මහා පිපුරුමෙන් ඇරඹූ කාලය, අවකාශය හා විශ්වය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය වන විශ්වයේ මිනුම් ඒකකය වන ‘ආලෝක වර්ෂය’ යන්න පිලිබදව මීට ඉහත ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය යන ලිපිය තුලින් කරුණු සාකච්චා කලෙමු. එහිදී එය ඉස්ලාමීය ඉගෙන්වීම හා කොතරම් දුරකට සැසදෙනවාද? යන්නත් කරුණු සහිතව ඉදිරිපත් කලෙමි.

ඉතා සංකීර්ණ විෂයක් වූ මෙය හැකිතාක් සරලව මා ඉදිපත් කරන්න උත්සාහ කලත්, එම ලිපිය කියවූ සමහරක් පිරිසකගේ අදහස වූයේ එය තරමක් සංකීර්ණ ලිපියක් යන්නයි. මේ හේතුව නිසාම එම ලිපිය තුලින් ඉදිරියට කථා කිරීමට නියමිත අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මොහොතකට පසෙක තබා එම වාදය ගොඩනැඟී ඇති සාධක කිහිපයක් පිලිබදව මෙහිදී තරමක් ගැඹුරින් කථා කිරීමට අදහස් කරමි. ඒ අනුව සාපේකෂතාවාදය පිලිබදව විමසා බලන විට එහි ‘ආලෝකයේ වේගය’ යන කාරණයට සේම ‘අවකාශය’ හා ‘කාලය’ යන සාධකවලට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මීට පෙර ලිපියෙන් ‘ආලෝකයේ වේගය‘ යන කාරණය නුතන විද්‍යාවේ ස්ථාවරය හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සංසන්දනය කොට කරුණූ සාකච්චා කලා නිසා ඒ ආකාරයටම මෙම ලිපිය තුලින් ද සාපේක්ෂතාවාදයේ අනිකුත් සාධක දෙක වන ‘අවකාශය’ හා ‘කාලය’ පිලිබදව ද නූතන විද්‍යාවේ ස්ථාවරය හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සංසන්දනාත්මක ලෙස මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි.

විශ්වයේ සාපේක්ෂ චලිතයන් පිලිබදව කථා කරන විට ‘අවකාශය’ හා ‘කාලය’ යන කාරණාවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. ඒ අනුව ‘අවකාශය’ හා ‘කාලය’ යන සාධක දෙක අමතක කොට සාපේක්ෂ චලිතය හෝ සාපෙක්ෂතා වාදය පිලිබදව කිසිවක් කථාකල නොහැක. මේ හේතුව නිසාම ‘කාලය’ හා ‘අවකාශය’ පිලිබදව මෙන්ම ඒ දෙකෙහි ඇරඹුමත් සමඟ සිදුවූ විශ්වයේ උපත මෙන්ම එහි විකාශනය හා පරිණාමය පිලිබදව මෙම ලිපිය තුලින් කථා කිරීම මේ විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට හේතුවක් වේ. ඒ අනුව මෙම විශ්ව අවකාශය, කාලය, ග්‍රහ වස්තු චලිතය හා විශ්වයේ උපත… යන කාරණා පිලිබදව අවදානය යොමු කිරීමේ දී ලොව ප්‍රබල විද්‍යාත්මක වාදයක් නොසලකා එය කථා කිරීමට ද නොහැක. ඒ විශ්වයේ උපත පිලිබදව කථා කරන Big Bang හෙවත් ‘මහා පිපුරුම්’ නම් වාදයයි. මෙම වාදය සරලව මෙහි පවසනවා නම්,

‘කාලය හා අවකාශය ශුන්‍යව (එනම් කිසිවක් නොමැතිව) පැවතී මොහොතක සිදුවූ මහා පිපුරුමකින් කාලය, අවකාශය හා ඒ තුල විශ්වයේ උපත සිදුවූවා.’

මෙය නූතන ලෝකයේ අති බහුතරයක් පිලිගන්නා ප්‍රබල වූ වාදයකි. මෙය කොතරම් ප්‍රබල වාදයක් ද යන්න පවසනවා නම්, මෙය ලෝක ඉතිහසය තුල පහල වූ විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයින් සෑම කෙනෙකුම පිලිගත් වාදයකි. එදාමෙදා තුර ලොව පහල වූ විශිෂ්ඨ ගනයේ විද්‍casino_06යාඥයෙකු වේ නම්, ඒ ‍’සාපේක්ෂතාවාදය’ ලොවට ඉදිරිපත් කල ‘ඇල්බට් අයින්ස්ටයින්’ මහතාය. එතුමාගෙන් පසු එවැනි විශිෂ්ඨයෙකු ලොව පහල වූයේ නම්, ඒ අදටත් ජීවත්ව සිටින විද්‍යාඥ ස්ටීෆන් ඩබ් හාකිං (Stephon W Hawking) මහතාය. මේ දෙදෙනාම මහා පිපුරුම් වාදය එකහෙලා පිලිගන්නා අතර ස්ටීෆන් ඩබ් හාකිං (Stephon W Hawking) මහතා මේ විශ්වයේ උපත හා පරිණාමය පිලිබදව ‘A Brief History Of Time’ නම් නූතන ගවේෂණ කෘතියක් ද ලොවට දායාද කොට ඇත. එම කෘතියේ එක්තරා ස්ථානයක සදහන් කාරණයකින් මේ ලිපියට ඉදිරි ප්‍රවේශයක් ලබාගන්නේ නම්,

මහා පිපුරුම (Big Bang) සිදුවන මොහොතේ මෙම විශ්වයේ පරිමාව ශුන්‍ය (Zero size) වේ.

විශ්වයේ උපත පිලිබදව වූ එතුමාණන්ගේ මතවාදය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඒ ඔස්සේ කරුණූ සාකච්චා කිරීම මෙහි සිදුකලත් විශ්වයේ උපත පිලිබදව ලොව ඉදිරිපත් වූ එකම වාදය මෙය පමණක් නොවන බවද මෙහි සදහන් නොකරන්නේ නම් එය අසාධාර්ණයකි. ඉහත වාදයට අමතරව විශ්වයේ උපත පිලිබදව කථා කරන තවත් වාදයන් ගණනාවක් ලොව තුල ඉදිරිපත් වී තිබේ. නමුත් ඒ කිසිවක් ‘මහා පිපුරුම්’ වාදය තරම් ප්‍රබල හා තාර්කික වූ ඒවා නම් නොවේ. මේ හේතුව නිසා මෙම ලිපිය නූතන විද්‍යාව පිලිගන්නා ‘මහා පිපුරුම්’ වාදය මූලික කරගෙන කරුණු සාකච්චා මෙතැන් සිට සිදු කරමි.

මෙතැන දී තවත් කාරණයක් පැවසිය යුතුව ඇත. එනම්, යහමඟ අඩවියේ ලිපි කියවන සියළුදෙනා විද්‍යාත්ම මතවාදයන් පිලිබදව පූර්ණ දැනුමක් හෝ උනන්දුවක් ඇති අය නොවේ. එවැනි පිරිසට මෙහි ඉදිරිපත් කරන සමහරක් කරුණු කාරණා නොවැදගත් යයි විටෙක සිතෙන්නට පුළුවන. නමුත් මුස්ලීම්වරුන් මෙතැන දී අමතක නොකලයුතු කාරණයක් ඇත. එනම්, මේ විශ්වය හා එහි මනුෂ්‍යා ඇතුළු සියල්ල මැවූ අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය තුලින් කරන අවවාදය හා ප්‍රශ්න කිරීමයි. එනම්,

අහස්වල හා මහපොළොවේනිර්මාණයෙහිද දිවාරාත්‍රි මාරුවීමෙහිද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩුබාහිරාදිය පුරවා ගත්) සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත්‍රාවලද අල්ලාහ් (විසින්)අහසින් පහළ කරන ජලයෙහිද (මහපොළොව වියළි) මළ පසු එමගින් (වැසි ජලයෙන්) යළිපණ ගැන්වීමෙන් ද තවද, එහි විසුරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහිද සුළඟ ඔබමොබ යැවීමෙහිදීද අහස හා මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක්‍රියාකාරීවීමට) සූදානම් කරන ලද මේඝයන්හිද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-164

ඔවුහු අහස්හි සහමහපොළොවෙහි ක්‍රියාකාරීත්වය ගැනද අල්ලාහ් නිර්මාණය කළ දැය ගැනද ඔවුන්ගේඅවසාන කාලය ළඟා වී ඇතැයි යන්න ගැනද කල්පනා නොකළෙහිද? (රසූල්වරයාගේ අනතුරුඇඟවීමෙන්) පසුව කවර වදනක් ඔවුහු විශ්වාස කරන්නෙහිද?

ශුද්ධ වූ කුර්ආනය 7-185

නියත වශයෙන්ම අහස් සහමහපොළොව යන දෙකම (ආරම්භයේ) එකම ස්කන්ධයක් ලෙස පැවතී බවත්, පසුව අපි ඒ දෙක වෙන් කළ බවත්, තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් නිර්මාණය කළ බවත්, (අපගේ මේ පණිවිඩය) ප්‍රතික්ෂේපකරන්නන් සිතා බැලියයුතු නොවේද? (මෙය) අපගේ නිර්මාණයැයි ඔවූහූ විශ්වාස කලයුතු නොවේද?

ශුද්ධ වූ කුර්ආනය 21-30

අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු

ශුද්ධ වූ කුර්ආනය 10-101

එසේම, අහස්හි සහ මහපොළොවෙහි ඇති සංඥා බොහෝය. ඔවුහු ඒවා ගැන කිසිම තැකීමක් නැතිවඒවා පසුකර යති.

ශුද්ධ වූ කුර්ආනය 12-105

ඉහතින් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය 05 ක් පමණක් ඉදිරිපත් කල ද මෙවැනි වාක්‍ය ගණනාවක් ශුද්ධ වූ කුර්ආනයේ තිබෙන බව අප අමතක නොකලයුතුය. එම වාක්‍යයන් සියල්ලෙන්ම අල්ලාහ් (දෙවි) අපට උනන්දු කරන්නේ ‘මේ විශ්වයේ උපත හා පරිණාමය කවර ආකාරයට සිදු වූයේද?’ යන්න අපට බුද්ධියට අවබෝධ වන පමණින් හෝ විමසා බැලිය යුතු යන්නයි. එසේනම් අහස පොළොව ගැන කථා කිරීම විද්‍යාවට හෝ විද්වතුන්ට පමණක් උරුම කොට බලා සිටිය යුතු කාරණයක් නොවේ. විශේෂයෙන් මේ පිලිබදව අධ්‍යනය කිරීම මුස්ලීම්වරුන්ගේ වගකීම වේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මේ විශ්වයේ උපත පිලිබදව මුස්ලීම්වරුන්ට පැහැදිලි අදහසක් ඇත. ඒ ‘සර්ව බලධාරී අල්ලාහ් (දෙවි) විසින් කිසියම් අවස්ථාවක මෙම විශ්වය නිර්මාණය කලා’ යන්නයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ පහත ආකාරයට විස්තර කරයි.

නියත වශයෙන්ම අහස් සහමහපොළොව යන දෙකම (ආරම්භයේ) එකම ස්කන්ධයක් ලෙස පැවතී බවත්, පසුව අපි ඒ දෙක වෙන් කළ බවත්, තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් නිර්මාණය කළ බවත්, (අපගේ මේ පණිවිඩය) ප්‍රතික්ෂේපකරන්නන් සිතා බැලියයුතු නොවේද? (මෙය) අපගේ නිර්මාණයැයි ඔවූහූ විශ්වාස කලයුතු නොවේද?

ශුද්ධ වූ කුර්ආනය 21-30

ඉහත ශුද්ධ වූ වාක්‍ය මඟින් අහස පොළොව හා එහි තිබෙන සියල්ල දේව නිර්මාණයක් යන්න පැහැදිලිව පවසයි. නමුත් ඒ වාක්‍යය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඒ තුල නූතන විද්‍යාත්මක අනාවර්ණ ගණනාවක් දැකගත හැක. එම වාක්‍ය මුල් කොටසෙහි ‘…නියත වශයෙන්ම අහස් සහමහපොළොව යන දෙකම (ආරම්භයේ) එකම ස්කන්ධයක් ලෙස පැවතී බවත්, පසුව අපි ඒ දෙක වෙන් කළ බවත්…’ යයි පැවසීම නූතන විද්‍යාව පවසන විශ්වයේ උපත නොඑසේ නම් ‘මහා පිපුරුම්’ වාදය සරලව විග්‍රාහ කිරීමකි. විශ්වයේ උපත පිලිබදව වූ නූතන විද්‍යාත්මක වාදය සමඟ මුස්ලීම්වරුන් වන අපට බොහෝ දේවල්වල පරස්පරතාවයක් නැත. එයට ප්‍රධාන හේතුවක් ද ඇත. එනම්, ඉස්ලාම් දහම විශ්වයේ උපත පූර්ණ වශයෙන් විස්තර කරන විට විද්‍යාව එයින් කොටසක් හිතාමාතා අමතක කොට නොඑසේනම් අතපසු කොට එක්තරා තැනක සිට ඉදිරියට ඒ පිලිබදව කථා කිරීමයි. එසේ කථා කිරීමේ දී පවා සමහරක් අවස්ථාවන් සම්බන්ධයෙන් විද්‍යාවට ඇත්තේ විශ්මයක් පමණක් බව මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත.

මේ ලිපිය ඉදිරියට කියවීමේ දී, ‘සියල්ල විද්‍යාත්මක ඇසින් බැලිය යුතුයි එසේම සියල්ලට හේතු හා සාධක තිබිය යුතුයි’ යයි තර්ක, විතර්ක කරන නූතන බුද්ධිමත් සමාජය අමතක නොකලයුතු කාරණයක් ඇත. එනම්, මේ මහා පිපුරුම් වාදය තුල විද්‍යාඥයින් පවා ගොළුවත රකින පැනයන් රාශියක් තිබෙනවා යන්නයි. ඒ පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට ඉහත ද සාකච්චා කොට ඇතත් ඔබේ දැනගැනීම පිණිස නැවත එවැනි පැනයන් දෙකක් මෙහි ඉදිරිපත් කරන්නට අදහස් කරමි. එනම්,

  • මහා පිපුරුමට පෙර (කාලය හා අවකාශය ශුන්‍ය වූ) මොහොතේ එහි ස්වභාවය කුමක්ද?
  • සංකීර්ණ මේ මහා පිපුරුම තුල වත්මන් ආකාරයට සියල්ල ඉතා නිවරුදිව සැලසුම් වූයේ කෙ‍සේද?

මෙවැනි ප්‍රශ්නවලට විද්‍යාව තවමත් නිහඩය. ඒ අනුව ‘මහා පිපුරුම්’ වාදය තුල විද්‍යාවට තවම විසදාගත නොහැකි සංකීර්ණ හා ව්‍යාකූල ගැටළු රාශියක් පවතින බව ඔබට පැහැදිලි වියයුතුය. එපමණක් නොව මේ වාදය තුල අදටත් ලොව පිලිගනු ලබන ප්‍රබල විද්‍යාත්මක නියමයන් හා මූලධර්මයන් අභියෝගයට ලක්වන බව වටහා ගතයුතුය වි‍ශේෂයෙන් ‘නිව්ටන් නියම’ හා ‘ශක්ති සංස්ථිති මුලධර්ම’ මෙහි විශේෂයෙන් සදහන් කලහැක. නමුත් මේ වාදයන් සත්‍ය වූවද, අසත්‍ය වූවද, එහි සංශෝධනයන් ඉදිරිපත් වූවද ඒ කිසිවක් තුලින් ඉස්ලාම් දරණ මතවාදයට නම් කිසිදු බලපෑමක් නොමැති බව පමණක් මෙහි සටහන් කරමින් ‘කාලය’ හා ‘අවකාශයේ’ උපත සමඟ ඇරඹූ විශ්වයේ විකාශනය හා පරිණාමය මෙතැන් සිට අනුමාතෘකා 03ක් ඔස්සේ කථා කිරීමට අදහස් කරමි. එනම්,

මහා පිපුරුමෙන් ඇරඹු විශ්වය වර්ථමාන තත්වයට විකාශනය වූයේ කෙසේද? යන්නත්, එම විශ්වයේ අප සිටින්නේ කොතැනකද? යන්නත්, මේ විශ්වයේ ඉදිරි ගමන් මඟ කුමක්ද? යන්නත් පිලිබදව සෑම කෙනෙකුට ම දළ අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව ඒ පිලිබදව ඉදිරියට කථා කිරීමේ පොරොන්දුව මත මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම