අපාය වාසීන්ගේ සතර මහා පැතුමන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මෙලොව ජීවත්වන සෑම කෙනෙකුටම මරණින් මුතුවද ජීවයක් ඇතැයි ලොව පවතින සෑම දහමක්ම පිලිගනී. එහිදී මොලව කරන කුසල් අකුසල් අනුව එම මරණින් මතු ජීවයට නිරය හෝ ස්වර්ගය හිමිවන බවද සෑම ආගමක් ම වාගේ පිලිගනී. ඉස්ලාම් දහම ද මෙලොව කරන කුසල් අකුසල් අනුව සදාකල් නිරය, තාවකාලික නිරය හෝ සදාකල් ස්වර්ගය යන්න පිලිගනී.

ඒ අනුව මෙලොව සිදුකල අකුසල් හේතුවෙන් නිරයට යන කෙනෙකු නිරයේ දඬුවම දරාගත නොහැකිව දෙවියන් හමුවේ කරන පැතුමන් නොහොත් ප්‍රාර්ථනාවන් පිලිබදව ශුද්ධ වූ කුර්ආනය දීර්ඝ වශයෙන් විස්තර කරයි. ඒ අතුරින් ප්‍රධාන පැතුමන් 04ක් පිලිබදවයි මෙතැන් සිට විමසා බලන්නේ.

පළමු පැතුම – ඔවුන් නිරයේ දඬුවමින් නිදහස අයදිනු ඇත.

අපාය වාසීන් දෙවියන් හමුවේ පහත ආකාරයට ආයාචනා කරන බව ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි…

‘අපගේ දෙවියනේ! අපව මෙයින් (නිරයෙන්) නිදහස් කරන්න! අප නැවත (පාපයට) යොමු වූයේ නම්, නියත වශයෙන්ම අපි වැරදිකරුවෝ වන්නෙමු! ‘

ශුද්ධ වූ කුර්ආනය 23-107

ඉහත ආකාරයට අපාය වාසීන් ආයාචනා කරන විට, එයට අල්ලාහ් (දෙවි) මෙසේ ඔවුනට පිළිතුරු සපයයි. එනම්,

‘අවමානයෙන් යුතුව මෙහි රැදී සිටිනු. (මේ සම්බන්ධයෙන්) මා සමඟ කථා නොකරනු! යයි කියන්නෝය.

ශුද්ධ වූ කුර්ආනය 23-108

දෙවන පැතුම – ඔවුන් වේදනාවෙන් තොරව මරණය අයදිනු ඇත.

මෙලොව වෙසෙන සෑම කෙනෙකුම පතන පොදු පැතුම වන්නේ ‘වේදනාවෙන් තොර වූ මරණයක්’ යන්නයි. ලෞකික දිවිය තුල නියත වූ මරණය හමුවේ කරන එම ප්‍රාර්ථනාව කිසිදා මරණයක් නොමැති අපාවාසීන් කරන බව පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් මෙසේ පවසයි. එනම්,

(නිරයේ අධිපතිට) ‘මාලික්!, ඔබේ දෙවියන් අපව (මරණයෙන්) අවසන් කරත්වා! ‘ යයි ශබ්ද නඟන්නාහ.’

ශුද්ධ වූ කුර්ආනය 43-77

එයට (නිරයේ අධිපති (දේවදූත)) මාලික් (අලෛ) මෙසේ ඔවුන්ට පිළිතුරු දෙනු ඇත. එනම්,

‘නියත වශයෙන්ම ඔබ මෙහි (දඬුවම් විඳිමින් අමරණීයව) ස්ථීරව නැවතී සිටිනු’ යයි ඔහු පවසනු ඇත. ‘

ශුද්ධ වූ කුර්ආනය 43-77

තුන්වන පැතුම – නිරයේ වේදනාව අඩු කරන්නැයි ආයාචනා කරනු ඇත.

නිරයේ දඬුවම් අතුරින් ප්‍රධාන දඬුවම වන්නේ ගින්නෙහි දැවීම යැයි අපා දඬුවම පිලිබදව කථා කරන බොහෝ ඉගෙන්වීමන් හි දක්නට ඇත. එම නිරයේ ගින්න හමුවේ අපා වාසීන්ගේ ආයාචනයට දැන් අවදානය යොමු කරමු.

ගින්නෙහි සිටින අය නිරයේ පාලකයන් (වන දේවදූතයන්)ට මෙසේ ආයාචනා කරනු ඇත, ‘මේ දුක් වේදනා එක් දිනකට හෝ අපට සැහැල්ලු කරන ලෙස ඔබේ දෙවියන්ගෙන් (අප වෙනුවෙන්) ආයාචනා කරන්න.’

ශුද්ධ වූ කුර්ආනය 40-49

එයට නිරයේ ආරක්ෂකයින් වන දේව දූතයන් අපාවාසීන් වන ඔවුන්ට මෙසේ පවසයි.

‘ඔබේ දූතයන් (වන නබිවරුන් නොහොත් වක්තෘවරුන්) පැහැදිලි සාක්ෂි සහිතව ඔබ වෙත පැමිණියේ නැද්ද?’ යැයි විමසනු ඇත. (එයට ඔවුන්) ‘එසේය (ඇත්තය පැමිණියහ)’ යයි පිළිතුරු දෙනු ඇත. එවිට එම (නිරයේ ආරක්ෂකයන්) ‘එසේනම් ඔබ වෙනුවෙන් අපට ඉල්ලන්න කිසිවක් නැත. ඔබම ඉල්ලා ගන්න’ යයි පවසනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 40-50

හතරවන පැතුම – ස්වර්ග වාසීගෙන් අයදිනු ඇත.

අපාය වාසීන්ට දෙන දඬුවම් අතුරින් ස්වර්ග වාසීන් විඳින සැප සම්පත් දර්ශනය කරවීමද එකක් බව ඉස්ලාමීය ගෙන්වීමන් පරිශීලනය කිරීමේදී පැහැදිලි වේ. එවැනි එක් අවස්ථාවකටයි දැන් අවදානය යොමු කරන්නේ.

නිරයේ වැසියන් ස්වර්ගයේ වැසියන් අමතා, ‘අල්ලාහ් ඔබට දුන් වතුරෙන් හෝ ආහාරයෙන් ස්වල්පයක් අපටත් දෙන්න’ යැයි (නිරයේ සිටින්නන්) විලාප වඟනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 7-50

එයට ස්වර්ග වාසීන් ඔවුනට මෙසේ පිළිතුරු දෙනු ඇත.

((ලෞකික දිවියේ) ‘අල්ලාහ් (දෙවි) ප්‍රතික්ෂේප කොට ජීවත් වූවන්ට, එසේ උපකාර කිරීම වළක්වා ඇත.’ යයි ඔවුන් පවසනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 7-50

අපාය වාසීන්ගේ දඬුවමේ කෲර බව සහ ඔවුන් එහි විඳින වේදනාවේ අඳෝනාව ඉතා සරලව ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කිහිපයක් මඟින් ඉහතින් පෙන්වා දී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම නිසි ලෙස අවබෝධ කොට දෙවියන් පිලිගෙන එහි ඉගෙන්වීමන් නිසි ලෙස අනුගමනය නොකරන පිරිසගේ ඉරණමයි ඉහතින් පැවසෙන්නේ. මෙම අවාසනාවන්ත ඉරණමින් අල්ලාහ් (දෙවි) අපව ආරක්ෂා කරත්වා!, ශුද්ධ වූ දහම නිසි ලෙස අවබෝධ කොට ඒ අනුව ජීවත් වී ස්වර්ගයට හිමිකරුවන් ලෙස මියදෙන්නට අල්ලාහ් (දෙවි) අපට ආශිර්වාද කරත්වා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම