අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලංකා මාතාව ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පරපෝෂිතයන්ගේ ආක්‍රමණයකට සම්පූර්ණයෙන් ම වාගේ නතුවූ අවධියකුයි මේ අප පසුකරමින් සිටින්නේ. මැතිවර්ණ සමයක් ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ඉහත පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය දවසින් දවස උග්‍රවෙමින් ඇත. මෙම පරපෝෂිතයන් හට කිසිදු හිරිකිතයක් තොරව සහය දක්වන බහුතර ජනයාද, ජනමාධ්‍යයන්ද මෙම රටේ අවාසනාවන්ත ඉරණ ම මනාව කියාපාන සාධකයකි. රට තුල ජාතිවාදය ආගම්වාදය මතු කරමින් තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගන්න වෙරදරන මේ පරපෝෂිතයන් විනාශ කරන්නේ ශ්‍රී ලක්මාතාව හා ඒ තුල සහජීවනයෙන් වෙසෙන ජනතාවගේ හඳවත යන්න ඔවුන් නොදන්නවා නොවේ.

මේ රටේ අති බහුතර ජනයා ජාතිවාදී හෝ ආගම්වාදී නොවේ. නමුත් ඔවුන් දැන හෝ නොදැන ඉහත සදහන් පරපෝෂිතයන්ගේ කුමණ්ත්‍රනවලට හසු වී ඇති බව ඔවුන්ට නොවැටහේ. ඔවුන් සිතන පතන ආකාරය ඔවුනට හෝ රටට අවශ්‍ය ආකාරයට නොව මේ රටේ පරපෝෂිතයන්ගේ අරමුණු ඉටු වන ආකාරයට යන්න ඔවුනට නොතේරෙන තැනට ඔවුන්ගේ මනස විකෘති කර ඇත. සාමාන්‍ය බුද්ධියකින් වූවත් අවබෝධ කරගත හැකි බොහෝ කරුණූ කාරණා මේ විකෘතිය තුල අවබෝධ කරගැනීමට අද මේ රටේ බහුතර ජනතාව අපොහොසත් වි ඇත. එයට එක් සරල නිදසුනක් පවසන්නේ නම්,

එක් දේශපාලන පරපෝෂිතයකු මේ රටේ හමුදාව ඝාතනය කල ආකාරය ප්‍රසිද්ධියේ ආඩම්භරයෙන් පවසමින් තමන්ට ඡන්දය ලබාදෙන ලෙස තම ජාතියෙන් ඉල්ලයි. එම දේශපාලන පරපෝෂිතයා නියෝජනය කරන පක්ෂයේ තවත් කෙනෙකු වසර 30ක් මුළුල්ලේ මේ රටට සාපයක් වූ කොටින් විනාශ කොට රට මුදවාගත් තමන්ට ඡන්දය ලබාදෙන ලෙස තම ජාතියෙන් ඉල්ලයි.

මෙවැනි නිදසුන් මේ රටේ දේශපාලන පක්ෂ සියල්ලකින්ම වාගේ ගෙනහැර දැක්විය හැක. නමුත් වර්ථමානයේ රට උණූසුම් කොට ඇති ඉහත නිදසුන පමණක් මෙහි ඉදිරිපත් කරන්නේ ‘බුද්ධිමත් ජනයාට මේ එකත් ප්‍රමාණවත් අවදිවීම පිණිස’ යයි සිතන නිසාය. (මෙතැනදී කිවයුතු කාරනයක් ඇත. එනම්, යහමග අඩවිය කිසිදු අවස්ථාවක පක්ෂ දේශපාලනය නොකරන නිසා ඉහත නිදසුන හි නම්-ගම් ඉදිරිපත් කොට නැත.) මෙහි මේ රටේ ජනතාව බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනය වන්නේ ඉහත පරපෝෂිතයන් තම ජාතිය නියෝජනය කරන ජනයාගේ (ජාතිවාදී) ඡන්දය ලබාගන්න එවැනි ප්‍රකාශයන් කලායයි සිතුවත්, මේ පරස්පර පරපෝෂිතයන් දෙදෙනා එකම පක්ෂ ප්‍රතිපත්තියක් වටා ඒකරාශි වූනේ කොහොමද? යන්නයි. මේ තුලින් පැහැදිලි වන සත්‍යය නම්, තමන්ට අවශ්‍ය බලය දිනාගැනීමටත්, තම පැවැත්ම ආරක්ෂා කරගැනීමටත් ඉහත ආකාරයේ පරපෝෂිතයන් මේ රටේ ජනතාව එකින් එකා අතර වෛරය, නොසතුට, සැකය… යනාදීය ඇති කොට ඔවුන් භේදකොට, කොටවමින් අතීතයේ සිට මේ රටේ පැවතී සහජීවනය නම්, ලක් මාතාවගේ සාරය උරා බොන බවයි.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටින අති බහුතරයක් දේශපාලඥයින් (නොහොත් පරපෝෂිතයින්) මේ රටට හෝ රටේ ජනතාවට ආදරය නොකරනවා යන්නත්, රටට, රටේ ජනතාවට ආදරය කරන පක්ෂවලට ජනතාව බලය නොදෙනවා යන්නත් මේ රටේ දේශපාලනය පිලිබදව කල අධ්‍යනයක් තුලින් (යහමග)මා අවබෝධ කරගත් යථාර්තයයි. ඒ අනුව කිසිදු අවස්ථාවක පක්ෂ දේශපාලනය නොකරනවා යන්න යහමග දැඩි ස්ථාවරයයි. පක්ෂ දේශපාලනය නොකලත් දේශපාලන කරුණු ‘දේශපාලනය’ නම් යහමග ගොනුව තුලින් ඉදිරියටත් සාකච්චා කරන පොරොන්දුව ඇතුව මෙම ලිපියේ තවත් අදියරකට යොමු වෙමි.

මේ රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්දයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දය වන්නේ ‘මහ මැතිවර්ණ’ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ, එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තු සාමාජිකයින් තෝරා පත් කිරීම මේ ඡන්දය තුලින් සිදු කෙරේ. එම වටිනා තීරණාත්මක අවස්ථාව මේ රටේ බුද්ධිමත් ජනයාට දැන් උදාවී ඇත. එහිදී තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කොට රටට සේවයක් කලහැකි විද්වතුන් තෝරා පාර්ලිමේන්තුවට යැවීම පොදු ජනයාගේ වගකීම හා යුතුකමයි. තමන්ගේ වගකීම නිවැරදිව අවබෝධ කරගෙන පක්ෂ පාට නොබලා රටට ජනතාවට ආදරය කරන බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවනවාද? නොඑසේ නම්, පරම්පරාගත, සම්ප්‍රදායක, හෝ ජාතිවාදී-ආගම්වාදී කතිරය ගසමින් පරපෝෂිතයන් ශක්තිමත් කරනවාද? දැන් තීරණය ඔබේ අතේය.

විශේෂයෙන් මෙතැනදී මුස්ලීම් ජනතාවගේ අවදානයට ගෙන ආයුතු කාරණයක් ඇත. එනම්, මේ රටේ මුස්ලීම් ජනතාව සුළුතරයක් වූවත් අද සියළු පක්ෂ දේශපාලන වේදිකාවල මාතෘකාව මුස්ලීම්වරුන්ය. පිරිසක් මේ රටේ මුස්ලීම්වරුන් රටට ම මහා විනාශයක් කරන්නට සැරසෙන පිරිසක් ලෙස හුවාදක්වමින් එය වලක්වන්න බලය දෙන ලෙස ඉල්ලයි. තවත් පිරිසක් මේ රටේ මුස්ලීම් ජනතාව සම්පතක් ඔවුන් යහපත් පිරිසක් යයි පවසමින් මේ රටේ සාමකාමී පරිසරයක් ගොඩනඟන්න අපට බලය දෙන්න යනුවෙන් ඉල්ලයි. තවත් පිරිසක් මේ කිසිවක් නොදන්නා ලෙස මුස්ලීම් ජනතාව ගැන වචනයක් හෝ කථා නොකිරීමට පරිස්සම් වෙමින් සියළු ජාතීන්ගේ කැමැත්ත දිනාගනිමින් ජනතාවට සේවය කරන්න බලය ඉල්ලයි. මේ පාර්ශවයන් තුනම එකම පක්ෂය තුල මෙන්ම විවිධ පක්ෂවලද දකින්නට තිබීම හාස්‍ය ජනක මෙන්ම අවාසනාවන්ත තත්වයකි.

මෙතැනදී ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට ද කිවයුතු කාරණයක් ඇත. එනම්, මෑත කාලයක පටන් මුස්ලීම් ජනතාවගේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව සදහන් වේ. විශේෂයෙන් කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දු නොවන බව සදහන් වේ. ඉතිහාසය දෙස බලන විට ජනාධිපතිවර්ණ හා මහා මැතිවර්ණ වලදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දළ වශයෙන් 40% ක් පමණක් වන බව සදහන් වේ. එසේ වූවත් 2015/01/08 ජනාධිපතිවර්ණයේ දී මෙම ප්‍රතිශතය 95% දක්වා වර්ධනය වූ බවද සදහන්ය. මෙයින් පැහැදිලි වන්නේ තීරණාත්මක අවස්ථාවල මුස්ලීම් ජනතාව තම වගකීම රට වෙනුවෙන් සක්‍රියව ඉටුකොට ඇති බවයි. එහිදී ඔවුන් ගත් තීන්දුව නිවැරදිද? යන්න අද බුද්ධිමත්ව විමසා බැලිය යුතුව ඇතත්, ඔවුන් තම වගකීම ඉටුකලා යන්න පිලිබදව සතුටු වියහැක.

ඒ ආකාරයටම නැවතත් තම වගකීම ඉටු කලයුතු අවස්ථාවක් අප ඉදිරියේ දැන් උදාවී ඇත. එහිදී පක්ෂ-පාට හා ජාති-ආගම් නොබලා රටටත්, රටේ ආනාගත පරපුරටත් යහපතක් කලහැකි පිරිස පමණක් තෝරාගෙන දේශාපාලන පරපෝෂිතයන් මේ ලක්දෙරණින් තුරන් කර දමන බුද්ධිමත් හා විශිෂ්ඨ තීන්දුවක් ගතයුතුව ඇත.

එය අල්ලාහ් (දෙවි) ද අල්කුර්ආනයේ අවදාරනය කරන ලෙස. එනම්,

…නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරන්නේය…

ශුද්ධ වු කුර්ආනය 2-195

එසේනම් අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ, මේ රට බහුතරයක් බෞද්ධයන් වෙසෙන බුදුදහමට මූලිකත්වයක් දෙන ඊට අමතරව හින්දු, කිතුණු හා ඉස්ලාම් වැනි ආගම් ද ඇදහීමේ නීත්‍යනුකූල අයිතිය හිමි බහු ජාතීන් හා බහු ආගමිකයන් වෙසෙන ප්‍රජාතාන්ත්‍රවාදී රටකි. මේ රට තුල මුස්ලීම් ජනතාව සුළුතරයක් වූවද ඔවුන්ගේ ආගමික හා පුද්ගල නිදහස අතීතයේ පටන් ඉතා සුරක්ෂිත වුණි. විටින් විට සුළු සිද්ධීන් වාර්ථා නොවූවා නොවේ. නමුත් එවැනි අවස්ථාවල එවකට පාලකයින් සාධාර්ණ මැදිහත්වීමන් සිදුකරමින් එම තත්වයන් පාලනය කරණ ලදී. එවැනි සාමකාමී පරිසරයක් නැවතත් මේ රට තුල නිර්මාණය වීමට නම්, රටේ සියළු ජනතාව තම දෑතින් තමන්ගේ විනාශය ඇති නොකොට විශිෂ්ඨ අයුරින් තම තීන්දුව ගතයුතුය යන්න පවසමින් මෙම ලිපිය අවසන් කරන්නේ ‘අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය’ යන්න නැවත නැවතත් අවදාරනය කරමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම