දේශපාලන ආධාරකරුවෙකු වීමට පෙර සිතන්න

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල “චැනල් 4“ මාධ්‍ය ආයතනය විසින් අනාවර්ණය කරන පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවතී බවට ඉදිරිපත් කරන (වීඩියෝ) වාර්ථාව ශ්‍රී ලාංකීය සමාජය තුල උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. මෙලෙස ඉදිරිපත් වී ඇති එම චැනල් 4 අනාවර්ණය සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂව හා විපක්ෂව විවිධ මත සමාජ මාධ්‍යයන් හා වෙබ් අඩවීන් තුල පුළුල්ව සාකච්චා වෙමින් ඇත. නමුත් මේ සියල්ල තාවකාලික කථිකාවන් පමණක් බවත්, එය “හිරු දුටු පිනි” මෙන් කෙටි කාලයකින්ම සමාජය තුල යටපත් වී යනවා යන්නත් මේ රටේ දේශපාලන හා බහුතර පොදු ජනයාගේ හැසිරීම පිලිබදව කියවීමක් ඇති ඕනෑම කෙනෙකු හොදින් දන්නා කාරණයකි. මනුෂ්‍යත්වය, සාධාර්ණය අගයන්නේ නැති, එයට ගරු කරන්නේ නැති අවස්ථාවාදී වූ බහුතරයක් වෙසෙන මේ සමාජ රටාව තුල මෙවැනි “චැනල් 4” අනාවර්ණ ඇත්තෙන්ම සමාජ මාධ්‍යන් හා බ්ලොග් (Blog) හි “පොර ටෝක්” දෙන පිරිසට වටින තරම්වත් මේ රටේ බලධාරීන්ට වැදගත් නොවෙනු ඇතැයි යන්න මාගේ ද විශ්වාසයයි.

ලොව රටවල් අතුරින් ආර්ථිකමය හා සමාජීය වශයෙන් ඉතා පහත් තැනකට වැටී තිබෙන අප රටට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් උදාවීමට රටේ පාලකයින් මෙන්ම ඔවුනට ආවැඩූ ජනතාව ද ප්‍රධාන හේතුවකි. ජාති, පක්ෂ, පාට, ආගම්... යනාදීය සහ වෙනත් ලෞකික පටු අරමුණු වෙනුවෙන් "ඇත්ත නැත්ත නොසොයා පැත්ත ගෙන" අප රටේ පාලකයින්ට සහ නායකයින්ට කඩේ යන ආධාරකරුවන් වීමේ විපාකය අද රටම අත්විඳිමින් ඇත. මෙලෙස දුරදක්නා නුවණක් නැතුව පටු අරමුණුවල හිඳ කටයුතු කරන පිරිසට එහි ද විශේෂයෙන් මේ රටේ මුස්ලීම් ප්‍රජාවට කිවයුතු කාරණයක් ඇත. ඒ, ලෞකික දිවියේ පටු අරමුණු වෙනුවෙන් ඉහතින් සදහන් පාලකයින්ට සහ නායකයින්ට කඩේ යන ඔබලාගෙන් බොහෝ දෙනෙක් ඉස්ලාමය අමතක කර එය නොසලා ඔවුන් පසුපස යමින් සිටින බවයි. මෙලෙස වගකීම් විරහිතව සමාජය තුල කටයුතු කරන පාලකයින්ට සහ ආධාරකරුවන්ට එරෙහිව ඉස්ලාම් දහම බොහෝ අවවාදයන් සමාජයට කර ඇත. එවැනි අවවාදයන් කිහිපයක් මෙම ලිපිය තුලින් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ඒ අනුව, එවන් වූ අවවාදයක් වෙත ඔබේ බුද්ධිමත් අවදානය මෙහි යොමු කරන්නේ නම්,

නබි (සල්) තුමාණන් මෙසේ පැවසීය: "සැබැවින්ම, මාගෙන් පසුව ද පාලකයන් සිටිනු ඇත, එබැවින් ඔවුන්ගේ බොරු (මුලාව, රුවටීම සමාජය තුල සත්‍යයක් බවට) තහවුරු කිරීමට කටයුතු නොකරන්න, ඔවුන්ගේ වැරදිවලට උදව් උපකාර නොකරන්න. යමෙක් ඔවුන්ගේ බොරුව සනාථ කර ඔවුන්ගේ වැරදි ක්‍රියාවන්ට උදව් කරන්නේද, ඔහු (හව්ලුල් කව්සර් නම්) උල්පතේදී මා වෙතින් ඉවතට හරවා යවනු ලැබේ.”

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබුනු හීබ්බාන්

ඉහත නබිවදන තුල පැවසෙන “උල්පත” පිලිබදව ද මෙහි කෙටි හැදින්වීමක් කලයුතුව ඇත. එනම්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මරණින් මතු නැගිට්ටු වන විනිශ්චය දිනයේ සියළු පුද්ගලයන් දැඩි පිපාසිතව නැගිට්ටුවනවා යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එහිදී මෙලොව යහකම් කල පිරිසට නබිතුමාණන් “කව්සර්” නම් දිය උල්පතක් අසල හිඳ පානයට දිය පොදක් පානය කිරීමට ලබාදෙනු ලබනවා යන්නත් ඉස්ලාමයේ ඉගෙන්වීමයි. ඒ පිලිබදව පැවසෙන අල්හදීසයක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

නබි (සල්) තුමාණන් පැවසූහ, “මගේ දිය උල්පත අදාන් සහ උමාන් අතර දුර තරම් විශාල වන අතර එහි අහසේ තරු තරම් කෝප්ප ද ඇත. එම උල්පතින් දිය පානය කරන තැනැත්තාට නැවත සදහටම පිපාසය ඇති නොවේ...”

මූලාශ්‍ර ග්‍රන්ථය - අල්-මජම්උල් කබීර්

ලොව වෙසෙන සෑම මුස්ලීම්වරයෙකුගේම ඒකායන පැතුම විනිශ්චය දිනයේ මුහම්මද් (සල්) තුමාණන්ගේ දෝතින් “කව්සර්” නම් තටාංගනයෙන් දිය බිඳක් පානය කිරීමයි. එම භාග්‍යය අහිමි කරවන ඉහතින් සදහන් කෲර පාලකයින්ගේ සහ නායකයින්ගේ ආධාරකරුවන් වීමේ පාපය පිලිබදව නබිතුමාණන් තවත් අවස්ථාවක අවවාද කිරීමේ දී මෙසේ ද පවසන ලදී.

නබි (සල්) තුමාණන් මෙසේ පවසන ලදී, “මගෙන් පසුව මිනිසුන් මුළා කරන පාලකයින් බිහිවනු ඇත. යමෙක් ඔවුන්ගේ බොරුව සනාථ කර ඔවුන්ගේ වැරදිවලට උදව් කරයිද, මා ඔහුගෙන් ප්‍රතික්ෂේප වෙමි, ඔහු මාගෙන් ප්‍රතික්ෂේප වේ. යමෙක් ඔවුන්ගේ බොරුව සනාථ නොකරන්නේ ද, ඔවුන්ගේ වැරදිවලට උදව් නොකරන්නේ ද, මම ඔහුගේ කොටසක් වන අතර ඔහු මගේ කොටසක් වේ.”

මූලාශ්‍ර ග්‍රන්ථය - ඉබන් හීබ්බාන් සහ අහමද්

ඉහත අවවාදයන් හොදින් සහ බුද්ධිමත්ව අධ්‍යනය කලේනම්, අප රටේ වත්මන් පාලකයින්ට සහ නායකයින්ට ආධාරකරුවන් වීමට පෙර මුස්ලීම්වරයෙකු කොතරම් ඒ පිලිබදව සැලකිලීමත් වියයුතු වනවාද යන්න පැහැදිලි වනු ඇත. එසේනම්, අරාජික අවස්ථාවාදී දේශපාලනය තුල ඔබත් ගිලී වැනසෙනවාද? නොඑසේනම් මේ ලෞකික දේශපාලන පටු අරමුණුවලින් ඈත් වී යහපත් සමාජයට වැඩදායී මුස්ලීම්වරයෙකු ලෙස ජීවත් වී විනිශ්චය දිනයේ නබිතුමාණන් අතින් කව්සර් උල්පතින් දිය බිඳක් පානය කිරීමේ භාග්‍යය හිමිකර ගන්නවාද? ඒ බුද්ධිමත් තීන්දුව ඔබට භාර කරමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/09/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම