කුහුඹුවාගේ ආමන්ත්‍රණය සවන්දුන් සුලෙයිමාන් (අලෛ) තුමා

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්කුර්ආනය දිව්‍යමය වදනක් යන්න තහවුරු කරන ලිපි රාශියක්ම යහමග අඩවිය තුල ඉදිරිපත් කොට ඇත. එම ලිපි අතුරින් “ලෞකික නූතන අනාවර්ණයන් අතීතයේ අල්කුර්ආනය කථා කලේ කෙසේද?“ යන්න විමසා බලන අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02 යන ලිපිය විශේෂ වූ ලිපියකි. අඛන්ඩව යාවත්කලීන කරන එම සාකච්චා පෙලෙහි තවත් දිගුවක් ලෙස අල්කුර්ආනය පවසන දේව වක්තෘවරයෙකු වන සුලෙයිමාන් (නොහොත් බයිබලයේ සදහන් ආකාරයට “සොලමන්“ (අලෛ)) තුමාට දෙවියන් විසින් ලබාදී තිබූණා යැයි පැවසෙන සුවිශේෂි ශක්තියක් නොහොත් දිව්‍ය හාස්කමක් පිලිබදව සහ ඒහා බද්ධ කොට අල්කුර්ආනය කථා කරන නූතන විද්‍යාත්මක සත්ව ලෝක සත්‍යයක් පිලිබදව අද මෙම ලිපිය තුලින් ඔබගේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

එම සාකච්චාවට අවතීරණය වීමට ප්‍රථම සුලෙයිමාන් (අලෛ) තුමා සහ කුහුඹුවෙකු අතර සිදුවූ සම්භාෂණයක් අල්කුර්ආනය තුලින් උපුටාගෙන ඔබේ විමසුමට මෙහි පහතින් ඉදිරිපත් කරමි.

ඔවුන් කුහුඹුවන්ගේ මිටියාවත මතට පැමිණි විට, එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් කුහුඹුවන්ට), "අනේ කුහුඹුවනි, සුලෙයිමාන් සහ ඔහුගේ සොල්දාදුවන් නොදැන ඔබලා තලා නොදැමීම පිණිස ඔබලාගේ නිවෙස්වලට ඇතුළු වන්න“ යයි පැවසීය. උගේ වදනට සවන් දුන් සුලෙයිමාන් මද සිනහවක් පාමින්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, ලබා දුන් ඔබගේ වරප්‍රසාදයන්ට (ඔබට) මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව! ඔබ සෑහීමට පත් විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ (හැකි භාග්‍යය මා හට ලබා දී) දයාව පහළ කර, ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලූන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය. 

අල්කුර්ආනය 27-18 හා 19

අල්කුර්ආනයේ “කුහුඹූවා“ නම් පරිච්චේදයේ 18 සහ 19 වාක්‍ ඉහතින් මා ඉදිරිපත් කොට ඇත. එහි “කුහුඹුවන් වෙසෙන මිටියාවතකට සුලෙයිමාන් (අලෛ) තුමාගේ සේනාව පැමිණීම දැක කුහුඹුවෙකු තම පිරිසට ආරක්ෂිත ස්ථානයකට යන මෙන් අවවාද කල ආකාරයත්, එම අවවාදයට සවන් දුන් දේවවක්තෘ සුලෙයිමාන් (අලෛ) තුමා තමන්ට ලබාදී තිබූ (සතුන් සමඟ කථා කිරීමේ) හාස්කමට දෙවියන්ට ස්තූති වන්ත වූ ආකාරයත්“ සරලව පැහැදිලි වේ. නමුත් අල්කුර්ආනය 27-18 වාක්‍යය තුලින් ඉහත කී සරල කාරණයෙන් ඔබ්බට ගිය නුතන සත්ව ලෝක විද්‍යාත්මක කාරණයක් ද අන්තර්ගතව ඇත යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එම සත්‍යය නිසි අයුරින් අවබෝධ කර ගැනීමට නම්, ඉහත අල්කුර්ආන් වාක්‍යය තුල කථා කරන “කුහුඹු“ ලෝකය පිලිබදව තරමක් ගැඹූරින් දැන සිටීම අවශ්‍ය වේ. ඒ අනුව මෙතැන් සිට “කුහුඹු“ ලෝකය පිලිබදව තරමක් ගැඹූරින් විමසා බලමු.

කුහුඹු ලෝකය

කුහුඹූවන්ගේ ඉතිහාසය

කුහුඹුවාගේ විද්‍යාත්මක නාමය “ෆෝමිසයිඩ්“ යන්නයි. මෙය මී මැස්සන් සහ වේයන් සමඟ සමීපව සම්බන්ධතා ඇති කෘමි විශේෂයකි. කුහුඹුවන් පෘථිවියේ ජීවත් වන පැරණිතම සතුන්ගෙන් එකක් බව පැවසේ. ඔවුන්ගේ ඉතිහාසය වසර මිලියන 90 කට එහා යන බව ද පැවසේ.

කුහුඹූවන් වර්ග

අද වන විට ලොවපුරා කුහුඹු විශේෂ 12.000 ක් පමණ සිටින බව ද පැවසේ. එවැනි කිහිපයක් මෙහි පහතින් නම් කරන්නේ නම්,

  •  උණ්ඩ කුහුඹුවා
  •  වඩු කුහුඹුවා
  •  ගිනි කුහුඹුවා
  •  වෙල්වට් කුහුඹුවා
  •  පාරාවෝ කුහුඹුවා
  •  කුහුඹු-සිංහයා
  •  කළු කුහුඹුවා
  •  කුහුඹු රැජින
  •  රතු කුහුඹුවා
  •  සොල්දාදුවා කුහුඹුවා
  •  ස‍ොzම්බි කුහුඹුවා

කුහුඹූ නිජබිම්

කුහුඹුවන් වඩාත් විශ්වීය සතුන්ගෙන් එකකි, ඒ ඔවුන් ලෝකයේ සෑම මහාද්වීපයකම පාහේ සොයාගත හැකි නිසාය. ඇන්ටාක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ පොලිනීසියාව යන දූපත් වල පමණක් ඔවුන් දක්නට නොමැත.

ගීත, කවි සහ උපමාවන්ට බඳුන් වූ සත්වයෙකි

ඉතා කඩිසර හා කාර්‍යක්ෂම සත්ව කොට්ඨාශයක් වන මොවුන් වෙනුවෙන් ලියවුණු ගීත, කවි ඕනෑ තරම් අසන්නට ලැබේ. “පායනා කාලේදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි - කුහුඹුවෝ“ මේ අප සමාජය තුල නිතර ඇසෙන කවියකි. මොවුන්ගේ කඩිසර කම නිසාම මිනිස් සමාජය තුල උපමාවක් ලෙස “කුහුඹුවන් වගේ“ යැයි පවසන අවස්ථාවන් අප ඕනෑ තරම් අසන්නෙමු.

මිනිසුන්ට කරදරකාරී සත්වයෙකි

මෙම කුහුඹුවන් මිනිසුන්ට කරදරකාරී කෘමි කොට්ඨාශයක් යන්නත් මෙහි අමතක කල නොහැකි කාරණයකි. පසුගිය කාලයක “ගමක් ආක්‍රමණය කළ කුහුඹුවෝ“ යන මාතෘකාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුන්දකන්ද ගම්මානයක් කුහුඹුවන් ආක්‍රමණය කරමින් තිබෙන බවට වූ පුවතක් “ලංකාදීප වෙබ් අඩවියේ“ පවා වාර්ථා වී තිබීම එයට නිදසුනකි.

කවදා හෝ මිහිමත සිය අණසක පතුරුවාලන සතෙකි

අද වනවිට පෘථිවියේ සිටින සියලුම මිනිසුන්ගේ සම්පූර්ණ ජෛව ස්කන්ධයට දළ වශයෙන් සමාන වන තරමින් සිටින මෙම කුහුඹුවන් සම්බන්ධයෙන් ඉහතින් උපුටා දක්වන ලද පුවසේ සදහන් සුවිශේෂි කාරණයක් මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමි. එනම්,

“වසර මිලියන ගණනකට පෙරාතුව මිහිමත සිය අණසක පතුරුවාගෙන සිටියේ ඩයිනෝසරයෝය. නමුත් ඩයිනෝසරයන් හදිසියේම වඳවීයාමෙන් වසර ලක්ෂ ගණනකට පසු මිනිසා මිහිමත සිය අණසක පතුරුවන්නට විය.  මිනිසා කෙදිනක හෝ මිහිතලයෙන් සමුගතහොත් මේ පොළෝ තලයේ අණසක පතුරුවනු ඇත්තේ කුහුඹුවන් බව විද්‍යාඥයෝ කියති. එයට ඔවුහු විද්‍යාත්මක කරුණු ද ගෙනහැර දක්වති.“

කුහුඹූවන් පිලිබදව තවත් රසවත් තොරතුරු

මෙම කුහුඹූවන් පිලිබදව වූ තවත් රසවක් කරුණු කිහිපයක් මෙහි කෙටියෙන් ඔබේ වැඩිදුර දැනගැනීම පිණිස ගෙන එන්නේ නම්,

  •  මී මැස්සන් තුළ මෙන්, කුහුඹුවන් තුළ ලිංගික වර්ණදේහ නොමැත, එබැවින් ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ සංසේචන ක්‍රියාවලිය මගිනි. සංසේචනය වූ බිත්තර ගැහැණු වන අතර සංසේචනය නොකළ බිත්තර පිරිමි වේ.
  •  කුහුඹුවන් සහ මී මැස්සන් ද කෘමි රාජධානියේ වැඩිම දුර්ගන්ධ ප්‍රතිග්‍රාහක සංඛ්‍යාවක් ඇත. මේවා ආහාර, වටපිටාව, අන්තරායන් සහ යනාදිය පිළිබඳ තියුණු සුවඳක් හරහා තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසන ප්‍රතිග්‍රාහක වේ. මෙය මී මැස්සන්ට 174 ක් වන අතර එය කුහුඹුවාට 400 ක් වේ. මෙය සියළු කෘමීන් අතර ඉහළම අගය වේ.
  •  පෘථිවියේ සිටින සියලුම කුහුඹුවන්ගේ සම්පූර්ණ ජෛව ස්කන්ධය පෘථිවියේ සිටින සියලුම මිනිසුන්ගේ සම්පූර්ණ ජෛව ස්කන්ධයට දළ වශයෙන් සමාන වේ. මෙය කෙසේ විය හැකිද?! කුහුඹුවන් ඉතා කුඩායි, අපි ඉතා විශාලයි! නමුත් විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ සෑම මිනිසෙකුටම අවම වශයෙන් කුහුඹුවන් මිලියන 1.5ක් පෘථිවියේ සිටින බවයි. ඇමසන් වැසි වනාන්තරයේ එක අක්කරයක කුහුඹුවන් මිලියන 3.5ක් සිටින බව පැවසේ.
  • කුහුඹුවන්ට තම සිරුරේ බරින් 30 ගුණයක් පමණ වස්තු රැගෙන යාමට හැකියාව ඇත. ඔවුන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව, ඔවුන්ගේ මාංශ පේශි විශාල සතුන්ගේ හෝ මිනිසුන්ගේ මාංශ පේශිවලට වඩා ඝනයි. මෙම අනුපාතය ඔවුන්ට වැඩි බලයක් නිපදවීමට සහ විශාල වස්තූන් රැගෙන යාමට හැකි වේ.
  • කණ්ඩායම් වශයෙන් වැඩ කිරීම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයයි.

කුහුඹූ ජනපදය

මේ ආකාරයට විශ්මිත අංග රාශියකින් පිරුණු සහ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම කූහුඹූ ජනපදයක් විශ්ලේෂණය කලේනම්, එහි ප්‍රධාන වශයෙන් කුහුඹූ කොට්ඨාශ 03ක් දැකගත හැක. එනම්,


  1. කුහුඹු රැජින - ඇය තමයි ජනපදය පිහිටුවා එහි නායකත්වය දරණ්නේ. ඇය එක් සංසේචනයකින් දිනකට බිත්තර දහස් ගණනක් දමන බව පැවසෙන අතර ඇය සාමාන්‍යෙයන් වසර 1 සිට 30 දක්වා වූ කාලයක් ජීවත් වන බව පැවසේ.
  2. පිරිමි කුහුඹුවා - පිරිමි කුහුඹූවන්ට පියාසර කිරීමේ හැකියාව ඇත. ඔවුන් පියාසර කරමින් ප්‍රජනනය සිදු කරන අතර සංසර්ගගයේදී ඔවුන් මිය යයි. පියාපත් නොමැති පිරිමි සතුන් ද සිටින අතර ඔවුන් පැටවුන් රැකබලා ගැනීම සිදු කරන අතර කූඩුවෙන් පිටත නොපැමිණේ.
  3. කම්කරු (ගැහැණු) කුහුඹුවා. - මොවුන් ප්‍රමාණයෙන් කුඩා, වඳ ගැහැණු සතුන් වන අතර, මොවුනට පිහාටු නොමැත. ඔවුන් ජනපදයේ සියලුම වැඩ කරයි. ඔවුන්ගේ කාර්‍යයන් අතර පැටවුන් සහ රැජින රැකබලා ගැනීම, ආහාර සෙවීම, කුහුඹු ගුල පුළුල් කිරීම... යනාදීය එයින් කිහිපයකි.

කුහුඹූවන් පිලිබදව ගවේෂණාත්මක වීඩියෝ

මේ පිලිබදව වැඩිදුර දැනගැනීම පිණිස කුහුඹූවන් පිලිබදව සකසන ලද ගවේෂණාත්මක වාර්ථාමය වීඩියෝ උපුටා දැක්වීම් පහතින් නරඹන්න.

විශ්මිත වූ අල්කුර්ආන් අනාවර්ණය

මෙතෙක් කථා කල කරුණු තුලින් කුහුඹු ජනපදයක ස්වභාවය සහ එම ජනපදය තුල කුහුඹුවන්ගේ කාර්‍යභාරය පිලිබදව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. මේ අනුව පොළොව මතුපිට සැරිසරන පියාසර කල නොහැකි එකම කූහුඹුවන් කොට්ඨාශය වන්නේ “කම්කරු ගැහැණු කූහුඹුවන්“ යන්න පැහැදිලිය. මෙතැනදී පැහැදිලිව තේරුම් ගතයුතු කාරණයක් ඇත. එනම්, කුහුඹුවකු පිලිබඳව මෙතෙරම් දීර්ඝ වූ කරුණු අණාවරනය නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ සිදුවූ 20 වන සියවසයේ සිදුවූවකි. එම කාරණයත් හොදින් මනසේ රඳවාගෙන ලිපිය ආරම්භයේ ඉදිරිපත් කල අල්කුර්ආන් වාක්‍යය වෙත දැන් නැවත අවදානය යොමු කරමු.

ඔවුන් කුහුඹුවන්ගේ මිටියාවත මතට පැමිණි විට, එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් ගැහැනු කුහුඹුවන්ට), "අනේ කුහුඹුවනි, සුලෙයිමාන් සහ ඔහුගේ සොල්දාදුවන් නොදැන ඔබලා තලා නොදැමීම පිණිස ඔබලාගේ නිවෙස්වලට ඇතුළු වන්න“ යයි පැවසීය.

අල්කුර්ආනය 27-18

මීට වසර 1400 කට පෙර අරාබිකරයේ විසූ නූගත් මිනිසෙකු වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ දිව්‍ය වදන් අල්කුර්ආනයයි. එම අල්කුර්ආනය පහල වීමටත් වසර දහස් ගණනකට පෙර සිදුවූ සිදුවීමකුයි ඉහත අල්කුර්ආන් වාක්‍යෙයන් අද අපට පවසන්නේ. එනම්, සුලෙයිමාන් හෙවත් සොලමන් තුමාගේ කාලයේ එතුමා සහ එතුමාගේ සේනාව එක්තරා ප්‍ර්‍රෙද්ශයක් හරහා ගමන් කරන විට එහි විසූ “ගැහැණු කුහුඹුවකු“ තම පිරිස එම සේනාවට පෑගේවී යන බියෙන් ඔවුන්ගෙන් ආරක්ෂා වීම සදහා ගුලට යන ලෙස ආමන්ත්‍රණය කිරීම එහි විස්තර කරයි. එසේ එම කුහුඹුවා තම පිරිසට ආරක්ෂිත ස්ථානයකට යන ලෙස අන කිරීමේදී පැහැදිලිව එසේ පැවසුවේ එහි සිටී “ගැහැණු කුහුඹූවන්ට“ බව අල්කුර්ආනයේ ඉහත වක්‍ය පවසයි. නුතන විද්‍යාවේ අනාවර්ණයක් වූ “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොවෙහි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන සත්‍යය මීට වසර 1400 කට පෙරම අල්කුර්ආනය දැන සිටීයේ කෙසේද?.

එනම්, ඉහතින් සදහන් අල්කුර්ආනයේ 27:18 වාක්‍යය තුල “කුහුඹුවන්ට පැවසුවා“ යන්න අල්කුර්ආනය පැවසීමේ දී එහි භාවිතා කරන වචන ප්‍රයෝගය වන්නේ “ කාලත් (Kalat (قالت))“ යන්නයි. අරාබි භාෂාවෙන් පිරිමීන්ට පැවසුවා යන්න පවසන විට “කාල (Kala (قال))“ යනුවෙන් ද ගැහැණුන්ට පැවසුවා යන්න පැවසීමේ දී “කාලත් (Kalat (قالت))“ යනුවෙන් ද පවසයි. ඒ අනුව ඉහත වාක්‍යය තුල “කාලත් (Kalat (قالت))“ යයි පැවීසම තුල ගැහැණු කුහුඹුවෙකු තම ගැහැණු කුහුඹූවන්ට ආරක්ෂිත තැනකට යන මෙන් පැවසූ බව පැහැදිලි වේ.

එසේම, කුහුඹු ලෝකය පිලිබදව නූතන විද්‍යාත්මක අනාවර්ණය අනුව කාන්තා කුහුඹූවන් හැරුණූ විට රැණිය සහ පිරිමි කුහුඹුවන්ට පියාසර කිරීමේ හැකියාව ඇත. එමනිසා ඔවුන්ගේ ආරක්ෂාව සදහා ඔවුන්ට එම ස්ථානයෙන් පියාඹා යාමේ හැකියාව ඇත. එසේම පිහාටු නොමැති පිරිමි කුහුඹුවන් ගුලෙන් පිටතට නොපැමිණෙන නිසා ඔවුන් ද ආරක්ෂිතය. මේ අනුව සුලෙයිමාන් තුමාගේ සේනාවට පෑගෙන්නට ඉඩ ඇති එකම කුහුඹු කොට්ඨාශය එහි සිටින ගැහැණු කුහුඹුවන්ය. ඔවුනට ඇති එකම විකල්පය කූඹි ගුලට රිංගා ගැනීම පමණි. ඒ අනුව ගැහැණු කුහුඹූවන්ට “ආරක්ෂාව සදහා ගුලට යන ලෙස“ ගැහැණු කුහුඹුවන්ට නියෝගය දුන් බව අල්කුර්ආනය පැවසීම තුල කුහුඹු ලෝකය පිලිබදව පූර්ණ අවබෝධයෙන් යුතුව මීට වසර 1400 කට පෙර මෙම විශ්මිත අල්කුර්ආනය පහල වූවා යන්න පැහැදිලි වනවා නොවේද?.

දේව වක්තෘ සුලෙයිමාන් තුමා සතුන් සමග කථා කල බව ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?

මීට වසර 3000 කට පමණ පෙර විසූ දේවවක්තෘ සුලෙයිමාන් නොහොත් බයිබලයේ සදහන් ආකාරයට සොලමන් තුමා දිව්‍ය හාස්කමක් ලෙස සතුන් සමඟ පණිවුඩ සංනිවේදනය කරගත්තා යයි අල්කුර්ආනය පැවසීම කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම්, එවැනි කෙනෙකු එම හාස්කම පවසන දිව්‍ය වාක්‍යයේම කුහුඹූවන් පිලිබදව පවසන සත්‍යය වන “ගැහැණු කුහුඹුවන් පමණයි පොළොව මතුපිට සැරිසරන්නේ“ යන්නත් ප්‍රතික්ෂේප කලයුතු වේ. කුහුඹූ ලෝකය පිලිබදව කිසිදු දැනුමක් නොමැති වසර 1400 කට පෙර පැවතී සමාජය පවසන කරුණු විසිවන සියවසයේ විද්‍යාව තුලින් තහවුරු කරගෙන පිලිගන්නේ නම්, ඒහා බද්ධ කොට පවසන සුලෙයිමාන් තුමා සම්බන්ධ දේව හාස්කමත් පිලිගත යුතු යන්න සාධාර්ණ තර්කයක් නොවේද?. මෙය ඔබේ බුද්ධිමත් විමසුමට ම තබමි.

අවසාන වශයෙන්

අල්කුර්ආනය තුලින් මිනිස් බුද්ධියට ගෝචර නොවන ගුප්කිත කාරණයක් හෝ හාස්කමක් පිලිබදව පැවසීමේ දී ඒ හා බද්ධ කොට නූතන ලෝක අනාවර්ණයක් ඉදිරිපත් කිරීමත්, අල්කුර්ආනය දිව්‍ය වදන් බව කියාපෑමත් අල්කුර්ආනයේ කලාවකි. මෙවැනි අනාවර්ණ රාශියක්ම යහමග අඩවිය තුල අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02 යන ලිපිය යටතේ මීට ඉහත පෙලගසා ද ඇත. එම කරුණු වෙත ඔබගේ බුද්ධිමත් අවදානය යොමු කරන ලෙස ආරාධනා කරමින් සහ මෙවැනි විශ්මිත අනාවර්ණයක් තවදුරටත් ඉදිරිපත් කිරීමේ පොරොන්දුවෙන් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම