මරණයකදී ප්‍රීති වන අප රටේ දේශපාලන සංස්කෘතිය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ රටේ දේශපාලනය කොතරම් නරුම දිශාවකට යොමුව තිබෙනවාද? යන්න මනාව කියාපාන සිදුවීම් ගණනාවක් ශ්‍රී ලාංකීය දේශපාලන රාමුව තුල පසුගිය කාලය පුරාවට නිතර අසන්නට හා දකින්නට ලැබේ. (මේ පිලිබදව යහමග අඩවියදේශපාලනය යන ගොනුව යටතේ විටින් විට කරුණු සාකච්චා කොට ඇත.) මේ රටේ දේශපාලන රාමුව තුල සිදු වූ හා සිදු වෙමින් පවතින සමහරක් සිද්ධීන් තරමක් ගැඹූරින් විමසා බලන්නේ නම්, එනම්, රටේ එක් දේශපාලඥයෙකු මරණයට පත් වනවිට රටේ ජනතාව ප්‍රීති ඝෝෂා නැඟීමත්, තවත් දේශපාලඥයෙකු මරණයට පත් වූ විට රටේ ජනතාව දුක්වීමත්, මේ රටේ දේශපාලන ආරජිකත්වය සහ අසාර්ථකත්වය පමණක් නොව එම දේශපාලඥයන්ගේ ජනතා විරෝධි නරුම ක්‍රියා කලාපයත් එයට තිබෙන ජනතා විරෝධයත් මනාව කියාපායි.

මෙම අරාජික තත්වය යහමග අඩවිය අවස්ථා ගණනාවකදීම සාකච්චාවට ගැනීමට අදහස් කලත්, ඒ සදහා සුදුසුම මොහොතක් උදාවන තුරු බලා සිටීමට සිදුවිය. එම මොහොත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයෙන් උදා වී ඇතැයි මට සිතේ. තක්කඩි දේශපාලඥයින්ගෙන් පිරී ගොස් රටම දේශපාලන මඩ ගොහොරක්ව පවතින මොහොතක එම මඩ ගොහොරේ පිපුණු නෙළුම් මලක් වැනි යහපත් දේශපාලඥයින් ද කිහිප දෙනෙකු සිටින බවත්, ඔවුනට ජනතාව අසීමිතව ආදරය කරන බවත් පාලිත තෙවරප්පෙරුම මහතා තම මරණය තුලින් මේ රටේ දේශපාලඥයින්ට අද ඔප්පු කොට පෙන්වා ඇත.

රටේ දේශපාලඥයෙකුගේ වියෝවකදී සතුටුවන, රතිඥ්ඥා පත්තු කරන, කිරිබත් උයන... දේශපාලන සංස්කෘතියක් අපේ රටේ පවතිනවා යන්න අපට අලුත් කාරණයක් නොවේ. එයට නිදසුන් ඕනෑ තරම් මේ සමාජය තුල දෛනිකව දැකගත හැක. එයට නිදසුන්කි දෙකක් ඔබේ විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

  • 1993/05/01 දින රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු පිරිසක් කොළඹ ආමර් වීදියේදී LTTE බෝම්බ ප්‍රහාරයකින් කැලිවලට කැඩිලා ගිය අවස්ථාවේදී මේ රටේ ජනතාව ප්‍රීතිඝෝෂා නඟමින් කිරිබත් උයපු ආකාරය මෙහි සදහන් කල හැක.
  • 2024/01/25 සනත් නිශාන්ත හදිසි අනතුරින් මරණයට පත් වූ විට රටේ බහුතර ජනතාව එයට ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූ ආකාරයත් අප අන්තර්ජාලය තුල දුටුවෙමු. (නිදසුනකට “ලංකාදීප“ වෙබ් අඩවියේ පලවූ “රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි“ යන ලිපියට ඉදිරිපත් වී ඇති පාඨක ප්‍රතිචාරය කියවන්න. (මීට අමතරව එම මරණයේ පුවත පලවූ ඕනෑම වෙබ් ලිපියක පාඨක ප්‍රතිචාරය කියවා බලන්න.))
  • මීට අමතරව මේ රටේ ජනතා නායකයින් හෙවත් දේශපාලඥයින් කීදෙනෙකු නම් මැරෙන තුරු මේ රටේ ජනතාව ඉතා ඹ්නෑකමින් එම සතුටුමත් මොහොත සමරන්න බලා සිටිනවාද? යන්න මා මෙහි විස්තර කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි.

මෙසේ මා කරුණු පෙලගසන විට මේ රටේ දේශපාලඥයින් පමණක් නොව රටේ ජනතාවත් නරුම අන්දමින් කටයුතු කරනවා නොවේද? යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඇත්ත අප දියුණු සංස්කෘතීයකට සහ යහපත් ගුණධර්මයන්ට උරුමකම් කියන ජාතියක් බවට පිටු ගණන් සහ පොත් ගණන් ලියූවත් සැබෑවට ම අප එසේ නොවන බව අප විසින්ම ඔප්පු කරමින් සිටින බවට ඉහත නිදසුන් කදිම සාක්ෂියකි. නමුත් මෙම නරුම තැනට මේ රටේ ජනතාව යොමු කලේ මේ රටේ නරුම දේශපාලඥයින් ම බව නම්, ඔවුනට කිසිදු විටෙක ප්‍රතික්ෂේප කල නොහැක. කෙසේ වෙතත් මේ රටේ ජනතාව රටේ දේශපාලඥයින් තරම් නරුම නොවන බව නම් මෙහි සදහන් කලයුතුම කාරණයකි. මා එසේ පැවසීමට කඳිම සාක්ෂිය ඉහතින් කී පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය මූලික කරගෙන මේ රටේ ජනතාව දැක් වූ ප්‍රතිචාරයි. එතුමාගේ මරණයේ පුවත “ලංකාදීප“ වෙබ් අඩවියේ “පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට“ යන මාතෘකාව යටතේ පලවූ විට එයට ලැබූ ජනතා ප්‍රතිචාර ඉදිරිපත් වී තිබූ ආකාරය මෙහි පහතින් මා පෙලගසමි. එනම්,

උපුටා ගැනීම - පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට යන “ලංකාදීප“ වෙබ් අඩවියේ ලිපියට පාඨක ප්‍රතිචාර පහත ආකාරයට වේ.


  •  ඉතාමත් කණගාටුයි. නිවන්සැප ලැබේවා..!
  •  අයියෝ පව්. මොනවා වුණත් මිනිස්සුන්ට උදව් කළ වැඩ කළ කෙනෙක්... ගිය ඡන්දෙන් පරාද වුනේ unp එකෙන් ඉල්ලපු නිසයි... unp, එකට වැදුණු සාපය මෙයාටත් පරාද වෙන්න හේතු වුනේ. වෙන පක්ශයකින් ඉල්ලුවා නම් ස්තිරවම දිනනවා. නිවන් සුවය ලැබේවා..!
  • ඔබතුමාට නිවන්සුව ලැබේවා
  • එකත් එකටම හොරෙන් විදුලිය ගන්න යන්න ඇති.ඒ උනත් පොතේ හැටියට නම් පොහොර බාපු මිනිස්සුයි විදුලිබල මණ්ඩලේ කට්ටියයි විමලසුරේන්ද්‍ර මහත්තයා පණපිටින් උන්නානම් එයාවයි පොලිස්පතිගේ විශේෂ නියෝගයක් යටතේ අත්අඩංගුවට ගන්න ඕන
  • දන්න එකටයි, නොදන්නා එකටයි මේ වගේ කියන්න එපා. ඒ මිනිහා හරිම හොඳ අවංක මනුස්සයෙක්...
  • මෙතුමා හොඳ මනුස්සයෙක්... ඔහොම කතා කියන එක වැරැදියි.
  •  නරක දේට නරක වගේම හොඳ දේට හොඳයි කියන්න බැරි කුහකයින්ට විතරයි.
  • හරි හෝ වැරදි දේ කෙලින් කරපු මනුස්සයෙක් .ඔබට සුභ ගමන්
  • මැරෙන බව අමතක නොකළ දේශපාලකයෙක්. එවන් දේශපාලකයෝ දුලබයි. අවසන් හුස්ම යනකම් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අයට මෙතුමා ආදර්ශයක්..... ඔබතුමාට නිවන්සුව පතමු.
  • හරිම කණගාටුදායකයි .පොළවේ පය ගහලා ජීවත් වූ අවන්ක මනුස්සයෙක් .නිවන්සුව ලැබේවා !
  •  හිත හොඳ මිනිහෙක්. ඉතා කණගාටුදායක සිද්දියක්. නිවන් සැප ලැබේවා.
  • මෙම අවකාශයේ මුද්‍රණය කිරීමට වචන නැත. උන්වහන්සේ සමාදානයේ සැතපේවා
  • චන්ඩියෙක් උනත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්. නිවන් සුව ඔබතුමාට.
  • ඉතාම කනගාටුදායක දෙයක්.එතුමා සාමාන්‍ය මිනිස්සු එක්ක හිටපු,ඒ අතරින් මතු උනු කෙනෙක්.මිනිස්සුන්ට ගොඩක් උදව් කලා.කලුතරට එන ඕනිම කරදරේකදි එතුමා පෙරමුණ අරන් උදව් කලේ.ගිය චන්දෙන් එතුමා පරාද උනේ unp එකෙන් ඉල්ලපු නිසයි.unp එකට තිබ්බ ජනතා විරෝධය නිසයි පරාද උනේ.වෙන පක්ශයකින් ඉල්ලුව නම් එතුම අද මන්ත්‍රීවරයෙක්.අව්‍යාජ පුද්ගලයෙක්.නිවන් සුවය ලැබේවා.
  •  මෙතුමා ආදර්ශමත් සැබෑ ජනතා සේවකයෙක්, ජාති ආගම් භේදයකින් තොරව සේවය කල මහත්මයෙක්. එතුමාගේ භාෂා ශෛල්‍ය සහ හැසිරීම තරමක් රැඩිකල් වුනාට අවංක මනුස්සයෙක්. කොරෝනා සමයෙත්, අලුත්ගම ගැටුම සමයෙත් එතුමාණන් ජාති ආගම් භේදයකින් තොරව කල සේවය වර්ථමාන තක්කඩි දේශපාලඤයින්ට අපූරු ආදර්ශයක්. සමහරක් දේශපාලඤයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඤයින් මිය යද්දී දුක්වීම තුල වර්ථමාන දේශපාලඤයින්ට සිතන්න බොහෝ දෑ ඉදිරි කොට ඇත. - තෙවරප්පෙරුම මහතාණෙනි!, ඔබට සුබ ගමන්.
  • මිනිස්සුන්ට බෙහෙවින්ම ආදරය කරපු ,මිනිස්සුන්ගේද ආදරය නොඅඩුවම ලැබූ හොඳ මනුස්සයෙක් .එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
  • දේශපාලකයින් අතර සිටිය ඉතාමත් හොඳ මනුස්සයෙක් ,හැමවෙලේම නැති බැරි මිනිස්සුන්ට උදව් කරා .ඔබ වනි අය නැවත උපදින්න මොනවාහරි කුසලතාවක් අරගෙන එන්න අපේ රටටම ,නිවන් සැප ලැබේවා පාලිත
  • හොඳ මිනිහට ආයුෂ අඩුයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුෂ්‍යයෙක්.
  • මේ කමෙන්ට්ස් වලට ඩිස්ලයික් කරන්නේ මොන වගේ මානසික මට්ටමක ඉන්න අයද? ස්ථිර ලෙසම jvp විය යුතුයි. මොකද හැම ගමකම ඉන්න jvp මිනිස්සු කුහකයි. ඉරිසියයි. පාලිත තෙවරප්පෙරුම සැබැවින්ම මිනිස්සුන්ට උදව් කළා. ගංවතුරේ බැහැගෙන මිනිස්සුන්ට උදව් කලේ...
  • සියල්ලෝම රංගදරයෝය ඔහුගේ කොටස අසන් විය ඔහු ඉතාම ගුණ යහපත් චරිතයක රගපෑවේය විදුලිය අනවසර හෝ අනාරක්ෂිත අකාරයෙන් විය යුතුය...... ඔබ කලාවු යහපත් ක්‍රියා හේතුකොටගෙන නිවන් සුව ලැබේවා......කල හොඳ ක්‍රියා මිනිසුන්ට මතයේ රුඳේවා
  • දුකයි. හිත හොඳ මනුස්සයෙක්...
  •  නිවන් සුව...!
  • එතුමාගේ හදිසි වියෝව අපිට නම් හිතාගන්න, දරාගන්න බැරිතරම්. මිනිස්කම් වලින් පිරුණු ජනතාවට අප්‍රමාණ සේවයක් කරපු කෙනෙක්. ඔහුට නිවන්පුර රුවන්දොර ඇරේවා.
  • මනුස්සයා හොඳ වුණාට පාර්ලිමේන්තුවට යවන්න එපා. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න. තාමත් අපිට ඕක ඉගෙන ගන්න බැරිවුණානේ...!
  •  ඔබතුමාට නිවන් සුව ලැබේවා...!
  • තක්කඩි දේශපාලනඥයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඥයින් මිය යද්දී දුක්වීම මගින් මේ රටේ ජනතාව ගුණමකු නොවන බව පේනවා. තක්කඩි දේශපාලඥයින් මියයද්දී සතුටු වන එකට එම මිනිසුන්ට බැනලා වැඩක් නැහැ... මේවා ආදර්ශයට අරන් දෙනවත් යහපත් මනුස්සයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ කමෙන්ට් ඔක්කෝම බලන්න. තක්කඩි දේශපාලඥයින්ට අපූරු ආදර්ශයක් - තෙවරප්පෙරුම මහතාණෙනි!... ඔබට සුබ ගමන්...
  • මහ පොළොවේ ජීවත් වුණා. දඩබ්බර වුණත් සුන්දර මිනිසෙක්.. යන්න ඕනෑ අය හැරමිටි වරුවෙන් හරි එල්ලිලා ඉන්න හදන කාලේ.. ඉන්න ඕනෑ කෙනෙක් වෙලත් යන්න හදිස්සි වුණා. මැරෙන බව අවබෝධ කරගෙන ජීවත් වුණු ඔබට සුබ ගමන්.. නිවන් සුව ලැබේවා...!

උපුටා ගැනීම අවසන් (- මෙම ඉහත පාඨක ප්‍රතිචාරය පමණක් නොව එම ප්‍රතිචාරයන්ට ලැබී ඇති like (ජනතා කැමැත්ත) කොතරම්ද යන්නත් එම ලිපිය වෙත පිවිස බලන්න.)

අවසාන වශයෙන් මේ රටේ දැනට ජීවත් වී සිටින නමුත් මොනයම් මොහොතක හෝ නියතවම මරණය අත්විඳීමට නියමිත දේශපාලඥයින්ගෙන් විමසන්නට ඇත්තේ “ඔබලා පාලිත තෙවරප්පෙරුම මහතා මෙන් ජනතා හඳවත් හි ජීවමානව හිඳ මිනීවළ තුල සමාදානයෙන් සැතපෙනවාද? නොඑසේ නම්, තමන්ට පමණක් නොව තම හත්මුතු පරම්පරාවටම ශාපයක් වී මිනීවළෙහි විඳවනවාද?“ යන්න පමණි. මෙම පැනය මේ රටේ දේශපාලඥයන්ගේ අවදානයට යොමු වේවා!, යන පැතුමින් මෙම සටහනට විරාමය තබන්නේ ඉස්ලාම් දහම පවසන ජනතා නායකයින් ගුණාංග කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට තබමිනි.

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය.

දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා ග්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු මම ඇසුවෙමි. “ගැත්තෙකුට අල්ලාහ් ජන සමාජයක වගකීම භාරදී ඔහු තම වැසියන් නොසලකා හැර මිය ගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය අනිවාරයෙන්ම තහනම් කරන්නේය.”

දන්වන්නේ :-අබූ ය:ලා ම:කල් බින් යසාර් (රලි) – ග්‍රන්ථය :-බුහාරි, මුස්ලිම්

අබූ දර් විසින් දැනුම් දෙන ලදී. “මම යා රසූලූල්ලාහ්, ඔබතුමා මාව පාලකයෙකු වශයෙන් පත් කළොත් නරකදැ?යි ඇසුවෙමි. එවිට නබි (සල්) තුමා තම අතින් මාගේ උරහිසට තට්ටු කර මෙසේ පැවසූහ. ඒ අබූ දර්, ඔබ දුබලයකි. නියතවශයෙන්ම පාලන බලය යනු ප්‍රවේසමට දෙන (විශ්වසනීය) වගකීමකි. විනිශ්චයේදී එය අවඥාවට හා පසු තැවිල්ලට ලක් කරයි. කවරෙකු සුදුසුකම් මත ලබාගෙන ඒ වෙනුවෙන් තමා වෙත පැවරෙන වගකීම් (නිසියාකාරව) ඉටු කරන්නේද ඔහු හැර.”

දන්වන්නේ :- අබුදර් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

නබි (සල්) තුමා කළ ප්‍රකාශයකට සවන් දුනිමි. “නුඹලාගේ නායකයින්ගෙන් වැදගත් අය වනුයේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන නායකයින්ය.” ප්‍රකාශක (අවුෆ බින්මාලික්) තවදුරටත් ප්‍රකාශ කරමින් “අල්ලාහ්ගේ දූතයාණෙනි එසේ නම් අප ඔවුන් සමග සටන්වදින්නේ” දැ?යි අසුවෙමි. එවිට එතුමාණෝ “නැහැ නුඹලා සමග සලාතයේ නිරතව සිටිනතාක්, නැහැ නුඹලා සමග ඔවුන් සලාතයේ නිරතව සිටිනතාක් කල්” යැයි දෙවරක්ම ප්‍රකාශ කළහ.

දන්වන්නේ :-අවුෆ් බින් මාලික් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම්

(මෙවැනි තවත් බොහෝ අල් හදීසයන් කියවීමට රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම යන යහමග අඩවිය ලිපිය වෙත පිවිසෙන්න.)



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම