2020 ජනාධිපතිවර්ණය හා ඔබේ ඡන්දය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ නැවතත් ජනාධිපතිවර්ණය ප්‍රකාශයට පත්වී ඇත. ඉතිහාසයේ කවරදාකවත් නොදුටූ තරම් ජනතා සේවකයින් පිරිසක් ද මෙවර අප වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. නමුත් ඔවුන්ගේත්, අපේත්, රටේත් ඉරණම තීන්දු කරන තීරණාත්මක තීන්දුව ඇත්තේ අප අතේය. එම තීන්දුව බුද්ධිමත්ව පාවිච්චි කරන්නේ නම්, එය ඔබත් මමත් මේ රට වෙනුවෙන් කරන උතුම් මෙහෙවරක් මෙන්ම රටේ යහපතට කරන වටිනා දායකත්වයක් ද වනු ඇත.

එහිදී ජාතිය, ආගම, කුලය, ගම, නගරය, ඇදුම, කථාව… වැනි පටු කරුණු කාරණා පදනම් කරගෙන ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ නම්, එය මේ රටට කරන ද්‍රේහිකමක් මෙන්ම ඔබේ වටිනා දායකත්වයක් රටට අවශ්‍ය මොහොතක නිෂ්පල කිරීමක් වනු ඇත.

කෙසේ වෙතත් ගෙවුනු දශක කිහිපය තුල මේ රටේ ජනතාව මැතිවර්ණ අවස්ථාවන්වල තම රටට ලබාදුන් දායකත්වයන් විමසා බලන විට, රටේ බහුතර ජනතාව පුද්ගල ප්‍රතිරූපවලට හා ජාතිවාදයට රැවටී ඡන්දය පාවිච්චි කරන ආකාරයක් දකින්නට තිබෙනවා මිස බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කරන ආකාරයක් එහි දකින්නට නැත. තවත් සරලව පවසනවා නම්, අප රටේ බහුතරය පාවිච්චි කරන ඡන්දය බුද්ධිමත් හෝ රටේ යහපතට බලපාන අයුරින් ලබාදුන් ඡන්දයක් නොව පටු අරමුණු පෙරදැරිව පාවිච්චි කල ඡන්දයක් පමණි.

ඉහතින් මා පවසන තත්වය අවබෝධ කරගැනීමට ගැඹූරු දේශපාලන විග්‍රාහයන් හෝ දත්ත විශ්ලේෂණ අවශ්‍ය නැත. වර්ථමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ක් වූ ජනතා නියෝජිතයන් කවුරුන්ද?, ඔවුන්ගේ දේශපාලන දැනුම හා හැකියාව කොතරම්ද?, ඔවුන් ජනතාවට දුන් පොරොන්දු මොනවාද?, ඔවුන් රටට හා තමන්ටම කරගෙන ඇති සේවය කුමක්ද?… වැනි කාරණයන් විමසා බලන්නේ නම්, මා පවසන ඉහත තත්වය සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට සරලව තේරුම්ගැනීම අපහසු නොවනු ඇත. එම කාරණය රටේ පොදු ජනතාව වන ඔබගේ බුද්ධිමත් විමසුමට තබමින් ‘2020 ජනාධිපතිවර්ණය හා මුස්ලීම් ඔබේ ඡන්දය’ යන කාරණය යටතේ මේ රටේ මුස්ලීම් ජනයාගේ විශේෂ අවදානයට කරුණු කිහිපයක් මෙතැන් පටන් ගෙන එන්නට අදහස් කරමි.

මේ රට සුළු ජාතීන් වන අපටත් අයිති රටක්ලු…

‘මේ රටේ අප උපන්නේ ඇයි? මේ රටේ ජීවත්වීම ම කරුමයක්’ යයි සිතෙන තැනට කටයුතු වෙමින් තිබූ යුගයක් එකවර 2019 අගොස්තු මාස ජනාධිපතිවර්ණයක් ප්‍රකාශ වීමත් සමඟ ‘හිරු දුටු පිණිබිඳු මෙන්’ සියල්ල වෙනස් වී ඇත. රටේ සුළු ජාතීන් (විශේෂයෙන් මුස්ලීම් ජනයා) මේ රටින් නෙරපන්න කථාකල පිරිස් අද අප වෙත සහෝදරත්වයේ දෑත් දිගු කොට ඇත්තේ තම කැමැත්තෙන් වූවද මේ රට හැර යන්නට නොදෙන තරමිනි.

වඳ පෙති හා වඳ සැත්කම්,

වෛද්‍ය විද්‍යාව අභිබවා ගිය සමහරක් සමාජ මාධ්‍ය ඔස්තාර්ලා හා දේශපාලකයන් සිංහල ජාතිය වඳ කිරීමට රටේ සුළු ජාතිය (විශ්ෂයෙන් මුස්ලීම් ජනයා) කටයුතු කරන බවත්, ඒ සදහා වඳ පෙති හා ආලෙපන යොදාගන්නා බවත් පවසමින් මුස්ලීම් ජාතික වෙළදසැල් වර්ජනය කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය බිඳදමන්න ගෙනගිය පුළුල් ප්‍රචාරයන් 2019 අගොස්තු මාසයත් සමඟ එකවර අතුරුදහන් වී ඇත. (මඩකලපුවේ දී) නොදැමූ වඳපෙති පවා දැමූ බවට පිලිගන්නට තරම් කෲර ලෙස ක්‍රියාකල එම ව්‍යාපාරයන් හා වර්ජකයන් අද පැලෝපීය කියා නාලයක් ඇත්තට ම තිබුණාද ශාෆි කියා කෙනෙකු මේ මිහිතලය මත සිටියාද යයි සිතෙන තරමට නිහඬ වී ඇත්තේ අතීත අමිහිරි සිද්ධීන් සියල්ල හීනයක්ද? යයි සිතෙන තරමටය.

කෝ මේ ජාතිවාදී ජාතිමාමකයින් ?

බ්ලොග් හා සමාජ මාධ්‍යයන් සියල්ලම වාගේ එකම ජාතිවාදී මඩ ගොහොරක් කොට රටේ සුළු ජාතීන් (විශේෂයෙන් මුස්ලීම් ජනයාට) එරෙහිව සිංහනාද කල ඒ ජාතිවාදී සිංහ පැටවුන් ද, අලුත්ගම, ගිංතොට, දිගන, මිනුවන්ගොඩ… යනාදී ප්‍රදේශයන් ගිනිබත් කල ඒ ගිනි මකර පැටවුන් ද අද එනම්, 2019 අගොස්තු මාසයත් (ජනාධිපතිවර්ණයක් ප්‍රකාශ වීමත්) සමඟ නකුටු නමාගෙන කුක්කන් සේ හීලෑ වූයේ කුමන ආශ්චර්‍යයක් හේතුවෙන්ද?.

අපට අඹසරණ දූන්…

එපමණක් නොව ඉහත විනාශකාරී ව්‍යාපාරයන්ට සෘජුව හා වක්‍රව නායකත්වය දුන් ආගමික නායකයින් හා පූජකවරුන්ද මේ සියල්ල කෙරෙහි කලකිරී සියල්ල අතහැර වස් වසන්න ගොසින්ද?. නොඑසේ නම් බුදුන්වහන්සේ අභිධර්මය දේශනා කරන්න තව්තිසාවට ගියාසේ මේ පිරිසත් එලෙස ගොස් එහිම වස් කාලය ගතකරනවාද?. නොඑසේ නම්, මේ සියල්ල හීනයක්ද? වැනි අසාමාන්‍ය පැනයන් රාශියක් මතුවන තරමට සියල්ල වෙනස් වී ඇත.

දේශපාලකයන් හා දේශපාලුවන්

පසුගිය කාලවල රටේ ජාතිවාදී ප්‍රකාශයන් සිදුකරමින් කටයුතු කල බොහෝමයක් දේශපාලකයන් තුල ප්‍රබල වෙනසක් අද දකින්නට ඇත. ‘ජාතිවාදය’ යන වදන නොහඳුනන තරමට ම ඔවුන් විශ්මිත ලෙස අද වෙනස් වී ඇත. එසේම මුස්ලීම් ජනතා නියෝජිතයන්ගේද සිහි විකල් වූ ආකාරයක් දක්නට ඇත. එනම්,

  • රටේ සුළු ජාතීන්ට එරෙහිවීම හා ජාතිවාදය එකම න්‍යායපත්‍රය කොට නිර්මාණය වූ සමහරක් දේශපාලන පක්ෂ අද ජාතිවාදයට එරෙහිව කථා කරමින්, එයින්ද නතර නොවී ජාතිවාදය කථා කල පක්ෂයේ ප්‍රබලයන් පවා පක්ෂයෙන් නෙරපන ආකාරයන් දකින විටත්,
  • ‘ත්‍රස්ථවාදියා, අන්තවාදියා’ කියා එකින් එකාට චෝදනා නඟාගත් පිරිස් එකම වේදිකාවක එකින් එකා අත්වැල් බැඳ කටයුතු කරන ආකාරය දකින විටත්,
  • රටේ සුළු ජාතීන් (විශේෂයෙන් මුස්ලීම් ජනයාට) සේවය කරන්නට කියා එකින් එකා කුලල්කාගන්නා ආකාරය දකින් විටත්,
  • මුස්ලීම්වෙස්ගත් සිංහල දේශපාලකයින් හා සිංහලවෙස්ගත් මුස්ලීම් දේශපාලකයින් මාධ්‍ය ඉදිරියේ දක්වන රංගනයන් දකින විටත්,
  • රටේ සුළු ජාතීන් (විශේෂයෙන් මුස්ලීම් ජනයා) නියෝජනය කරන බවට වහසිබස් දොඩවන මුස්ලීම් මන්ත්‍රීවරුන් දැන් පිල්බෙදී එකින් එකාට චෝදනා නඟමින් හා තම පාර්ශවයන් සාධාර්ණීකරනය කරමින් කුලල් කාගන්නා ආකාරය දකින විටත්,

2019 අගොස්තු මාසයේ ජනාධිපතිවර්ණය ප්‍රකාශ වීම රටේ ජාතිවාදය වැපිරූ දේශපාලකයින් හට කොඩිවිනයක් වීදෝ? යන සාධාර්ණ වූ සැකයක් මතුවන තරමට සියල්ල වෙනස් වී ඇත.

බුද්ධිමත් විමසුමට

රටපුරා නීතිය ක්‍රියාත්මක වෙද්දීත්, අප රටේ සාධාර්ණය අගයන විද්වත් ප්‍රජාවන් හඬ නගද්දීත්, විදේශ රටවල පාලකයින් හා විද්වතුන් එපා කියද්දීත් ක්‍රියාත්මක වූ ‘ජාතිවාදී ව්‍යාපාරයන්’ එක මොහොතින් එනම්, ‘ජනාධිපතිවර්ණයක්’ ප්‍රකාශ වීමත් සමඟ නතර වූයේ කෙසේද? මෙයයි මේ රටේ බුද්ධිමත් ප්‍රජාව අද විමසා බැලිය යුතු පැනය. මේ සම්බන්ධයෙන් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් කල ප්‍රකාශයක් මෙහි උපුටා දැක්වීම සුදුසු යැයි හැඟේ එනම්,

රටේ තියෙන්නේ
සිංහල අන්තවාදයවත්,
ද්‍රවිඩ අන්තවාදයවත්,
මුස්ලීම් අන්තවාදයවත්,
නොවේ.
දේශපාලන අන්තවාදයයි.

උන්වහන්සේ ප්‍රකාශ කරන එම සත්‍ය දැන් අප ඇස් ඉදිරියේ ඇත. 2019 අගොස්තු මාසයේ ජනාධිපතිවර්ණය ප්‍රකාශ වීමත් සමඟ සියළු ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් එක මොහොතින් නතරවීම තුල කාගේ හෝ උවමනාවක් මත මේ සියල්ල සිදුවූ බවත්, සිදුවෙන බවත් පැහැදිලිය. එසේනම් එය දේශපාලන අවශ්‍යතාවයක් මත නිර්මාණය කල තත්වයක් මිස ජාතීන් අතර මතු වූ තත්වයක් නොවන බව පැහැදිලිය. මෙම සත්‍යය රටේ සියළු ජාතීන් හොදින් වටහා ගතයුතුය. එම සත්‍යය අප තේරුම් ගැනීමට අපොහොසත් වන්නේ නම්, ඉදිරියටත් මේ රටේ දේශපාලඥයින්ගේ ඉත්තන් බවට අප පත්වෙනවා යන්නත්, ඔවුන්ගේ න්‍යායපත්‍රයකට අපව මෙහෙයවනවා යන්නත් නොවැලැක්විය හැකි තත්වයක් වේ. ‍‍

මෙතෙක් ඉදිරිපත් කල කරුණු මුස්ලීම්වරුන් වන අප මේ මොහොතේ බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මෙම ජනාධිපතිවර්ණය අපට කොතරම් වැදගත් තීරණාත්මක සංධිස්ථානයක් ද යන්න තේරුම් ගැනීම අපහසු නොවේ. එසේනම් අපගේ වටිනා ඡන්දය බුද්ධීමත්ව හා විශිෂ්ඨ අන්දමින් පාවිච්චි කිරීම අවශ්‍යතාවයත් තේරුම් ගැනීම අපහසු නොවේ.

එහිදී…

  • දේශපාලඥයින්ගේ විශේෂයෙන් මුස්ලීම් ජනතා නියෝජිතයන්ගේ ඉත්තන් ද නොවී,
  • මුස්ලීම්වරුන්ගේ වටිනා ඡන්දය නිශ්පල කරන්නට කුමන්ත්‍රණය කරන අපේක්ෂකයන්ගේ කුමන්ත්‍රණවලට ද හසු නොවී,
  • ඉස්ලාම් නමින් වූ කල්ලි කණ්ඩායම්වල පටු දේශපාලන න්‍යායපත්‍රයන්ටත් කොටු නොවී,
  • විවිධ දේශපාලන පක්ෂවලට කඩේ යන මුස්ලීම් පූජකවරුන්ගේ කුමන්ත්‍රණවලට ද හසු නොවී,
  • පාරම්පරික පක්ෂ දේශපාලනයට කොටු නොවී,
  • පුද්ගල ප්‍රතිරූපවලට නොරැවටී,
  • ප්‍රායෝගික සැලැස්මක් නැති වචන ගොඩකට නොරැවටී,

ශුද්ධ වූ කුර්ආනයේ 2-195 න් අල්ලාහ් (දෙවි) පවසනවා සේ. එනම්,

…නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරයි…

අවසාන වශයෙන්

අවසානම වශයෙන් පවසන්නට ඇත්තේ, අප රටේ පසුගිය දශක කිහිපයේ සිදුවූයේ කුමක්ද?, මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?, සිදුවෙන්නට යන්නේ කුමක්ද? යන්න බුද්ධිමත්ව තෝරා බේරාගෙන ‘ජාතිවාදය’ මේ පොළොවින් තුරන් කරන පලමු වෙඩිමුරය පත්තු කිරීමේ පූර්ණ අයිතිය, නිදහස හා බලය 2019 නොවැම්බර් 16 දින මට ඔබට උදාවේ. එදින පටු අරමුණු හා වාදභේද සියල්ල පසෙක දමා ජාතීන් ලෙස වෙන්වී විනාශය කරා පියවර තබනවාද?. නොඑසේනම්, ‘ශ්‍රී-ලාංකීය’ ජාතියක් ලෙස නැඟීසිට ලෝකය ජයගන්නවාද? යන පැනය තම හදවතින්ම ගැඹුරින් විමසා බලා රට පෙරටු කොට තම වටිනා ඡන්දය ඉහතින් අල්ලාහ් (දෙවි) අවවාද කලාසේ බුද්ධිමත් විශිෂ්ඨයන් ලෙස සටහන් කරන්න ආරාධනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම