2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කොට රටට සේවයක් කලහැකි විද්වතුන් තෝරා පාර්ලිමේන්තුවට යැවීම පොදු ජනයාගේ වගකීම හා යුතුකමයි. නමුත් මෙවර එනම්, 2015 මහ මැතිවර්ණය දෙස බලන විට මේ රටේ බුද්ධිමත් ජනතාව තමන්ගේ සම්ප්‍රදායක වගකීමෙන් ඔබ්බට ගොස් මැතිවර්ණ කරලියේ පාර්ලිමේන්තු යන්න ඉදිරිපත්ව සිටින හොරුන්, ජාතිවාදීන්, අන්තවාදීන්, අපරාධකාරයින්… වැනි පිරිස් මේ රටේ දේශපාලනයෙන් පන්නා දැමීමේ හා ඔවුන්ගෙන් මේ රට බේරාගැනීමේ වගකීම ඔවුන්ට පැවරී ඇත.

විශේෂයෙන් මේ රටේ සුළුතරයක් වන මුස්ලීම් ප්‍රජාවට මෙම මැතිවර්ණය එක්තරා අන්දමකින් තීරණාත්මකය. ඒ මේ රට අඳුරු ඉසව්වකට ඇදගෙන ගිය ජාතිවාදය පරාජ කරමින් පසුගිය ජනාධිපතිවර්ණය දී යහපාලනයක් සදහා බුද්ධිමත් ජනතාව පෙලගැසීම යලිත් ආපස්සට හැරවීමට ජාතිවාදී කල්ලීන් ගණනාවක් අද අත්වැල් බැඳගෙන මේ මැතිවර්ණයට ඉදිරිපත්ව සිටීමය. ඔවුන් සෘජු හා වක්‍ර වූ ජාතිවාදී දේශපාලනික පොරොන්දු ගණනාවක් සමාජයට ලබාදෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මැතිවර්ණ කරලියට අද ඉදිරිපත්ව සිටී. මේ උත්සාහය යලිත් වරක් මේ පොළොව මත පරාජය කිරීමේ භාරදූර වගකීම මේ රටේ ජනතාව නැවතත් පැවරී ඇත. මේ සදහා කලයුතු වන්නේ තමන්ගේ වටිනා ඡන්දය පටු අරමුණු තුල කොටු නොකොට බුද්ධිමත් අයුරින් භාවිතා කිරීම පමණි.

මෙහිදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ව කිවයුතු වැදගත් පණිවුඩයක් ද ඇත. මේ රටේ බහුතර ජනතාවට මැතිවර්ණ අත්දැකීම අලුත් එකක් නොවූවත් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට නම් එය තරමක හුරු පුරුදු අත්දැකීමක් නොවේ. විශේෂයෙන් මුස්ලීම් කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් නොදැක්වීම මෙහි විශේෂයෙන් කිවයුතුම කාරණයකි. ඉතිහාසය දෙස බලන විට ජනාධිපතිවර්ණ හා මහා මැතිවර්ණ වලදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දළ වශයෙන් 40% ක් පමණි. නමුත් 2015/01/08 ජනාධිපතිවර්ණයේ දී මෙම තත්වය වෙනස් කරමින් 95% ක් පමණ මුස්ලීම් ප්‍රජාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කරමින් රටේ යහපාලනයක් සදහා ලබාදුන් දායතක්වය අප මෙහි ස්තූති පූර්වකව මතක් කලයුතුය. ඒ සක්‍රිය දායකත්වය යලිත් රටට ලබාදෙමින් තීරණාත්මක තීන්දුවක් ගැනීමේ අවස්ථාව 2015/08/17 දිනට උදාවීමට නියමිතව ඇත. එහිදී අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයට ඔබේ තීන්දුව විශිෂ්ට අයුරින් තීන්දු කලයුතුව ඇත.

…නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරයි…

ශුද්ධ වු කුර්ආනය 2-195

මේ රට බහුතරයක් බෞද්ධයන් වෙසෙන බුදුදහමට අමතරව හින්දු, කිතුණු හා ඉස්ලාම් වැනි ආගම් ඇදහීමේ නීත්‍යනුකූල අයිතිය හිමි බහු ජාතීන් හා බහු ආගමිකයන් වෙසෙන ප්‍රජාතාන්ත්‍රවාදී රටකි. මේ රට තුල මුස්ලීම් ජනතාව සුළුතරයක් වූවද ඔවුන්ගේ ආගමික හා පුද්ගල නිදහස අතීතයේ පටන් ඉතා සුරක්ෂිත වුණි. විටින් විට සුළු සිද්ධීන් වාර්ථා නොවූවා නොවේ. නමුත් එවැනි අවස්ථාවල එවකට පාලකයින් සාධාර්ණ මැදිහත්වීමන් සිදුකරමින් එම තත්වයන් පාලනය කරණ ලදී. නමුත් පසුගිය පාලන සමයේ මේ සියල්ල උඩුයටිකුරු කරමින් සිංහල බෞද්ධ ජාතිවාදයක් ශ්‍රී ලාංකීය සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලීම් ප්‍රජාවට එරෙහිව දියත් කරවන ලදී. ඒ පසුපස දේශපාලන හස්තයන් නොඅඩුව ක්‍රියාත්මක වුවා යන්න ප්‍රසිද්ධ රහසකි. එය කොතරම් මිලෙඡ්ච අන්දමින් මේ රට තුල ක්‍රියාත්මක වුවාද යන්නට නිදසුන් බොහෝය. එවන් සිද්ධීන් හමුවේ රටේ පාලකයින් හා නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ඉතා විශ්මය ජනක මෙන්ම පිලිකුල් සහගතය. මෙම අඩවිය තුල කල එවැනි අණාවර්ණයන් කිහිපයක් නැවත ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

(මෙවැනි සිද්ධීන් හා ජාතිවාදී කුමන්ත්‍රණ ගණනාවක් පිලිබදව තවත් කරුණු කියවීමට ‘ජාතිවාදය‘ නම් ගොනුව කියවන්න) ඒ අනුව පසුගිය කාලවල මේ රටේ මුස්ලීම් ප්‍රජාව සමාජයෙන් කොන් කරමින් ඔවුන් ත්‍රස්ථවාදීන්, අන්තවාදීන්, මූලධර්මවාදීන්… යනාදී ලෙස චෝදනා පත්‍ර පෙලගසමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ,

  • දේවස්ථාන කඩා බිඳ ගිනිබත් කරමින් විනාශ කරද්දී,
  • ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කරද්දී,
  • අල්ලාහ් (දෙවි) පඹයෙකු ලෙස සාදා ගිනිබත් කරද්දී,
  • මුස්ලීම් ගම්මානයන් (නිදසුනක් ලෙස බේරුවල අවට) විනාශ කරද්දී,
  • මුස්ලීම්වරුන් (මුස්ලීම්වරුන් වීම නිසාම) ඝාතනය කරද්දී,
  • ඔවුන්ගේ දේපල විනාශ කරද්දී,
  • ව්‍යාපාරික ස්ථාන විනාශ කරද්දී,
  • ඒවා ගිනිබත් කරද්දී,
  • ආගමික ආයිතීන් උදුරා ගනිද්දී,
  • ඒවාට විවිධ තහංචි පනවද්දී,
  • කාන්තාවන්ගේ ආගමික නිදහසට බාධා පමුණුවද්දී,
  • බොරු ඉතිහාසයන් ඉදිරිපත් කොට මුස්ලීම්වරුන්ගේ උරුමයන් උදුරා ගනිද්දී,

මේ රටේ මුස්ලීම් ප්‍රජාවට කරන්නට ඉතිරිව තිබුණේ ‘යාඅල්ලාහ්‘ යනුවෙන් දෙවියන් ඉදිරියේ දෑත් දිගුකොට මේ රටේ යහ පාලනයක් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම මිස අන් කිසිවක් නොවේ. කෙසේ වෙතත් මෙය මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ පමණක් වූ පැතුමක් නොවිය. සාමය, සහජීවණය, සමගිය අගයන සිංහල, දමිල හා මුස්ලීම් සියළුදෙනාගේ ඒකායන පැතුම ද විය. ඒ පැතුම මල්පල ගන්වමින් උදාවූ 2015/01/08 ජනාධිපතිවරුණය. ඉහත අඳුරු යුගය නිමා කරමින් රටේ යහපාලනයක් නිර්මාණය විය. නමුත් ඒ යහපාලනය කෙටි කාලයකින්ම හිරු දුටු පිනිබිඳු මෙන් අතුරුදහන් වී නැවතත් මේ රට තුල අඳුරු යුගයක සෙවනැලි මතුවෙන්නට පටන්ගෙන ඇත. ඒ මේ රටේ දැන් (2015/08/17) ප්‍රකාශයට පත්ව ඇති මහ මැතිවර්ණය සමග මුස්ලීම් විරෝධී ජාතිවාදීන් හා ඔවුනට අනුබල දෙන දේශපාලඥයින් ජාතිවාදයම ප්‍රධාන තේමා පාඨය කරගෙන කරලියට බැස සිටීම නිසාය.

මේ මොහොත ඉතා තීරණාත්මකය. ජාතිවාදී වියරුවෙන් රට පාලනය කරන්නට වෙර දරණ කෘෘර පාලකයන්ට මේ රට නැවත භාරදෙනවාද?. නොඑසේ නම්, මේ රටේ යහපාලනයක් ගොඩනගන්න ඉදිරිපත්ව සිටින පිරිසට මේ රටේ ඉරණම භාර කරනවාද?. බුද්ධිමත් තීන්දුව ඇත්තේ ඔබ අප අතේම පමණි. මෙහිදී සම්ප්‍රදායික පක්ෂ දේශපාලන, සංවිධාන හෝ පුද්ගල චරිත මට ඔබට වැදගත් නොවේ. මේ සියල්ලෙන් ඔබ්බට ගිය බුද්ධිමත් තීන්දුවයි රටේ හෙට දවස තීන්දු කරන්නේ. එනම්, ඔබේ මගේ අනාගත ඉරණම තීන්දු කරන්නේ. මෙතැනදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අවදානයට විශේෂයෙන් කිවයුතු කාරණා කිහිපයක් ඇත. එනම් මෙහි පලමුවෙන් වටහාගත යුතු පරම සත්‍යයක් නම්, කවර දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති මේ රටේ පාලන බලය ගත්තත් කලින් කලට විවිධ වූ තාඩන පීඩන මුස්ලීම්වරුන්ට ඇතිවීම නොවැලැක්විය හැකි කාරණයක් යන්නයි. එය ලෝක ඉතිහාසය තුල නිරන්තරයෙන් දකින්නට ඇති සත්‍යයකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවි) පහත ආකාරයට පවසයි.

…බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිතහා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙමපරීක‍ෂණයන්හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්යදන්වා සිටිනු.

ශුද්ධ වු කුර්ආනය 2-155

අල්ලාහ් (දෙවි) සැබෑ මුස්ලීම්වරුන් කවුරුන්ද?, ඉවසිලීවන්තයන් කවුරුන්ද? යන්න පරික්ෂා කිරීම පිණිසත්, ඔවුන් දහම තුල කොතරම් දුරකට ස්ථීර කටයුතු කරනවාද? යන්න පරීක්ෂා කිරීම පිණිස විවිධ වූ තත්වයන් සමාජය තුල නිර්මාණය කරන්නේය. මෙය ශුද්ධ වූ අල්කුර්ආනයේ 47-31 වාක්‍යය මඟින් ද අවදාරණය කරයි. මේ නිසා ‘අපි මුස්ලීම් ඉතින් අපිට ඇයි මෙවැනි දුක් කරදර ?…‘ යන ප්‍රශ්නය සැබෑ මුස්ලීම්වරයෙකු තුල ඇතිවිය නොහැක. ඔහුට ගඟක් මෙන් ගැටළු, තර්ජන, ගර්ජන, තාඩන, පීඩන… ගලා එනු ඇත. ඒ සියල්ල හමුවේ ඔහු නොසැලී සත්‍ය මාර්ගය තුල සිටීමින් අල්ලාහ් (දෙවි) අපෙන් අපෙක්ෂා කරන ලෙස අප ක්‍රියා කරනවාද? යන්න පරීක්ෂා කර බැලීමයි මුස්ලීම්වරයෙකුගේ ලෞකික දිවිය වන්නේ. මෙය පහත ශුද්ධ වූ වාක්‍යයන් තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත. එනම්,

ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහුවනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතමආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

විවිධ වූ තාඩන, පීඩන, තර්ජන, ගර්ජන… හමුවේ සැබෑ මුස්ලීම්වරයෙකගේ ප්‍රතිපදව කෙසේ වියයුතුද යන්න ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මනවා පැහැදිලි කරයි. ඔවුන් බියගැන්වූ සෑම විටම ඔවුන්ගේ දේව විශ්වාසය දේව අවනතභාවය වඩාත් ශක්තිමත් වූවා මිස ඔවුන් ඉස්ලාම් හා දෙවියන් කෙරෙහි දුර්වල විශ්වාසයෙන් යුතු ‘අපි මුස්ලීම් අපිට මෙවැනි තත්වයන් ඇති වියයුතුද?..‘ යනුවෙන් කම්පා වන මුස්ලීම්වරුයෙකු බවට කිසිසේත් පත්නොවන බව අල්කුර්ආනය පවසයි. එලෙස නොබියව වඩ වඩාත් දෙවියන්ට නැඹුරුව සිටින පිරිස් සමඟ අල්ලාහ් (දෙවි) සිටින බව පහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) තවදුරටත් මෙලෙස අවදාරණය කරයි. එනම්,

…තවද නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවවු. ඔවුන් කුමන්ත්‍රණය කරමින් සිටින දෑ පිළිබඳව නුඹ පීඩනයෙහි පසු නොවවු.කවරෙකු බිය භක්තිකයින් හා දැහැමියන් වන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් සමඟය.
ශුද්ධ වූ කුර්ආන් 16-127,128

එසෙනම්, ඉහතින් සදහන් ආකාරයේ වූ තාඩන-පීඩන, තර්ජන-ගර්ජන මඟින් 2015/08/17 දින අප ගන්නා තීරණාත්මක තීන්දුවට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවිය යුතුය. ඉහත 2-195 හි සදහන් ආකාරයට විෂිශ්ට අයුරින් අපගේ තීරණය ලබාදිය යුතුව ඇත. ඔබ ලබාදෙන බුද්ධිමත් තීන්දුව රටක් ලෙස පමණක් නොව ජාතියක් ලෙසත්, ආගමානුකූලත් ඉතා වැදගත් වේ. ඒ තීර්ණය පටු සීමාවන් තුල හිඳ ගැනීම හෝ එම අයිතිය නොසලකා හැරීම මේ රටටත්, සමස්ථ ජාතියටත්, ඉස්ලාම් දහමටත් කරන මහා අපරාධයක් යන්න අමතක නොකල යුතුය. එසේනම් ඔබේ යුතුකම වගකීම නිසි ලෙස අවබෝධ කරගෙන අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 2-195 හි පවසන ආකාරයට එය ඉටු කරන්න. ඒ සදහා ඔබට නුවණැස පෑදේවා! ශක්තිය, ධෛර්‍යය ලැබේවා! යනුවෙන් යහමඟ ප්‍රාර්ථනා කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම