇයි

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සාරාංශය -“ඉස්ලාමයක් ගැන උනන්දුවක් නැති අපට ඉස්ලාම් ගැන පවසන්නේ ඇයිද? අපේ ආගම් විවේචනය කරන්නේ ඇයිද?” යන්නයි. මේ චෝදනා කරන ආකාරයට කිසියම් මුස්ලීම්වරයෙකු ක්‍රියා කරන්නේ නම් එය ඉස්ලාම් නොවනවා යන්නෙහිත්, එය පැහැදිලිවම වැරදි සහගත ක්‍රියාවක් යන්නෙහිත් දෙවැනි මතයක් නැත. ආරම්භයේ සිටම එම ස්ථාවරයේ යහමග අඩවිය පැහැදිලිවම සිටී.

මෙම යහමග වෙබ් අඩවිය බහු ජාතීන් ජීවත්වන රටක් තුල ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් වන නිසාත්, මෙය ඉස්ලාම් දහම පිලිබදව සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් නිසාත්, එහි ඉදිරිපත් කරන සමහරක් ලිපි ශ්‍රී ලාංකීය අනිකුත් ආගමික විශ්වාසයන් හා සංසන්ධනාත්මකව ඉදිරිපත් කිරීමක් සිදු කෙරේ. මෙහි ඉදිරිපත් කරන කරුණු වඩාත් නිරවද්‍යව, සාධාර්ණව හා සමභරව ඉදිරිපත් කිරීම පිණිස මෙහි පලකරන සෑම ලිපියක් සදහාම පාඨක අදහස් එක් කිරීමේ (comments) අවස්ථාව සලසා දී ඇත. නමුත් පහත් පෙලේ වචන භාවිතා කරමින් ඒ තුලින් වින්දනයන් ලබන්න උත්සාහ කරන සමහරක් පිරිස් මෙම අවස්ථාව තම පහත් වින්දනය සදහා දිගින් දිගටම යොදා ගැනීමට කටයුතු කරගත් නිසා මෙවැනි විකෘති මානසිකත්වයකින් පෙලෙන පිරිසගේ ආක්‍රමණයෙන් යහමග අඩවිය මුදවා ගැනීම පිණිස මෙහි පාඨක අදහස් දැක්වීම් සදහා ලබාදී තිබු පහසුකම විටින් විට තාවකාලිකව අත්හිටුවන ලදී. මෙලෙස comments අත්හිටුවීම සම්බන්ධයෙන් යහමග පාඨකයෙකු එක්තරා අවස්ථාවක සමස්ථ මුස්ලීම් සමාජයට හා ඉස්ලාම් දහමට චොදනාත්මක ලෙස කෙටි අදහස් දැක්වීමක් ඉදිරිපත් කර තිබුණි. එම අදහස් දැක්වීම තුල සැලකිල්ලට ගතයුතු කාරණයක් තිබුණි. එය පදනම් කරගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි.

…ඉස්ලාම් සම්බන්ධව ඇති දුර්මත දුරු කල යුත්ත්තේ කුරාණය නමැති ‘ලිඳේ’ ඉන්න ‘මුස්ලිම්-මැඩියන්ගේ’ මිස, ඉස්ලාමයක් ගැන උනන්දුවක් නැති අය අතර ඒ අයගේ ආගම් විවේචනය කිරීමෙන් නොවේ...

ඉහත චෝදනාව මීට ඉහත දී ද විටින් විට යහමග අඩවියට එරෙහිව සමාජය තුල මතු වූ නිසාත්, මුස්ලීම් සමාජයට එරෙහිව මෙවැනි චෝදනා ශ්‍රී ලාංකීය සමාජය තුල නිරන්තරයෙන් දකින්ට තිබෙන නිසාත් ඉහත චෝදනාත්මක කරුණූ දැක්වීම මෙම ලිපියට ඌනපූර්ණයක් ලෙස ගෙන ඒ පිලිබදව කෙටි පැහැදිලි කිරීමක් සිදුකිරීමට අදහස් කරමි.

කුරාණය නමැති “ලිඳේ” ඉන්න “මුස්ලිම්-මැඩියන්”

ඉහත චෝදනාව තුල සාකච්චාට ගතයුතු කාරණා දෙකක් ඇත.

  • එහි පලමු වැන්න නම් “…කුරාණය නමැති ‘ලිඳ’
  • එහි දෙවැන්න ‘මුස්ලිම්-මැඩියන්’…”

…කුරාණය නමැති ‘ලිඳ’

මේ ප්‍රකාශය සලකා බැලූවිට මොහුගෙන් මුලින්ම විමසන්නට ඇත්තේ මෙවැනි ප්‍රකාශයක් කරන්නට තරම් “කුර්ආනය හා එහි අන්තර්ගතය පිලිබදව ඔබට ඇති දැනුම කුමක්ද?” යන්නයි. එය ඔහු මෙන්ම ඔහු වැනි චෝදනා නඟන පිරිස් තම හිතට අවංකව මුලින්ම විමසා බැලිය යුතු කාරණයකි. කවුරුන් හෝ කරන විවේචනයක් පදනම් කරගෙන “එහෙයි” යනුවෙන් විවේචනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මා බුදු දහමේ කිසියම් දුර්වලතාවයක් හෝ වරදක් ගෙනහැර දක්වනවා නම් එය ඉස්ලාම් ආගමික පූජකවරුන් හෝ විද්වතුන් පෙන්වාදෙන බුදුදහම පදනම් කරගෙන නොකලයුත්තකි. කලයුතු වන්නේ බුද්ධ දේශනයන් හොදින් අධ්‍යනය කර ඒ තුලින් කරුණු ඉදිරිපත් කිරීමයි. එලෙසම කිසියම් බෞද්ධයකු ඉස්ලාම් විවේචනය කරනවා නම් ඒය කලයුත්තේ ද බෞද්ධ විද්වතුන් හෝ පූජකවරුන් ඉස්ලාම් යයි පවසන කරුණු පදනම් කරගෙන නොව ඉස්ලාමීය මූලාශ්‍රයන් හොදින් අධ්‍යනය කොට ඒ තුලින් ලබාගත් කරුණු පදනම් කරගෙනය. ශුද්ධ වූ කුර්ආනයේ කිසියම් දුර්වලතාවයක් ඔබ පවසනවා නම් එය කුමන පරිච්චේදයේ කීවෙනි වාක්‍යයේද යන්න පැවසිමට හැකි වියයුතුය. නමුත් ඔබ වැනි පිරිස් කවදත් ශුද්ධ වූ කුර්ආනයට එරෙහිව චෝදනා නඟන්නේ මෙලෙස පදනම් විරහිත පමණි. එයට මූලික හේතුව කුර්ආනයේ වැරදි තිබෙනවා යයි ඔබලා පැවසුවත් එහි අන්තර්ගතය පිලිබදව තිබෙන අනවබෝධයයි. ඒ අනුව ඔබ වැනි පිරිස් ශුද්ධ වූ කුර්ආනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තර්ක ඔබලාගේ ඔලුගෙඩි තුලට කාවද්දන ලද මනක්කල්පිතයන් මිස සත්‍යය නොවේ. එය වසර කිහිපයක් මුළුල්ලේ බෞද්ධ සමාජය හා සමීපව කටයුතු කරන මා ඉතා හොදින්ම දන්නා කාරණයක් වන අතර මෙහි පහත සදහන් ඉස්ලාම් විවේචකයන්ගේ ක්‍රියා කලාපය ද එය මනාව පිළිඹිබු කරයි. ඒ අනුව ඔබ මෙන්ම ඔබ වැනි පිරිස් මතු කරන මෙවැනි විවේචන “ලිඳේ මැඩියෙකු” ලෙස හිද සිදුකොට ඇති බව බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම් ඔබට ම පැහැදිලි වනු ඇත.

…මුස්ලිම්-මැඩියන්ගේ…

මෙම ලිපිය ආරම්භයේ මා පැවසුවා සේ ඔවුන් ඉස්ලාම් දහමට එරෙහිව පහත් භාෂා ශෛල්‍යයන් භාවිතා කරගෙන comments ලියන ආකාරය බලන විට විශේෂයෙන් ඔවුන්ගේ සුපුරුදු භාෂා ශෛල්‍යය සමඟ මෙහි “මුස්ලීම් මැඩියන්” යයි පැවසීම (ඔවුනට සාපේක්ෂව) යහපත් වචන භාවිතයකි. (එලෙස මා පවසන්නේ ඔහු කුණුහර්පවලින් වැලකී ලිවීම නිසා එම වාක්‍යය මෙහි උපුටා දැක්වීමට හැකිවීම සතුටට කාරණයක් නිසාය.) කෙසේ වෙතත් ඔහු එම වාක්‍යය තුලින් කුමක් අදහස් කලත් මුස්ලීම් සමාජය සම්බන්ධයෙන් “ලිදේ මැඩියන්” යයි පැවසීම සම්බන්ධ කිසියම් ආකාරයක එකඟතාවයක් මා තුල ද ඇත. ඒ දිව්‍යමය දහමකට උරුමකම් කියන මුස්ලීම් සමාජය එම දිව්‍යමය මඟපෙන්වීම (වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය) පසෙක තබා ඉස්ලාම් නමින් ඉස්ලාම් විරෝධි ක්‍රියාවල නිරත වී සිටීම හේතුවෙනි. (කියවන්න…) මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් දකින මුස්ලීම් නොවන සමාජය සිතන්නේ මුස්ලීම්වරුන් සිදුකරන සියල්ල ඉස්ලාම් බවයි. මේ තුලින් ඉස්ලාම් දහමට එරෙහිව මතවාදයන් නිර්මාණය විමට දැන හෝ නොදැන මුස්ලීම්වරුන්ම දායක වී සිටී. මෙවැනි තත්වයක් මුස්ලීම් සමාජය තුල නිර්මාණය වීමට ප්‍රධාන හේතුව ඉස්ලාමීය ඉගෙන්වීමන් (වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය) පිලිබදව ඔවුනට තිබෙන අනවබෝධයයි. මේ නිසා වර්ථමාන සමාජයේ සැලකිය යුතු තරම් මුස්ලීම්වරුන් දිව්‍යමය සැලැස්ම පිලිබදව නිසි අවබෝධයක් නැති “ලිඳේ මැඩියන්” ලෙස ජීවත් වනවා යයි පැවසුවේ නම් එතරම් වරදක් නැත.

ඉස්ලාමයක් ගැන උනන්දුවක් නැති අය අතර ඒ අයගේ ආගම් විවේචනය කරන්නේ ඇයිද?

ඉහතින් සදහන් අදහස් දැක්වීම තුල මීළඟට මතු කරන තර්කය බහුජාතීන් ජීවත් වන රටක් ලෙස ඉතා වැදගත් කාරණයකි. ඒ තමා “ඉස්ලාමයක් ගැන උනන්දුවක් නැති අපට ඉස්ලාම් ගැන පවසන්නේ ඇයිද? අපේ ආගම් විවේචනය කරන්නේ ඇයිද?” යන්නයි. මේ චෝදනා කරන ආකාරයට කිසියම් මුස්ලීම්වරයෙකු ක්‍රියා කරන්නේ නම් එය ඉස්ලාම් නොවනවා යන්නෙහිත්, එය පැහැදිලිවම වැරදි සහගත ක්‍රියාවක් යන්නෙහිත් දෙවැනි මතයක් නැත. ආරම්භයේ සිටම එම ස්ථාවරයේ යහමග අඩවිය පැහැදිලිවම සිටී. (කියවන්න…) එසේ නම් මෙහි ඇති ගැටළුව මෙම අඩවිය තුලින් එවැනි යමක් සහෝදර සමාජයට හෝ ආගම්වලට සිදුවනවා ද? යන්නයි. මෙම චෝදනාවද කොටස් දෙකකට වෙන්කොට සාකච්චා කිරීම එය වඩාත් හොදින් පැහැදිලි කර ගැනීමට පිටුවහලක් වනු ඇතැයි සිතමි. එනම්,

එහි පලමු කොටස වන “…ඉස්ලාමයක් ගැන උනන්දුවක් නැති අපට ඉස්ලාම් ගැන පවසන්නේ ඇයි?…” යන කාරණය වෙත අවධානය යොමු කලේනම්,

මෙම කාරණයේ දී සමස්ථ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයම සැලකුවේ නම් එහි කිසියම් කොටසක් ඉස්ලාම් දහම සම්බන්ධයෙන් උනන්දු නොවන බව සැබෑවකි. එම පිරිස පදනම් කරගෙන සමස්ථ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තීන්දු ගැනීම කල නොහැක. මේ අනුව ඔහුගේ හා ඔහුමෙන් පටු ලෙස සිතන පිරිසගේ තර්කය බොලඳ තර්කයක් බව මුලින්ම අවබෝධ කර ගතයුතුය. මෙහිදී මට අවබෝධ වන කාරණය නම් ඔහු හා ඔහුවැනි පිරිස් මෙවැනි චෝදනාත්මක මතවාදයන් සමාජය තුල ප්‍රකාශ කිරීමෙන් සිදුකරන්නේ අනුකම්පා සහගත සහයෝගයක් ලාංකීය බෞද්ධ සමාජය වෙත ලබාගැනීම හා ඉස්ලාම් දහම පිලිබදව පිලිකුලක් සමාජය තුල නිර්මාණය කිරීම මිස අන්කිසිවක් නොවේ. කෙසේ වෙතත් ඔහු පවසන එම චෝදනාව තරමක් බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම්, එනම් “සැබැවින්ම බෞද්ධ සමාජය ඉස්ලාම් දහම සම්බන්ධයෙන් උනන්දුවක් නැතිද?” යන්න විමසා බැලුවේ නම්,

  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන පිරිස් මේ වනවිට ශ්‍රී ලංකාව තුල ඉතා සංවිධානාත්මක ලෙස හා කණ්ඩායම් ක්‍රියාවලියක් ලෙස ඉස්ලාම් දහම සෘජුව විවේචනය කිරීම එකම අරමුණු කරගෙන වෙබ් අඩවීන් 05 ක් (මේ මාගේ නෙත ගැටුණු සංඛ්‍යාව පමණි) සිංහල භාෂාවෙන් ක්‍රියාත්මකව පවතී. (එම වෙබ් අඩවීන් හි නම් මෙහි ඉදිරිපත් නොකරන්නේ එය එම වෙබ් අඩවීන් සදහා අනවශ්‍ය ප්‍රචාරයක් වන්නට පුළුවන් නිසාම පමණි)
  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන මේ පිරිස් අතර ජනප්‍රිය චරිත විශේෂයෙන් විද්වතුන් යයි හදුනා ගන්නා පිරිස් මේ වනවිට ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට එරෙහිව සෘජු විවේචනයන් සිදුකරමින් සිංහල භාෂාවෙන් කෘතීන් විශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කොට ඇත. (කියවන්න…)
  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන මේ පිරිස් අතර සමහරක් විවිධ කල්ලි නිර්මාණය කරගෙන මුස්ලීම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිව විවිධ ආකාරයේ Email මඩ ව්‍යාපාරයන් හි ද නිරත වී සිටී. (කියවන්න…)
  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන මේ පිරිස් ඉස්ලාම් දහමට එරෙහිව Facebook ගිණුම් පවා සිංහල භාෂාවෙන් පවත්වාගෙන යනු ලබයි. (එම Facebook පිලිබදව ද වැඩි විස්තර මෙහි ඉදිරිපත් නොකරන්නේ එය එම Facebook සදහා ප්‍රචාරයක් වන්නට පුළුවන් නිසාම පමණී)
  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන මේ පිරිස් ගුවන්විදුලි, රුපවාහිණි හා පුවත්පත්… යනාදී ජන මාධ්‍යයන් භාවිතා කරමින් ඉස්ලාම් දහමට එරෙහිව කරන විවිධ සංවාද ද ලාංකීය සමාජයේ සුලභ දසුනකි. (කියවන්න…)
  • ඉස්ලාම් දහම පිලිබදව උනන්දුවක් නැතැයි පවසන මේ පිරිස් අතර සිටින සමහරක් පූජකවරුන් හා විද්වතුන් පවා තම දේශනාවන් හි සැඟවුණු න්‍යායපත්‍රය තුල සෘජුව හා වක්‍ර ලෙස ඉස්ලාම් දහම මාතෘකාවක් කරගැනීම උනන්දුවක් නැතැයි පවසන පිරිසගේ එම උනන්දුව මනාව පිලිඹිබු කිරීමකි.

මා මෙහි ඉහතින් සටහන් කලේ “ඉස්ලාම් දහම පිලිබදව අපට උනන්දුවක් නැහැ” යයි පවසන පිරිස් ශ්‍රී ලාංකීය සමාජය තුල ක්‍රියා කරන ආකාරයෙන් බිදක් පමණි. මේවා තුලින් දෛනිකව ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එල්ලකරන බලපෑම සුළුපටු නොවේ. මෙලෙස දැඩි බලපෑමක් ඉස්ලාම් දහමට එල්ල කරන ගමන් “ඉස්ලාම් දහම පිලිබදව අපට උනන්දුවක් නැහැ” යයි පැවසීම කොතරම් විශාල ප්‍රෝඩාවක්ද? යන්න බුද්ධියක් ඇති කෙනෙකුට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙතැන දී අනිවාර්යයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මා ඉහතින් පවසන්නේ විවිධ ජාතිවාදී සංවිධානයන් හා කල්ලීන්වල ගොදුරු බවට (කියවන්න…) පත්වූ අන්තවාදී හෝ ආගම් වියරුවෙන් පෙලෙන පිරිස් ගැන මිස ශ්‍රී ලාංකීය සමස්ථ බෞද්ධ ප්‍රජාව පිලිබදව නම් නොවේ. අනිකුත් ජාතීන් හා ඉතා සුහදශීලී ලෙස හා අන්‍ය ආගමික මතවාද ගරුකරමින් ක්‍රියාකරන පිරිස් ද සැලකිය යුතු මට්ටමින් ශ්‍රී ලාංකීය සමාජය තුල තවමත් සිටී. අපේ රටේ සුළු ආගම් අවාසනාවන්ත ඉරණමකට ලක්නොවී තවම පවතින්නේ එවන් පිරිසගේ ද සහයෝගය නිසා මිස ඉහත සදහන් වියරු වැටුනු පිරිසගේ ක්‍රියාකලාපයන් නිසා නොවන බව පැහැදිලිව මෙහි සදහන් කලයුතුමය.

ඒ අනුව “උනන්දුවක් නැති පිරිස් හමුවේ ඉස්ලාම් දහම පවසනවා” යන්න මුසාවක් බව ඔබට දැන් පැහැදිලි වියයුතුය. ඊළඟට එහිදී මතුකරන කාරණය නම් “…අපගේ ආගම් විවේචනය කරන්නේ ඇයිද?…” යන්නයි. මෙහිදී මුලින්ම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් කිසියම් මුස්ලීම්වරයෙකු තවත් ආගමක් හෝ මතවාදයක් අපහසයට ලක්කිරීම හෝ පදනම් විරහිතව විවේචනය කිරීම ඉස්ලාම් අනුමත නොකරන ඉස්ලාම් විරෝධි ක්‍රියාවකි. (එවැනි යමක් යහමග අඩවිය තුල සිදු වී ඇත්නම් ද එය පෙන්වාදෙන්නේ නම් ද නිවරුදි කරගන්න මා සූදානම්) නමුත් බුද්ධිමත් තර්ක විතර්ක තුලින් ශිෂ්ඨසම්පන්න ආකාරයට සංවාදයන් ගොඩනැඟීමට ඉස්ලාම් දහම තුල තහනමක් නැත. එය ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ අවස්ථා කිහිපයක අවධාරණය කරයි. ශුද්ධ වූ කුර්ආනයේ ඒ ආකාරයට මුස්ලීම් සමාජයට තර්ක විතර්ක කිරීම සදහා අවසරය ලබාදී තිබිය දී පවා යහමග අඩවියට කරන ඉහත චෝදනාව සම්බන්ධයෙන් මුලින්ම පවසන්නට ඇත්තේ, ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය මඟින් මුස්ලීම් සමාජයට අවධාරණය කරන ආකාරයට වුවද මෙම අඩවිය තුල මා ශ්‍රී ලාංකීය අනිකුත් ආගම් පිලිබදව සංවාදයක් ගොඩනඟා නැති බවයි. ඒ එම ආගමික ඉගෙන්වීමන් පිලිබදව විරුද්ධ මත නොමැති නිසා හෝ විවේචන නැති නිසා නොවේ. බහු ජාතීන් ජීවත් වන විශේෂයෙන් ඉස්ලාම් සුළුතරයක් වන අප රටේ ජාතික සමඟියට ඉන් කිසියම් බලපෑමක් සිදුවිය හැකි නිසාය. මා මෙසේ පවසන විට කිසියම් කෙනෙකු හට “ඇයි මේ යහමග අඩවිය තුල බෞද්ධ ඉගෙන්වීමන් පිලිබදව කථා කොට තිබෙනවානේ” යන කුතුහලය ඇතිවීමට පුළුවන. මෙම යහමග වෙබ් අඩවිය තුල බෞද්ධ ඉගෙන්වීමන් බොහොමයක් කථා කොට ඇති බව සැබෑවකි. මෙහිදී විමසා බැලිය යුත්තේ “බෞද්ධ ඉගෙන්වීමන් පිලිබදව කථා කලාද? නැද්ද?” යන්න පමණක් නොව “ඇයි කථා කලේ” යන කාරණයත් සමඟය. එවැනි අවස්ථා කිහිපයක් නිදසුන් සහිතව පවසනවා නම්,

  • ඉස්ලාම් දහම අනුමත කරන මුස්ලීම් සමාජයේ මාංශ අනුභව ප්‍රතිපත්තිය අතීතයේ නොදුටු ආකාරයට (මෑත කාලීනව) වර්ථමාන බෞද්ධ සමාජය දිගින් දිගටම විවේචනය කරන විට “මාංශ අනුභවය” සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ (කියවන්න 1 2 3 4 …) සාකච්චා කිරීමේ යුතුකම මුස්ලීම් සමාජයට ද පැවරේ. එහිදී ඉස්ලාම් දහම තුලින් කරුණු දැක්වීමෙන් පමණක් නතර නොවී බෞද්ධ සමාජය පදනම් කරගෙන නොව ත්‍රපිටකය පදනම් කරගෙන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට සිදුවිය. (එයත් විවේචනයක් ලෙස නොව මේවාට විග්‍රහයන් ලබාදෙන්න යන ඉල්ලීම ඇතුවය) ඒ තුලින් මා පවසා සිටියේ “මුස්ලීම්වරුන් මාංශ අනුභවය සම්බන්ධයෙන් ඔබලා විවේචනය කරනවා නමුත් මාංශ අනුභව කිරීම සම්බන්ධ ත්‍රපිටකයේ පවා සදහන් වී තිබෙනවා.!” යන්නයි. මෙය බුදුදහම විවේචනය කිරීමක් ලෙස සැලකීම බුදුදහම පිලිබදව තිබෙන අනවබෝධයක්.
  • “මුස්ලිම් කාන්තාවගේ නිදහස ඉස්ලාම් උදුරාගෙන” යයි පවසමින් බෞද්ධ සමාජයේ සමහරක් ඉස්ලාම් දහමට විවේචනාත්මක ලෙස ඇඟිලි දිගු කරන විට සැබැවින්ම ඉස්ලාම් ඒ සම්බන්ධයෙන් කුමක් පවසනවාද? යන්න පමණක් නොව කාන්තාව සම්බන්ධයෙන් ඔවුන් නියෝජනය කරන ආගම් තුල කුමක් සදහන් වී තිබෙනවාද? යන්න අවබෝධ කරදීම සදහා ශ්‍රී ලාංකීය පමණක් නොව ලොව බොහෝ ආගම්වල ඉගෙන්වීමන් උපුටා දැක්වීමේදී ත්‍රපිටකයෙන්ද කරුණු උපුටා දක්වන ලදී. මෙය ආගමක් විවේචනය කලා යනුවෙන් හෝ අපහසකලා යනුවෙන් සදහන් කලහැකිද? එසේ පවසනවා නම් එය බුදුදහම පිලිබදව තිබෙන අනවබෝධයකි. (කියවන්න …)
  • දෙවියන් පිලිබදව බුදුදහම කිසිවක් කථා නොකරන ආකාරයට ඉස්ලාම් පවසන දේව විශ්වාසය පිලිබදව බෞද්ධ සමාජය දැඩිව විවේචනය කරන විට “ත්‍රපිටකය තුලත් දේවිවරුන් පිලිබදව සදහන් වෙනවානේ” යන්න ත්‍රපිටකයෙන් උපුටා දැක්වීම බුදුදහම විවේචනය කිරීමක් ලෙස සැලකීය හැකිද? (කියවන්න …)
  • මුස්ලීම්වරුන් දිව්‍යමය පණිවුඩය තමා එකම මඟපෙන්වීම ලෙස ගෙන අනුගමනය කරන විට එය බෞද්ධ සමාජයේ සමහරක් (ඉහත සදහන් ආකාරයට එනම් “…කුරාණය නමැති ‘ලිඳේ’ ඉන්න ‘මුස්ලිම්-මැඩියන්ගේ’ …” යනුවෙන්) විවේචනය කරන විට ආගමික මූලාශ්‍රයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය හා එවැනි මූලාශ්‍රයක් ආරම්භයේ සිට ආරක්ෂා වී පැවතීමේ අවශ්‍යතාවය බුදුදහම ඇතුළු අනිකුත් ආගම් හා සංසන්ධනාත්මක ලෙස කරුණු ඉදිරිපත් කරන විට එය බුදුදහම විවේචනය කිරීමක් ලෙස පැවසීම අන්තවාදීත්වයකි. (කියවන්න 1 2 3…)
  • පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාම් පවසන කාරණය බෞද්ධ සමාජය පදනම් විරහිතව විවේචනය කරන විට මේ විෂය පිලිබදව බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න ත්‍රපිටකය තුලින් බෞද්ධ සමාජයට උපුටා දැක්වීම බුදුදහම විවේචනය කිරීමක් ලෙස සැලකීම අනවබෝධයකි. (කියවන්න…)
  • ඉස්ලාමීය දින දර්ශනය (හඳ අනුව නිර්ණය කිරීම) පිලිබදව බෞද්ධ සමාජයේ සමහරක් පිරිස් අනවබෝධයෙන් විවේචනය කරන විට එහි සැබෑ තත්වය හා බුදුදහමේ මේ විෂය පිලිබදව ස්ථාවරය සංසන්ධනාත්මක පැහැදිලි කිරීම බුදුදහම විවේචනය කිරීමක් ලෙස සැලකීම ද බුදුදහම පිලිබදව ඔවුනට තිබෙන අනවබෝධයකි. (කියවන්න…)

මෙහි ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ නිදසුන් කිහිපයක් පමණි. මේ යහමග අඩවිය තුල බුදුදහම සම්බන්ධයෙන් කිසියම් කාරණයක් ඉදිරිපත් කර ඇත්නම් එයට මූලික පදනම වී ඇත්තේ බෞද්ධ සමාජයේ කිසියම් කෙනෙකු විසින් මතුකල මතභේදාත්මක කරණයක් යන්න නැවත එම ලිපි මධ්‍යස්ථව හිද විමසා බැලුවේ නම් ඔබටම අවබෝධ වනු ඇත. එවන් ලිපි පවා නොලිවිය යුතු බවට බෞද්ධ සමාජයේ කිසිවකු සිතන්නේ නම් හෝ යෝජනා කරන්නේ නම් එය පිලිගන්න මුස්ලීම්වරුන් වන අප සූදානම් නැත. ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් සුළු ආගමක් වූ පමණින් මහා ආගම් නියෝජනය කරන පිරිස් සුළු ආගම් සම්බන්ධයෙන් කුමණ ආකාරයට විවේචන, අපහස, උපහාස… සිදුකලත් “ඔවුන් ඒ සියල්ල නිහඬව බලා සිටිය යුතුයි” යන්න එම පිරිස් අපේක්ෂා කරන්නේ නම් එය සුළු ආගම්වලට කරන බලවත් අසාධාරණයක් වන අතර මුස්ලීම්වරුන් වශයෙන් ඒ සදහා අපට එකඟවීමට ද නොහැක. අනික් කාරණය නම් ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතභේදාත්මක මාතෘකාවක් තුලින් සමාජය තුල සංවාදයක් සැමවිටම ආරම්භන්නේ බෞද්ධ සමාජයයි. යහමග සිදුකරන්නේ එයට පිලිතුරු ලබාදීම සහා එම විෂය බුදුදහමේ ඉගෙන්වීමන් හා සංසන්ධනය කිරීම පමණි. (කියවන්න…) මෙවැනි ක්‍රියාවන් තුලින් මා අපේක්ෂා කරන්නේ බෞද්ධ සමාජය හා මුස්ලීම් සමාජය අතර නොගැලපෙන කරුණු කාරණා බොහෝමයක් පැවතුනත් එකඟවිය හැකි බොහෝ කාරණයන්ද පවතින බව ශ්‍රී ලාංකීය සමාජයට හේත්තු ගැන්වීමයි. මන්ද එම අවබෝධය නිසි ලෙස ගොඩනැඟීම තුල තමා අන්‍ය ආගමික මතවාද ගරුකරන සමාජයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ. එසේ නොමැතිව ජාතීන් අතර වෛරය, ක්‍රෝධය නිර්මාණය වන ආකාරයේ (කියවන්න…) ලිපි ලියමින් සුළු ආගම් අපහසයට හා උපහාසයට ලක්කරමින් ජාතියක් ලෙස දිනාගත හැකි කිසිදු ජයක් නැත. නමුත් අවාසනාවකට අද බොහෝ පිරිස් පෙනී සිටින්නේ එම අවාසනාවන්ත ඉරණම රටේ නිර්මාණය කිරීමට යන්න අමිහිරි වූ යතාර්ථයයි.

මෙවන් දීර්ඝ ලිපියකට පාධක වූ ඉහත අදහස් දැක්වීමේ සටහන තුල ඔහු මෙලෙස ද ප්‍රශ්නයක් මතු කර තිබුණි. එනම්, “…කොටින්ම, ආගමක් තුල නරක පූවාදර්ශ වලට ඉඩක් තිබෙනෙනේ කොහොම ද? …” යනුවෙනි. ඔහු මතු කරන එම ප්‍රශ්නය පිලිබදව කිසිවකුටත් විරුද්ධ මතයක් නැත. නමුත් සමාජය තුල එවැනි තත්වයක් පවතිනවා යන්න මෙතෙක් මා ඉදිරිපත් කල කරුණූ හොදින් විශ්ලේෂණය කලේනම් ඔබට පැහැදිලි වනුඇත. මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් මුස්ලීම් සමාජය ඉහත සියළු චෝදනාවලින් සුවිශුද්ධ යන්න මා මෙහි කිසිවිටෙක සදහන් නොකරමි. ඔවුන් අතර ද සමහරක් පිරිස් සහෝදර ජනතාව හා ඔවුන් නියෝජනය කරන ආගම් පදනම් විරහිතව විවේචනය කරමින් ක්‍රියා කරන අවස්ථාවන් දක්නට ඇත. එවන් අවස්ථාවන් යහමග අඩවිය තුල ද සාකච්චා කොට ඇත. මෙහිදී සිදුවිය යුත්තේ අපේ රට තුල පරස්පර වූ ප්‍රතිපත්ති පදනම් වූ ආගම් පැවතුනත් ඒ සියළු දෙනා අනිකුත් ආගමික මතවාද පිලිබදව අවබෝධයෙන් හා එය ගරු කොට ජීවත් වීමයි. එයින් සියළු මුස්ලීම්වරුන් බුදුදහම පිලිගැනීම අවශ්‍ය යන්න හෝ සියළු බෞද්ධයන් ඉස්ලාම් දහම පිලිගැනීම අවශ්‍ය යන්න අදහස් නොවේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, ශ්‍රී ලාංකීයන් වන අප ආගම් හා මතවාදවලින් පරස්පර වූවත් ජාතියක් ලෙස එක්වීම කාලීන අවශ්‍යතාවයකි. එවන් තත්වයක් ගොඩනැඟීමට නම් සහෝදර සමාජය පිලිබදව අවබෝධයෙන් ක්‍රියා කිරීම ද අනිවාර්ය වේ. මෙහිදී සෑම පාර්ශවයක්ම අතපසු කල බොහෝ කාරණයන් පවතිනවා යන්න මාගේ විශ්වාසයයි. එම අඩුපාඩු හදුනාගෙන එම වැරදි නිවරැදි කරගැනීම තුල තමා මේ ජාතියේ “සුභ අනාගතය” රැදී තිබෙන්නේ. එවන් සමාජයක් සදහා ඉස්ලාම් දහම තුල පැහැදිලි ආදර්ශයන් ඇත. බුදුදහම තුල ද එවන් ආදර්ශ ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. එසේනම් ඒ සදහා කලයුතු වන්නේ තමන් පිලිගෙන සිටින දහම නිවරුදිව අවබෝධයෙන් පිලිපැදීම පමණි. ඒ සදහා අවශ්‍ය වන්නේ අන්තවාදී නොවූ මතවාද ගරුකරන විවෘත මනසක් හා ආගමික හැදියාවක් පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම