දිව්‍ය වැකි කියවන සාතාන්ගේ පුත්තු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘ආගම දහම මනුෂ්‍ය යහපත සදහාමය‘ මෙය ලෝකයේ සියළු ආගමිකයින් පිලිගන්නා පොදු සත්‍යයකි. නමුත් මනුෂ්‍යා මේ ‘යහපත‘ තමා වෙත ලඟාකර ගැනීම සදහා යොදා ගන්නා ක්‍රමවේද හා ඒ තුලින් දිනාගැනීමට යන අරමුණු අනුව මෙය ප්‍රධාන කොටස් දෙකකට බෙදා කථා කලහැක. එනම්,

  •  වංක ලෙස පුද්ගල හෝ සංවිධානාත්මක පටු අරමුණූ දිනාගැනීමට ආගම දහම යොදාගැනීම,
  •  අවංක ලෙස මිනිස් සමාජයේ මෙලොව හා පරලොව යහපත සදහා ආගම දහම යොදා ගැනීම,

මෙහි ඉහත දෙවන කාරණය සියළු ආගමිකයන් අවංකව පිලිගන්නා එසේම ආගම දහමකින් ඉටුවිය යුතු ප්‍රධාන හා එකම මෙහෙවර ලෙස විශ්වාස කරන සත්‍යයකි. එම නිසා ඒ කාරණය පිලිබදව මෙතැන දී මෙම ‘දිව්‍ය වදන් කියවන සාතාන්ගේ සහකරුවෝ‘ නම් මාතෘකාව තුල කථා කිරීමට අවශ්‍ය නොවේ. නමුත් ඉහත පලමු කාරණය එනම්, තමාගේ හෝ තමන් නියෝජනය කරන සංගමයක සංවිධානයක පහත් අරමුණූ දිනාගැනීමට කිසිවකු ආගම දහම යොදාගන්නේ නම් එය සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකු අනුමත නොකරන පහත් ක්‍රියාවක් වන අතර ඉස්ලාමීය ඉගෙන්වීම අනුව එය යහපත් මිනිසුන්ට හා ක්‍රියාවන්ට එරෙහිව කුමණ්ත්‍රන කරන අමනුෂ්‍ය බලවේගය වන ශෙයිතාන් හෙවත් සාතාන් නම් නපුරු බලවේගයේ ක්‍රියාදාමය ද වේ.

මෙතැනදී සදහන් කලයුතු වැදගත් කාරණයක් ද ඇත. එනම්, දහමක් දර්ශනයක් විකෘති වී සමාජගත වීම හේතු ගණනාවක් නිසා සිදුවිය හැකි නමුත් ප්‍රධාන හේතු දෙකක් එයට සෘජුවම බලපායි. එනම්,

  •  ආගමික ඉගෙන්වීම පිලිබදව සැබැවින්ම තිබෙන අනවබෝධය හා එම දහම කෙරෙහි පවතින අසීමත භක්තිය නිසා තමන් නොදැනුවත්ව යම් යම් විකෘති වීමන් දහමක් හෝ දර්ශනයක් තුල සිදුවිය හැක.
  •  කුමක් හෝ අරමුණක් දිනාගැනීම සදහා හිතාමාතා එහි ඉගෙන්වීම් විකෘති කොට සමාජගත කිරීම සිදුවිය හැක.

ලොව ඕනෑම දහමකට දර්ශනයකට ඇති ප්‍රබල අභියෝගය වන්නේ තම දහමේ දර්ශනයේ ඉගෙන්වීම් ඒ ආකාරයට එහි අනුගාමිකයන් හට ලඟා කිරීමයි. මෙම ඉගෙන්වීම් එහි අනුගාමිකයින්ගෙන් දුරස් වූ තැන මිත්‍යා ඇදහිලි විකෘති ඉගෙන්වීම් එම දහමට දර්ශනයට ආරූඪවීම කිසිසේත් නොවැලැක්විය හැකි කාරණයකි. මේ අවාසනාවන්ත ඉරණමට ලොව සෑම දහමකම දර්ශනයකම ගොදුරු වුවා යන්න මේ අඩවිය තුල පවා හේතුව සහිතව ‘ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය‘ යන ලිපිය තුලින් දීර්ඝ ලෙස සාකච්චා කල බව ඔබේ මතකයේ ඇතැයි සිතමි. නමුත් මේ ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ එලෙස අනවබෝධය තුල විකෘති වූ හෝ විකෘති කල දහමන් හෝ දර්ශනයන් පිලිබදව නම් නොවේ. පැහැදිලි ලෙසම හිතාමතා විකෘති කරන ඒ තුලින් තම පහත් හා පටු අරමුණු කුමණ්ත්‍රනකාරී ලෙස දිනාගැනීමට කටයුතු කරන පිරිසගේ ක්‍රියාකලාප පිලිබදවය. ඒ අනාවර්ණය සදහා ශුද්ධ වූ කුර්ආන් පාඨ දෙකකින් පිවිසුමක් ලබාගන්නේ නම්,

ඔවුන් අතර දැනුමක් නැති අයද වෙති. ඔවුන් මුසාවන් හැර පුස්තකය නොදනිති. ඔවුන් මනක්කල්පිතයන් මිස අනුගමනය නොකරති.

ශුද්ධ වූ කුර්ආනය 2-78

ඔවුන්ට (කිසියම් කාරණයක් පිලිබදව) පූර්ණ ඥානයක් නොලද විටත්, ඒ (කාරණය) පිලිබදව පැහැදිලි කිරීමන් නොලද විටත් එය (එම කාරණය) බොරුවක් යයි ඔවුන් සිතන්නෝය.

ශුද්ධ වූ කුර්ආනය 10-39

අපි මිනිසාට මෙම කුර්ආනයේ සියලු ආදර්ශයන් පැහැදිලි කර ඇත්තෙමු. (නමුත්) මිනිසා අනවශ්‍ය  විවාද වල නියලී සිටියි.

ශුද්ධවූ අල්කුර්ආන් 18-54

අද වනවිට ඉස්ලාම් දහම විවේචනය කිරීම අපහසයට ලක් කිරීම ලොවපුරා වෙසෙන ඉස්ලාම් විරෝධීන්ගේ විනෝදාංශයක් වී ඇත. ඔවුන්ගේ එම ක්‍රියාව සාධාර්ණීකරනය කිරීමට තමන්ගේ විවේචනවලට ශුද්ධ වූ කුර්ආනයේ හා ශුද්ධ වූ නබිවදනේ පැහැදිලි සාක්ෂි තිබෙන බව පැවසීමත්, ඒවා පදනම් කරගෙන තම විවේචන ඉදිරිපත් කරන බව පැවසීමත් නිතර අසන්නට දකින්නට තිබෙන තත්වයකි. ඇත්තෙන්ම ඉස්ලාමීය මූලාශ්‍රයන් පදනම් කරගෙන කිසිවකු එලෙස විවේචනය කරන්නේ නම්, ඉස්ලාම් දහමට එරෙහිව කිසියම් මතවාදයක් ගොඩනඟන්නේ නම්, එය එක්තරා ආකාරයකින් අගය කලයුත්තකි. මන්ද ඉස්ලාම් දහමේ ඉගෙන්වීම් අධ්‍යනය කොට ඒ තුල තමන් අවබෝධ කරගත් කරුණු කාරණා පදනම් කරගෙන කිසියම් විවේචන මතවාදයක් ගොඩනැඟීම ප්‍රබල වරදක් ලෙස මා නොදකිමි. මන්ද ඕනෑම දහමක් දර්ශනයක් බුද්ධිමත් සංවාද මතගැටුම් සදහා විවෘත වියයුතු බව මා විශ්වාස කරන නිසාය. නමුත් එකවර විවේචනවලට නොගොස් එතැනදී වුවද යම් යම් පැහැදිලි කිරීමන් ඒ ඒ ආගමික විද්වතුන්ගෙන් ලබාගැනීමට ප්‍රථමයෙන් උත්සාහ කිරීම යහපත් ක්‍රමවේදයක් යයි මා විශ්වාස කරමි. මෙය ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම දහමක් සම්බන්ධයෙන් මිනිස් සමාජය අනුගමනය කලයුතු පොදු මෙන්ම යහපත් ක්‍රමවේදයකි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සඳහා ශුද්ධ වූ කුර්ආනයෙන් සරල නිදසුනක් ගෙන එන්නේ නම්,

…තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (ආහාර) අනුභව කරනු, පානයකරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසයසම්පුර්ණ කරනු…

ශුද්ධ වූ කුර්ආනය 2-187

ඉහත වාක්‍යයේ උපවාසය ආරම්භ කරන මොහොත පිලිබදව පැවසීමේ දී ‘…කළු නූලෙන් සුදු නූල පැහැදිලිව පෙනෙනතෙක්…’ යයි පැවසීම මනුෂ්‍ය බුද්ධිය පමණක් යොදවා විග්‍රහයන් ලබාගත හැකි අවස්ථාවක් නොවේ. එසේ වුවානම් උපවාසය ආරම්භ කරන අවස්ථාවේ කළු හා සුදු නූලක් අතේ ඇතුව ආහාර අනුභව කිරීම සිදුකල යුතු වේ. නමුත් මේ පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් අනිකුත් ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට මෙහි ‘…කළු නූලෙන් සුදු නූල…’ යයි පවසන්නේ පැහැදිලි අළුයම හෙවත් හිරු උදාවන මොහොත බව පැහැදිලිව වටහා ගතහැකි වේ. නමුත් මෙවැනි ආකාරයේ කිසිදු අධ්‍යනයක් සිදු නොකොට තම සිත්තුල පහල සිතුවිලි හා අරමුණු දිනාගන්න. නොඑසේ නම්, විෂය දැනුමක් නොමැති පොදු ජනයා තම අරමුණු කරා පහසුවෙන් මෙහෙයවා ගැනීමට, එසේත් නැත්නම් ඔවුන්ගේ ආකාර්ශනය දිනාගැනීමට හැකි වන කරුණු කාරණා කිසියම් දහමක, දර්ශනයක තිබෙන බවට මුසාවන් පවසමින් කිසිවකු කටයුතු කරයි නම්, නොඑසේ නම් තවත් දහමකට එරෙහිව එවැනි දෑ ගොතා පවසයි නම්, එය පැහැදිලිවම ‘ශෙයිතාන් හෙවත් සාතාන්ගේ’ ක්‍රමවේදය වන අතර ඔවුන් ‘සාතාන්ගේ සහකරුවෝ‘ මිස වෙන කවුරුන් වියහැකිද?.

මෙතෙක් මා ඉදිරිපත් කල කරුණු කාරණා තුලින් ලොවපුරා වෙසෙන ඉස්ලාම් විවේචකයින් ඉස්ලාම් දහමට එරෙහිව ක්‍රියා කරන්නේ කෙසේද? යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් හෝ ලැබී ඇතැයි සිතමි. දැන් මෙතැන් සිට කථා කරන්නට යන්නේ ජාත්‍යන්තරයට දෙවැනි නොවන අප රටේ එවැනි කණ්ඩායම් ගණනාවක් පිලිබදවය.

ජාත්‍යන්තරයට දෙවැනි නොවන අපේ ඇත්තෝ

අද අප රට තුල ඉහතින් සදහන් ආකාරයේ කල්ලි ගණනාවක් රටේ බොහෝ ප්‍රභූවරුන්ගේ හා ප්‍රබලයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ක්‍රියාත්මක වීම ප්‍රසිද්ධ රහසකි. ‘යහමඟ‘ නිතර පවසන්නාක් මෙන් රටේ මුස්ලීම් ජනයා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාවක් වෛරයක් බවට පෙරලාගෙන එම සුළු ජන කොට්ඨාශයට එරෙහිව රටේ මහා ජාතිය ප්‍රකෝපකාරී ලෙස, පිලිකුල් සහගත ලෙස හා වෛරයෙන් යුතුව ක්‍රියා කරන්නට ‘මුසාව හෙවත් බොරුව‘පදනම් කරගෙන රටේ ජනයා මෙහෙයවීම මෙම කල්ලියේ එකම අරමුණයි. මේ සදහා පැහැදිලි සාක්ෂි අවස්ථා ගණනාවකදීම මෙම අඩවිය තුල ‘ජාතිවාදී ව්‍යාපාර‘ නම් ගොනුව යටතේ ඉදිරිපත් කළා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එහි තවත් පියවරක් ලෙස අද මෙම ලිපිය තුලින් අනාවරණය කරන්නට යන්නේ, මේ ජාතිවාදයට නායකත්වය ලබාදෙන සමහරක් පිරිස් ඉහතින් සදහන් ‘මුසාව‘ නම් මහා පාපයට අමතරව ඉස්ලාමීය මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීම් තමන්ට අවශ්‍ය ආකාරයට විකෘති කොට සමාජ ගතකරමින් තම පහත් අරමුණු දිනාගන්නට කටයුතු කරන ආකාරය පිලිබදවයි.

ඒ සදහා ද පිවිසුමක් ලෙස මෙතැනදී ඉස්ලාම් දහමේ ඉගෙන්වීමක් පිලිබදව අතීතයේ පටන් බෞද්ධ සමාජයේ සමහරක් පිරිස් ලබාදෙන විග්‍රහයක් ඔබේ අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. එම විග්‍රහය වන්නේ ‘ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුව මුස්ලීම්වරුන් සතෙක් ඝාතනය කරන්නේ නම් එය කලයුතු වන්නේ රත් වූ යකඩ තහඩුවක් මත හිඳය‘ යන්නයි. මෙය ඉස්ලාමීය ඉගෙන්වීම බවට සමහරක් බෞද්ධ විද්වතුන් ප්‍රසිද්ධ ස්ථානවල පවා දේශනා කරන ආකාරය මා අනන්තවත් දැක ඇත. ශුද්ධ වූ කුර්ආනයේ හෝ හදීසයේ (ඉස්ලාමීය මූලාශ්‍රයන් හි) කිසිදු තැනක සදහන් නොවන මෙම නීතිය බෞද්ධ සමාජය තුල ඉස්ලාමීය නීතියක් ලෙස කෙසේ නිර්මාණය වුවාද යන්න පිලිබදව ඉතිහාසය මම නොදනිමි. නමුත් (මෙම ලිපිය ඉදිරියට කියවීම තුල එය කෙසේ වන්නට ඇත්ත ද යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලබාගැනීම අපහසු නොවනු ඇත.) මෙතැන දී පැහැදිලිව සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ආගමික කරුණු විශේෂයෙන් මූලාශ්‍රයන් තුල සදහන් බවට පවසමින් කරුණූ කාරණා කථා කිරීමේ දී අතීතයේ මෙන් සිත්හි පහල වන ඕනෑම කාරණයක් දහම නමින් පවසා යා නොහැක. වර්ථමානය වනවිට තාක්ෂණ දියුවත් සමඟ ඕනෑම ආගමික මූලාශ්‍රයක් පහසුවෙන් ගවේෂණය කිරීමේ හැකියාව දැන් ඕනෑම කෙනෙකුට උදා වී ඇත. එමනිසා යමක් මූලාශ්‍රයෙන් යයි උපුටා දක්වන විට එය එහි සදහන් ස්ථානය පිලිබදව ද නිවරුදිව සදහන් කිරීමේ අවශ්‍යතාවය හා යුතුකම ඇත. නිදසුනක් ලෙස ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් තුනකින් උපුටාගත් පහත ඉගෙන්වීමන් දෙස බලන්න.

බුදු දහම

(මෙය දීර්ඝ සූත්‍රයක් වන අතර කොටසක් පමණක් මෙහි උපුටා දක්වා ඇත) …ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්මකායික නම් දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මේ කාරණයඇසුවේය. ‘මේ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සම්පත් ආදියෙන්යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුම්වූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූසියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකයමවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නා වූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියා වූ මහාබ්‍රහ්ම වූ බ්‍රහ්මයෙක්ඇත්තේය…

සදහන් වන්නේ – කේවට්ට සූත්‍රය

කිතුණූ දහම

සකල ලෝ මැවූ පොළොවනිර්මාණය කොට එය නිම කල පාළු ඉඩමක් ලෙස නොව විසුමට පුළුවන් තැනක් ලෙස පොළොවමැවූ එකම දෙවි වන සමිදාණෝ මෙලෙස වදාරණ සේක, ‘මම සමිඳුන් වෙමි හුදෙක් මාහැර අන් දෙවි කෙනෙක් නැත

සදහන් වන්නේ යෙසායා හි 45-18

ඉස්ලාම් දහම

අල්ලාහ් පමණයි මාගේ මෙන්ම හා ඔබලාගේ ද එකම දෙවියා වන්නේ. එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි යහමඟ වන්නේ

සදහන් වන්නේ ශුද්ධ වු කුර්ආනයේ 3-51

ශ්‍රී ලාංකීය සමාජය ප්‍රධාන ආගම් 03 ක් පමණක් පදනම් කරගෙන මෙලෙස ඉදිරිපත් කලත් අද වනවිට මෙම පහසුකම ලොව සෑම දහමක ම වාගේ දක්නට ඇත. සමහරක් මූලාශ්‍ර අන්තර්ජාලය තුල පවා පහසුවෙන් කියවන්නට හැකි ආකාරයට දක්නට ඇති අතර එම මූලාශ්‍රය තුල වාක්‍යයක් පහසුවෙන් සෙවීමට හැකි ආකාරයේ පහසුකම් ද සමහරක් වෙබ් අඩවි තුල ලබාදී ඇත. (නිදසුනක් ලෙස ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන ‘යහහමුව‘ වෙබ් අඩවිය මෙයට එක් නිදසුනකි.) මෙසේ තිබිය දී කිසිවකු තමන්ට සිතෙන දෑ ඉස්ලාම් මෙසේ පවසනවා, බුදු දහම මෙසේ පවසනවා, කිතුණු දහම මෙසේ පවසනවා… යයි හිස්වදන් පැවසීම අනවබෝධයට වඩා මොඩකමකි. ඒ අනුව ඉහතින් මා ඉදිරිපත් කල ‘සත්ව ඝාතනය…‘ සම්බන්ධ වූ ඉස්ලාමීය නීතිය යයි පවසන කාරනය තවත් කාගේ හෝ පටු අරමුණු දිනාගැනීමට සමාජය තුල වැපිරූ හිස් වදනක් බව පමණක් මෙතැන දී පවසමින් මේ සූදානම් වන්නේ වසර 1400 ක් මුළුල්ලේ මුස්ලීම් සමාජය පවා නොදැ සිටී ඉස්ලාමීය ඉගෙන්වීමන් දෙකක් පසුගිය දිනවල බෞද්ධ සමාජයේ විද්වත් යයි පවසා ගන්නා පිරිසක් විසින් බෞද්ධ සමාජයට අනාවරණය කල ආකාරය ඔබේ විමසුමට ගෙන එන්නයි. එය මෙසේය…

ඉහත වීඩියෝව තුලින් ඉදිරිපත් කර ඇත්තේ මෑත කාලීනව ඉදිරිපත් වූ නිදසුන් දෙකක් පමණි. මේ මීට ඉහත ද සදහන් කලාසේ ඇත්තෙන්ම බෞද්ධ විද්වතුන් ඉස්ලාමීය විද්වතුන් අභිබවා ගොස් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් උපුටාගෙන මිනිස් සමාජයට කරුණු අනාවරණය කරන්නේ නම් එය ඇගයීය යුත්තකි. ඒ අනුව ඉහත අණාවර්ණය දැන් විමසා බලමු.

බිස්මිල්ලාහ් මන්ත්‍රය

ඉහත වීඩියෝවේ පලමු කොටසෙහි ‘බිස්මිල්ලාහ්‘ නම් මන්ත්‍රයක් පිලිබදව කථා කරයි. බොදුබල සේනා නම් ජාතිවාදී සංවිධානය මඟින් මහනුවර දී සංවිධානය කල රැස්වීමක දී මෙම මන්ත්‍රය පිලිබදව රහස හෙලි කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි විසිනි. උන්වහන්සේ ඉදිරිපත් කල එම කාරණයට යොමුවීමට පෙර 2012/02/29 දින උන්වහස්සේ ‘බුදුසරණ‘ පුවත්පතට ඉදිරිපත් කල ‘බොරුකීම මහා පාපකර්මයකි‘ යන ලිපිය පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වන්නේ නම් වඩාත් යහපත් යයි සිතමි. එම යෝජනාව සමඟ අදාල මාතෘකාවට නැවත යොමු වන්නේ නම්,

ඉහත වීඩියෝව තුලින් මැදගොඩ අභයතිස්ස හිමි වගකීමක් ඇතුව පවසන්නේ මුස්ලීම් සමාජය ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන්… වැනි අමනුෂ්‍ය බලවේග බන්ධනය කිරීම සදහා ‘බිස්මිල්ලාහ්‘ නම් මන්ත්‍රයක් යොදා ගන්නා බවයි. ඒ ප්‍රකාශය වඩාත් හොදින් පැහැදිලි කරගැනීම පිණිස එය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කොට විමසා බැලීම වඩාත් සුදුසු යයි හැ‍ගේ. ඒ අනුව මෙහි පලමුවෙන් ‘බිස්මිල්ලාහ්‘ යන යෙදුම පිලිබදව ඉස්ලාමීය විමසුමක් කරන්නේ නම්, ‘බිස්මිල්ලාහ්‘ යන යෙදුම මුස්ලීම් සමාජය නිතර භාවිතා කරන බව සැබෑවකි. ශුද්ධ වූ කුර්ආනයේ පවා මෙම වචනය බොහෝ ස්ථානවල සදහන් වේ. පොදුවේ මුස්ලීම් සමාජය ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ ‘බිස්මිල්ලාහ්‘ යයි පවසමිනි. එය කොතරම් ද යන්න පවසනවා නම් ආහාර පාන පවා කිසිදු විටෙක ‘බිස්මිල්ලාහ්‘ යයි නොකියා මුස්ලීම්වරුන් කන්නේ හෝ බොන්නේ නැත. දැන් ඔබට තවත් කුතුහලයක් ඇතිවන්නට පුළුවන. ඒ,

‘එහෙමනම් අපේ හමුදුරුවෝ කිව්වා සැබෑවක් තමයි. මේ පිරිස කනබොන කොටත් යකෂයෝ, භූතයෝ ප්‍රේතයෝ… කැදවනවානේ!‘

යනුවෙනි. ඔව්, උන්වහන්සේගේ විග්‍රහයට අනුව එය සැබෑවක්. නමුත් මේ ‘බිස්මිල්ලාහ්‘ යන්නෙහි තේරුම මොකක්ද? යන්න හා උන්වහන්සේ පවසන යක්ෂයෝ, භූතයෝ හා ප්‍රේතයෝ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න විමසා බලන්නේ නම් උන්වහස්සේ අනාවරණය කරන කාරණය කොතරම් දුරකට සාධාර්ණ ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක.

බිස්මිල්ලාහ් යන්නෙහි තේරුම – ‘බිස්මිල්ලාහ්‘ යන අරාබි භාෂාවේ අරුථ ‘අල්ලාහ් (දෙවි)ගේ නාමයෙන්‘ යන්නයි. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම තම දෛනික කටයුතුවල නිතර නිතර ‘අල්ලාහ් (දෙවි)ගේ නාමයෙන්‘ යයි පැවසීම සුලභ දසුනකි. ඒ මුස්ලීම්වරුන්ගේ ආගමික විනය හා හැදියාවයි. එය ඉහත ස්වමින් වහන්සේට මන්ත්‍රයක් වූයේ කෙසේද? යන්න බුද්ධිමත් ජනයා බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. එපමණක් නොව උන්වහන්සේගේ දෘෂ්ඨියෙන් බලන්නේ නම් ‘බිස්මිල්ලාහ්‘ට අමතරව මුස්ලීම් සමාජයේ තවත් බොහෝ මන්ත්‍රයන් ඇත. නිදසුනක් ලෙස (දෙදෙනෙකු හමුවූ විට ඔවුන් අතර සුභපතා ගන්නා)‘අස්සලාමු අලෛකුම්‘, (විශ්මිත යමක් දුටුවිට පවසන) ‘අල්ලාහුඅක්බර්‘, ‘මාෂා අල්ලාහ්‘… යනාදීය එවැනි කිහිපයකි. එපමණක් නොව උන්වහන්සේගේ පූර්ව නිගමනය ආදර්ශයට ගෙන බෞද්ධ සමාජයේ නිතර අසන්නට ලැබෙන සමහරක් වදන් ද උන්වහන්සේගේ නිගමනය අනුව ප්‍රේතයන්, භූතයන් හා යක්ෂයින් ආකර්ශනය කරන මන්ත්‍ර යයි කිවයුතු නොවේද?. මුස්ලීම් සමාජය යහපත් කටයුත්තක දී ‘බිස්මිල්ලාහ්‘ යයි පවසනවා සේ බෞද්ධ සමාජය ‘බුදු සරණයි‘ තෙරුවන් සරණයි‘ දෙවි පිහිටයි‘ තුනුරුවන් සරණයි‘ යයි පැවසීම දක්නට ලැබේ. මේවා සමහරක් ගෙවල්වල, ව්‍යාපාරික ස්ථානවල මෙන්ම වාහනවල පවා ඉදිරියෙන් ලියා ඇත. ඉහතින් සදහන් මැදගොඩ අභයතිස්ස හිමි ආදර්ශයට ගෙන මේවා සියල්ල ‘බෞද්ධයින් ඒවාට යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින්… බන්ධනය කිරීමට යොදා ඇති බවට කිසියම් මුස්ලීම්වරයෙකු පවසයි නම් ඔහුගේ බුද්ධිය සම්බන්ධයෙන් සැබෑ බෞද්ධයෙකු ලෙස ඔබ ගන්නා නිගමනය කුමක්ද?. මුස්ලීම්වරුන් වශයෙන් අපට ද ස්වාමින් වහන්සේ පවසන හාස්‍ය ජනක ‘බිස්මිල්ලාහ්‘ මන්ත්‍රය සම්බන්ධයෙන් ගතයුතුව ඇත්තේ බෞද්ධයින් වන ඔබ ඉහතින් ගනු ලබන නිගමනයට සමාන නිගමනයක් පමණි.

යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින්…ගේ බලවේග – මැදගොඩ අභයතිස්ස හිමියන් දෙවනුව පවසන කාරණය පලමු කාරණයට වඩා හාස්‍ය ජනකය. මක්නිසාදයත් උන්වහන්සේ පවසන ආකාරයට නොවුවත් ‘බිස්මිල්ලාහ්‘ යන යෙදුම මුස්ලීම් සමාජ භාවිතයේ ඇත. නමුත් උන්වහන්සේ පවසන යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින්… බලවේග යන්න ඉස්ලාම් දහම කිසිසේත් පිලිනොගන්නා එපමණක් නොව ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුල දරුණුවට දක්නට ලැබෙන මිත්‍යා විශ්වාසයකි. එසේ තිබිය දී මුස්ලීම්වරුන් කිසිදිනෙක විශ්වාස නොකරන යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින්… බන්ධනය කරන්න ‘බිස්මිල්ලාහ්‘ නම් මන්ත්‍රයක් යොදාගන්නවා යයි පැවසීම කොතරම් පහත් ක්‍රියාවක්ද? එපමණක් නොව උන්වහන්සේ මුස්ලීම් රටවල් ගණනාවක සංචාරය කොට මෙය දැකගත් බව පැවසීම තවත් කොතරම් ප්‍රබල බින්නයක්ද?. මේවාට සාදුකාර දෙන බුද්ධිමත් බෞද්ධ සමාජය දැන්වත් බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?. මෙයයි ‘යහමඟ‘ අඩවිය මේ ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් මුලසිට පවසා සිටින්නේ ‘මෙම ව්‍යාපරයන්ට එකම පදනම මුස්ලීම් සමාජය කෙරෙහි ඇති වූ වෛරය තුල ගොඩනැඟුණු මුසාවාදයන්‘ පමණක්ම යන්න. එය මේ මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශය තුල මනාව අණාවර්නය වනවා නොවේද?.

කෑම බීමවලට තුන්පාරක් කෙලගසන නීතිය

ඉහත වීඩියෝව තුලින් ඉදිරිපත් කරන දෙවන අනාවරණය පිලිබදවයි මෙහි විමසා බැලීමට මා සැරසෙන්නේ මේ රුස්වීම කොහි පැවතුනාද? යන්න පිලිබදව හෝ මේ අනාවරණය සිදුකරන ස්වාමින් වහන්සේ කවුද? යන්න පිලිබදව මෙන්ම මෙම ජාතිවාදී වැඩමුළුව පවත්වන සංවිධානය කුමක්ද? යන්න පිලිබදව පැහැදිලිව අනාවරණයක් කරගැනීමට මාහට නොහැකි විය. (මේ පිලිබදව තොරතුරු දන්නා කෙනෙකු සිටී නම් ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කර සිටිමි.) කෙසේ වෙතත් මෙහි වැදගත් වන්නේ මෙම වීඩියෝව තුල ඉදිරිපත් කරන කාරණය පමණක් නිසා එය පදනම් කරගෙන ඉදිරියට යොමු වෙමි.

ශ්‍රී ලාංකීය සුළු ආගම මෙන්ම ජාතීන් වන ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය කෙරෙහි මහා ජාතියා තුල පිලිකුලක් වෛරයක් ඇති කිරීම මෙන්ම ඒ තුලින් ඔවුන්ගේ ව්‍යාපාර බිඳදැමීම එකම අරමුණු කරගෙන ඉදිරිපත් කරන විශ්මය ජනක අනාවරණය වන්නේ ‘මුස්ලීම් ජනයා මුස්ලීම් නොවන පිරිසට ආහාර පාන සැපයීමේ දී තෙවරක් කෙලගසා එය ලබාදෙනවා’ යන්න. මා ඉහතින් ඉදිරිපත් කල ‘බිස්මිල්ලාහ් මන්ත්‍රය‘ හෝ ‘යක්ෂ, ප්‍රේත, භූත… බලවේග‘ යන කාරණයට වඩා මෙය ගජ බින්නයක් බව ප්‍රථමයෙන් පැවසිය හැක. මක්නිසාදයත් මෙම ස්වාමින් වහන්සේ ‘මෙය අල්-කුර්ආනයේ ඇති නීතියක්‘ යයි පැහැදිලිව පවසයි. ශ්‍රී ලාංකීය ආගම් සැලකූවිට එම ආගමික මූලාශ්‍රයන් අතුරින් කුඩාම මූලාශ්‍ර ග්‍රන්ථය වන්නේ ශුද්ධ වූ කුර්ආනයයි. එමනිසා ඒ තුල කිසියම් සටහනක් සෙවීම එතරම් දුෂ්කර කාර්‍යයක් නොවේ. එසේ සොගන්නා වාක්‍යය කීවෙනි පරිච්චේදයේ කීවෙනි වාක්‍යය ද යන්න පැහැදිලිව සදහන් කලහැක. (ලිපිය ආරම්භයේ නිදසුන් ඉදිරිපත් කොට ඇත) එසේ තිබිය දී ශුද්ධ වූ කුර්ආනයේ මෙවැනි නීතියක් තිබෙනවා යයි පැවසීමට තිබෙන දෛර්‍යය කුමක්ද? යන්න මට නොවටහේ. එය,

  • ස්වාමින් වහන්සේලා වන අප කුමක් පැවසුවත් කිසිවක් සොයා නොබලා සාදුකාර දී බෞද්ධයින් හිස් මුදුනින් පිලිගනී යන විශ්වාසය නම් මුස්ලීම්වරුන් වන අපට එයට කම් නැත.
  • බෞද්ධ සමාජයට පන්සිල් පදය තුල මුසාවන් පැවසීමට අවසර නැතත් ස්වාමින් වහන්සේල වන අප පැවසුවට කම්නැත යයි සිතන්නේ නම් මුස්ලීම්වරුන් වන අපට ඊට ද කම් නැත.
  • කෙසේ හෝ බෞද්ධ ජනයා මුස්ලීම් සමාජයෙන් ඈත් කලයුතු නිසා අපි බොරුවක් බින්නයක් කියා හෝ එය සිදුරනවා යයි සිතන්නේ නම් එය බෞද්ධ ජනයා අනුමත කරන්නේ නම් මුස්ලීම්වරුන් වන අපට ඊටත් කම්නැත.
  • අපේ අරමුණ බෞද්ධ ජනයා දිනාගැනීම ඒ සදහා අපේ ජනයාට අපි ඕනෑම දෙයක් පවසනවා යයි පවසන්නේ නම් එය ද අපට කම් නැත.
  • නමුත් මේ කිසිවක් සදහා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම් විකෘති කරන්නේ නම් එය බලා සිටීමට තරම් මුස්ලීම් ජනයා නිවටයින් නොවේ මෙතැන දී පැහැදිලිව පැවසිය යුතුය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් ඉහත ගජබින්න අනාවරණය කරන ස්වාමින් වහන්සේට ‘යහමඟ‘ අභියෝගයක් කරන්නට කැමැත්තෙමි. ඔබ වහන්සේ පවසන ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ මෙම නීතිය තිබෙන නම් එය කුමන පරිච්චේදයේ කීවෙනි වාක්‍යයේද යන්න අනාවරණය කළ හැකිද?. ඔබ වහන්සේට තවත් මෙය මා සරල කරන්නම්, ඔබ වහන්සේ ශුද්ධ වූ කුර්ආනයේ යයි සදහන් කලත් හැකිනම් ශුද්ධ වූ කුර්ආනයෙන් නොව ශුද්ධ වූ හදීසයක් තුලින්වත් මෙය තහවුරු කර පෙන්වන්න. (හැබැයි එය කුමණ ග්‍රන්ථයේ කීවෙනි හදීසයේ ද යන්න පැහැදිලිව සදහන් කලයුතුය) එසේත් නොහැකි නම් අඩුම තරමින් මෙවැනි අදහසක් යන්තමින් පිලිඹිබු වන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් හෝ හදීසයක්වත් පෙන්වන්න. මෙම අභියෝගය තවත් සරල කරන්නම්, එනම් මෙම අභියෝගය උන්වහන්සේට පමණක් නොව උන්වහන්සේගේ එම අනාවර්ණය සාධාර්ණීකරනය කරන ඕනෑම කෙනෙකු සදහා විවෘතය. (එය කොතරම් දීර්ඝ විග්‍රහයක් වුවද ‘යහමග‘ තුල එයට අවශ්‍ය ඉඩ සලසා දෙන්න ‘යහමග‘ සූදානම්)

ශුද්ධ වූ ඉස්ලාම් දහම විකෘති කරමින් එහි ඉගෙන්වීම් වලට වැරදි ප්‍රතිරූප ආරූඪ කරමින් සමස්ථ සමාජය නොමඟ යැවීමට උත්සාහ කිරීම ශෙයිතාන් හෙවත් සාතාන්ගේ න්‍යායපත්‍රයේ ඇති ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය මිනිස් සමාජයේ කිසිවකු අනුගමනය කරන්නේ නම් ඔවුන් ඒ සාතාන්ගේ සහකරුවෝ මිස අන්කිසිවකු නොවේ. ඒ අනුව මෙම ලිපිය සදහා ‘දිව්‍ය වැකි කියන සාතාන්ගේ සහකරුවෝ‘ යයි මාතෘකාව යෙදීම කොතරම් සාධාර්ණ ද යන්න අවබෝධ කරගැනීම ඔබට තවදුරටත් අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් මෙම ලිපිය ලියාගෙන යන අතර තුර නිතර නිතර මාගේ සිතට නැඟුණු ප්‍රස්ථා පිරුලක් ලිපිය අවසානයේ දී මෙසේ සටහන් කරන්නේ මෙය සංශෝධනය කිරීම සදහා කාලය දැන් එළඹ ඇත්දෝ !, යන කුතුහලය සමඟිනි. එම ප්‍රස්ථා පිරුල වන්නේ ‘හක්කේ බුදුරුස් බොක්කේ දඬ මස්‘ යන්නයි. අප රටේ සමහරක් ස්වාමින් වහන්සේලා ක්‍රියා කරන ආකාරය දකින විට ‘හක්කේවත් බුදුරුස් ද?’ යන්න ප්‍රශ්නාර්ථයක් යන්න අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම