බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වත්මන් සමාජය තුල විවිධ ආකාරයේ වූ ආගමික හා දාර්ශනික විශ්වාසයන් දකින්නට ලැබේ. එම විශ්වාසයන් දේව නියෝගයක් එසේත් නැත්නම් කිසියම් ශාස්තෘවරයෙකු ලබාගත් සුවිශේෂි ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් විශ්වාසයන් මත පදනම් වූ මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් රාශියක් සමඟ මිශ්‍රරව පැවත එනවා යන්නෙහි නම් කිසිවකුටත් මතභේදයක් නැත. විශේෂයෙන් අතීතයේ පටන් මිනිසා තුල පැවතී "ගුප්ත කාරණයන් පිලිබදව ඇති කැමැත්ත හා ආකර්ෂණය" හේතුවෙන් සමාජය තුල ප්‍රකාශ වූ දේව විශ්වාස හා ශාස්තෘවරුන්ගේ මඟපෙන්වීම් සමාජය තුල ප්‍රතික්ෂේප නොවී වසර දහස් ගණනක අතීතයේ සිට පාරම්පරිකව මේ දක්වාම පැවත ආවේය. නමුත් වත්මන් මානවයාගේ දියුණුවත් සියල්ල තාර්කිකව බැලීමට ඇති කැමැත්තත් හේතුවෙන් එලෙස පාරම්පරිකව පැවත ආ විශ්වාසයන් බොහෝමයක් අද විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් ඇත. තවත් සරලව පවසනවා නම්, ඈත අතීතයේ පටන් වසර දහස් ගණනක් පැවත ආ සමහරක් විශ්වාසයන් අද නිරුවත්වීමට පටන්ගෙන ඇත.

මෙයට මූලික ම හේතුව අතීත මානවයා මෙන් නූතන මානවයා තවදුරටත් බුද්ධීය උගසට තබා ඇසු දුටු සියල්ල හිස් මුදුනින් පිලිගැනීමට සුදානම් නොවීමයි. නූතන මානවයා ඔහු ඇසූ දුටූ සියල්ල විචාරශිලීව, තාර්කිකව හා බුද්ධිමත් ලෙස බලන්න උත්සාහ කරයි. එසේම ඔහුගේ මනසට ගෝචර නොවන ඕනෑම කාරණයන් ප්‍රතික්ෂේප කිරීමටත්, ඔහුගේ මනසට ගෝචරවන විද්‍යාත්මක පදනමක් ඇති ඕනෑම කාරණයක් පිලිගැනීමටත් ඔහු කිසිවිටෙකත් දෙවරක් නොසිතයි. මෙවන් පසුබිමක ලොව බොහෝ දහමන් හා දර්ශණයන් ඛේදනීය ඉරණමකට මුහුණදෙමින් සිටින අතර එම දහමන් හා දර්ශණයන් පමණක් නොවේ එහි පුජකවරුන් හා දාර්ශණිකයන් ද ඉතා අසරණ තැනකට යොමු කිරීමට ඔවුන් සමත් වී ඇත. විද්‍යාවේ දියුණුවත් සමඟ ඇති වූ මෙම සමාජ පිඹිදීම තුල ආගමික ශාස්තෘවරුන් හා දාර්ශණීකයන් මුහුණපාන ප‍්‍රධාන ගැටළුන් කිහිපයක් ඇත. එනම්,

  • මෙම දහමන් හා දර්ශණයන් ජනතාව හමුවේ ඔවුන්ට පිලිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ කෙසේද?
  • මෙම ආගම් හා දර්ශණයන් විද්‍යාව හා සංසන්ධනය කරන්නේ කෙසේද?
  • විද්‍යාව හා පරස්පර වන අවස්ථාවල අනුගමනය කලයුතු ක‍්‍රියා මාර්ග මොනවාද?

මෙවන් ප්‍රශ්නයන් හමුවේ අසරණ වී සිටින ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් තම දහම එසේත් නැත්නම් දර්ශණය ජනයා හමුවේ අවලංගු නොවී බේරා ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් යොදවමින් සිටී. මොවුන්ගේ මෙම උත්සාහය තරම කොතරම්ද යන්න පවසනවා නම්, මේ දක්වා විද්‍යාව පවා අනාවර්ණය කරගැනීමට අසමත් විද්‍යාවේ උපකල්පනයන් වන මිනිසාගේ බිහිවීම, විශ්වයේ බිහිවීම, පරිණාමය, කළුකුහරය (Black Hole)… වැනි කාරණයන් පවා “ඔප්පුකල විද්‍යාව” යන පදනමේ හිද ඒවා තම දහමන් හෝ දර්ශණයන් සමඟ ගලපමින් ජනයා ඉදිරියේ කරුණූ ඉදිරිපත් කරයි. නමුත් මෙම කථා අහන සාමාන්‍ය ජනයා අතුරින් බොහෝ පිරිසක් උපකල්පන විද්‍යාව යනු සැබෑවටම විද්‍යාව නොවන පරීක්‍ෂණ, නිරීක්‍ෂණ හා නිගමනයන්වලින් තොර වු අනුමානයක් පමණක් බව නොදනී. මෙසේ තම අනුගාමිකයින් නොමඟ යවන මෙම ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් විද්‍යාවට සමාන්තරව තම මතය ගෙනයාමේ අරමුණින් සහා තම දහම හෝ දර්ශණය “විද්‍යාත්මකයි” යන්න ඔප්පු කිරීමේ අරමුණින් විද්‍යාඥයින්ට පවා පාඩම් උගන්වන ආකාරයට විද්‍යාවේ උපකල්පනයන් පවා “ඔප්පුකල විද්‍යාව” බවට හුවා දක්වමින් ජනතාව හමුවේ කරුණු ඉදිරිපත් කරන ඛේදවාචකයක් අද දකින්නට ඇත. මෙයට කදිම නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව තුල “ජීවිතය හා මනෝකාය” යන නමින් පලවූ පොතින් උපුටාගත් පහත පිංතූරය මෙහි දැක්විය හැක. "මනෝකාය (Astral Body)" පිලිබදව තවම විද්‍යාවට ඇත්තේ මනකල්පිත අදහස් පමණි. එසේ තිබියදී ඉහත පොතේ කතෘ පියවරක් ඉදිරියට ගොස් මනෝකාය හා භූතාත්ම වල ඡායාරූප පවා මෙම පොතේ එලි දක්වා තිබීම මා ඉහතින් පැවසූ අවාසනාවන්ත තත්වයයි.

ඉහත අනාවර්ණය ශාරීරික විද්‍යාව පිලිබදව සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට පවා හාස්‍යය උපදවන මුසාවකි. එසේම මෙය තමන් පවසන කාරණය පිලිබදව ඔහු තුලම තිබෙන බංකලොත්තුභාවයට කඳිම නිදසුනකි. මෙවැනි මුද්‍රිත ප්‍රකාශන ශ්‍රී ලාංකීය සමාජයේ බහුලව දක්නට තිබේ. මුද්‍රිත ප‍්‍රකාශනවල පමණක් නොවේ සමහරක් විද්වත් මාධ්‍ය සාකච්චාවන් යැයි පවසා ගන්නා සාකච්චාවන් තුල ද මෙම තත්වය සුලබව දකින්නට ලැබේ. මේ සියල්ල තුලින් එනම්, මේ ආකාරයට විද්‍යාත්මක උපකල්පනයන්, විද්‍යාව හා බද්ධ කොට කරන පදනම් විරහිත ප‍්‍රකාශයන් තහවුරු කරන්නේ නූතන විද්‍යාව වර්ථමාන දහමන් හා දර්ශණයන්ට තීරණාත්මක සාධකයක් වී ඇත යන්නයි.

මෙම අභියෝගය හමුවේ බොහෝ ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් තම දහම එසේත් නැත්නම් දර්ශණය “විද්‍යානුකූලයි” යයි ඔප්පු කිරීමටත්, එය විද්‍යාව හා පරස්පර නොවේ යයි තහවුරු කිරීමටත් විවිධ උත්සාහයන්වල නිරත වෙමින් සිටිති. (එහි එක් අතුරු ප්‍ර‍තිඵලයයි ඉහත ඡායාරූපය) මෙතැනදී කිවයුතු කාරණයක් ඇත. එනම්, විද්‍යාව හා සංසන්ධනාත්මකව ආගමක් හෝ දර්ශනයක් පිලිබදව කථා කිරීම සැබැවින්ම අගය කල යුත්තකි. මන්ද වර්ථමානයේ ඕනෑම වාදයක් ඔප්පු කිරීමට ඇති සාර්ථකම මාර්ගය මෙම විද්‍යාව වන බැවිනි. එපමණක් නොව මිත්‍යාවන් සමාජයෙන් තුරන් කිරීමට ද විද්‍යාවෙන් සිදුවන්නේ ඉමහත් සේවයකි. එසේනම් සැබෑ දහමකට, එසේත් නැත්නම් දර්ශණයකට මෙම විද්‍යාව ඇත්තෙන්ම වෙස්වලාගත් ආශිර්වාදයක් මිස අභියෝගයක් නම් නොවනවා යන්න මෙහි පැහැදිලිවම පැවසිය යුතුව ඇත.

තවදුරටත් පවසනවා නම්, මෙහිදී ආගම්වාදීන් හා දර්ශණවාදීන් තම අනුගාමිකයින් සම්බන්ධයෙන් විශේෂ තේරුම් ගතයුතු කාරණයක් ඇත. එනම්, ඕනෑම ආගමක හෝ දර්ශණයක අන්ධ භක්තිකයන් මෙන්ම බුද්ධිමත් පිරිස ද සිටින බවයි. එම නිසා “වර්ථමාන මිනිසා මෝඩයෙකි” යන පූර්ව නිගමනයෙන් හා අවතක්සේරුවෙන් කිසිවක් කල නොහැක. මෙසේ මා පවසන්නට හේතුව නම්, විද්වතුන් යයි පවසාගන්නා බොහෝ පිරිසගේ “විද්‍යාත්මකයයි” පවසමින් පල කරන ලිපි හා අදහස් වෙත අවදානය යොමු කලේනම් පෙනී යන්නේ ඔවුන් තම දහම, දර්ශණය බේරාගැනීමේ අසහය උත්සාහයක පමණක් නිරත වී සිටිනවා මිස ඔවුන්ගේ අදහස් හා ප‍්‍රකාශවල විද්‍යාත්මක හෝ බුද්ධිමත් කරුණූ අඩංගු නොවන බවයි. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ කුමක් හෝ විද්‍යාව යැයි පවස ජනයා තම මතය තුල රදවාගැනීම පමණි. එය නූතන මිනිසාගේ බුද්ධිය හමුවේ වතුරයට සඟවාගත් රබර් බෝලයක් යන්න යහමග අඩවිය අවදාරණය කරමි. ඒ ආකාරයට කටයුතු කරන විද්වතුන්ගේ අවධානයට මෙම ලිපිය යොමු වේවා! යයි ප‍්‍රාර්ථනා කරමි. එසේම විද්‍යාව හමුවේ නිරුවත් වෙමින් පවතින ලෝක දහමන් හා දර්ශණයන් හමුවේ ඉස්ලාම් දහමට හිමි තැන කුමක්ද? යන්න ඉදිරියට විමසා බැලීමේ පොරොන්දුව තබමින් මෙම ලිපියට විරාමය තබන්නේ මෙම ලිපියෙහි දෙවන කොටස වන "අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 01" යන ලිපිය ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම