ආගම් හා විද්‍යාව අතර මතභේදයක් ඇයි?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය සමාජය තුල විශේෂයෙන් තරුණ පිරිස් අතර ‘ආගම සහ විද්‍යාව’ යන විෂය අද තරමක උණුසුම් මාතෘකාවක් වී ඇත. උසස් පෙළ විද්‍යා ගුරුවරයෙකු වන මුතුගල මහතා තම දරුවන් අතර ‘මිනිස් පරිණාමය සහ බුදුදහම’ සම්බන්ධයෙන් ඉදිරිපත් කල ප්‍රකාශයක් පදනම් කරගෙන ඊට විරුද්ධ මතවාදයක් තරුණ සඳකත් මහතා විසින් තම ‘යූටියුබ්’ නාලිකාව තුලින් ඉදිරිපත් කිරීම මෙම උණූසුම් තත්වය නිර්මාණය වීමට මූලික හේතුවයි. දෙදෙනෙකු අතර සිදු වූ එම මත ඉදිරිපත් කිරීම අද කණ්ඩායම් කිහිපයක් අතර සිදුවන විවාදයක් දක්වා වර්ධනය වී ඇත. ඒ මුතුගල මහතාට පක්ෂව පිරිසක් සහ සඳකත් මහතාට පක්ෂව පිරිසක් ලෙසත්, මේ දෙපාර්ශවයටම එරෙහි තවත් පිරිසක් ලෙසත් මෙම විවාදය ඉදිරියට දිගහැරමින් පවති. ‘ආගම හා පරිණාම වාදය’ යන විෂය මූලික කරගෙන ඇරඹුනු විවාදය දැන් ‘ආගම හා විද්‍යාව’ යන මාතෘකාව දක්වා පුළුල් වී ඇත.

මෙතැනදී ‘යහමග’ මාගේ මතය නම්, මෙවන් මොහොතක ඉහත විවාදයට විද්වත් මත ඉදිරිපත් කිරීමේ අරමුණින් සහ එම විවාදයට සාධාර්ණයක් කරනු අරමුණින් බුද්ධිමත් තර්ක විතර්ක සහිතව මැදිහත් වීමෙහි වරදක් නැත යන්නයි. නමුත් අද සැබෑවටම එහි සිදුවෙමින් තිබෙන්නේ එය නොවේ. ශ්‍රී ලාංකීය සමාජයේ සිටින ‘යූටියුබ්’ සහ ‘ෆේස්බුක්’… වැනි සමාජ මාධ්‍යකරුවන් ඉහත මතවාදය මූලික කරගෙන විවිධ කණ්ඩායම්වලට බෙදී එකින් එකා අතර අපහසාත්මකව සහ උපහසාත්මකව චෝදනා නඟමින් බුද්ධිමත් සංවාදයක් අවාසනාවන්ත තැනකට ඇදගෙන යාම පමණි.

ඉහතින් සදහන් මුතුගල සහ සඳකත් යන මහත්වරුන්ගේ මතවාදය සම්බන්ධයෙන් (යහමග) මට ද යම් යම් විවේචන සහ එකඟතා නැතුවා නොවේ. නමුත් මෙතැනදි එවැනි සංවාදයකට යොමුවීම හෝ ඉහතින් සදහන් කණ්ඩායම් නියෝජනය කරනවාට වඩා මේ සියළු පාර්ශවයන්ට තේරුම් කර දියයුතු යථාර්තයක් පිලිබදව මෙහිදී කථා කිරීම කාලීන යැයි සිතේ. මෙම සාකච්චාව ආරම්භයේදීම ‘යහමග’ පාඨක ඔබට විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, මෙම ලිපිය තුල මා ආගම් ලෙස කථා කරන්නේ අද ලෝකයේ පවතින ප්‍රධාන ආගම් සියල්ලම පදනම් කරගෙන මිස ඉස්ලාම් දහම පමණක් පදනම් කරගෙන නොවේ. නමුත් එයින් ලොව සියළු ආගම් ‘හරි’ යන්න මෙයින් අදහස් නොකරමි. ‘කුමන ආගම හරිද?’ යන්න වෙනම සාකච්චා කලයුතු විෂයකි. නමුත් ලොව සියළුම ආගම්වල පවතින පොදු ලක්ෂණයන් ඇත. ඒ මත පදනම්ව ‘විද්‍යාව සහ ආගම’ යන විෂය සම්බන්ධයෙන් මෙතැන් සිට කරුණු සාකච්චා කිරීමට අදහස් කරමි.

‘ආගම’ සහ ‘විද්‍යාව’ යන දෙකම නූතන ලෝකයට දැවෙන අවශ්‍යතාවයක් යන්න මාගේ දැඩි විශ්වාසයයි. විද්‍යාව සහ ආගම යන්න ලෝකය දෙස අප බලන එකට එක වෙනස් (Tools) ‘ටූල්’ දෙකකි. (එම ‘ටූල්’ දෙක මෙතැන් සිට R (Religion) සහ S (Science) ලෙස උපකල්පනය කරමු) R තුලින් බැලුවත්, S තුලින් බැලුවත්, බලන්නේ එකම ලෝකය දෙස වූවාට ඒ තුලින් පෙනන දෘෂ්ඨි කෝණය වෙනස් වේ. එයට හේතුව මෙම R හා S හි මූලික අරමුණු සහ ඉලක්ක එකින් එකට වෙනස් වන බැවිණි. එනම්,

  • R (Religion) යන්න – සිත මූලික කරගත් විශ්වාසයන් මත පදනම් වූ මරණින් මතු දිවියෙහි සාර්ථකත්වය ඉලක්ක කරගත් ජීවන මාර්ගයකි.
  • S (Science) යන්න – පරීක්ෂණ, නිරීක්ෂණ මත පදනම්ව එළඹෙන නිගමනයන් තුලින් සාර්ථක ලෞකික දිවියක් ගොඩනැඟීම ඉලක්ක කරගත් මාර්ගයකි.

මේ අනුව ඉහත R හා S යන ‘ටූල්’ එකේ ස්වභාවය මත ලෝකය දකින ආකාරය හා එහි ඉලක්ක, අරමුණූ වෙනස් බව ඔබට පැහැදිලි වියයුතුය. එසේනම්, R එක තුලින් ලෝකය බලා S හි දැක්ම විවේචනය කිරීමත්, S එක තුලින් ලෝකය බලා R හි දැක්ම විවේචනය කිරීමත් කිසිසේත් සාධාර්ණ නොවන අනුවණක්කාර ක්‍රියාවක් බව මූලිකව තේරුම් ගතයුතය. එම සත්‍යය අවබෝධ කරගත් නිසයි ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් විද්‍යාව සම්බන්ධයෙන් පුරසාරම් දෙඩවීමටත්, ආගම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පලකිරීමටත් ඉක්මන් නොවුයේ.

එවැනි නිදසුන් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

  • පරිණාමවාදය සහ ආගමික විශ්වාසයන් පරස්පර නොවිය යුතු බව මට විශ්වාසයි. ඇත්ත වශයෙන්ම, විද්‍යාව සහ ආගම නිසි ලෙස වටහාගෙන තිබේ නම්, ඒවා එකිනෙකට වෙනස් වූ කරුණු සම්බන්ධව කතා කෙරෙන බැවින් එකිනෙකට පරස්පර විය නොහැක. විද්‍යාව සහ ආගම යනු ලෝකය දෙස බැලීමට ඇති එකිනෙකට වෙනස් වූ කවුළු දෙකක් වැනිය. එම කවුලු දෙකෙන්ම බලනුයේ එකම ලෝකය දෙසයි, නමුත් ඒවා එම ලෝකයේ එකිනෙකට වෙනස් වූ විවිධ පැතිකඩ පෙන්වයි. ග්‍රහලෝක චලනය වන ආකාරය, පදාර්ථයේ සහ වායුගෝලයේ සංයුතිය, ජීවීන්ගේ සම්භවය සහ අනුවර්තනයෙ වැනි ස්වභාවික ලෝකයට හේතු වන ක්‍රියාවලීන් ගැන විද්‍යාව සැලකිලිමත් වේ: ආගම ලෝකයේ සහ මිනිස් ජීවිතයේ අර්ථය සහ අරමුණ, මැවුම්කරුට සහ මිනිසාට මෙන්ම මිනිසුන් අතර එකිනෙකාට ඇති නිසි සම්බන්ධය, මිනිසුන්ගේ ජීවිතය පාලනය කරන සදාචාරාත්මක සාරධර්ම ගැන ආගම සැලකිලිමත් වේ. පැහැදිලි පරස්පරතා මතුවන්නේ විද්‍යාව හෝ ආගමිකවිශ්වාසයන් එසේත් නැත්නම්, බොහෝ විට මේ දෙකම තමන්ගේම සීමාවන් ඉක්මවා එකිනෙකාගේ විෂය කරුණු වැරදි ලෙස අතික්‍රමණය කරන විට පමණි. – ෆරෙන්සිස්කෝ අයලා – ජීවවිද්‍යාඥ – කැලිෆෝනියා විශ්ව විද්‍යාලය. (Francisco Ayala, biologist, University of California, Irvine )
  • නිරීක්‍ෂණය කරන්න: විද්‍යාවට සහ ආගමට සහ සම්බන්ධයක් ඇත. පළමු විද්‍යාඥයන් වූයේ පූජකයන්ය. අද විශ්වවිද්‍යාලවල පිහිටා ඇති ආගමි ආයතනවල සිට වතිකානු නිරීක්ෂණාගාරය දක්වාම ආගමික ආයතන වෘත්තීමය විද්‍යාවට සහාය දක්වයි. එමෙන්ම ආගමික කරුණු විශ්වාස කරන විද්‍යඥයින්ගේ ප්‍රතිශතය සාමාන්‍ය ජනගහනයේ කොටසම පිළිබිඹු කරයි. විද්‍යාව පදනම් වී ඇත්තේ මැවීම ක්‍රමවත් බවත්, ස්වභාවික දෙවිවරුන්ගේ මැදිහත්වීම්වලින් තොර බවත්, අධ්‍යයනයට සුදුසු බවත් යන ආගමික ප්‍රරකාශය මතය. ඉතින් “ගැටුමක්” පිළිබඳ මෙම මිථ්‍යාව දිගටම තල්ලු කරන්නේ කවුද? ඔවුන්ගේ න්‍යාය පත්‍ර කුමක්ද? – ජේසු නිකායික සහෝදර ගයි කොන්සොල්මැග්නෝ, වතිකානු නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ (Jesuit Brother Guy Consolmagno, astronomer at the Vatican Observatory )
  • ආගම සහ විද්‍යාව තෙල් සහ ජලය වැනි ය. ඔවුන් සහජීවනයෙන් පැවතිය හැකි නමුත් සමජාතීය මාධ්‍යයක් නිපදවීමට කිසිවිටෙක මිශ්‍ර කළ නොහැක. ආගම සහ විද්‍යාව මූලික වශයෙන් නොගැලපේ. අපි ලෝකය පිළිබඳ දැනුම ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් දැඩි ලෙස එකඟ නොවේ. විද්‍යාව පදනම් වී ඇත්තේ නිරීක්‍ෂණය සහ නිරීක්‍ෂණයෙන් තර්ක කිරීම මතයි. නිරීක්‍ෂණයෙන් හෝ තරකයෙන් ලබා ගත නොහැකි ගැඹුරු මට්ටමේ තොරතුරු වෙත මිනිසාට ප්‍රවේශ විය හැකි බව ආගමේ ස්ථාවරය යි. විද්‍යාත්මක ක්‍රමය එහි සාර්ථකත්වයෙන් සනාථ වේ. ආගමික ක්‍රමය එහි අසාර්ථකත්වයෙන් ප්‍රතික්ෂේප වේ. – හවායි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්ය වික්ටර් ජේ. ස්ටෙන්ගර්, (Victor J. Stenger, Emeritus Professor of Physics, University of Hawaii)
  • පුද්ගලිකව මම කිසිසේත්ම ආගමික නොවෙමි, නමුත් මට ආගමික විද්‍යාඥයින් මිතුරන් ලෙස සිටින අතර ඔවුන් හොඳින් කළමනාකරණය කරන බව පෙනේ. මම හිතන්නේ ඒ මිනිස්සු අවුරුදු 6000කට පෙර පෘතුවිය හා අනිකුත් සියලු දේ දෙවිඳුන් විසින් නිර්මානය කරන ලද දෙයක් යැයි නොසිතන ආගමික භූ විද්‍යාඥයෙක් ‍මෙන් සමහර ආගමික දේවල වචනාර්ථය ටිකක් අඩුවෙන් ගන්නවා කියලයි. මක්නිසාදයත්, එයාලගෙ විද්‍යාවෙන් කියන්නෙ පෘථිවියට වයස අවුරුදු බිලියන 4.5 කියල. – කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ග්‍රාන්ට් කෙනඩි ( Grant Kennedy, astrophysicist, University of Cambridge)

‘ආගම’ යන්න විශ්වාසයන් මත පදනම් වූ ‘සිත’ මූලික කරගත් කාරණයක් යන්න පිලිබදව කිසිවකුටත් විවිදයක් නැතැයි මා සිතමි. එම ‘සිත’ පිලිබඳව නූතන විද්‍යාත්මක දැනුම ආගමික ඉගෙන්විමන් හා සසඳනය කරන කල ඒ දෙක අතර පරතරය කල්ප ගාණක රික්තකයක් යන්න ඔබ දන්නවාද? මා නොදනිමි. ලොව සෑම ආගමකම ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කරන විට එහි ඉගෙන්වීමන් බුද්ධියට නොව මිනිස් මනසට එනම් ‘සිතට’ කථා කරන ආකාරයක් දක්නට ලැබේ. එයට හේතුව ලොව සෑම ආගමකම මූලික හරය වී ඇත්තේ ‘මිනිස් සිත’ යහපත්, බලවත් හා නිරෝගි සිතක් ලෙස ගොඩනැඟීම වන බැවිණි. වසර සිය ගණන්, දහස් ගණන් එවන් යහපත් අරමුණූ වෙනුවෙන් ආගම් කටයුතු කිරීම නිසයි අදටත් දියුණූ යැයි පවසා ගන්නා විද්‍යාව හමුවේ පවා ප්‍රතාපවත් ලෙස ‘ආගම්වලට’ නැඟී සිටීමට හැකි වී තිබෙන්නේ. මිනිස් සිතට මෙපමණ බලපෑමක් කරන්නට ආගම්වලට හැකි වූයේ කෙසේද?.

‘විද්‍යාව තමයි මරු’ කියා නිව්ටන්ලා, ඩාවින්ලා, අයින්ස්ටයින්ලා… වැනි විද්‍යාඥයින් සරණ යන සමාජය මොහොතක් ඒ ගැන සිතා බැලිය යුතු නොවේද?. අද ‘විද්‍යාව’ හිස මත තබා ආගම ගරහන උදවියට නූතන විද්‍යාඥයින් සහ ඔවුන්ගේ වාද හා නියම තව වසර 500ක් කල් ගියත්, මේ ආකාරයටම මිනිස් හදවත් හි රැදෙනු ඇතැයි  සහතිකයක් දියහැකිද? අඩුම තරමින් ඔවුන්ගේ වාදයන් ප්‍රතික්ෂේප නොවී හෝ සංශෝධනය නොවී  පවතිනු ඇත යනුවෙන් සහතිකයක් දියහැකිද?. නමුත් ආගම් හා එහි ශාස්තෘවරුන්ගේ තත්වය එසේ නොවේ. අවුරුදු දහස් ගණනක අතීතයේ පටන් අද දක්වාත්, ඉදිරියට තවත් වසර දහස් ගණනක් දක්වාත් මිනිස් සිත්වල ගෞරවාන්විතව ආගම් පමණක් නොව එහි ශෘස්තෘවරුන් ද රුදෙනවා යන්නෙහි කිසිදු සැකයක් නැත.

විද්‍යාවේ ස්වභාවය වෙනස් වීමයි. එය කලින් කලට මොහොතින් මොහොත වෙනස් වේ. ‘පරිණාම වාදය’ සම්බන්ධයෙන් ආරම්භයේ දැරු මතවාදයේ අද විද්‍යාව නැත. නියත වශයෙන්ම ඒ සම්බන්ධයෙන් අද දරණ මතවාදයේ තව අවුරුදු 100ක් යන විට නැත. ‘විද්‍යාව සියල්ල හොදින් දන්නවා’ කියා සාමාන්‍ය ජනයා සහ උඩින් පල්ලෙන් විද්‍යාව ඉගෙනගත් ඔස්තාර්ලා විශ්වාස කලාට විද්‍යාඥයින් එවැනි මතයක නොමැති බව ඉහත විද්‍යාඥයින්ගේ මත තුල ඔබට අවබෝධ වියයුතුය. නිදසුනකට ට්‍රිලියන මිලියන ගණනක ආකාශ වස්තූන් අන්තර්ගත විශ්වයට එහා සිට කථා කරන ආගම් හි ඉගෙන්වීමන් විවේචනය කිරීමට අද ඉදිරිපත් වී සිටින ඔස්තාර්ලාට තම ආසන්නතම උපග්‍රහයා වන හඳ පිලිබදවවත් විද්‍යාවට පූර්ණ දැනුමක් නොමැත යන හාස්‍ය ජනකම සත්‍යය තේරුම් ගතයුතුව ඇත. මෙවැනි ඔස්තාර්ලාට පවසන්නට ඇති සරලම කාරණය නම්, ඔබලාට අවශය ආගම් විවේචනය කිරීම නම්, මුලින්ම තමන් කථා කරන්නට යන විෂය පිලිබදව විද්‍යාවේ අවසානම නිගමනය කුමක්ද? යන්න පැහැදිලි කරගන්න. ඉන් අනතුරුව ආගම් තුල ඒ පිලිබදව කථා කරන කාරණයන් කුමක්ද? යන්න පිලිබදව පූර්ණ දැනුම ලබාගන්න. ඉන් අනතුරුව වාද විවාදයන්ට එළඹෙන්න. එසේ නොමැතිව විද්‍යාවත් හරියට නොදැන ආගමත් හරියට නොදැන ‘පාළුගෙදර වලං බිඳිම’ කිසිසේත් සාධාර්ණ නොවේ.

මෙතැනදි තවත් වැදගත් කාරණයක් පැවසිය යුතුව ඇත. එනම්, සියල්ල විද්‍යාවේ ඇසින් බලන්නට පුරුදු වී සිටින නූතන ලෝකය තුල ‘ආගමත් විද්‍යාත්මකයි’ යනුවෙන් ඔප්පු කිරීමට ඉක්මන් වන පිරිස් ද සමාජය තුල බහුලව දකින්නට ඇත. (මෙවැනි ලිපියකට වස්තු බීජ වූ සිද්ධියත් එවැන්නකි.) ඒ මේ ලිපිය ආරම්භයේ සදහන් කලාසේ ‘ආගම’ හා ‘විද්‍යාව’ යන්න කිසිසේත් සංසන්ධනය කල නොහැකි මාන දෙකක් යන සත්‍යය අවබෝධ කර ගැනීමේ කාරණයේ දී පවතින දෝෂය හේතුවෙනි. නැවතත් අවදාරණය කරන්නේ විද්‍යාවෙන් ආගම සත්‍ය බව සනාථ කිරීමට උත්සාහ කිරීමත්, ආගමෙන් විද්‍යාව සත්‍ය බව සනාථ කිරීමට උත්සාහ කිරීමත් අසාර්ථක ක්‍රමවේදයකි. එයට නිදසුන් සමාජයෙන් ඕනෑතරම් ගෙනහැර දැක්විය හැක. නමුත් ඉස්ලාම් දහම නියෝජනය කරන ‘යහමග’ මා එයට කදිම නිදසුනක් මුස්ලීම් සමාජයෙන්ම ගෙනහැර දක්වන්න අදහස් කරමි. එය මෙසේය, ඉස්ලාම් දහමේ දේව පුස්තකය වන අල්කුර්ආනයේ මිනිසාගේ කළල විකාශනය පිලිබදව 23 වන පරිච්චේදයේ 12, 13 හා 14 වාක්‍යයන් තුලින් විස්තර කිරීමේ දී එහි මෙසේ පවසයි.

ඔහුව සුරක්ෂිත ස්ථානයක ශුක්‍රණු බිඳුවක් ලෙසින් (තැන්)පත් කළෙමු. පසුව අපි ශුක්‍රණු බිඳුව ‘අලක්’ බවට පත් කළෙමු. ඉන්පසුව එම ‘අලක්’ එක මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇට කටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය (කලලය) අපි වෙනස්ම නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා ලක්ෂණ (නිර්මාපකයාවූ) අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.

අල්කුර්ආනය 23- 12 සිට 14

මීට දශක කිහිපයකට පෙර එනම් 20 වන සියවසයේ මුල්භාගයේ විද්‍යාව මිනිස් කළල විකාශනය පිලිබදව මත ඉදිරිපත් කිරීමේදී මිනිස් කළලයේ ආරම්භක අවස්ථාව ‘ඝන ලේ කැටියක්’ යන මතය දරණ ලදී. එවිට මුස්ලීම් සමාජයේ සමහරක් ආගමික විද්වතුන් ද,

බලන්න විද්‍යාව මිනිසාගේ ආරම්භක අවස්ථාව ‘ඝන ලේකැටියක්’ යැයි පවසනවා අල්කුර්ආනයේත් ‘අලක්’ යනුවෙන් ‘ඝන ලේකැටියක්’ බව සදහන් කරනවා. බලන්න අල්කුර්ආනය කොතරම් විද්‍යාත්මකද?’

යනුවෙන් මත පලකරන ලදී. (මෙම ‘ඝන ලේකැටිය’ යන පරිවර්ථනය අදටත් බොහෝ අල්කුර්ආන් පරිවර්ථනයන් හි දක්නට ඇත. නමුත් ‘අලක්’ යන අරාබි වදනට ‘ඝන ලේකැටිය’ යන අරුථ නැත.) මෙසේ කාලයක් ගත වනවිට විද්‍යාව කළල විකාශනය පිලිබදව තම මතවාදය වෙනස් කරමින් ‘ඝන ලේකැටියක් නොව එය ‘ආසක්ත ව්‍යූහයක්’ යනුවෙන් වත්මන් මතවාදය ඉදිරිපත් කරන ලදී. අන්න එවිට ඉහත කී මුස්ලීම් සමාජයේ විද්වතුන් කලබල වී ‘අලක්’ යනු ලේ කැටියක් නොව ‘කුඩැල්ලකු’ ආකාරයේ වස්තුවක් යනුවෙන් විද්‍යාව හා තම මතය නැවත සමපාත කරගන්නා ලදී. මෙය එක් නිදසුනක් පමණි. මෙවැනි නිදසුන් මුස්ලීම් සමාජය තුලින් පමණක් නොව අනිකුත් ආගමික සමාජයන් තුලින් ද මෙවැනි නිදසුන් මෙහි පෙලගැසිය හැක.

අල්කුර්ආනයේ ඉගෙන්වීම සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයන් ඇති වීමට හේතුව කුමක්ද?. විද්‍යාව හා කරට කර යාමට ගන්නා අසාර්ථක උත්සාහයේ ප්‍රථීපලය නොවේද?. දැන් කෙනෙකු පැරණි අල්කුර්ආන් පරිවර්ථනයක් අරගෙන එහි තිබෙන ‘ඝන ලේකැටිය’ යන වදන නූතන විද්‍යාව හා සසඳමින් අල්කුර්ආනය ‘පරණ බර කරත්තයක්’ යැයි විවේචනය කරයි නම්, එය සාධාර්ණ විවේචනයක් වේද?. එහි වරද අල්කුර්ආනයේද? නොඑසේ නම් විද්‍යාව හා කරට කර යන්නට ඉක්මන් වූ පිරිසගේද? මේ අවාසනාවන්ත ඉරණමයි අද ලොව බොහෝ ආගම් අත්විඳිමින් සිටින්නේ.

ඒ අනුව මෙතෙක් කරුණු සාරංශ කොට පවසනවා නම්, නූතන විද්‍යාව කොතරම් දියුණු වූවත් එය සමස්ථ විශ්වයේ ගැබ්ව තිබෙන දැනුම පද්ධතියට සාපේක්ෂව විද්‍යාව තවම ඇත්තේ ප්‍රථමික අවදියක බව අප තේරුම් ගතයුතුය. දිනෙන් දින මොහොතින් මොහොත තම මතවාදයන් වෙනස් කරමින් ඉදිරියට යන විද්‍යාව තම වෙනස්වීමේ ගුණාංගය මැනවින් ලෝකයාට කියාපාමින් සිටී. මතවාදයන් හි අවසානයක් පෙනෙන තෙක් මානයක නැති විද්‍යාව හා සියල්ල පවසා අවසන් ආගම හා සංසන්ධනය කරමින් විද්‍යාව තුලින් ආගම් සත්‍ය බව ඔප්පු කිරීමට උත්සාහ කරන ඒ මොඩකමින් ආගමික ඔස්තාර්ලා මිදිය යුතුය. එසේම විද්‍යාවේ හය හතර උඩින් පල්ලෙන් දැනගෙන ආගම්වලට අභියෝග කොට පොරක් වන්නට උත්සාහ කරන ඔස්තාර්ලාත් විද්‍යාව අද ඉන්න තැන ගැන අවබෝධයෙන් කටයුතු කලයුතුය. එසේ නොවේ නම්, ‘මුතුගලලාගේ’ සහ ‘සඳකත්ලාගේ’ අර්ථ ශුන්‍ය විවාද නිමක් නැතුව මේ සමාජයේ දකින්නට‍ ලැබෙනු ඇත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ නූතන විද්‍යාවේ දියුණූ දකින විට ආගම් හි අවශ්‍යතාවයත් ඉහල යමින් ඇත. නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ තාක්ෂණය සමඟ මුසු වී ඇති මිනිසා දිනෙන් දින තම ‘සිත’ කිලිටි වන හා විකෘති වන ක්‍රියාකාරකම්වලට වැඩි නැඹූරුවක් දක්වමින් ඇත. උදාහර්ණ ලෙස පරිගණක මාරාන්තික ක්‍රීඩා, සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකම්, අසභ්‍ය හා අශිෂ්ඨ ක්‍රියාකාරකම්, නූතන වූ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, නව තාක්ෂණික ක්‍රමවේයන් උපයෝ කරගෙන කරනු ලබන මිනී මැරීම්, රට රටවල් අතර ඇති න්‍යෂ්ටික විප්ලව… යනාදීය විශේෂයෙන් මෙහි සදහන් කලහැක. මේවායින් බොහොමයක් නූතන ලෝකයේ ට්‍රෙන්ඩ් (Trends) හෙවත් ප්‍රවණතා බවට පත්වී ඇත. මෙසේ විවිධ වූ ‘ට්‍රෙන්ඩ්ස්’ තුල වල්මත් වී විනාශය කරා යන මිනිස් සිතට මරණින් මතු විමුක්තියක් පිලිබදව කියාදෙමින් විකෘති වූ සිත සුවපත් කිරීමේ හැකියාව හා ශක්තිය ඇත්තේ ‘ආගමකට’ පමණි. එම අධ්‍යාත්මික වෙනස විද්‍යාව තුලින් කිසිසේත් කල නොහැක. එවන් ආගම් අවතක්සේරු කොට ගැරහීම බුද්ධිමත් ක්‍රියාවක් යයි ඔබ තවදුරටත් සිතන්නේද?. ‘විද්‍යාව’ නම් රෝදය විද්‍යාවේ කාර්‍යභාරය කරන අතර ‘ආගම’ නම් රෝදය ආගම් හි කාර්‍යභාරය ඉටු කලයුතුය. මේ රෝද දෙකම එකින් එකට සමාන්තරව එකම දිශාවකට එකින් එක පිලිබදව අවබෝධයෙන් සහ සහයෝගයෙන් යුතුව ගමන් කිරීමයි අවශ්‍ය වන්නේ. එසේ වූවා නම්, ‘මිනිස් සමාජය’ නැමැති ‘බර කරත්තය’ සාර්ථකව හා නිරෝගිමත්ව තම දෙලොව ඉලක්ක ජයගනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම