ඇන්දීම හා පිම්බීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙය තරමක වෙනස් වූ මාතෘකාවක්. මෙම මාතෘකාව දුටු පමණින් ඔබේ සිතේ බොහෝ කුතුහලයන් ඇති විය හැක. මන්ද මෙම මාතෘකාව වර්ථමානයේ ඉතා සංවේදී මාතෘකාවකි. විශේෂයෙන් බොරැව හා මුලාව රජ කරන මේ යුගයේ මෙය කාලීන මාතෘකාවකි. එවන් වූ මෙම මාකෘතාව දුටු පමණින් ඔබේ සිතට බොහෝ ගැටළු මතුවිය යුතුය. එසේ නොවන්නේ නම් ඔබට ඔබගැන ගතහැකි එකම නිගමනය “මා තවම මේ පොළොවේ පයතබා නැත” යන්න පමණී. මා එසේ පැවසීම ද කිසියම් ආකාරයක නිවරැදි නොවන බව ද විටක සිතේ මන්ද මෙම ඇන්දීම් හා පිම්බීම වර්ථමාන අප රටේ සමාජ සම්මතය බවට පත්ව ඇති බැවිණී. එය කොතරම් දරුණූ ලෙස ඔඩුදුවා ඇත් ද යයි පවසනවා නම් සමාජයේ සත්භාවයෙන් සිදුවන කටයුතු පවා තවත් ඇන්දීමක් හො පිම්බීමක් ලෙස සමාජය අවබෝධ කරගැනීමට පෙළඹව සිටීමයි. ඒ අනුව කවදත් සමාජ ගැටළු සංවාදයට බදුන් කරන යහමඟ අඩවිය. මෙම ක්ෂේත්‍රය තුල අප දැන හො නොදැන ඇන්දෙන තරම හා අප විසින් පුමුබන තරම සමාජ සිද්ධීන් කිහිපයක් පදනම් කරගෙන ඔබට පවසන්නට අදහස් කරමි.

කවදත් ඉස්ලාම් ආගම හා සංසන්ධනාත්මකව සමාජ ගැටළු සාකච්ඡා කරන යහමඟ අඩවිය මෙම මාතෘකාව පිලිබදව ද කථා කිරීම පිලිබදව කිසියම් කෙනෙකු හට ගැටළු ඇතිවිය හැක. එනම් ආගමික කරුණු කථා කරන මෙම අඩවිය තුල මෙවැනි මාතෘකාවක් පිලිබදව කුමක් කථා කරන්නද? යන්නයි. මෙහි දී ප්‍රථමයෙන් අවබෝධකර ගතයුතු කාරණය. වන්නේ ඉස්ල‍ාම් යනු වතාවත්වලට පමණක් සීමා වූ තවත් ආගමක් නොවේ එය පරිපූර්ණ ආදර්ශයන්ගෙන් සමන්විත ජීවන සැලැස්මකි. ඒ අනුව ඉස්ලාම් දහමේ ආගමික හා ආගමික නොවන යනුවෙන් කිසිවක් වෙන්කල නොහැක. ඒ අනුව ඉහත විෂයත් ඉස්ලාම් දහමට අනුකූල කාරණයක් වේ. එසේ නම් මෙවැනි කාරණයන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න දැන් බලමු.

ඉහත කාරණය බොරුව හා රැවටීම යන්න පදනම් වූ පාපක්‍රියාවන් වේ. ඒ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේ නම් ඉස්ලාම් මේ පිලිබදව දීර්ඝ වශයෙන් කථා කොට ඇති බව මුලාශ්‍රයන් අධ්‍යනය කරන ඕනෑම කෙනෙකු හට දැකබලා ගත හැක. ඉන් එකක් පවසන්නේ නම්,

“එක්තරා වැසිසමයක මුහම්මද් (සල්) තුමාණන් වෙළද පොලක් ආසලින් ගමන් කරන විට එක්තරා ධාන්‍ය වර්ගයක් (වියලි ලෙස) ගොඩගසා අලෙවියට තබා තිබෙනු දැක (වැසි සමයේ කොහොමද මෙතරම් වියලි ධාන්‍ය යන සැකය හේතුවෙන්) එම ධාන්‍ය ගොඩ තුලට තම අත දමා එය පරික්ෂා කරන ලදී. එහිදී එහි තුල තිබූ ධාන්‍ය තෙතබරිතව පවතින බව අනාවර්ණය කරගන්නා ලදී. ඉන් අනතුරැව එතුමාණන් ‘මෙහි හිමිකරැවණි! කුමක්ද මේ?’ යයි විමසන ලදී. එයට එම වෙළෙන්දා ‘අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණනි! වැස්ස තමයි හේතුව’ යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ඒ තෙතබරිත වූ ධාන්‍යය වෙනම ම (ජනයාට පැහැදිලිවම පෙනෙන ලෙස) තබා විකුණන්න. ‘මුලාකරන්නන් මාගේ අනුගාමිකයන් නොවේ.’ ”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත මෙම හදීසය කෙනෙකුහට සාමාන්‍ය සංසිද්ධියක් ලෙස හැ‍ඟෙනු ඇත. ඒ මෙවැනි දෑ ඔහුගේ ජීවිතයේ සාමන්‍ය කාරණයන් බවට පත්ව ඇති බැවිණී. නමුත් ඉස්ලාම් එය බරපතල වූ වරදක් ලෙස දකී. එය කොතරම් බරපතල ද යයි පවසනවා නම් “මුලාකරන්නන් මාගේ අනුගාමිකයන් නොවේ.” යයි පවසන තරමට එය බරපතලය. කිසියම් කෙනෙකු මුහම්මද් (සල්) තුමාණන්ගේ අනුගාමීකයෙක් නොවේ යන්න “ඔහු මුස්ලීම් නොවේ” යන්නයි. ඒ අනුව මෙම වරදෙහි තරම අවබෝධ කරගැනීම අපහසු නොවේ.

දැන් අප අවට සමාජයේ සිදුවන ඒ පාපකාරී ක්‍රියාව කොතරම් සූක්ෂමව, ප්‍රසිද්ධියේ හා බොහෝ පිරිසකගේ ආශිර්වාද මධ්‍යයේ සිදුවෙනවාද යන්නට නිදසුන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු. ඊට ප්‍රථම ඔබට පැවසිය යුතුයමක් ඇත. එනම් මා ඔබේ අවධානයට යොමු කරවන මෙම කාරණය ආගමකට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මෙය මුළුමහත් ජාතියම හා එහි සියළු ක්ෂේත්‍රයන් නතුකරගත් බූවල්ලෙකු පිලිබදවයි. එය දේශපාලනය, ව්‍යාපාර, ආගම්, ජනමාධ්‍ය, සංස්කෘතිය, සමාජීය, ආගමික … යනාදී වශයෙන් වෙන්කල නොහැක. එසේම මේ සියළු ‍ක්ෂෙත්‍රයන් මේ ලිපිය තුලින් ආවර්ණය කිරීමට ද නොහැක. කලහැකිව ඇත්තේ මේ තුලින් සමාජයට කුඩාම කුඩා රතු එලියක් දැල්වීම පමණි. දැන් ඔබට ගැටළුවක් මතුවිය හැක එනම් “ඒ රතු එලිය කව්රැන් සදහාද?” යන්නයි. පැහැදිලිවම එය පොදු ජනතාව සදහාය මන්ද කව්රැන් කුමණ ආකාරයට ඇන්දුවත් අදින්නේ පොදු ජනතාව වන අප වන බැවිණි. අප ඇන්දෙනවා පමණක් නොව අපව අන්දන පිරිස අප පුම්බන බවද මෙහි දී කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. ඒ අනුව මේ රතු එලිය රටේ පොදු ජනතාව සදහාම පමණි.

මෙහි දී මා ප්‍රථමයෙන් ප්‍රාර්ථනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ මා කථා කරණ මේ මාතෘකාව තුලින් තවත් කෙනෙකු ඇන්දීමකට හෝ පිම්බීමකට ගොදුරු නොවේවා! යන්නයි. මා එසේ පවසන්නට හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන හේතුව නම් මෙම ලිපියට විවිධ මුහුණුවර ලබාදෙමින් විශේෂයෙන් දේශපාලන, ආගමික මුහුණුවරක් ලබාදෙමින් කිසියම් පිරිසක් ඇන්දවීමට උත්සාහ දරණු ඇතැයි යන සැකයයි. මෙය තරමක සංකීර්ණ විටෙක භයානක මාතෘකාවකි. කෙසේ වෙතත් මෙය කථා කලයුතු මාතෘකාවක් යන්නෙ හි විවාදයක් නැත. ඒ අනුව මා ඉහතින් සදහන් කලාසේ ක්ෂේත්‍ර කිහිපයක් පමණක් පදනම් කරගෙන කථා කරමි. අනිකුත් ක්ෂේත්‍රයන් නිවරැදි යන්න ඉන් අදහස් නොකරන අතර ලිපියෙහි දීර්ඝවීම සැලකිල්ලට ගෙන ක්ෂේත්‍ර කිහිපයක් සකච්චා කරමි. එසේම මෙහි දී ඔබෙන් ආයාචනයක්ද කරන්නට ඇත. එනම් මෙම ලිපිය ඔබ පුර්ව නිගමනවල හිද හෝ පාට කණ්නාඩි තුලින් නොබලා ඔබේ බුද්ධියෙන් දකින්න. එවිට මෙහි නොපවසන බොහෝ දෑ ඔබට දකින්නට අවබෝධ කරගන්නට හැකි වනු ඇත. ඒ සදහා වන ඉඟියක් ලෙසත් මෙම ලිපියට පිවිසුමක් ලෙසත් පහත රූපරාමු ඔබගේ අවධානයට යොමු කරමි.

ඉහත රූපරාමු තුලින් මෙම ලිපියෙහි වපසරිය පිලිබදව කිසියම් අවබෝධයක් ඔබට ලැබී ඇතැයි සිතමි. කෙසේ වෙතත් මා මෙම ලිපිය තුලින් සමාජයට තහවුරු කිරීමට යන කාරණය සදහා පහත අනුමාතෘකා කිහිපය යොදා ගනිමි. එනම්,

දේශපාලන

මෙම මාතෘකාව සමඟ මා යොදාගන්නා මූල්ම ක්ෂේත්‍රය තරමක භයානක ක්ෂේත්‍රයකි. නමුත් අප 1948න් පටන් මේ දක්වා අඛන්ඩව ඇන්දවීමන්ට භාජනය වූ ක්ෂේත්‍රයක් ලෙස මෙම දේශපාන ක්ෂේත්‍රය සදහන් කල හැක. කාලෙන් කාලෙට ජනතා කරලියට ආ පොරොන්දු දේශපාලනය සමඟ දේශපාලඥයන් ජනතාව ඇන්දවීම පුරුද්දක් කරගෙනය. සරල උදාහර්ණයක් පවසනවා නම් ගෙවීගිය 2009 ජනාධිපතිවර්ණයේ දී එක්පාර්ශවයක් රජයේ සේවකයන් හට රු 10000.00 ක වැටුප් වැඩිවීමක් යෝජනා කරන විට තවත් පාර්ශවයක් රු 2500.00 වැටුප් වැඩිවීමක් යෝජනා කලා. නමුත් අවසානයේ ජනතාවට ඉතිරි වුනේ රැවටීම පමණි. මේ ආකාරයට දේශපාලඥයින් ජනතාව රැවටීමට ම බලා හිදින විට ජනතාව ද එය කරැමයක් ලෙස පිලිගෙන රැවටෙන්නම බලාහිදීම ශ්‍රී ලාංකීය අපේ අවාසනාවකි. මෙහි දී “ආණ්ඩු පක්ෂය පමණයි සැමවිටම රටේ ජනතාව රවට්ටන්නේ එසේත් නැත්නම් අන්දන්නේ” යයි වැරදි අවබෝධයක් ඇති කරගතයුතු නැහැ. මන්ද මේ කරලියේ කරට කර විපක්ෂයන් (සුළු පක්ෂ ඇතුළු සියළු පක්ෂ) ද සිටින බැවිණි. මේ සියළු දෙනා එක්ව අපව අන්දනවා යන්න තමා සැබෑව. විටෙක “මේ ආකාරයට ඇන්දවීම දෝ දේශපාලනය යයිද” සිතේ. රටේ වර්ථමාන දේශපාලන ක්‍රියාදාමය දෙස බලන විට මැතිවර්ණය යනු “රවට්ටන්නන්ගේ හොදම අවදියකි!,” එය වෙනත් ආකාරයකට පවසනවා නම් “හොදම ජනතා අන්දවන්නා!, තේරීමේ තරඟය” ලෙසද සදහන් කල හැක. එසෙම් වර්ථමාන හොදම දේශපාලඥයා යනු සූක්ෂම ආකාරයට ජනතාව අන්දවන්නා ලෙස ජනතාවද අවබෝධ කරගෙන සිටී. ඒ අනුව ඉහතින් මා සදහන් කල කාරණය තවත් මනාව පිළිඹිබු වේ. මීට අමතරව රටම කථාකල සමීපතම දේශපාලන ඇන්දවීම් කිහිපයක් ඔබේ මතකයට ගෙනහැර දක්වන්නේ නම්,

ගරු විමල් වීරවංශ ඇමතිවරයාගේ උපවාසය


මේ උපවාසයේ අරමුණ කුමක්ද? ඒ උපවාසයට වස්තු බීජය වූ ඒ කමිටුවේ වර්ථමාන තත්වය කුමක්ද? උපවාසය තුලින් ජනතාවට දිනා දුන්නේ කුමක්ද?, ඒ උපවාසය තුලින් තමන් දිනාගත්තේ කුමක්ද?, මාරාන්තික උපවාසයකට ගිය ගරු ඇමතිවරයා දැන් මේවා පිලිබදව වචනයක් හෝ කථා නොකරන්නේ මන්ද? මේවා පිලිබදව ජනතාව බුද්ධිමත්ව සිතාබැලිය යුතුය. එපමණක් නොවේ මෙම සිදුවීම අවස්ථාවක් කරගෙන පක්ෂ විපක්ෂ තරඟෙට ජනතාව ඇන්ද වූ ආකාරය ද බුද්ධිමත් ආකාරයට අප අවබෝධකර ගතයුතුයි. බලන්න පහත රෑපරාමු දිහා මෙය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මේවා තුල අන්දන්නට උත්සාහ කරන්නේ අපව නොවේද? එයයි මෙම ලිපිය තුලින් අවධාරනය කරන කාරණය,

ඉහත ඡායා රූපය එක්තරා වෙබ් අඩවියක පලවී තිබූනු අතර මෙය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මේ තුලින් ජනතාව ඇන්දෙන බව නම් සැබෑවකි.

ගරු විමල් විරවංශ ඇමතිතුමා උපවාසය සැලසුම් කල ආකාරය බව පවසමින් ඉහත ඡායා රූපය ද එක්තරා වෙබ් අඩවියක පලවී තිබූනු අතර මෙය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මේ තුලින් ජනතාව ඇන්දෙන බව නම් සැබෑවකි.

ගරු ආචාරය මරවින් සිල්වා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ගස්බැදීම සමීපතම සිදුවීමක් ලෙස මෙය හැදින්විය හැක. කවදත් ජනතාවට මෝඩ චූන් එකක් ලබාදෙන ඉහත ඇමතිවරයා කැලණියේ ජනතාව ඇන්දවීම සදහා යොදාගත්තේ රාජ්‍ය නිළධාරියෙකි. අවසානයේ ඔහු පවසා සිටියේ මෙය එම නිලධාරියාගේ ඉල්ලීම මත සිදුකෙරුණූ බවයි. මේ ආකාරයට රටේ ජනතාව ඇන්දවීමට උත්සාහ දැරූ ඇමති තුමා එම කාරණය රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවේ පවා පවසමින් පාර්ලිමේන්තුව ද අන්ද වූ ආකාරය ජනමාධ්‍යයන් හරහා දක්නට ලැබුණි. කවදත් ජනතාව ඇන්දවීමේ ක්‍රියාවලියේ දුර්වලයෙකු වන ඉහත ආචාර්ය තුමාගේ මෙම ක්‍රියා කලාපය නිසා ඇත්තටම අපහසුතාවයට පත්වුයේ එම ඇමතිවරයා නොව රජයයි. මෙහි දී රජය දැඩි තීරණය කලා ඔහුගේ ඇමතිකමත්, සංවිධායකකමත්, පක්ෂ සාමාජිකත්වයත් අහිමි කරන්න. මෙය ජනතාව මවිත කරවන කිසිසේත් අපේක්ෂා නොකල තීන්දුවක් වූ අතර මේ විපක්ෂ මන්ත්‍රිවරැන් පවසා සිටියේ මෙයත් තවත් සුන්දර ජනතා ඇන්දවීමක් බවයි. එනම් ඔහුගෙන් ඉවත් කොට ඇත්තේ තනතුරු බෝඩ් ලෑලි පමණක් බවයි. බුද්ධිමත් ජනතාව මේ පිලිබදව එදාම කුතුහලයෙන් බැලුවේ. ඒ ආචාර්ය වරයාට දඩුවම් කරන්නේ කොහොමද? කියා නොව දඩුවම් කරාවිද? කියාය. අදටත් සමහරක් බලාහිදිනවා නමුත්…(කාලය පවසයි මේ තුල ඔබ අප ඇන්දුනාද? නැද්ද? යන්න)

කෙසේ වෙතත් මේ දෙපාර්ශවයෙන් කුමණ පාර්ශවය පවසන කාරණය සත්‍ය වුවත් අවසානයේ ඇන්දවී ඇත්තේ රටේ ජනතාව යන්න සැබෑවයි. ඉහත සිදුවීම් දෙකක් ගෙන ඔබගේ අවදානයට යොමු කිරීම තුල මා අපේක්ෂා කරන්නේ දේශපාලන ඉතිහාසයේ ජනතාව ඇන්දවීමන් ලෙස සිදුවු සිදුවීම් දෙකයි ඒ ඉහත දෙක යන්න සමාජයට අවධාරනය කිරීම නොවේ. මේ ආකාරයට රටේ ජනතාව දේශපාලඥයන් හමුවේ නිරන්තරයෙන් ඇන්දවීමන්ට ලක්වෙන බවයි. දැන් ඔබට ගැටළුවක් ඇතිවිය හැක. ඒ දේශපාලන ක්ෂේත්‍රයේ ඇන්දවීමන් ඇති බව සැබෑය නමුත් දේශපාලන ක්ෂේත්‍රය තුල පිම්ඹීමන් කොහිද?

දේශපාලන ක්ෂේත්‍රයේ සෑම ඇන්දීමක් තුලම පිම්ඹීමක් ඇත යන්න න්‍යායක් නොවන සම්මතයකි. බලන්න උපවාසය මොහොතේ ජනතාව කදුළු සලමින් ඇමතිතුමාව පුම්බපු ආකාරය අමතකද? ආචාර්ය තුමාට ලබා දී ඇති ආචාර්යකම ම මදි ද? එතුමා වෙනුවෙන් කැලණියේ දේශපාලඥයින් කල සත්‍යග්‍රහය අවතක්සේරුවට ලක්කල හැකිද? මේ සියල්ලටම එහි ගිය ලොකුම පිම්ඹීම ලෙස ගරු ජනාධිපති තුමාට ලබාදෙන “මහා රජාණෙනි!” පිම්ඹීම කොතරම් ඉහල ද? ජනතාව නොදියුණු රාජාණ්ඩු ක්‍රමය ප්‍රතික්ෂේප කොට දියුණු දේශපාලන ප්‍රවාහයකට අවතීරණය වූ අවධියක තවමත් පාලකයා රජෙකු ලෙස ආමන්ත්‍රණය කරන විට සිනානොවී අය පිලිගන්නේ එම ඇන්දිල්ලෙහි හා පිම්ඹිල්ලෙහි ප්‍රථිපලයක් ලෙස නො‍වේද?

ආගමික

දේශපාලන ක්ෂේත්‍රය හැරුණු කල පොදු ජනතාව වැඩියෙන් ඇන්දෙන ක්ෂේත්‍රයක් තමා ආගමික (අධ්‍යාත්මික) ක්ෂේත්‍රය. එහි ප්‍රතිපලයන් ලෙස තමා විවිධ මිත්‍යා විශ්වාස ඇදහිලි සමාජයේ බිහිවන්නේ විශේෂයෙන් විවිධ හාස්කම් පාමින් ජනතාව අන්දන පූජකවැන් සෑම දහමකම දර්ශනයකම කරට කර සිටී. මෙවැනි කරුණු කිහිපයක් හා ඒ තුල පොදු ජනතාව ඇන්දෙන ආකාරය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්,

රෝග සුවකිරීම හා ධනලාභ ලබාදීම් අද බොහෝ ආගම් මනුෂ්‍ය ගේ මානසික දියුණුව හා ලෝකොත්තර දිවියෙ හි දියුණුවට කටයුතු කරනවා වෙනුවට ලෞකික දිවිය පමණක් අරමුණු කරගෙන කටයුතු කරමින් සිටී. එහි දී සුව නොවන රෝග සුවකිරීම, උපතින්ම ආබධිතයන් පූර්ණ සුවය ලබාදීම්, දුප්පතුන් සදහා ධන ලාභ ලැබීම, විවිධ වශීකිරීම්… යනාදිය මින් කිහිපයක් පමණි.

  • රෝග සුවකිරීම් හා ධන ලාභ



ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ එක්තරා වෙළද දැන්වීම් පලකරන වෙබ් අඩවියකින් උපුටාගත් දැන්වීම් කිහිපයකි. හා පුවත් පතක පලවූ දැන්වීමකි

මෙය ජනතා අන්දන ප්‍රචාරණයක අනාවර්ණයක් මිස තවත් වෙළද ප්‍රචාරණයක් නොවේ.

මනුෂ්‍යාගේ අධ්‍යාත්මික දියුණුව සදහා ප්‍රකාශ වූ ආගම් හා දර්ශන මනුෂ්‍යාගේ ලෞකික කාරණයට සීමාවීම ජනතා ඇන්දීමේ ප්‍රථිපලයකි. මෙලෙස ඇන්දවීමන් තුල ලබාගත් අමිහිරි අත්දැකීමන් අතීතයේ පටන් වර්ථමානය දක්වා අපට ඇත. රෝග සුවකරන යාඥාවල මියගිය පිරිස් කොතරම්ද? ඔබේ මතකය අවර්ජනය කරන්නට අතීත මතකයෙන් බිදක් පවසන්නේ නම්,

හාස්කම් හඹායාම

කවදත් හාස්කම් තුලින් දහමක් අවබෝධ කරගන්නට කැමැත්තක් දක්වන ජනතාවගේ එම දුර්වලතාවය හදුනාගත් සමහරක් පිරිස් තම දහම අනිකුත් දහමන්ට සාපේක්ෂව පිම්ඹීමේ අරමුණින් ජනතාව අන්දවීම කලින් කලට දකින්නට ලැබෙන සාමාන්‍ය කාරණයකි. දහම තුල අන්ධ භක්තිය ගොඩනඟාගත් පිරිස් ඉරදුටු පිණි මෙන් හාස්කම් පසුපස හඹාගොස් නැති වී යනවා ශ්‍රී ලාංකීය අපට සුළභ දසුනකි. මෙය කිසියම් ආගමකට හෝ ආගම් කිහිපයකට පොදු වූ කාරණයක් නොවේ. මේ අවාසනාවන්ත ඉරණමට ලොව සියළු ආගම් හා දර්ශනයන් ගොදුරැවීම අප නිරන්තරයෙන් සමාජයේ දකින්නට ලැබෙන කාරණයකි. එවන් වූ සිදුවීම් කිහිපයක් ඔබේ මතකයට ගෙන එනවා නම්

රෝග සුවකරන යාඥාවල මියගිය පිරිස්

  • දොළුකන්ද සිදුවීම
  • මරියම් තුමියගේ පිලිරුවෙ හි ඇස්වලින් ලේ වැගිරීම
  • බෝ ගස් මුලින් බුදුරුව මතුවීම
  • සොහොන් කොත් තුලින් හාස්කම් – මුස්ලීම්
  • බුදුපිලිමවලින් රැස් විහිදීම

මේ ආකාරයට ආගමික ක්ෂේත්‍රයේද පොදු ජනතාව විවිධ ආකාරයට ඇන්දෙන බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ නිදසුන් දෙකක් පමණි. මෙය කියවන කිසිවකු මෙපමණයි යයි සිතීමට අවශ්‍ය නොවේ. ආගමික පූජකවරැන් මේ ආගම මූලික කරගෙන රටේ ජනතා ඇන්දන තරම අවබෝධ කරගැනීම සදහා සතිඅන්ත පුවත්පත් ගෙන බැලුවේ නම් පහසුවෙන් වටහා ගත හැක. සමහරක් පූජකවරැන්ගේ වෙළද ප්‍රචාරණයන් දෙස බලන කල ඔවුනට කල නොහැක්කේ අම්මා තාත්තා මැවීම පමණක් දෝ යයි සිතන්නට හැඟේ.

ව්‍යාපාරික

අද අප රටේ පමණක් නොව මුළු ලොවම වෙලාගෙන තිබෙන ඇන්දිලි ජාලයක් ලෙස මෙම ව්‍යාපාරික ක්ෂේත්‍රය ද හැදින්විය හැක. මෙම ක්ෂේත්‍රය පිලිබදව නම් පොදු ජනතාවට ද කිසියම් අවබෝධයක් ඇත. කෙසේ වෙතත් මගේ මාතෘකාවේ ප්‍රධාන ස්ථානයක් මෙම ක්ෂේත්‍රයට ද හිමිව පවතින නිසා කෙටියෙන් කරැනු කිහිපයක් පමණක් ඉදිරපත් කරමි. ව්‍යාපාර ක්ෂේත්‍රය පිලිබදව කථා කරන එකම වෙළද භාණ්ඩය විවිධ මිළ ගනන්වලින් අලෙවි කිරීම, අනුකර්ණ භාණ්ඩ වෙළද පොලට ඉදිරිපත් කිරීම යනාදී ක්ෂේත්‍රයන් ඔස්සේ ජනතාව ඇන්දවීම සුලභ කාරණයකි. එවන් වූ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිලිබදව කථා කරන විට වෙළද ප්‍රචාරණය පිලිබදව කථා නොකරම බැරිය.

විශේෂයෙන් වෙළද දැන්වීමන් දෙස බලන කල එම දැන්වීම හි ඉදිරිපත් වන රූපරාමු, දෙබස් හා ප්‍රචාරනය ලබාදෙන වෙළද භාණ්ඩය අතර කිසියම් සම්බන්ධයක් පවතිනවාද? යන්න සිතේ. විශේෂයෙන් කාන්තාවන් යොදාගෙන කරනු ලබන වෙළද දැන්වීමන් දකින් විට ප්‍රචාරණය ලබාදෙන්නේ කුමක් සදහා ද යන සැකය පවා මතුවේ. බලන්න පහත වෙළද දැන්වීම් රූප රාමු දිහා …

වර්ථමාන කාන්තා වෙළද දැන්වීම් කිහිපයක ඡායා රූප මෙහි ඉදිරිපත් කොට ඇත. සත්භාවයෙන් කරන මෙම ක්‍රියාදාමය තුලින් ඉන් වැරදි පණිවුඩයක් සමාජයට යෑම අවම කරගැනීම පිණිස එය කළු සුදු වශයෙන, පිංතූර මිශ්‍රණයක් වශයෙන් හා කුඩා රූප වශයෙන් ඉදිරිපත් කොට ඇත.

ජාත්‍යන්තර වෙළද දැන්වීම් එලෙස වුවත් ශ්‍රී ලාංකීය වෙළද දැන්වීම් එසේ නොවේ යයි කිසිවකුටත් පැවසිය හැකිද? මිට මාස කිහිපයකට පෙර එක්තරා ජනප්‍රිය පුවත්පතකින් වැඩිහිටියෙක් රටේ බලධාරීන්ගෙන් ආයාචනා කර තිබුණේ කොළඹ එක්තරා බාලිකා පාසලක් ඉදිරිපස පාරේ සවිකොට ඇති වෙළද දැන්වීම් පුවරැවක් ඉවත්කර දෙන ලෙසයි. මන්ද ඒ තරමට එය අසභ්‍ය ආකාරයට පැවතීමයි. මෙවැනි දැන්වීම් පුවරු අප රටේ නාගරික ප්‍රදේශවල කොතරම් නම් තිබෙනවාද? මෙම දැන්වීම් පුවරු දෙමාපියන් හා දරුවන් එකට එක්ව නරඹන්න පුළුවන්ද? ඔබට ලාංකීය රූපවාහිණි වෙළද දැන්වීම් පිලිබදව මතකයක් ඇත්නම් පහත දැන්වීම් පිලිබදව මොහොතක් සිතා බලන්න.

  • ටීෂර්ට් වෙළද දැන්වීමක තරුණයෙක්ව පැහැරගෙන යන තරුණියන්
  • හෙයාජෙල් වෙළද දැන්වීමක තරුණයන් අතර දෝලනය වන තරුණියක්
  • සුවද විලවුන් වෙළද දැන්වීමක තරුණයෙකුට පොරකන තරුණියන්

මේවා දෙස බලන විට අද කාන්තා අයිතිය, කාන්තා හිංසනය පිලිබදව කථා කරන සංවිධාන හා විද්වතුන් කොහි ගිහින්ද?. නැවත කාන්තා දිනයක් එනතුරැ මරනින්දේද? යයි සිතේ. ඉහත දැන්වීමන් තුලින් සිදුවන්නේ කාන්තා අපයෝජනයක් හා ඇගේ අයිතීන් උදුරාගැනීමක් නොවේද? මේ සියල්ල තුලින් කරනු ලබන්නේ ජනතාවගේ පහත් හැගීමන් උත්තේජනය කරමින් ජනතාව ඇන්දවීමක් නොවේද? දැන් ඔබට සිතෙන්නට පුළුවනි කාන්තාව යොදාගෙන කරන ඉහත ආකාරයේ පහත් පෙලේ වෙළද දැන්වීම් හැරැණු කල අනිකුත් වෙළද දැන්වීමන් හි වරදක් නොමැති බවයි. එසේ ඔබ සිතන්නේ නම් එය නිවරැදි නොවේ එයට මා ඔබට ලස්සන නිදසුනක් ගෙනහැර පෙන්වන්නම්.

ඒ එදා ඔබව වෙළද දැන්වීමන්ගෙන් ඇන්ද වූ අද දේශපාලන ක්ෂේත්‍රයේ නිරතව සිටින එක්තරා චරිතයක් විවිධ කාලවල පෙනී සිටී වෙළද දැන්වීම් කිහිපයක් තුලින් ඔබව ඇන්ද වූ ආකාරයයි. ඇය මීට වසර ගනනාවකට පෙර රෑ රැජිනක් හැමවිට තම ශරීරය ඉතා හොදින් වැසෙන සේ වස්ත්‍ර තොරාගන්නා ඇය ආර්ය සිංහල කුල කාන්තාවක් බදුය. ඇය ඉදිරිපත් වූ වෙළද දැන්වීමක් පිලිබදවයි පහතින් පවසමි.

එය “ඇන්කර්” කිරිපිටි දැන්වීමකි. 1990 වකවානුවේ වෙළද දැන්වීමකට පෙනීසිටින ඇය පවසන්නේ “මට මගේ මව දුන්නේ ඇන්කර් මම අද මගේ දරුවාට දෙන්නේ ඇන්කර්” යනුවෙනි. වසර කිහිපයකට පසු එම වෙළද දැන්වීමෙන් අතුරුදහන් වන ඇය නැවත මතු වෙන්නේ 1998 දී “හෝර්ලික්ස්” නම් කිරිපිටි සමඟය. එතැනින් වසර කිහිපයකින් අතරුදහන් වන ඇය නැවත 2007 දී මතු වන්නේ “ඇන්ලීන්’ නම් කිරිපිටි වර්ගයක් සමඟය ඇය එහි දී පවසන්නේ “මා විටෙක රූපවාහිණි වැඩසටහන් නිර්මාණ ශිල්පිණියක්, විටෙක මා ක්‍රීඩිකාවක්, විටෙක මා නර්තන ශිල්පියක් එසේම මා ආදර්ශමත් මවක්”

ඉහත වෙළද දැන්වීම් කිහිපය කෙරෙහි ඔබේ බුද්ධිමත් අවධානය යොමු කලේ නම් මේ රටේ ජනතාව කොතරම් මෝඩයන් ලෙස සලකනවාද? යන්න ඔබට පහසුවෙන් අවබෝධ වනු ඇත. ඇය මුලින්ම පෙනීසිටින “ඇන්කර්” වෙළද දැන්වීමේ දී එහි ඇය පවසන්නේ “මට මගේ මව දුන්නේ ඇන්කර්” මෙහි හාස්‍යයට කාරණය වන්නේ ඇන්කර් කිරිපිටි ලංකාවට මුල්වරට එන්නේ 1980 දීය. 1990 වන විට (වසර 10 ක් ඇතුළුත) එය ඇය කුඩා අවධියේ පානය කොට පසුකාලීනව ඇයගේ දරුවන්ටත් එය ලබාදුන්නේ කෙසේද? කොතරම් ලොකු ඇන්දවීමක්ද? 1990 දක්වා ඇයටත් ඇයගේ දරුවන්ටත් වඩාත් පෝෂ්‍යදායික බව පැවසූ “ඇන්කර්” අත්හැර 1998 හෝලික්ස් ගැන වර්ණනා කරන්න පටන්ගනී. අවසානයේ 2007 ඇය නතර වන්නේ කැල්ෂියම් ඌනතාවයට පානය කරන “ඇන්ලීන්” කිරිපිටිවලය. මෙහි ඇති ගැටළුව ඇය හාස්කමකින් හෝ කුඩාකල සිට ඇන්කර් පානය කලානම් ඊටත් පසු පොෂ්‍යදායි පානයක් වන “හෝර්ලික්ස්” පානය කලානම් කැල්ෂියම් ඌනතාවයන් ඇති වූයේ කෙසේද? එසේම ඇය පවසන ආකාරයට ඇය රූපවාහිණි වැඩසටහන් නිර්මාණ ශිල්පිණියක් නම් ඇය නිර්මාණය කල රූපවාහිණි වැඩසටහන් මොනවාද?, ඇය ක්‍රිඩාකාවක් නම් ඇය දක්ෂතා පෙන්වූ ක්‍රිඩාවන් කුමක්ද?, ඇය නර්තන ශිල්පිණියක් නම් ඇය නර්තනය රඟ දැක්වූ වැඩසටහන කුමක්ද? දරුවන් දෙදෙනෙකුට මවක් වූ පමණින් ඇය ආදර්ශමත් බවක් වූනේ කොහොමද? මේ සියල්ල තුල මෙම වෙළද දැන්විම හරහා ඔබ මොනතරම් අන්දලාද? යන්න ඔබට වටහාගැනීම අපහසු නොවනු ඇත. මේ ආකාරයට සියළු වෙළද දැන්වීම් හරහා සිදුකරන්නේ ඔබ අප ඇන්දීම පමණක් බව පැහැදිලිවම වටහා ගතයුතු වේ.

කලාව

දේශපාලඥයින්, ආගමික පූජකවරැන් හා වෙළද ප්‍රචාරකයන් හැරුණු කල ජනතා අන්දවන්නන් ක්ෂේත්‍රයක් ලෙස කලා ක්ෂේත්‍රය හැදින්විය හැක. කලාව කියු පමණින් ජනතාවගේ මතකයට එන්නේ චිත්‍රපට, හා නාට්‍ය ක්ෂේත්‍රය පමණි. නමුත් අද ජනතාව කලාව නමින් අන්දන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස ගීත ක්ෂේත්‍රය පත්ව ඇත. මෙහි විශේෂත්වය වන්නේ ජනමාධ්‍ය කලාව උපයෝගි කරගෙන සුපර්ස්ටා වෙළද පොලක් නිර්මාණය කිරීමයි. පොදු ජනතාවගේ කලාවට තිබෙන කැමැත්ත හා ගීත ක්ෂේත්‍රයට තිබෙන ආකර්ශනය පදනම් කරගෙන සුපර්ස්ටා ජනතා ඡන්දයෙන් තොරන බවට ප්‍රචාරනයක් ලබාදෙමින් SMS හරඹයක් නිර්මාණය කොට ඇත. සාමාන්‍ය SMS එකක් සදහා රැපියලක් (1.00) පමණ වැයවන විට මෙම SMS එකක් සදහා රැපියල් 7.00 සිට 10.00 වැය වේ. මේ තුලින් විශාල මුදලක් උපයාගන්නා මෙම මාධ්‍ය ආයතන අවසානයේ සුපර්ස්ටා කෙනෙකු නම් කරයි. මාස ගනනාවකට පවත්වාගෙන යන මෙම වැඩසටහන් තුල ජනතාවගෙන් උපයන මුදල සුළුපටු නොවේ. විශාල මුදලක් උපයමින් සිදුකරන මෙම වැඩසටහන තුල විවිධ තරඟ නීති නිර්මාණය කරමින් ප්‍රේක්ෂක ජනතාව අන්දවමින් තරඟයට සහභාගි වන පිරිස පුම්බමින් කරන මේ ක්‍රියාවලිය තුල මුළු ජනතාවම මෝඩයන් බවට පත්කරනවා යන්න රටේ ජනතාවට අවබෝධ නොවීම පුදුමයට කාරණයකි. මාධ්‍ය ආයතනවල අළුත්ම ව්‍යාපාර කලාව තමා මේ සුපර්ස්ටා කලාව මේ පිලිබදව නිසි අවබෝධයක් නැති අපේ තරඟකරැවන් හා මේවාට SMS යවන ප්‍රේක්ෂක ජනතාව කොතරම් නම් ඇන්දෙනවාද?

මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ අද මෙම SMS සුපර්ස්ටා කලාව කුඩා දරුවන් පවා ආක්‍රමණය කරන තැනට ගොස් තිබීමය. ඕනෑම ජන සමාජයක් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි උපක්‍රමයක් තමා ඒ සදහා කුඩා දරුවන් යොදාගැනීම. ඒ අනුව මෙම කුඩා දරුවන් උපයෝගි කරගනිමින් රටේ ජනතාව ඇන්දවීම යන්න කිසිසේත් අනුමත කල නොහැකි කාරණයකි. මා මෙලෙස කරුණු ඉදිරිපත් කරන විට කෙනෙකුට මෙහි අවසාන ප්‍රථිපලය පමණක් පදනම් කරගෙන මෙය සාධාර්ණීකරනය කලහැක. එනම් ළමයින්ට අවස්ථාවත්, දක්ෂයින් සදහා අවස්ථාවක්, හැකියාවට අවස්ථාවක් … යනාදී වශයෙන් විවිධ තර්ක ඉදිරිපත් කල හැක. ඒ පිලිබදව මගේ ද විවාදයක් නැත. මා මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ ප්‍රශ්න දෙකකි. ඒ,

  • මේ වැඩසටහන් තුල රටේ ජනතාව අන්දනවාද? නැද්ද?
  • රටේ ජනතාව නොඅන්දා මෙය කල නොහැකිද?

රටේ දක්ෂයන් හට අවස්ථාව ලබාදීමේ එකම ක්‍රමය මෙය නොවේ. මගේ මතකය නිවරැදි නම් අද රටේ ජනප්‍රිය දක්ෂ කලාකාරිනියන් (ගායිකාවන්) වන දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, උරේශා රවිහාරි වැනි ගායිකාවන් බිහිවුනේ “මුතුහර” නම් රූපවාහිණී ළමා වැඩසටහන් තුලින් ඔවුන්ව කිසිවකු SMS තුලින් බිහිකලේ නැහැ. ඒ වගේම අද අප රටේ ජීවත් වන දක්ෂ ගායික ගායිකාවන් ජනතාව අතර ජනප්‍රියත්වයක් දිනාගත්තේ මේ SMS කලාවෙන් නොවේ. ඒ අනුව මෙම කලාව පැහැදිලිවම අපව අන්දන තරඟකරුවන් පුම්බන “රියලිටි” ව්‍යාපරයක් යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

මෙම ඇන්දිල්ලේ ජාත්‍යන්තර අවස්ථාවක් ඔබට මා සදහන් කරන්නම් ශ්‍රී ලංකාව තුල එක්තරා සම්භාවණීය චිත්‍රපටයක් මීට කාලෙකට පෙර නිෂ්පාදනය විය. (චිත්‍රපටයේ නම අමතකයි ම‍ාගේ මතකයේ හැටියට රන්දතුවෙන් පියාඹලා) ඒ චිත්‍රපටය සදහා නිෂ්පාදන වියදම ලබාදෙන්නේ CTC (සිලෝන් ටුබෑකෝ කො,) ආයතනයයි. (මෙම චිත්‍රපටය පුරාවටම කාන්තාවක් දුම්පානය කරන රූපරාමු ඇත.) මෙම චිත්‍රපටය සදහා ජපානයේ දී සම්මානයක් හිමිවේ ඒ JTC (ජපාන් ටුබෑකෝ කො,) මේ විදේශ සම්මානය පිලිබදව මාධ්‍යයන් හරහා ඉතා ආඩම්බර ලෙස සාකච්චා විය. නමුත් අපේ ජනතාවට මඟහැරැණූ කාරණයක් ඇත. ඒ මේ CTC හා JTC යන සමාගම් දෙකම BAT (බ්‍ර්ටිෂ් ඇමරිකන් ටුබෑකෝ) නම් මව් සමාගම යටතේ ක්‍රියාත්මක වන බව. එසේ නම් මේවා තුල අපි කොතරම් ඇන්දුවාද? යන්න වටහා ගැනීම අපහසු නොවේ.

වෙනත්

ඉහතින් ක්ෂේත්‍ර 03ක් පිළිබදව පමණක් කථා කල නිසා වර්ථමානයේ ජනතාව අන්දන්නේ මේ ක්ෂේත්‍ර 03න් පමණක් යයි බුද්ධිමත් ඔබ කිසිසෙත් නොසිතිය යුතුය. අද රටේ පොදු ජනතාව වන අපට ඇති ප්‍රශ්නය අප නොඇන්දෙන්නේ කුමණ ක්ෂේත්‍රයෙන්ද? යන්නයි. මෙය වඩාත් හොදින් පිළිඹිබු කරන ප්‍රකාශනයක් 2010 අ‌ගෝස්තු මස 15 වැනිදා ස්වර්ණවාහිණි රාත්‍රී LIVE@8 මඟින් විකාශනය විය එය පහත ආකාරයට වේ.

රටේ නිතිය ක්‍රියාත්මක කරන ස්ථානයෙන් රටේ නීතිය ආරක්ෂා කරන දෙන උත්තරීතර උසාවිය මෙලෙස අන්දනවා නම් මේ ඇන්දිල්ල කොතරම් සරල කාරණයක් බවට සමාජය තුල පත්වෙලාද?

ඉහත රූපරාමු හා මා යොදාගත් ක්ෂේත්‍ර පිලිබදව විවිධ පුද්ගලයන් හට විවිධ විවේචනයන් හා පැහැදිලි කිරීමන් තිබිය හැක. නමුත් මා ඉහතින් සදහන් කලා සේ මාගේ මෙම ලිපියෙහි අරමුණ අප සමාජය තුල,

  • අපව කොතරම් අන්දනවාද?
  • අප මේ පිරිස කොතරම් පුම්බනවාද? යන්න පෙන්වාදීමයි.

වසර 2550ක සාරධර්ම හා දියුණු සංස්කෘතියන් පිලිබදව කථා කරන අප මේවා තුලින් ලෝකයාට කියාපාන්නේ අප තුල ඇති තිරිසන් ගතිපැවතුම් හා නොදියුණුභාවය මිස අන්කිසිවක් නොවේ. කෙනෙකු තවත් කෙනෙකු එසේත් නැත්නම් කෙනෙකු තවත් පිරිසක් එසේත් නැත්නම් පිරිසක් තවත් පිරිසක් රැවට්වීම යන්න කුමණ ආකාරයට සිදුකලත් එය අනුමත කලහැකි හෝ සාදාචාර සම්පන්න කාරණයක් නොවේ. මන්ද එයට මූලික වී අත්තේ බොරුව පමණක් වන බැවිණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම