මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේ යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට මතභේදයක් නැත. නමුත් පරස්පරතාවයන් හෝ නොගැලපීමන් පවතිනවා යයි පැවසූ පමණින් එය පිලිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට තරම් මුස්ලීම්වරුන් අන්ධ භක්තිකයන් ද නොවේ. මුස්ලීම්වරුන් එලෙසක්‍රියාකිරීම අවශ්‍ය යන්න ඉස්ලාම් දහමේ අපේක්ෂාවද නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ අවබෝධය තුලින් පිලිගෙන පිලිපැදිමය. එය ශුද්ධ වූ කුර්ආනයේ 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද

ඒ අනුව ඉස්ලාම් දහම පදනමකින් තොරව පූර්ව නිගමනවල හිද විවේචනය කරන ඉහත Blog කරුවාට හෝ ඔහු වැනි පිරිස් සදහා ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය බුද්ධිමත් ආකාරයට පැහැදිලි කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම්වරුන්ට ඇත. කවදත් එම මෙහෙවර නිවරැදිව හදුනාගෙන ඉටුකරන යහමඟ අඩවිය ඉහත එම චෝදනාවන් සදහා ද පිලිතුරු ලබාදීමට අදහස් කරමි. ඒ අනුව එම චෝදනාවන් මොනවාද? එය කොතරම් දුරට වලංගුද? යන්න දැන් එකින් එක විමසා බලමු.

…කුරාණයේ විදියට මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවාගේ හැඩරුව හා ලිංගය දන්නේ අල්ලා විතරයි. 31.34 සුරතයේ ඒ ගැන සඳහන් වෙනවා. නමුත් අද අති ධ්වනි පරිලෝකන ක්‍රමය (Ultra sound scan) තුලින් හා ඇම්නියෝසෙන්ටිසිස් (amniocentesis) ක්‍රමයෙන් වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කියලයි කුරාණයේ කියන්නේ. මෙතනිනුත් පේනවා කුරාණය ඇස් පනාපිට බොරු වෙලා තියෙන වග…

“නියත වශයෙන්ම (යුග අවසන්) මොහොත පිලිබදව ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවියන්) හමුවේ පමණි. ඔහුය වර්ෂාව පහල කරන්නේ. ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය. තමන් හෙට දවසේ කුමක් උපයන්නේද යන්න කිසිවකුත් නොදන්නේය. තමන් කුමණ ස්ථානයේ මියදෙන්නේද යන්න (ඔහු හැර) කිසිදු ජීවියෙකු නොදන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සියල්ල හොදින් දන්නේය.” (31-34)

ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආනයේ 31-34 වාක්‍යය ඉදිරිපත් කරමින් මෙහි ගර්භාෂය සම්බන්ධයෙන් පවසන කාරණය වර්ථමාන විද්‍යාව විසින් අසත්‍යයක් කර ඇති බව ඉහත ලිපියෙහි කතෘ පවසා සිටී. ඒ සදහා ඔහු විවිධ හේතූන් ගෙනහැර දක්වන අතර එය ඉහතින් සදහන් කොට ඇත. එම මාතෘකාවට යොමුවීමට පෙර ඉහත ලිපියෙහි කතෘ පිලිබදව වචන කිහිපයක් සදහන් කලයුතුව ඇත. ඒ “ඉස්ලාම් දහම කෙසේ හෝ විවේචනය කලයුතුයි” යන්න එකම අරමුණ කරගත් ඉහත කතෘගේ Blog හි ලිපි කියවීමේ දී මා තුල එක්තරා ආකාරයක සතුටක්ද පැවතුණි. ඒ ඔහු ඉදිරිපත් කරන තර්කය තහවුරු කිරීම සදහා බොහෝ විට ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් (කුර්ආනය හා හදීසය) තුලින් කරුණු ගෙනහැර දැක්වීමයි. (ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු කොතරම් දුරට ගැලපෙනවාද? නැද්ද? යන්න මේ ලිපිය තුලින් මෙන්ම මීට පෙර ලියන ලද ලිපි තුලින් ඔබට වටහාගත හැකිවනු ඇත.) මුස්ලීම් සමාජයට මොහු තුල පණිවුඩයක් තිබුණා යයි මා පැවසුවේ නම් එය නිවරැදිය. මන්ද මොහු විසින් ඉදිරිපත් කරන ලද සමහරක් කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසයන් පිලිබදව බහුතර මුස්ලීම් සමාජයට පවා නිසි අවබෝධයක් තිබුණේ නැත. අද ශ්‍රී ලාංකීය ප්‍රජාව කිසිදු පදනමක් නොමැතිව හා පූර්ව නිගමනවල හිද ඉස්ලාම් විවේචනය කරන විට මොහු එසේ නොකොට ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කරමින් ඉස්ලාම් දහමට එරෙහිව ලාංකීය සමාජය තුල කිසියම් මතවාදයක් ගොඩනැඟීමට වෙරදැරීම මුස්ලීම්වරුන් වශයෙන් සැබැවින්ම ගරු කලයුත්තකි. නමුත් පසුගිය දිනක අන්තර්ජාලයේ සැරිසැරීමේ දී එක්තරා වෙබ් අඩවියක් මා නෙත ගැටීමෙන් පසුව තමා අවබෝධ වුනේ ඉහත කතෘ “අනුන්ගේ පහනින් එලිය බලන” බව. ඒ ඔහු විසින් ශුද්ධ වූ කුර්ආනය විද්‍යාවට පරස්පර වන බව තහවුරු කිරීම සදහා ඉදිරිපත් කල කරුණු ඔහුගේම සොයා ගැනීමක් නොවන බවත්, එය homa.org නම් වූ වෙබ් අඩවියකින් උපුටාගත් කරුණු බවත් තහවුරු විය. කෙසේ වෙතත් ඉහත චෝදනාවට පිලිතුරු ලබාදීම මුස්ලීම්වරයෙකු‍ෙග් අනිවාර්ය වගකීමකි. එම වගකීමෙන් මා මඟනොහරින නමුත් ඊට ප්‍රථම ඉහත කතෘට එක් ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ…

” ‘ශුද්ධ වූ කුර්ආනය විද්‍යාවට පරස්පරයි’ යන්න තහවුරු කිරීමට ඔබ විසින් උපුටා දක්වන ලද ඉහත කුර්ආන් වාක්‍යය මෙන්ම අනිකුත් වාක්‍යයන් තුල කොතරම් ප්‍රබල විද්‍යාත්මක සත්‍යයන් අන්තර්ගතව පවතිනවාද? යන්න අවංකව හා ඔබ ඔබේ බුද්ධියන් කටයුතු කලේනම් ඔබටම පැහැදිලි වනුඇත. එමනිසා තවදුරටත් අනුන්ගේ මොළයෙන් ශුද්ධ වූ කුර්ආනය අධ්‍යනය නොකොට මින් ඉදිරියට තම බුද්ධියෙන් එය අධ්‍යනය කරන ලෙස ආරාධනාවක් කරමි.”

දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු. එහි දී මතභේදයට තුඩුදෙන කුර්ආන් වාක්‍යය වන්නේ 31-34 වාක්‍යයයි. එම වාක්‍යය ඉහතින් සදහන් කොට ඇති අතර එහි සදහන් එක් කාරණයක් පමණක් ඉහත කතෘ චෝදනාත්මක ලෙස ඉදිරිපත් කලද එම වාක්‍යය තුල තවත් කරුණු කිහිපයක් අන්තර්ගතව පවතින නිසා ඉහත වාක්‍යය හොදින් අවබෝධ කරගැනීමට නම්, ඒ සියළු කාරණයන් පිලිබදව අවධානය යොමු කිරීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව එම කාරණයන් කුමක්ද? ඒවා අවබෝධකර ගතයුත්තේ කෙසේද? යන්නත් මේවා තුල අන්තර්ගත විද්‍යාත්මක කරුණු මොනවාද? යන්නත් දැන් අවධානය යොමු කරමු.

ඉහත 31-34 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයේ (ගර්භාෂයේ තත්වය පිලිබදව පවසන) කාරණයට අමතරව තවත් කාරණා කිහිපයක් පවසයි එනම්,

  • නියත වශයෙන්ම (යුග අවසන්) මොහොත පිලිබදව ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවියන්) හමුවේ පමණි.
  • ඔහුමය වර්ෂාව පහල කරන්නේ.
  • ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය.
  • තමන් හෙට දවසේ කුමක් උපයන්නේද යන්න (ඔහු හැර) කිසිවකුත් නොදන්නේය.
  • තමන් කුමණ ස්ථානයේ මියදෙන්නේද යන්න (ඔහු හැර) කිසිදු ජීවියෙකු නොදන්නේය.

ඉහතින් සදන් ශුද්ධ වූ කුර්ආනයේ 31-34 වාක්‍යයට අනුව ඉහත කරුණු 05 පිලිබදව “මනුෂ්‍යාහට කිසිදු අවබෝධයක් නැත” යයි මා පැවසුවේ නම් එය පැහැදිලිවම මුසාවකි. මන්ද ඉහත කරුණු සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක් වර්ථමාන මිනිස් සමාජයට පවතිනවා යන්න පැහැදිලි කාරණයක් වන බැවිණි. එනම්,

යුග අවසනය

ඉහත කාරණය සැලකූවිට එම කාරණය පිලිබදව මොලොව ජීවත්වන සෑම මනුෂ්‍යයකු තුලම විශ්වාසයක් ඇත. ඒ සදහා විවිධ විද්‍යාත්මක කරුණු ද විටින් විට මාධ්‍යයන් හරහා සමාජගත වන ආකාරයද අප දනිමු. විශ්වයේ ක්‍රියාකාරීත්වයත්, සුර්‍යයාගේ ක්‍රියාකිරීත්වයත්, ග්‍රහවස්තුවල චලිතයත්, පෘථිවියේ ස්වභාවය හා පිහිටීම පදනම් කරගන මෙම පෘථිවියේ විනාශය නියත වශයෙන්ම සිදුවනවා යන්න විද්‍යාව පවා ස්ථිරව පවසා සිටින සත්‍යයකි. මේ හේතුව නිසා තමා විද්‍යාව ඒ සදහා විවිධ කාල දිනවකවානු අනාවැකි වශයෙන් පවසා සිටින්නේ. විශේෂයෙන් ප්‍රබල උල්කාපතයන් පිලිබදව විද්‍යාඥයින්ට පවා ඇත්තේ ඉමහත් බියකි. එයට එක් නිදසුනක් ලෙස 2027 වර්ෂය පිලිබදව කරන අනාවැකිය සදහන් කල හැක.

මේ අනුව එම මොහොත නිවරැදිව සදහන් කිරීමට විද්‍යාව අසමත් වුවත් එම විෂය පිලිබදව විද්‍යාවට කිසියම් අවබෝධයක් තිබෙනවා යන්නෙහි තර්කයක් නැත.

වර්ෂාව පහල වීම

මෙම කාරණය සැලකුවද ඉහත තත්වයෙම පවතින තවත් කාරණයක් ලෙස සදහන් කලහැක. මෙයද මා ඉහතින් සදහන් කලාසේ එම විෂය පිලිබදව පූර්ණ ඥානයක් වර්ථමාන මිනිස් සමාජයට නොපැවතුනද කිසියම් අවබෝධයක් පවතිනවා යන්නෙහි විවාදයක් නැත. නමුත් පවතින දැනුම නිවරැදි දැනුමක්ද? යන්න පිලිබදව විමසා බැලුවේ නම් එයට දීර්ඝ විග්‍රහයන් අවශ්‍ය නොවේ. මන්ද දිනපතා මාධ්‍යන් තුලින් පැව‍ෙසන කාලගුණ අනාවැකි ඊට හොද නිදසුනකි. එනම්,

  • තද වැසි හෝ මද වැසි ඇතිවිය හැක
  • තද සුලං හෝ මද සුලං ඇතිවිය හැක

ඉහත ප්‍රකාශනයන් තුලින්ම එම විෂය පිලිබදව කිසියම් අවබෝධයක් මනුෂ්‍යා හට පැවතුනද එය ස්ථීර හා නිරවද්‍ය දැනුමක් නොවන බව පැහැදිලි වේ.

කුමක් උපයනවාද?

මෙම කාරණය සැලකූවේ නම්, මනුෂ්‍යයාගේ ලෞකික දිවිය තුල ප්‍රධාන අංගයක් ලෙස තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සදහා කිසියම් රැකියාවක නිරතවීම සදහන් කලහැක. ඉස්ලාම් මෙය මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස දකින අතර එය කිසිදු මනුෂ්‍යයකුට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. ඒ අනුව අනාගතය උදෙසා විවිධ වූ සැලසුම් සකස් කරමින් ජීවන සටනේ නිරත වී සිටින මනුෂ්‍යා “තමා හෙට දවසේ කුමක් උපයාවිද?” යන්න පිලිබදව ඇත්තේ මහත් කුතුහලයකි. එම කුතුහලය ඔහුට පවතින්නේ එම කාරණය සම්බන්ධයෙන් ඔහුට ස්ථීර හා පූර්ණ දැනුමක් නොමැති බැවිණී.

මෙම කාරණය පිලිබදව තරමක් බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේ නම්, එය කොතරම් දුරට සත්‍යයක් ද යන්න ඔබට පැහැදිලි කරගත හැක. උදෑසනම බල‍ාපොරොත්තු රාශියක් පොදිබැදගෙන නිවසින් බැහැරවන මිනිසා නැවත නිවස කරා පැමිණෙන්නේ තමන් නොසිතූ ජයපරාජ වාසිඅවාසි ලඟා කරගෙනය. මාසික වේතනයක් ලබන කෙනෙකු පවා විවිධ අවස්ථාවල ඉහත තත්වයන්ට පත්වීම දෛනික දිවියේ සුලභ වූ දසුනකි.

මේ අනුව තමන් හෙට දවසේ කුමක් උපයාවිද? යන්න පිලිබදව ඔහුට කිසියම් අවබෝධයක් පැවතිනවා යන්නෙ හි විවාදයක් නැති නමුත් එය ස්ථිරවම කීයක්ද? එසේත් නැත්නම් කුමක්ද? යන්න පිලිබදව නිවරැදි හා ස්ථීර දැනුමක් ඔහුට නොමැත යන්න එහි යථාර්තයයි.

මියදෙන්නේ කොතැනකද?

මෙම කාරණය ද ඉහත කාරණයන්ට සමාන වූ කාරණයකි. මිනිසුන් වශයෙන් සියළුදෙනා දිනක “මරුතුරුලට යායුතුයි” යන්නෙහි මිනිස් සමාජයට සැකයක් හෝ මතභේදයක් නැත. ගැටළුව ඇත්තේ එය කුමණ මොහොතේ කොතැනකදී සිදුවෙනවාද? යන්නයි. මේ පිලිබදව ස්ථිරවම කිවහැකි කිසිදු ජගතෙක් ලොව නැත. තමන්ගේ වයස හෝ රෝගිතත්වයන් පදනම් කරගෙන විවිධ අනුමානයන් සිදුකල හැක. නමුත් ඒ පිලිබදව ස්ථිරව සදහන් කිරීමට කිසිවකුත් සමත් නැත.

ගර්භාෂයෙහි තත්වය

මෙම කාරණය පිලිබදව ඉදිරියට කථා කරන නිසා මෙහි කෙටියෙන් සදහන් කරන්නේ නම්, මව්කුස තුල බිහිවෙමින් පවතින දරුවා පිලිබදව සැලකු විට ඒ පිලිබදව පූර්ණ ඥානයක් මනුෂ්‍යා තුල නැත. එය ඉහත කතෘ තම ලිපිය තුල “එසේ පැවසීමේ ප්‍රතිශතය 99.5% යයි” සදහන් කිරීමෙන් ද පැහැදිලි වේ. ඒ අනුව අනිකුත් කාරණයන් 04 මෙන්ම මෙම කාරණය පිලිබදව ද මනුෂ්‍යා හට කිසියම් සීමිත අවබෝධයක් පවතිනවා යන්නත් එය එම විෂය පිලිබදව පූර්ණ වූ ඥානයක් නොවන බවත් පැහැදිලිය.

මේ අනුව මා ආරම්භයේ සදහන් කලාසේ ඉහත කරුණු 05 පිලිබදව “දෙවියන් හැර මනුෂ්‍යා හට කිසිදු දැනුමක් නැත” යයි පැවසීම කල නොහැක්කක් යන්නත්, ඉහත කරුණු 05 පිලිබදව “මනුෂ්‍යා හට පූර්ණ ඥානයක් පවතිනවා” යයි පැවසීම ද කල නොහැක්කක් යන්නත් පැහැදිලිය.

මෙහි දී සදහන් කලයුතු සුවිශේෂි කාරණයක් ඇත. එනම් ඉහත කරුණු 05 සමාජය තුල ක්‍රියාවට නැංවෙන මොහොතේ එනම්, කිසියම් ක්‍රියාවලියකින් විශ්ව විනාශය උදාවන මොහොතේ, වර්ෂාවක් ඇතිවීමට අවශ්‍ය සියළු සලකුණු පහල වී වර්ෂාව ඇතිවන මොහොතේ, තමන්ගේ ශ්‍රමයට වේතනයක් ලබන මොහොතේ, මනුෂ්‍යයෙකු මියෙදෙන ‍ෙමාහොතේ හා ගර්භාෂය තුල පූර්ණ වශයෙන් දරුවා නිර්මාණය වූ මොහොතේ ඒ පිලිබදව අනාවැකි පැවසීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. එනමුත් එවැනි අවස්ථාවල පවා මනුෂ්‍යට වැරදුනු අවස්ථාවන් අනන්ත බව මා ඔබට සිහිකිරීමට අවශ්‍ය නොවේ. එදා 2004 සුනාමිය අත්වින්ද සියළුදෙනා සිතුවේ “මේ ලෝක විනාශයක්” බවයි. නමුත් එය වැරදි නිගමනයක් බව පසුව ඔවුනට අවබෝධ විය. ඒ ආකාරයටම වර්ෂාව සැලකුවද වර්ෂාවට අවශ්‍ය සියළු ලක්ෂණයන් පහල වී වර්ෂාව ඇති නොවී ගිය අවස්ථාවන් අප ජීවිතයේ අනන්තය. එසේම ලැබෙන්නට ගිය යම් වස්තුවක් අපට අහිමි වී ගිය අවස්ථාවන් මෙන්ම නොසිතූ ලෙස හිමි වූ අවස්ථාවන් ද අනන්තය. එසේම මරණයේ දොරටුවට ගොස් ආපසු පැමිණ වසර ගනනාවක් ජීවත් වූ චරිතද අප අතර කොතෙකුත් ඇත. ඒ ආකාරයටම ගර්භාෂයේ සිටින දරුවා පිලිබදව පැවසූ අනාවැකි විද්‍යාවට වැරදුනු අවස්ථාවන්ද අනන්තය. (එය ඉහත ප්‍රතිශතය 100% යයි නොපවසා 99.5% යයි පැවසීම තුලත් පැහැදිලි වේ) මෙවන් තත්වයක ශුද්ධ වූ කුර්ආනයේ 31-34 පවසන වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන කාරණය අභිබවා මිනිස් බුද්ධියට ස්ථිර යමක් පවසන්න නොහැකි බව පැහැදිලිය.

දැන් ඉහතින් ඉදිරිපත් කල මතභේදයට තුඩුදුන් “ගර්භාෂය තුල ඉන්නා දරුවා” යන කාරණය පදනම් කරගෙන විමසා බලමු.

මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා

ඉහත සදහන් 31-34 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් “…ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය…” යනුවෙන් පවසීම තුල අල්ලාහ් (දෙවියන්) ගර්භාෂය තුල ඇති කළලයේ “හැඩරුව හා ලිංගය කුමක්ද” යන්න පමණක් අදහස් නොකරන බව පැහැදිලිවම වටහා ගතයුතුය. මන්ද ඉහත වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) “ගර්භෂයේ ඇති දරුවා” යයි සදහන් කරන්නේ නැත. ගර්භාෂය තුල ඇති දරුවා යන්න කළලයක විකසනයේ අවසාන අදියර පමණි. මෙම අවසාන අවධියට කළලය ලඟා වන්නේ ඊට පෙර සංකීර්ණ වූ අවදීන් කිහිපයක්ම පසු කරගෙනය. එම අවදීන් සියල්ල පියවරින් පියවර අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ පැහැදිලිව විස්තර කොට ඇත. (ඉන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත) එසේ තිබිය දී ඒ සියල්ල පසෙකලා කළලයේ අවසාන ප්‍රථිපලය වන “හැඩරුව හා ලිංගය” පමණක් පදනම් කරගෙන තර්කයන් ගොඩනැගීම බුද්ධිමත් ක්‍රියාවක් නොව කුහකකමක් යන්න වටහාගැනීම අපහසු නොවේ. කෙසේ වෙතත් ශුද්ධ වූ කුර්ආනය 31-34 මඟින් පවසන කාරණය වර්ථමාන විද්‍යාවේ දියුණුවත් සමඟ බොරුවක් බවට පත්වෙනවා යයි චෝදනාවක් ඉස්ලාම් දහමට එල්ලවන නිසා එහි සත්‍ය අසත්‍ය විමසා බැලීමට පෙර මෙම විෂය පිලිබදව විද්‍යාත්මක විග්‍රහය විමසා බලමු.

එක් ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ලිංගික එක්වීමක් සිදුවීමේ දී පුරුෂයා විසින් ශුක්‍ර තරල ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයේ 10% ක් පමණ ශුක්‍රාණු අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වේ. මෙපමණ විශාල ප්‍රමාණයක ශුක්‍රාණු මුදාහල ද එයින් ඩිමිබ සෛලය තෙක් ගමන කරන්නේ ශුක්‍රාණු දහස් සංඛ්‍යාවක් පමණි. ඒ සදහා පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවේ. මෙසේ ඩිමිබය වෙත ඇදි ගිය ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට කිදාබසී. මෙය සංසේචනය නමි වේ. මේ ආකාරයට සංසේචනයෙන් පසු ඇති වන මෙම ව්‍යුහය සයිගොටය නමින් හදුන්වන අතර එහි ප්‍රමාණය නැනෝමිටර 150 තරම් කුඩා වේ. මෙහි දී සදහන් කලයුතු තවත් ප්‍රධාන කාරණයක් ඇත. එනම් ‍මෙම සංසේචනයේ දී හටගන්නා කළලය අවසානයේ ආසක්ත ව්‍යූහයක් බවට පරිවර්ථනය වීමේ දී එය ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද යන්න සංසේචනයේදීම නිර්ණය වන අතර එහි දී කාන්තාවගේ X ක්‍රෝමසෝන් සමඟ පුරුෂයාගේ Y ක්‍රෝමසෝන් එක්වුයේ නම් එය පිරිමි දරුවකු ලෙසත් කාන්තාවගේ X ක්‍රෝමසෝන් සමඟ පුරුෂයාගේ X ක්‍රෝමසෝන් එක්වුයේ නම් එය ගැහැණූ දරුවකු ලෙසත් හටගනී. මෙතැන දී සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ද වන්නේ කළලය තුල වැඩෙන දරුවා ගැහැණුද? පිරිමිද? යන්න තීරණය කිරීමේ තීරණාත්මක සාධකය පවතින්නේ පිරිමියාගෙන් නිකුත්වන XY ක්‍රෝමසෝන් යුගලයේය. මේ ආකාරයට සංසේචනය හා ඉන් අනතුරු කළලය ලෙස වැඩී අවසාන‍යේ පියවරින් පියවර දරුවකුගේ තත්වයට පත්වේ. එහි ප්‍රධාන පියවරයන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • සති 5 කලලය – දිගින් සෙ.මී.1.2 වේ.කුඩා වලිගයක් ඇත.
  • සති 6 කලලය – දිගින් සෙ.මී.2වේ.මොළය වැඩීම ආරම්භ වේ
  • සති 8 කලල – සෙ.මී.3 පමණ දිගය.මිනිස් ස්වරූපයක හැඩය ඇත.ඇට සැකිල්ල යන්තමින් වර්ධනය වී ඇත.
  • සති 12 – ඇසිපිය වැඩී ඇත.කන් යන්තමින් ඇත. තොල්පෙති එහාමෙහා කල හැක.ඇගිලි නිය සෑදෙන්නට පටන් ගනී.
  • සති 20 – මුලු සිරුරම රෝම වලින් වැසී ඇත.අත්පා ඵහා මෙහා සොලවයි.භ‍්‍රෑණයාගේ චලනය මවට දැනෙන අතර හෘද ස්පන්ධනය පිටතින් හදුනා ගත හැකිය.
  • මාස 6 – ඇහි බැමත් ඇහි පිහාටුත් විකසනය වී ඇත. ජලයට ඇතුලු විය නොහැකිලෙස සම සුදු පැහැති ඉටි ද්‍රව්‍යයකින් වැසී ඇත.
  • මාස 7 – රැලි ගැසුණු සමකින් යුතු භ‍්‍රෑණය ඇස් අරී.
  • මාස 8 – සෙ.මී.30 පමණ දිගය. රැලි ස්වභාවය අඩුය. කිලෝ 2.5 පමණ බරය.
  • මාස 9 – හිස ග‍්‍රීවය දෙසට යොමු වී ඇත. බර කිලෝ 3.5කට ආසන්නය. අත් පා මැනවින් වැඩී ඇත. සම පිරුණු ස්වභාවයක් දක්වයි.

මෙවන් වූ සංකීරණ නිර්මාණයක් තමා අවසානයේ කාගෙත් ආකර්ශනය, ආදරය හා බලාපොරොත්තුව මල්පල ගන්වමින් අලංකාර ස්වරූපයෙන් බිලිදෙකු ලෙස මෙලොව එලිදකින්නේ. මෙහි දැක්වෙන්නේ මවකගේ ගර්භාෂය තුල සිදුවන දීර්ඝ ක්‍රියාවලියක සරල විද්‍යාත්මක විග්‍රහයකි. මෙම සරල විග්‍රහය තුලින් පවා අවබෝධ වන එක් කාරණයක් තමා ගර්භාෂයේ ඇති එම දැයහි ලිංගය හා හැඩය පිලිබද පමණක් කථා කිරීම යනු සිද්ධි සමුදායක එක් අංශුමාත්‍රයක් පමණක් කථා කිරීම බඳුවීමය.

මේ ආකාරයට ඉහත විෂය පිලිබදව විද්‍යාත්මක විග්‍රහය වෙත අවධානය යොමු කලාසේම එම විෂය පිලිබදව ඉස්ලාමීය විග්‍රහය වෙත ද අවධානය යොමු කිරීම මෙය වඩාත් හොදින් වටහා ගැනීමට පිටුවහලක් වනුඇත. එනමුත් එය ශුද්ධ වූ කුර්ආනයේ 31-34 වාක්‍යය පමණක් පදනම් කරගෙන කල නොහැක. මන්ද ශුද්ධ වූ කුර්ආනයේ ඉහත විෂය සම්බන්ධයෙන් විවිධ වූ විග්‍රහයන් බොහෝමයක් දක්නට ඇත. ඉන් කිහිපයක් පිලිබදව අවධානය යොමු කරන්නේ නම්,

  • සංසේචනය – මිනිසා මවා ඇත්තේ ඉතා සුළු තරල සම්මිශ්‍රණයකින් බව ශුද්ධ වූ කුර්ආනයේ 76-2 හා 32-8 වාක්‍යය පවසයි
  • ලිංගය තීරණය කිරීම – ලිංග භේදය පුරුෂයාගේ ශුක්‍රාණු තීරණය කරන බව ශුද්ධ වූ කුර්ආනයේ 53-46 වාක්‍යය පවසයි
  • කළලය විකාශනය – දෙවියන් විසින් මනුෂ්‍යයා ආසක්ත ව්‍යුහයකින් නිර්මාණය කල බවත් එම ව්‍යුහයේ විකාශනය කුමක්ද? යන්නත් පියවරින් පියවර ශුද්ධ වූ කුර්ආනයේ 96-2, 23-14, 22-5 හා 32-9 වාක්‍ය මඟින් පවසයි
  • විකාශන අදියර – මනුෂ්‍යයා විවිධ වූ අදියරයන් පසුකොට පැමිණි බව ශුද්ධ වූ කුර්ආනයේ 71-13,14 වාක්‍යයන් පවසයි
  • පිහිටීම – තුන් තිඹිරියක් තුල නිවරැදිව හා අලංකාරව නිර්මාණය කල බව ශුද්ධ වූ කුර්ආනයේ 39-6 වාක්‍යය පවසයි

(මීට අමතරව 25-29, 96-1,2, 86-5,7, 23-13, 22-5, 32-8,9, 76-2, 39-6, 53-45,46, 75-37,38,39, 23-12,13,14, 75-3,4, 4-54,56, 41-53, 13-8…)

ඉහත විග්‍රහයන්ට අනුව කාන්තාවකගේ ගර්භාෂය තුල මාස 10ක පමණ කාලයක් පවතින එම (යුත්කානුව, කළලය, ආසක්ත ව්‍යුහය හා බිලිදා යන) අවදීන් පිලිබදව විද්‍යාවට එසේත් නැත්නම් මනුෂ්‍යාට තවම ඇත්තේ අවම වූ දැනුමක් පමණි. නමුත් ඒම විෂය පිලිබදව ශූද්ධ වූ කුර්ආනය කරන අනාවරණය අතිමහත්ය. එය තවත් හොදින් කියාපාන අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් කල ප්‍රකාශනයක් (හදීසයක්) මෙහි ගෙනහැර දැක්විය හැක. එනම්,

මවගේ කුසේ කළලයට මාස 04 ක් වූ තැන අල්ලාහ් (දෙවියන්) විසින් ඔහුට මෙලොව දී අවශ්‍ය සියල්ල නිර්ණය කරනු ලැබේ. එසේම ඔහුගේ ආයුකාලය, කාර්යභාරය, ඔහුගේ ක්‍රියාකලාපයන් හා අවසානය කෙසේ කවදා සිදුවන්නේද යන්නත් එහිදී නිර්ණය කරනු ලැබේ.

මුලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 7454

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසය හොදින් අධ්‍යනය කරන විට ශුද්ධ වු කුර්ආනය මඟින් මිනිස් කළලය පිලිබදව පවසන කරුණු සරල කාරණයන් ලෙස සැලකිය නොහැක. වර්ථමාන විද්‍යාව එහි “ලිංගය හා හැඩය” පිලිබදව ආඩම්බරින් කථා කරන විට මීට වසර 1400 කට පෙර ඉස්ලාම් වර්ථමාන විද්‍යාවට වඩා පියවර ගනනාවක් ඉදිරියට ගොස් ඉහත විෂය කථා කරයි. එය ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය හා හදීසය තුලින් මනාව පිලිඹිබු වුවත් එය වඩ වඩාත් පිලිඹිබු කරන 31-34 වාක්‍යය හි තවත් කාරණයක් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

ඉහත කුර්ආන් වාක්‍යයේ “…ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය…” යන්න අල්ලාහ් (දෙවියන්) පැවසීමේ දී ඒ සදහා භාවිතා කල වාක්‍යය වන්නේ “…وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ…” (වයඅහ්ලමු මාෆිල් අර්හාම්) යන්නයි. මෙහි අරාබි ව්‍යාකරන අනුව مَا (මා) යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍යයන් නොවන අනිකුත් ජීවි අජීවි වස්තූන්ය. මනුෂ්‍යයා සදහා අරාබි භාෂා ව්‍යාකරනයේ භාවිතා කරන වචනය වන්නේ “مَن(මන්)” යන්නයි. මේ අනුව ඉහත 31-34 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) “…ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය…” යනුවෙන් කථ‍ා කරන්නේ ගර්භාෂය තුල බිලිදකු ලෙස පරිපූර්ණව වැඩුණු වස්තූවක් පිලිබදව නොවන බව පැහැදිලිව වටහා ගතයුතුය. ශූක්‍රාණූ සංසේචනය වූ මොහොතේ සිට එම කළලය දරුවකු බවට පරිවර්ථනය වන අවදිය දක්වා වූ සියළු අවදීන් ඉහත ” مَا (මා)” යන්න තුල අන්තර්ගත බව මින් පැහැදිලිය. එසේ නම් මා ඉහතින් සදහන් කලාසේ සංකීර්ණ ක්‍රියාදාමයක අවසාන ප්‍රථිපලය වන ගර්භාෂයේ ඇති දරුවා දෙස බලාගෙන “ලිංගය හා හැඩය අපටත් කියන්න පුළුවන්” යයි පැවසීම කොතරම් නුවනක්කාර ක්‍රියාවක්ද? ඉහත 31-34 වාක්‍යය මඟින් මීට වසර 1400 කට පෙර කල විද්‍යාත්මක හෙලිදරව්ව සමඟ වර්ථමාන විද්‍යාත්මක සොයාගැනීම සංසන්ධනය කිරීම බුද්ධිමත් ක්‍රියාවක්ද? මේ සියල්ල තුලින් අනාවරණය වන ප්‍රධාන කාරණය නම්, මෙම විෂය සම්බන්ධයෙන් වර්ථමාන විද්‍යාව ඉක්මවූ ඥානයක් ‍අල්ලාහ් (දෙවියන්) සතුව පවතිනවා යන්නයි.

මෙහි 31-34 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සම්බන්ධයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ පිලිබදව කථා කිරීමට මත්තෙන් නැවතත් එම 31-34 වාක්‍යය වෙත ඔබේ අවධානය යොමු කරමි.

“(1)නියත වශයෙන්ම (යුග අවසන්) මොහොත පිලිබදව ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවියන්) හමුවේ පමණි. (2)ඔහුය වර්ෂාව පහල කරන්නේ. (3)ගර්භාෂයෙහි ඇති දෙය ඔහු දන්නේය. (4)තමන් හෙට දවසේ කුමක් උපයන්නේද යන්න කිසිවකුත් නොදන්නේය. (5)තමන් කුමණ ස්ථානයේ මියදෙන්නේද යන්න (ඔහු හැර) කිසිදු ජීවියෙකු නොදන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සියල්ල හොදින් දන්නේය.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය දෙස තවත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, එම වාක්‍යයේ සදහන් කරුණු 05 අතුරින් 1, 4, 5 කරුණු (හි යටින් ඉරි යොදා ඇති ස්ථානයට) ඔබේ බුද්ධිමත් අවධානය යොමු කරන්න. එම විෂයයන් තුන පිලිබදව පූර්ණ ඥානය ඇත්තේ දෙවියන්ට පමණක් බව පැහැදිලිවම ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරන නමුත් එහි 2 හා 3 කරුණු සම්බන්ධයෙන් එවැනි අදහසක් ඉදිරපත් නොකරයි.

මේ අනුව ඉහත කතෘ මෙම 31-34 කුර්ආන් වාක්‍යය පදනම් කරගෙන ඉදිරිපත් කරන ලද තර්කය අනිකුත් තර්කයන් මෙන්ම පදනම් විරහිත එකක් යන්න පමණක් නොව ශුද්ධ වූ කුර්ආනය විද්‍යාවට පවා පාඩම් කියාදෙන දිව්‍යමය පුස්තකයක් යන්නද මනාව තහවුරු කරයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම