ඉර, හඳ සහා ග්‍රහ වස්තූන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේ යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට මතභේදයක් නැත. නමුත් පරස්පරතාවයන් හෝ නොගැලපීමන් පවතිනවා යයි පැවසූ පමණින් එය පිලිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට තරම් මුස්ලීම්වරුන් අන්ධ භක්තිකයන් ද නොවේ. මුස්ලීම්වරුන් එලෙස ක්‍රියාකිරීම අවශ්‍ය යන්න ඉස්ලාම් දහමේ අපේක්ෂාවද නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ අවබෝධය තුලින් පිලිගෙන පිලිපැදිමය. එය ශුද්ධ වූ කුර්ආනයේ 47-24 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද?”

ඒ අනුව ඉස්ලාම් දහම පදනමකින් තොරව පූර්ව නිගමනවල හිද විවේචනය කරන ඉහත Blog කරුවාට හෝ ඔහු වැනි පිරිස් සදහා ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය බුද්ධිමත් ආකාරයට පැහැදිලි කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම්වරුන්ට ඇත. කවදත් එම මෙහෙවර නිවරැදිව හදුනාගෙන ඉටුකරන යහමඟ අඩවිය ඉහත එම චෝදනාවන් සදහා ද පිලිතුරු ලබාදීමට අදහස් කරමි. ඒ අනුව එම චෝදනාවන් මොනවාද? එය කොතරම් දුරට වලංගුද? යන්න දැන් එකින් එක විමසා බලමු.

…ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව,

036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).

මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි.

මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?

ඉහත තර්කයට අවධානය යොමු කිරීමට මත්තෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. ඒ ශුද්ධ වූ කුර්ආනය විද්‍යාත්මක ග්‍රන්ථයක් නොවන බව. නමුත් මෙම ශුද්ධ වූ කුර්ආනය තරමක් ගැඹුරින් අධ්‍යනය කරන විට එය අධ්‍යනය කරන පුද්ගලයාගේ දැනුම හා ඔහු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයට සාපේක්ෂව විවිධ අනාවරණයන් එය තුල දක්නට ලැබේ. විශේෂයෙන් විද්‍යාත්මක අනාවරණයන් බොහෝමයක් මෙම කුර්ආන් වාක්‍යයන් තුල අන්තර්ගතව ඇත. එහි ද තාරකා විද්‍යාවට විශේෂ තැනක් හිමිව ඇති බව කුර්ආනය හොදින් පරිශීලනය කරන විට පැහැදිලි වේ. එවැනි අනාවරණයක එක් අවස්ථාවක් තමා ඉහති කතෘ ඉදිරිපත් කරන 36-40 වාක්‍යය. මෙම වාක්‍යය නුතන විද්‍යාවේ ප්‍රබල සොයාගැනීමක් මීට වසර 1400කට පෙරම තහවුරු කරයි. නමුත් මා ඉහතින් සදහන් කලාසේ විද්‍යා ග්‍රන්ථයක් ලෙස සලකා විද්‍යාත්මක නිරීක්ෂණ හා නිගමන මෙම ශුද්ධ වූ කුර්ආනය තුලින් බලාපොරොත්තුවෙන්, එසෙත් නැත්නම් මෙම විෂය පිලිබදව විද්‍යාත්මක නිගමනය පිලිබදව අනවබෝධයෙන් නොඑසේ නම් “කෙසේ හෝ කුර්ආනය විවේචනය කලයුතුයි” යන එකම අරමුණින් තර්ක කිරීම නිසා මෙම ශුද්ධ වූ ග්‍රන්ථය අනාවරණය කරන බොහෝ සත්‍යයන් අවබෝධ කරගැනීමට නොහැකි වී යයි. එවන් වූ තවත් තර්කයක් තමා ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ. ඒ පිලිබදව දැන් පියවරින් පියවර විමසා බලමු.

…හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව…

ඉහත ලිපියෙහි කතෘ කුර්ආනයට චෝදනා කිරීමට යොදා ගන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 36-40 (ඉහත සදහන්) වාක්‍යයයි. ඔහු එම වාක්‍යය පදනම් කරගෙන කරන චෝදනාව නම්, “මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි…” ප්‍රථමයෙන් පැවසිය යුතු කාරණය මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වූ චෝදනාවක්. ශුද්ධ වූ කුර්ආනයේ කිසිදු තැනක හිරු පෘථිවිය වටා ගමන් කරන බව සදහන් කොට නැත. එසේ නොපවසනවා පමණක් නොව මීට වසර 1400 කට පෙර ඉහත ඔහු සදහන් මිත්‍යාව රජකල යුගයේ ඉස්ලාම් එහි සැබෑ ස්වභාවය විද්‍යාවට ද පාඩම් කියාදෙමිනි අනාවරණය කරයි. එවන් වූ මෙම කුර්ආනයට එහි කිසිදු ආකාරයකින් සදහන් නොවන කාරණයක් සදහන්ව ඇතැයි පැවසීම නොදැනුවත්කම නිසා හෝ ඉතා පහත් අන්තවාදී වූ මානසික තත්වයන් නිසා සිදුකරන්නකි. ඉහත ලිපියෙහි කතෘ තම තර්කය තහවුරු කිරීම සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙනහැර දක්වයි. එම ශුද්ධ වූ කුර්ආන් 36-40 වාක්‍යය පහත ආකාරයට වේ.

لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُون

“සූර්යයා හ‍ට චන්ද්‍රයා අභිබවා යා නොහැක. රාත්‍රියට දහවල පසුකර යා නොහැක. සෑම එකක්ම තම තමන්ගේ මාර්ගවල පිහිනා (යමින්) තිබෙන්නේය.”

මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය පරිවර්ථනය හා ඉහත ලිපියෙහි කතෘ ඉදිරිපත් කරන පරිවර්ථන අතර කිසියම් වෙනසක් ඇත. එනම් ඉහත 36-40 වාක්‍යයේ අල්ලාහ් දෙවියන් පවසන්නේ සෑම වස්තුවක්ම ගමන් කරන බවයි. ඒ සදහා අල්ලාහ් (දෙවියන්) කුර්ආනයේ භාවිතා කොට ඇති වචනය “සබඅහ්” (sabah) යන්නයි. එහි තේරුම “පීනනවා” යන්නයි. ඉහත කතෘ තම වාදය තහවුරු කිරීම සදහා එම වචනයට යොදා ඇති අරුථ “පාවෙනවා” යන්නයි. නමුත් පාවෙනවා යන්නට අරාබි වචනය වන්නේ “තාෆා” (thafa) යන්නයි. ඒ අනුව මෙය වැරදි අර්ථකතනයක් ලබාදීමකි. නමුත් සමහරක් කුර්ආන් පරිවර්ථනවල එම වචනයට “පාවෙනවා” යන අරුථ ලබාදී තිබෙනවා යන්න අමිහිරි වූ සත්‍යයකි. ඉහත 36-40 වාක්‍යයට ලොව ප්‍රකට ඉංග්‍රීසි කුර්ආන් පරිවර්ථන කිහිපයක සදහන් ආකාරය ඔබගේ දැනගැනීම පිණිස පහතින් ඉදිරිපත් කරමි. එනම්,

  • Sahih International

It is not allowable for the sun to reach the moon, nor does the night overtake the day, but each, in an orbit, is swimming.

  • Muhsin Khan

It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit.

  • Yusuf Ali

It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) swims along in (its own) orbit (according to Law).

  • Dr. Ghali

It does not behoove the sun to overtake the moon, nor does the night outstrip the daytime, and each is swimming in an orbit.

(පරිවර්ථනයක මෙවැනි දෝෂ කිසිවිටෙකත් නොවැලැක්විය හැකි කාරණයක් බවත් ලොව බොහෝ ආගමික ග්‍රන්ථවලට මෙම අවාසනාවන්ත තත්වය උදාවුණු බවත්, ඉන් ශුද්ධ වූ කුර්ආන් පරිවර්ථනවලට ද මීදීමට නොහැකි වුවා යන්නත් අමිහිරි වූ සත්‍යයකි. මේ පිලිබදව වැඩි විස්තර සදහා “ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය” යන ලිපිය කියවන්න.)

ඒ අනුව ඉහත අරාබි වචනයේ නිවරැදි පරිවර්ථනය විය යුත්තේ “පාවෙනවා” යන්න නොව “පීනනවා” යන්නයි. කිසියම් කෙනෙකු හට “මේ අරුත් දෙකම බොහෝ දුරට සමානයි නේ…” යයි සිතෙන්නට පුළුවනි. එසේ සිතේ නම් එය සම්පූර්ණ වැරදි නිගමනයකි. මන්ද “පාවෙනවා” යන වචනය තුල ගමන් කරනවා යන අදහස අන්තර්ගත නොවේ. නමුත් “පීනනවා” යන වචනය තුල පාවීම හා ගමන් කිරීම යන අදහස් දෙකම ගැබ්වී ඇත. ඒ අනුව මෙම සූර්යයා චන්ද්‍රයා ඇතුළු සියළු ග්‍රහවස්තූ විශ්ව අවකාශයේ පාවෙනවා පමණක් නොව එය ගමන් කරනවා යන්න ශුද්ධ වූ කුර්ආනය අපට මෙහි දී කරන මුල්ම අනාවරණයයි.

මෙම ස්ථානයේ සදහන් කලයුතු තවත් කරුණක් ඇත. එනම් ඉහත ලිපියෙහි කතෘ ශුද්ධ වු කුර්ආනයේ 36-40 වාක්‍යය මඟින් කථා කොට ඇත්තේ ඉර හා හඳ පිලිබදව පමණක් බව වක්‍ර ආකාරයට මතු කරමින් ඒ ඔස්සේ ඔහුගේ තර්කයන් ඉදිරිපත් කරයි. මෙය ඉහත කතෘට අත්දුටු කලාව බව ඔහුගේ Blog හි ලිපි කියවන බුද්ධිමත් පිරිස් හොදින් දන්නා සත්‍යයකි. (ඉහත 36-40 වාක්‍යයේ ඉර හා හඳ පමණක් සදහන් කිරීමට හේතුව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.) නමුත් ඉහත 36-40 වාක්‍යය අනාවරණය කරන්නේ නූතන විද්‍යාත්මක සොයා ගැනීමකි. එය ඉහත සරල පැහැදිලි කිරීමන්ට වඩා ගැඹුරු වූ කාරණයකි. එනම් ඉහත 36-40 වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) විසින් භාවිතා කරන්නේ “කුල්ලුන්” (kullun) යන වචනයයි. එහි තේරුම “සෑම වස්තුවක්ම” යන්නයි. මෙහිදී අවබෝධ කර ගතයුතු තවත් භාෂාමය කරුණක් ඇත. එනම් සිංහල භාෂාවේ මෙන්ම ලොව බොහෝ භෂාවල ඇත්තේ “ඒකවචන” හා “බහුවචන” යන කොටස් දෙකක් පමණි. නමුත් අරාබි භාෂාවේ මෙය කොටස් තුනකට බෙදේ එනම්,

  • (එකක් සදහා යොදාගන්නා) – ඒකවචන
  • (දෙකක් සදහා යොදාගන්නා) – ද්විවචන
  • (දෙකට වැඩි අගයන් සදහා යොදාගන්නා) – බහුවචන

ඒ අනුව ඉහත 36-40 වාක්‍යයේ යොදා ඇති “කුල්ලුන්” (kullun)යන වචනය තුන්වන කාණ්ඩයට එනම් දෙකකට වැඩි යන අදහස මතු කරයි. ඉහත වාක්‍යයෙන් පවසන්නේ ඉර හා හඳ පමණක් පිලිබදව නම් ඒ සදහා භාවිතා කරන අරාබි වචනය “කිලා” (kila) යන්නයි. ඒ අනුව ඉහත 36-40 වාක්‍යය පවසන කාරණය අවබෝධ කරගතයුතු වන්නේ “ඉර හා හඳ ඇතුළු සියළු ග්‍රහ වස්තුන් කිසියම් දිශාවකට ගමන් කරනවා යන්නයි” එසේ නොමැතිව “කුල්ලුන්” (kullun) යන්නෙන් අදහස් කරන්නේ ඉර හා හඳ යන දෙක පමණක් බවත්, “සබඅහ්” (sabah) යන වචනයෙන් අදහස් කරන්නේ “පාවෙනවා” යන්න බවත් පැවසීම වැරදි ආකාරයට භාෂාව හා එහි ව්‍යාකරණ භාවිතයකි. ඒ අනුව මීට වසර 1400 කට පෙර කුර්ආනීය අනාවරණය මෙන්ම වර්ථමාන විද්‍යාත්ම නිගමනය නම් “විශ්වයේ සියල්ල ගමන් කරනවා” යන්නයි. නමුත් එය “…හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ…” යනුවෙන් පවසා එම සත්‍යය අනාවරණය කිරීමට තහංචි දැමීම ඉහත කතෘගේ බොළදකම හා කුහකකම මනාව පිළිඹිබු කිරීමකි.

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සම්බන්ධයෙන් සදහන් කලයුතු තවත් විශේෂ කරුණක් ඇත. ඒ මෙම කුර්ආන් වාක්‍යය වර්ථමාන මානව ඇසින් විමසීමට පෙර මෙම වාක්‍යය පහල වූ යුගයේ මෙම විෂ්‍ය පිලිබදව එදා මානවයාගේ විද්‍යා දැනුම පිලිබදව කෙටියෙන් විමසා බැලීම ඉහත වාක්‍යය වඩාත් හොදින් වටහා ගැනීමට හේතුකාරණක් වනු ඇත. එදා අහස දෙස බැලූ මානවයාට බියගන්වන හා කුතුහලය උපදවන ග්‍රහවස්තු පැවතුනේ නම් එහි මුල්තැන හිමි වන්නේ ඉර හා හඳටය. එම වස්තූන් වටා ‍ෙගතුනු මිත්‍යාවන් හා පුරාවෘතයන් ද ඊට ප්‍රබල හේතුවයි. එවන් වූ අවධියක එම ඉර හා හඳ විශේෂ කොට අනිකුත් ග්‍රහ වස්තූන් ද එහි අන්තර්ගත (“කුල්ලුන්” (kullun) යනුවෙන් සදහන්) කොට එහි ගමන් මඟ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය කථා කිරීම ම විශ්මය ජනක කාරණයකි. එම විශ්මය ජනක අනාවරණය තුල “…ඒ එකින් එක අභිබවා යා නොහැක…” යන්න පැවසීම එහි විශ්මිත බව තවත් තහවුරු කිරීමකි.

දැන් ඉහත 36-40 ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කෙරෙහි නූතන මානව ඇසින් අවධානය යොමු කරමු. ඉහත වාක්‍යයෙන් අහසෙහි පවතින හිරු හා චන්ද්‍රයා ගමන් කරන බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. ඉහත එම වාක්‍යයෙන් පමණක් නොව මීට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ 13-2, 31-29, 35-13, 36-38, 39-5… යන වාක්‍යයන් මඟින් ද අහසෙහි පවතින වස්තූන් චලනය වන (ගමන් කරන) බව අවධාරනය කරයි. මීට සියවස් කිහිපයකට පෙර පෘථිවිය පිලිබදව විද්‍යාත්මක මතය විවිධ විය‍. එක්තරා කාල වකවානුවක පෘථිවිය පැතැලි යයි පවසන ලද විද්‍යාව, ඊට පසුව පෘථිවිය ගෝලාකාර බව පිලිගන්නා ලදී. ඊටත් පසුව පෘථිවිය කේන්ද්‍ර කරගෙන සියළු ග්‍රහ වස්තු (විශේෂයෙන් සූර්යයා) පෘථිවිය වටා චලනය වන බව විශ්වාස කල විද්‍යාව පසුව සූර්යයා ස්ථීරවම පවතිනවා පෘථිවිය තමා සූර්යයා වටා ගමන් කරන්නේ යයි විශ්වාස කරන ලදී. නමුත් අද වනවිට නූතන විද්‍යාවට මේ විශ්වය පිලිබදව විශේෂයෙන් සෞරග්‍රහ මණ්ඩලය පිලිබදව බොහෝ දෑ අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එහි පෘථිවිය පරිභ්‍රමණය හා සූර්යයා වටා භ්‍රමණය සිදුවන බවත්, සූර්යයා ද පරිභ්‍රමණය වන ගමන් පෘථිවිය ඇතුළු මූළු සෞරග්‍රහ මණ්ඩලයම “වේගා” (Vega) නම් වූ දිශාවකට දිනකට කිලෝමීටර් 17,280,000 (17280000 km/day) වේගයෙන් ඇදීයන බවත් සොයා ගෙන ඇත. දැන් මුළු ක්ෂීරපථයම නොව සෞරග්‍රහ මණ්ඩලයේ පමණක් පදනම් කරගෙන එහි ගමන් මාර්ගය උපකල්පනය කොට බලන්න. එය සූර්යයා කේන්ද්‍රය කරගත් කක්ෂයක් වටා චලනය වන (ග්‍රහ) වස්තූන් යයි සරල විග්‍රහයකින් පැහැදිලි කල හැකිද? එහි ඇත්තේ සර්පිලාකාර එසේම ඉතා සංකීර්ණ වූ මාර්ග ජාලයකි. එම ජාලය තුල ඉර හා හඳ හි ගමන් මඟ සාපේක්ෂව බැලීම නිසා 36-40 වාක්‍ය සම්බන්ධයෙන් විවිධ වූ තර්ක ඉදිරිපත් කිරීමට හැකි වුවද එහි පවතින සැබෑ තත්වය සැලකූ විට ඉහත තර්ක කොතරම් බොළද වූ තර්කයන්ද යන්න වටහා ගැනීම අපහසු නොවේ. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ 36-40 වාක්‍යය මඟින් සුර්යයාට චන්ද්‍රයා පසුකර යාමට නොහැක යන්නෙන් අදහස් කරන්නේ ඉහත කතෘ දන්න විද්‍යාවට අනුව හෝ අතීතයේ පැවතී ප්ලේටෝ විද්‍යාවට අනුව නොව ඔහු සහා ප්ලේටෝ පවා නොදැන සිටී වර්තමාන තාරකා විද්‍යාව අනුවය. එහි සූර්ය හා චන්ද්‍ර ගමන් මඟ ඉතා සංකීර්න එකකි. එවන් වූ සංකීර්ණ ගමන් මඟක් තුල පවා එකින් එක අභිබවා නොගොස් පෙර සැලසුම් පරිදි නියමිත දිශාවක් කරා ඇදීයාම තමා ඉහත 36-40 වාක්‍යය මඟින් අනාවරණය කරන්නේ.

ඒ අනුව නූතන විද්‍යාව මෑතක දී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සත්‍යය, දිව්‍යමය වචන (දේව පණිවුඩ) බව පවසමින් කිසිවක් නොදන්නා මුහම්මද් (සල්) තුමාණන් විසින් මීට වසර 1400 කට පෙර පැවතී සමාජයට සරල ලෙස ප්‍රකාශ කලා නම් පැහැදිලිවම එය එතුමාගේ හැකියාව නොවේ. එසේ නම් මේ කාගේ වචනද? එය ඉහත ලිපියෙහි කතෘගේ විග්‍රය තුලම අන්තර්ගතය එනම්,

“…මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ…”

මේ ප්‍රකාශය තුල මුහම්මද් (සල්) තුමාණන්ගේ නොහැකියාව මෙන්ම සර්ව බලධාරී අල්ලාහ් (දෙවියන්) හට වැරදීම් සිදුවිය නොහැකි යන්න ඔහු පිලිගනී. ඉහත කුර්ආනීය අනාවරණය විද්‍යාවට පරස්පර නොවූ එසේම එදා (මීට වසර 1400 කට පෙර) පැවතී මිනිස් බුද්ධියට කිසිසේත් ගෝචර විය නොහැකි දිව්‍යමය අනාවරණයක් බව ද පැහැදිලිය. ඒ අනුව නූතන විද්‍යාත්මක සොයාගැනීම මීට වසර 1400 ක‍ට පෙර අනුමත කල ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය අනාවරණයකි. එවන් වූ සත්‍ය දහම බබළ වන ආශිර්වාදයක් බවට විද්‍යාව පත්ව ඇත.

(ඉහත 36-40 වාක්‍යයේම පවසන “…රාත්‍රියට දහවල පසුකර යා නොහැක…” යන්න පිලිබදව පැහැදිලි කිරීම මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/14

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම