සියල්ල ජලයෙන් නිර්මාණිතය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජලයේ අවශ්‍යතාවය දැඩිව දැනෙන අවදියකයි අද අප ජීවත් වෙමින් සිටින්නේ. මෙවන් අවධියක ‘ජලය’ පිලිබදව කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානය පිණිස යහමග අඩවිය තුලින් ගෙන ඒමට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතු වදනක් ඔබේ බුද්ධිමත් අවදානයට මෙහි පහතින් තබමි.

එය මෙසේය…

අබුහුරෙයිරා (රලි) තුමාණන් පවසයි,

   මම නබි (සල්) තුමාණන් වෙත ගොස්, ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබතුමාව මා දකින විට මගේ සිත සතුටින් ඉපිලී යයි. මගේ ඇසට සිසිලක් දැනෙයි’ යයි පවසා. ‘මට (මේ පොළොවේ) සියළුම දේවල්  පිලිබදව කියාදෙන්න.’  යයි විමසුවෙමි. (එයට නබිතුමාණන්) ‘සියල්ල ජලයෙන් සෑදී ඇත’ යැයි පවසන ලදී. ඉන්පසු මා ‘එය ඉටු කලේනම්, නියතවම මා ස්වර්ගයට යන (කුසල) යමක් මා හට කියාදෙන්න’ යැයි විමසුවෙමි. එයට එතුමාණන් ‘සලාමය (සමාජය තුල ශාන්තිය) පතුරුවන්න. යහපත් දෑ (පමණක්) කථා කරන්න, ඥාති සම්බන්ධතා රකිමින් ජීවත් වන්න, මිනිස්සු නිදන රාත්‍රියෙහි දේව නැමදුමෙහි නිරතවන්න. ඔබ ශාන්තිමත් ලෙස පාරාදීසය (ස්වර්ගය)ට ඇතුළු වනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

ඉහත හදීසයේ පුළුල්ව සංවාදයට ගතයුතු කාරණා කිහිපයක්ම ඇත. එනම්,

  • ‘සියල්ල ජලයෙන් සෑදී ඇත’ යන්න,
  • ‘සලාමය (සමාජය තුල ශාන්තිය) පතුරුවන්න’ යන්න,
  • ‘යහපත් දෑ (පමණක්) කථා කරන්න’ යන්න,
  • ‘ඥාති සම්බන්ධතා රකිමින් ජීවත් වන්න’ යන්න,
  • ‘මිනිස්සු නිදන රාත්‍රියෙහි දේව නැමදුමෙහි නිරතවන්න’ යන්න,

නමුත් මෙම ලිපිය තුලින් අවදානය යොමු කරන්නේ එම හදීසයේ මුල් කොටස වන ‘සියල්ල ජලයෙන් සෑදී ඇත’ යන කාරණය වෙතයි.

21 වන සියවසයේ විද්‍යාව පරීක්ෂණ. නිරීක්ෂණ මඟින් අනාවර්ණය කරගන්නා නිගමනයක් වන ‘සියල්ල ජලයෙන් නිර්මාණිතයි’ යන සත්‍යය මීට වසර 1400 කටත් පෙර කාන්තාරයක් මධ්‍යයේ නුගත් සාමාජයක විසූ මුහම්මද් (සල්) තුමාණන් ඉහත ආකාරයට එය පැවසුවේ කෙසේද? යන්න බුද්ධිමත්ව විමසා බැලීම පාඨක ඔබේ විමසුමට තබමින් ‘ජලය’ සම්බන්ධයෙන් නුතන විද්‍යාවේ අනාවර්ණ කිහිපයක් මිනිස් සිරුර පදනම් කරගෙන ඔබේ අවදානයට ගෙන එමි (වැඩි විස්තර සදහා පහත පිංතුරය බලන්න). එනම්.

  • මිනිස් සිරුරේ බරින් 63% ක් ජලය වේ එය ආසන්න වශයෙන් ලීටර් 45ක් පමණ වේ.
  • මිනිස් සිරුරේ ඇති රුධිරයේ 2/3ක් ජලය වේ.
  • මිනිස් මොළයේ බරින් 75% ක් පමණ ජලය වේ.


මිනිසාගේ පැවැත්මට ‘ජලය’ කොතරම් තීරණාත්මක සාධකයක්ද? යන්න මෙහිදී මා විස්තර කලයුතු නැතැයි සිතමි. මිනිසාට පමණක් නොව පෘථිවිය මත වෙසෙන සියළු ජීවීන් සහ ගස්-කොලන් සදහා ජලය අත්‍යඅවශ්‍ය සාධකයකි. මේ හේතුව නිසයි පෘථිවි මුළු භූමි ප්‍රමාණයෙන් 72% ක් ජලයෙන් පිරී පවතින්නේ. පෘථිවියේ පැවැත්මට අත්‍යඅවශ්‍ය සාධකයක් වන මෙම ‘ජලය’ පිලිබදව විද්‍යාත්මකව තව දුරටත් විමසා බැලීමට ප්‍රථම විශ්මිත අල්කුර්ආන් වාක්‍යයක් ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

   නියත වශයෙන්ම අහස් සහ මහපොළොව යන දෙකම (මුලදී) එකම ස්කන්ධයක් විය. පසුව අපි ඒ දෙක වෙන් කළෙමු. තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමුයි (අපගේ පණිවිඩය) ප්‍රතික්ෂේප කරන්නෝ නොදනිත්ද? (මෙය) අපගේ නිර්මාණයැයි ඔවූහූ පිළි නොගන්නෙහිද?
   “Do not those who disbelieve see that the heavens and the earth were closed up, but We have opened them; and We have made of water everything living, will they not then believe?”

අල්කුර්ආන්ය 21-30

මීට වසර 1400කට පෙර කාන්තාරයක් මාධ්‍යයේ විසූ සමාජයකට පහල වූ මෙම වාක්‍යය වරක් හොදින් කියවා ඉන් අනතුරුව මෙම විෂය පිලිබදව වර්ථමාන විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැඹුරින් අධ්‍යනය කර බලන්න නියතවම ඔබ විශ්මයට පත්වනු ඇත. එම කාරණය ඔබේ බුද්ධියට තබමින් පෘථිවි ජීවි සම්භවය පිලිබදව වත්මන් විද්‍යාත්මක ස්ථාවරය වෙත දැන් අවදානය යොමු කරමු.

පෘථිවි ජීවි සම්භවය පිලිබදව විද්‍යාත්මක මතය

පෘථිවියේ ජීවි සම්භවය පිලිබදව කථා කරන විද්‍යාඥයින්ගේ මතයට අනුව ‘ජලය’ ජීවයේ උල්පතයි. මුල්ම ජීවයේ උපත ‘ජලයේ’ සිදුවූ බවත්, එතැනින් ඔවුන් ගොඩබිම වැසීමට පරිණාමය වූවා යන්නත් විද්‍යාවේ උපකල්පනයයි. කෙසේ වුවත් ජලය නොමැති තැන ජීවයක් නොමැත යන්න විද්‍යාත්මකව ඔප්පු කරන පැහැදිලි සත්‍යයකි. එවන් සුවිශේෂි තැනක් මෙම ජලය සදහා හිමිවීමට එම ‘ජලයේ’ අසමසම ගුණාංගය ද විශේෂ කාරණයකි. ඒ පිලිබදව කෙටි අවදානයක් යොමු කලේනම්,

ජලයේ ගුණාංගය

හයිඩ්‍රජන් අණු 02ක් සහ ඔක්සිජන් අණු 01ක් එක් වී සෑදෙන ජලයේ සුවිශේෂි ගුණාංග කිහිපයක් ඇත. ඒ අතුරින් ජීවියෙකුගේ පැවැත්මට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ජලයේ ද්‍රවණය කොට එය ශරීරයට අවශෝෂණය කරගැනීමට පහසු කිරීම හා ශරීරය තුල එම රසායනික ද්‍රව්‍යයන් එහා මෙහා ගෙනයාමේ හැකියාව එයින් ප්‍රධාන තැනක් ගනී. එසේම ශරීරයේ අපද්‍රව්‍ය (මළ, මූත්‍ර සහ දහඩිය ලෙස) ඉවත් කිරීමත් ශරීර උෂ්ණත්වය පාලනය කිරීමත් මෙම ජලය සතු තවත් ගුණාංගයක් වේ. ජලය සතු තවත් විශ්මිත ගුණාංගයක් ඇත. එනම්, ජලය ශීතල වී ඝණීභවනය වූ විට එම අවස්ථාව ජලයේ ද්‍රව අවස්ථාවට වඩා එහි ඝණත්වය අඩුවීමය. මෙම ගුණාංගය තිබෙන එකම රසායනික ද්‍රව්‍යයත් ජලයයි. මෙම ගුණාංගය ජලයට නොතිබෙන්න අද පෘථිවිය මත ජීවයක් නොපවතින්නට ඉඩ තිබුණි.

එහෙම කියන්නේ කොහොමද?

ජලය ඝනීභවනයවීමෙන් සෑදෙන ජලය නොහොත් ‘අයිස්’ ද්‍රව ජලයට වඩා ඝනත්වයෙන් අධික වූවානම්, ධ්‍රැව ආශ්‍රතව තිබෙන අයිස් කඳු ජලයේ ගිලීයනු ඇත. එවිට සමස්ථ සාගරයම අයිස්වලින් මිදී යනු ඇත. එපමණක් නොව ලොව බොහෝ ගංඟා, වැව් හා ඇලෙදොල අයිස්වලින් මිදීගොස් ඒ තුල ජීවත් වූ ජලජ ජීවින් සහ පෘථිවියට අවශ්‍ය වැඩිම ඔක්සිජන් ප්‍රතිශතය ලබාදෙන ජලජ ශාක විනාශ වී පෘථිවිය ජීවීන් වාසයට නොසුදුසු මුඩු බිමක් වනු ඇත. නමුත් එසේ නොවී අදටත් සරු පොළොවක් ලෙස මේ පෘථිවිය පවතින්නේ ජලයේ මේ සුවිශේෂී ගුණය වන ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්‍රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීම නිසාය. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අයිස් කුට්ටිවල අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තර ධ්‍රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් හා ශාක විශේෂ එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී ජීවත් වේ.

මේ ආකාරයට පෘථිවිය මත තිබෙන ඕනෑම වස්තුවක්, ජීවයක් ගැඹුරින් ගවේෂණය කලේනම්, නියක වශයෙන්ම එහි ‘ජලයේ’ මැදිහත්වීම මුලික අවශ්‍යතාවයක් යන්න දැක ගතහැකි වේ. ඒ අනුව ‘සියල්ල ජලයෙන් සෑදී ඇත’ යන ඉහත අල්කුර්ආන් සහ අල්හදීස් මගින් ප්‍රකාශ වන සත්‍යය විශ්මයට පත්කරවන්නක් නොවේද?.

මෙම විෂයට අදාලව යහමග අඩවිය තුල ලියවුණු ‘වැස්ස – බුද්ධියට කරන ආරාධනය’ යන ලිපිය ද ඔබේ බුද්ධිමත් අවදානයට යොමු කරමින් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/30

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම