අල්කුර්ආනය පහල වීමේ අරමුණ කුමක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව පවතින ආගම් අතුරින් ප්‍රධාන ආගම මෙන්ම සීඝ්‍රයෙන් ලොව ව්‍යාප්ත වන ආගම වන ඉස්ලාම් දහමේ දේව පුස්තකය ‘අල්කුර්ආනය’ නම් වේ. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මෙය ශුද්ධ වූ දේව පණිවුඩ පමණක් අන්තර්ගත පුස්තකයකි. මෙය මීට සියවස් 14කට පෙර අරාබි දේශයේ විසූ මුහම්මද් (සල්) තුමාණන් නම් වක්තෘවරයෙකු හරහා මිනිස් සමාජයට ප්‍රකාශ වුණි.

අරාබි දේශයේ මක්කාව නම් නගරයේ ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ට වයස අවුරුදු 40 දී ප්‍රථම දේව පණිවුඩය ‘හීරා’ නම් ගුහාවකදී පහල වුණි. එතැන් පටන් විවිධ අවස්ථාවල සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මිනිස් වර්ගයාට අවවාද අනුශාසනා ලෙසත්, යහපත් දිවියකට මඟපෙන්වන්නක් ලෙසත්, රාජ්‍ය පාලනයකට අවශ්‍ය උපදේශයන් ලෙසත්, දේව නැමදුම් පිලිබදව ඉගෙන්වීම් ලෙසත්… යනාදීව වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විය.

මෙසේ කඩින් කඩ කොටස් වශයෙන් දේව වදන් පහල කිරීම අල්ලාහ් (දෙවි) තම පුස්තකයේ මෙසේ පවසයි.

(මුහම්මද්) නුඹ කුර්ආනය මනුෂ්‍යයනට පවසනු පිණිස අපි එය කොටස් කළෙමු. අපි එය කඩින් කඩ පහළ කෙළෙමු.

අල්කුර්ආන් 17-106

මෙලෙස කොටස් වශයෙන් පහල වු දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 63 දී (වක්තෘ මෙහෙවරට අවුරුදු 23 ක්ව තිබියදී) අවසන් වූයේ පහත සදහන් අල්කුර්ආන් වාක්‍යය පහලවීමත් සමගය.

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී

අල්කුර්ආනය 5-3

මේ ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ අල්කුර්ආනය එසේ පහල කිරීමට මූලික හේතුව ද අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ විස්තර කරයි. එවැනි අල්කුර්ආන් වාක්‍ය කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි ගෙන එන්නේ නම්,

  • මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (2-185)
  • (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (16-102)
  • ලොව සියළු ජනයාට අවවාදයක් වනු පිණිස (25-1)
  • (මිනිස් සමාජයට) අනුශාසනා කරනු පිණිස (36-6)
  • සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (10-57)
  • (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (20-3)
  • මිනිසාට යහමග පෙන්වීම පිණිස (2-185)
  • (සමස්ථ සමාජයට) අවවාදයක් පිණිස (26-103)
  • දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (11-120)

ඉහතින් සදහන් ආකාරයේ උතුම් අරමුණු පෙරදැරිව පහල වූ අල්කුර්ආනය 6500 කටත් අධික වාක්‍ය ප්‍රමාණයකින් සමන්විත වන අතර ලොව අනිකුත් ආගමික පුස්තකයන් මෙන් නොවී අල්කුර්ආනය ආරම්භයේ පටන් අද දක්වා සම්පූර්ණයෙන් ම ආරක්ෂා වූ පුස්තකයකි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය’ නම් ලිපිය කියවන්න.) එම කාරණය ඔබේ වැඩිදුර දැනුමට තබමින් මෙම ලිපිය අවසන් කරන්නේ අල්කුර්ආනය පහල වීමේ අරමුණ නිවැරදිව අප තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට අධිෂ්ඨාන කරගමු යන ඉල්ලීම ඔබ හමුවේ තබමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම