වහාබිසම් පිලිබදව දෙරණ ප්‍රවෘත්ති හෙලිදරව්ව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


2010/09/20 දින දෙරණ රූපවාහිණීයෙහි රාත්‍රී 8.00 “අද දෙරණ” පුවත් විකාශනයේ ප්‍රථම පුවත වශයෙන් විකාශය වූ ප්‍රවෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව ඇතුළු සමස්ථ ජාතියේම අවධානයට කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

එම ප්‍රවෘත්තිය මෙසේය…

අද ලොව පවතින සෑම දහමකම හා දර්ශනයකම දක්නට තිබෙන පොදු වූ ලක්ෂණය තමා ඒ තුල පවතින විවිධ ආකාරයේ වූ බෙදීම්. මෙම බෙදීම් ඒ ඒ දහමන් තුල ආරම්භ කාලයේ දක්නට නොතිබුණු නමුත් එහි ශාස්තෘවරුන් හා දාර්ශනිකයන් සමාජයෙන් නික්මෙනවාත් සමඟ එම දහම හා දර්ශනයන් තුල විවිධ මතභේදයන් නිර්මාණය වී ඒ තුලින් බෙදීම් නිර්මාණය විය. මේ නිසා සමාජයේ බහුතරය පිවිතුරු දහමන්ගෙන් හා මඟපෙන්වීමන්ගෙන් බැහැරව ඔවුන් ඔවුන්ගේ සිතුවිලිවලට අනුව ක්‍රියාකිරීම පෙළඹීය. මේවාට මූලික හේතුව ඒ ඒ ඉගෙන්වීමන් පිලිබදව සමාජයට පැවතී අනවබෝධයයි. මේ හේතුව නිසා ලොව සෑම දහමක් දර්ශනයක්ම මේ පසුකාලීන බෙදීමන්ට ගොදුරු විය. එම අවාසනාවන්ත ඉරණමින් ඉස්ලාම් දහමට ද මිදීමට හැකි වූයේ නැත. මෙවන් තත්වයක ඉස්ලාම් භක්තිකයන් ද ආගමික මූලාශ්‍රයන් තුලින් දහම අවබෝධ කරගන්නවා වෙනුවට විවිධ ජනප්‍රිය මතවාදයන් හා පුද්ගලයන් තුල දහම කොටු කොට ඒ අනුව ක්‍රියා කිරීමට පෙළඹීය. එහි දී මුස්ලීම් සමාජය ඉස්ලාම් දහම අවබෝධ කරගැනීම සදහා සරල උපක්‍රමයන් අනුගමනය කරන්නට විය. එනම්,

  • මිත්‍යාවන් හා පුරාවෘතයන් පදනම් කරගෙන
  • විවිධ සංවිධාන හෝ කල්ලිවාද පදනම් කරගෙන
  • ජනප්‍රිය චරිත පදනම් කරගෙන

යනාදීය මින් කිහිපයකි. මේ මොහොතේ සත්‍ය දහම ජනතාවට ප්‍රචාරය කරනවා වෙනුවට ඉහත පාර්ශවයන් සිදුකලේ එකින් එකා හට චෝදනා කරගනිමින් ජනතා කැමැත්ත දිනාගැනීම සහා තම පාර්ශවකරුවන් තවදුරටත් තම මතවාදයන් තුල ආරක්ෂා කරගැනීමයි. මෙම පාර්ශවකරුවන් තවදුරටත් රදවාගැනීමේ අභියෝගය ජය ගැනීම සදහා විවිධ පාර්ශවයන් විවිධ වූ මට්ටමේ උපක්‍රමයන් භාවිතා කරන ලදී. ඉන් සමහරක් ක්‍රියාකලාපයන් ඉතා පහත් මට්ටමක පවතින අතර එවැනි එක් උත්සාහයක් තමා ඉහත ප්‍රවෘත්තිය තුලින් විකාශනය වන්නේ,

එම ප්‍රවෘතිය පහතින් ඉදිරිපත් කිරීමට පෙර සදහන් කලයුතු කරුණු කිහිපයක් ඇත. එහි ප්‍රථම කාරණය මෙම ලිපිය ලියන මා ඉස්ලාම් භක්තිකයෙකි. මූස්ලීම් සමාජය දහම මුල්කරගෙන බෙදීගිය අවස්ථාවන් පිලිබදව ශ්‍රී ලාංකීය අන්‍ය (මුස්ලීම් නොව) සමාජයට වඩා මා හට කිසියම් අවබෝධයක් ඇත. මෙම යහමඟ (යහමඟ) අඩවිය හරහා මෙම විෂය පිලිබදව මීට පෙර කිහිපවිටක් කථා කොට ද ඇත. ඒ අනුව ස්ථිරවම පැවසිය යුතු කාරණය වන්නේ මෙහි සදහන් ආකාරයට ත්‍රස්ථ සංවිධානයක් ශ්‍රී ලාංකීය සමාජයේ ක්‍රියාත්මක වේ නම් ඔවුන් හා ඉස්ලාම් දහම අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව ප්‍රථමයෙන් ශ්‍රී ලාංකීය සමාජය අවබෝධ කරගත යුතුය. එසේම එවැනි සංවිධානයක් රහසිගතව හෝ ක්‍රියාත්මක වේ නම් ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට රජයට සහයෝගය දැක්වීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්ය වගකීමක් යන්න ඉස්ලාම් අවධාරණය කරණ කාරණයකි. එසේම රටේ ආරක්ෂාව සදහා රජය ගෙනයන වැඩ පිලිවල අවස්ථාවක් කරගෙන ආගමික බෙදීම්වලට පහත් අන්දමින් විසදුම් සොයන්නට පිඹුරුපත් සකසන කුමණ්ත්‍රණකරුවන් ද සමාජයට පැහැදිලිව පෙන්වාදීමේ සැබෑ මුස්ලීම් සමාජයේ අනිවාර්ය වගකීමකි.

දෙවන කාරණය මුස්ලීම් ප්‍රජාව නොව ඉස්ලාම් දහම සම්බන්ධව ඉදිරිපත් කරන මෙවැනි ප්‍රවෘතියක් ඉදිරිපත් කරන දෙරණ ආයතනය සම්බන්ධයෙන්ද වචනයක් සදහන් කලයුතුව ඇත. එනම් වර්ථමානයේ මාධ්‍යයන් තුල පවතින තරඟකාරීත්වයත් සමඟ ප්‍රවෘති මවන්න බොහෝ ආයතන පෙළඹී සිටීම අවාසනා වන්ත තත්වයකි. එම අවාසනාවන්තකමත් ඉහතින් මා සදහන් කල කුමණ්ත්‍රණ පිරිසත් එක්වූ තැන එතන සිදුවන්නේ මහා විනාශයකි. එසේම මෙය වැරදි පූර්වාදර්ශයකි. මෙම දොර විවෘත කිරීම තුල ඉදිරියටත් මෙවැනි විකෘති මානසික පිරිස් මෙවැනිම ප්‍රකාශ නිකුත් කිරීමට පෙළඹෙනු ඇත. මේ දොර මෙතැනින් වසාදැමිය යුතුය. නොඑසේ නම් සමබර සංවාදයක් ගොඩනැඟිය යුතුයි. ඉහත මාධ්‍ය ආයතනය මෙම ප්‍රවෘතිය විකාශනය කිරීමට පෙර මෙහි සත්‍ය අසත්‍ය පිලිබදව විමසුමක් සිදුකිරීමට තිබුණි. කිසියම් මතවාදයක් සමාජගත වන්නේ නම් ඒ පිලිබදව මධ්‍යස්ථ විමසුමක් සිදුකිරීම තමා මාධ්‍ය වගකීම විශේෂයෙන් “සත්‍ය ප්‍රථමයෙන්” යන තේමා පාඨය පෙරදැරි කරගෙන ප්‍රවෘති ඉදිරිපත් කරන වගකීමක් ඇති මාධ්‍යය “අසත්‍යය ප්‍රථමයෙන්” පවසමින් ඉහත කල්ලිවලට කඩේ යන්නේ නම් එසේත් නැත්නම් “හොරාගේ අම්මගෙන් පේන අහනවා සේ” මේ කල්ලිවාදීන්ගෙන් අදහස් විමසන්නේ නම් එය වගකීමක් ඇති මාධ්‍යයකට නොගැලපෙන ක්‍රියාපිලිවතකි.

ඉහත ප්‍රවෘත්තියෙන් අවධාරනය කරන මූලික කාරණය “ශ්‍රී ලංකාව තුල ‘වහාබිසම්’ නමින් ත්‍රස්ථ සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා” යන්නයි. ඒ සදහා ඉන්දියානු පුවත් පතක පලවූ ලිපියක්ද හුවා දක්වයි. ඉහත ප්‍රවෘතිය තුලින් ඉදිරිපත් කරන කාරණයට අවධානය යොමු කිරීමට මත්තෙන් මෙහි දී පුනාපුනා පැව‍ෙසන වචනයක් පිලිබදව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ “වහාබිසම්” යන්නයි.

“වහාබිසම්” යනු කුමක්ද?

මේ පිලිබදව වැඩිදුර දැනගැනීම සදහා මෙම අඩවිය තුල සාකච්චා කොට ඇති “වහාබිසම්” හෙවත් වහාබ් වාදය යන ලිපිය කියවන්න.

ඉහත ප්‍රවෘතිය තුලින් සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් “ඉස්ලාමීය සහයෝගිතා පෙරමුණෙ හි” සභාපතිවරයාගෙන් මා විමසීමට ඇත. එසේම මෙම ප්‍රශ්න පිලිබදව රජයේ ආරක්ෂක අංශවල අවධානය ද යොමුවීමට අවශ්‍යව ඇත. එනම්,

  • මෙලෙස අසත්‍ය ක්‍රියාවලියන් තුලින් මුස්ලීම් සමාජය තුල ගොඩනඟන්නට යන “සහයෝගය” කුමක්ද?
  • “වහාබිසම්” නම් වූ ත්‍රස්ථ සංවිධානයක් ඉස්ලාම් නමින් අප රට තුල ක්‍රියාත්මක බවට ස්ථීරව සදහන් කරන්න ඔබ සතු සාක්ෂි මොනවාද?
  • රටේ ආරක්ෂාවත් මහජන ආරක්ෂාවත් අවධානමකට ලක් කරන එම සංවිධානය ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ කුමණ නමින්ද? කුමණ ‍ප්‍රදේශයේද?
  • රටේ ආරක්ෂක අංශයත් අභිබවා මෙවැනි සත්‍යයක් අනාවරණය කරගැනීමට ඉහත සභාපතිවරයාට ඇති වෘතියමය හැකියාව කුමක්ද?
  • රටේ අවදානම් තත්වයක් පිලිබදව හෙලි කරන මොහු සතු දත්ත පිලිබදව රජයේ දැඩි අවධානය යොමු වියයුතු නොව්ද?
  • සභාපතිවරයා විසින් “ජාතියක් ලෙස තර්ජනයක්” බව පෙන්වන්නේ ඉස්ලාමීය පවුල් ඒකකය තුල ඇතිවන මතවාදී ගැටුමද?
  • ගරු සභාපතිවරයාගෙන් විමසා සිටින්නේ ඔබ නියෝජනය කරන එම “මුස්ලීම් ස‍හයෝගිතා සංගමයේ” සාමාජික පිරිස් කවුරුන්ද?
  • ඔබ සංගමයේ මෙහෙවර මෙයද?
  • එහි සභාපතිවරයා වශයෙන් මේ විෂය පිලිබදව ඔහුට ඇති දැනුම කුමක්ද?
  • හතුපිපෙනවා සේ මතුවන ඉස්ලාමීය සංවීධාන අතුරින් “ඉස්ලාමීය සහයෝගිතා පෙරමුණේ” යටි අරමුණ කුමක්ද?
  • එය දේශපාලන වරප්‍රසාද දිනාගැනීමක්ද?
  • නොඑසේ නම් තම මතවාදයට එරෙහි මතවාද දරන්නන් විනාශ කිරීමක්ද?
  • ඔබ (“ඉස්ලාමීය සහයෝගිතා පෙරමුණේ” සභාපතිවරයා) වශයෙන් මොන පොල්පැලේ ද මේ කන්න හදන්නේ ?

ඉහත ප්‍රශ්නවලට පිලිතුරු සොයන ඕනෑම කෙනෙකු හට මෙම ප්‍රකාශනය තුල ඇති යටි අරමුණු නිවරැදිව වටහා ගැනීම අපහසු නොවනු ඇත. අද සමස්ථ මුස්ලීම් ප්‍රජාවම අවධානමකට ලක්කරමින් මේ ඔහු සිදුකරන්නට සූදානම් වන්නේ “බළලුන් ලවා කොස් ඇට බාවාගැනීමකි”. එනම් ත්‍රස්ථවාදී යන ලේබලය යොදමින් මිත්‍යාවන්ට එරෙහිව සිදුවෙන සත්‍ය දහම් ප්‍රචාරනයන් අඩාල කිරීමකි. මෙහි දී මුස්ලීම් ප්‍රජාවට මෙන්ම වගකීමක් ඇති ඉස්ලාමීය සංවිධාන, සංගම්, ජනතා නියෝජිතයන් හා ආගමික විද්වතුන්ට ද වගකීමක් ඇත. ඒ මේ ආකාරයේ වැරදි පූර්වාදර්ශයට එරෙහිව වහ වහා ක්‍රියාත්මක වියයුතුය. අද සමස්ථ මුස්ලීම් ප්‍රජාවම රටතුල අවධානමකට ලක්කරමින් කරන මේ උන්මත්තක ප්‍රකාශනය අනුමත කිරීම, නිහඩව බලාසිටීම හෝ ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබීම තුල මෙවැනි උන්මත්තක තවත් ප්‍රකාශකයන් හට එය අවසරයක් අනුබලයක් වී සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ විනාශය එය තුල සටහන්විය හැක.

මුස්ලීම් සමාජය යනු එකම ශරීරයේ පවතින විවිධ අවයවමෙන් බව මුහම්මද් (සල්) තුමාණන් වරක් පැවසුවා එහි ඇසක තුවාලයක් නම් මුළු ශරීරයම එහි වේදනාව විදිනවා, අතක තුවාලයක් නම් ඒත් මුළු ශරීර‍යම එම වේදනාව විදිනවා මේ ආකාරයට තමා මුස්ලීම් සමාජය පැවතිය යුත්තේ මතවාද මතගැටුම් යන්න මනුෂ්‍යන් වශයෙන් නොවැලැක්විය හැකි කාරණයක්. සිදුවිය යුත්තේ එකින් එකාගේ අදහස් ගරුකරමින් වාදවිවාද සිදුකිරීම පමණි. එය ශුද්ධ වූ කුර්ආනය පවා “නුඹලා වාද විවාද කරන්නේ නම් අලංකාරව එය සිදුකරන්න” යයි පැවසීම තුල මෙයට ඇති අවසරය පැහැදිලය. මේ සිකිවක් පිලිබදව අවබෝධයක් නොමැති ඉහත “ඉස්ලාමීය සහයෝගිතා පෙරමුණේ” මුස්ලීම් සමාජය භේදබින්න කරමින් සිදුකරන මෙවැනි ක්‍රියාදාමයන් තුලින් ඔවුන්ගේ විකෘති මානසිකත්වය මනාව පිලිඹිබූ වේ.

මෙවැනි අනුවණකාරී අන්තවාදී සමාජයක් පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් විසින් වරක් අලංකාර උපමාවක් පවසන ලදී. එය මෙම ස්ථානයේ ගෙනහැර දැක්වීම කාලෝචිතයයි සිතේ,

එක්තරා බෝට්ටුවක ගමන්ගත් පිරිස් එම බෝට්ටූවෙහි උඩතට්ටුවේ හා යටතට්ටුවේ රැදී ගමන්කරන ලදී. මෙසේ ගමනෙහි නිරතවන අතරතුර මේ පිරිසගේ ජල අවශ්‍යතාවය සදහා ඉහල සිටින පිරිසට අපහසුවෙන් තොරව ජලය ලබාගත හැකි වූ අතර පහල තට්ටුවේ සිටින පිරිසට ඉහල මාලයට පැමිණීමට සිදුවිය. මෙසේ නිතර නිතර පහල සිට ඉහලට පැමිණි පිරිස් වරක් මෙසේ සිතන්නට විය. “අපි ඉන්නේ ජලය ලඟමනේ මේ බෝට්ටූව පතුලේ හිලක් යොදා ගත්තානම් අපට අවශ්‍ය ජලය එතැනින් ලබාගත හැකි වේවි” යයි පවසමින් බෝට්ටූවේ පතුලේ හිලක් යොදන්නට විය. ඉහල මාලයේ සිටී පිරිස් මෙය දැක “කමක් නැහැ අපි උඩින්නේ ඉන්නේ හානියක් වුනොත් වෙන්නේ ඒ අයට නේ” යනුවෙන් පවසා බලාසිටින ලදී. අවසානයේ බෝට්ටුව දියේ ගිලී සියළුදෙනා විනාශ වී ගිය බව පවසන ලදී.

අද මේ අප දකින්නේ ඊට බොහෝ සෙයින් සමාන තත්වයකි. එකම දෙවියා වන අල්ලාහ් (දෙවියන්)ට අවනතව ඔහුගේ අවසාන දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් එකම ආදර්ශය කරගත් මුස්ලීම් ප්‍රජාව විවිධ මතවාදයන් ඔස්සේ භේදබින්න වෙමින් මෙලෙස එකින් එකා විනාශ කරගැනීමකි. එය බලා කාලකන්නි වින්දනයක් ලබාගැනීම‍ට සිතීම බුද්ධිමත් සමාජය විසින් හෙලාදැකිය යුත්තකි. එසේම මෙවැනි වැරදි ප්‍රචාරණයන්ට එරෙහිව තම ශක්තියට හැකි පමණින් නැඟීසිටීමත්, සහෝදර අන්‍ය ආගමික ප්‍රජාව මේ පිලිබදව දැනුවත් කිරීමත් සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්ය වගකීමක් ද විය යුතුය.

(ඉහත ප්‍රවෘතිය තුලින් ශ්‍රී ලාංකීය කිසියම් මුස්ලීම් ජන කොට්ඨාශයක් දෙස ඇඟිලි දිගු කිරීමට ඉහත සභාපතිවරයා උත්සාහ කලද ඔහු දැන් හෝ නොදැන චෝදනාව නිර්මාණය කරන්නේ සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම එරෙහිවමය. එසේම මෙය වැරදි පූර්වාදර්ශයකි. අලංකාර දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් වන අප මෙවැනි පහත්ක්‍රියාවල නිරතවීම ඉස්ලාම් කිසිදු දිනක අනුමත නොකරන කාරණයකි. සමස්ථ මුස්ලීම් ජනතාවම අවධානමකට හා මහා පාවාදීමකට ලක්කරන මොහු වැනි ප්‍රකාශකයන් සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න මා මීට ඉහත දී මෙම වෙබ් අඩවිය හරහා සාකච්චා කොට ඇත. ඔබේ අවධානයට එවැනි ලිපි කිහිපයක්…)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම