අල්කුර්ආනයේ ඉතිහාසය 02 – මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය
අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය මාතෘකාවට සෘජුවම බලපාන කාරණයක් බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට තහවුරු වනු ඇත. අල්කුර්ආනය නම් ශ්‍රෙෂ්ඨ සාහිත්‍ය කෘතිය සමාජයට ප්‍රකාශ වන්නේ මුහම්මද් (සල්) තුමාණන් මඟිනි. එම සාහිත්‍ය කෘතිය මිනිස් සමාජයට දේශනා කරන මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය ශූන්‍ය බව මා පැවසුව හොත් සමහර විට ඔබ මවිත වනු ඇත. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම නොහැකියාව ප්‍රකාශ කිරීම එතුමාගේ මහිමයට ද මදිකමක් ලෙස සිතෙනු ඇත. නමුත් එයයි සැබෑව, එතුමාණන්ගේ ඒ නොහැකියාව ඉස්ලාමයට ලොකු ආශිර්වාදයක් ද විය. මා මෙසේ පවසන විට ‘කෙනෙකුගේ සාක්ෂරතා ඥානය ශූන්‍ය වීම ආශිර්වාදයක් වෙන්නේ කොහොමද?’ යන පැනය ඔබ තුල මතුවිය හැක.
අල්කුර්ආනය දිව්‍ය වැකි යයිද, එය දේවදූතයකු මඟින් මුහම්මද් (සල්) තුමාණන්ට ප්‍රකාශ වූ බවද මුස්ලීම්වරුන් අප පවසන විට අල්කුර්ආනය විවේචනය කරන පිරිස් ‘අල්කුර්ආනය මුහම්මද් (සල්) විසින් ගොතන ලද්දක්. එහි ඇත්තේ ඔහු විසින් ලියන ලද කරුණුය’ යනුවෙන් වාද කරයි. නමුත් සාක්ෂරතා ඥානයක් නොතිබූ මුහම්මද් (සල්) තුමාණන් කොහොමද අරාබි සාහිත්‍යයේ ඉහල ම නිර්මාණ කෘතියක් වන අල්කුර්අනය ලියන්නේ. එහි සාහිත්‍ය රසය පමණක් නොව එය සර්වකාලීන වලංගු ජීවන මාර්ගයක් ගැන කථා කරයි. එහි නූතන විද්‍යාව, දේශපාලනය, ආර්ථිකය… යනාදී කරුණු මීට වසර 1400 කට පෙරම ස්වමතයෙන් මුහම්මද් (සල්) තුමාණන් සමාජයට ප්‍රකාශ කරන්නේ කෙසේද?. එය එතුමාණන්ගේ නිර්මාණයක් යයි පවසන පිරිස් එතුමාගේ සාක්ෂරතා ඥානය පිලිබදව මොහොතක් අවදානය යොමු කරන්න.
එතුමාගේ සාක්‍ෂරතා දැනුම හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් ලෙස ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු ‘හුදෙයිබියා’ නම් ගිවිසුම සකස් කරන මොහොත සදහන් කල හැක. ඉස්ලාමීය ඉතිහාසයේ, ඉස්ලාම් විරෝධීන් හා මුස්ලීම්වරුන් අතර සිදු වූ තීරණාත්මක ගිවිසුමක් ලෙස ‘හුදෙයිබියා’ නම් ගිවිසුම සදහන් වේ. මෙහිදී මුහම්මද් (සල්) තුමාගේ පාර්ශවය (මුස්ලීම්වරුන්) වෙනුවෙන් ගිවිසුම ලියන ලද්දේ එතුමාගේ බෑනා වන අලි (රලි) තුමා විසිනි.
මෙසේ ගිවිසුම සකස් කිරීමේ දී එම ගිවිසුමේ මුහම්මද් (සල්) තුමාණන්ගේ නම සටහන් කිරීමේ දී එම නමට ඉදිරියෙන් ‘වක්තෘ’ (දේව නියෝජිත) යන්න ‘වක්තෘ මුහම්මද් (සල්)’ ලෙස ලියන ලදී. මෙය දුටු දෙවන පාර්ශවය (ඉස්ලාම් විරුද්ධවාදීන්) මෙම ගිවිසුම වලංගු නැංවීමට නම් එහි සදහන් ‘වක්තෘ’ යන කොටස ඉවත් කලයුතු යයි ඔවුන් තරයේ පවසා සිටින ලදී. ඒ අනුව එය ඉවත් කිරීමට තීරණය කල නබිතුමාණන් තම බෑනා වන අලි (රලි) තුමාට ‘එම කොටස මකා දමන්න’ යයි පවසන ලදි. නමුත් මුහම්මද් (සල්) නබිතුමාණන් කෙරෙහි දැඩි ආදරයක් හා ගෞරවයක් දක්වන අලි(රලි) තුමා ඇතුළු එම ස්ථානයට රැස්ව සිටී සමස්ථ මුස්ලීම්වරුන් එය ප්‍රතික්ෂේප කරන ලදී. අලි (රලි) තුමාද එකහෙලා පවසා සිටියේ ‘ඔබතුමා සැබැවින්ම අල්ලාහ් (දෙවියන්)ගේ දුතයාණන් ඉතින් කුමකටද එය මකා ඉවත් කරන්නේ එය මට කල නොහැකිය’ යයි පවසන ලදී. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් විමසා සිටියේ ‘මේ ගිවිසුමේ එසේ සටහන් වී ඇති තැන මාහට පෙන්වන්න මා එය මකන්නම්’ යනුවෙනි.
ඉහත සංවාදය තුල පැහැදිලි වන්නේ එතුමාණන්ගේ නම පවා ලියවී ඇති තැන සොයාගැනීමට තරම්වත් සාක්‍ෂරතා ඥානයක් එතුමාට නොතිබුණා යන්න නොවේද?. මෙය වඩාත් හොදින් තහවුරු කරන කාරණයක් ලෙස එතුමාගේ කාලයේ එතුමාගේ මූලිකත්වයෙන් විවිධ ප්‍රදේශවල රජවරුන්, පාලකයන් හා ප්‍රභූවරුන් වෙත ලියා යවන ලද ලිපි ගෙනහැර දැක්විය හැක. මෙහි දැක්වෙන් ඉන් එක් ලිපියකි
නබිතුමාණන් විසින් යවන ලද ලිපියක්…
එම ලිපිවල මුහම්මද් (සල්) තුමාණන් අත්සන් යොදනවා වෙනුවට කලේ තම නම කොටා තිබූ මූද්‍රාවක් භාවිතා කොට සලකුණක් යෙදීමයි. මේ තුලින් ද එතුමාගේ සාක්‍ෂර නොහැකියාව මනාව පිළිඹිබු වේ. මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා හැකියාව ශූන්‍යයක් වූවාට එම සමාජය එසේ නොවේ. එම සමාජය එවැනි අඥාන සමාජයක් නොවේ. එය මෙම ලිපි පෙල ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපියට විරාමය තබන්නේ මෙම ලිපි පෙලෙහි තවත් ලිපියක් ඉක්මණින්ම ඉදිරිපත් කිරීමේ පොරොන්දුව ඇතුවයි.
මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,
- අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය
- අල්කුර්ආනය පිලිබදව හැදින්වීම හා එහි ඉදිරිපත් කරන අභියෝගය,
- මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය කොතරම්ද?,
- අල්කුර්ආනය ප්‍රකාශ වූ සමාජය මොනවගේද?,
- දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම,
- වහී පහලවීම හා එය ලේඛනගත කිරීම,
- ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් හා එම භාෂාව පැවතීමේ අවශ්‍යතාවය,
- ආරම්භයේ පටන් සංශෝධනයන් සිදුනොවී පැවතීමේ අවශ්‍යතාවය,
- කුර්ආන් පිටපත් ගැනීම,
- ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ආරක්ෂිතද?,
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න