මුස්ලිම් අපට දුක්කරදර ඇති වන්නේ ඇයි?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සුවිශේෂී තැනක හිමි කර ගනිමින් මේ රටේ ඉදිරි ගමනට ක්‍රියාකාරී දායකත්වයන් ලබාදුන් ජාතියක් ලෙස ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’ පැවතුණි. එම ප්‍රෞඩ ඉතිහාසය හිතාමතා වසන් කිරීමට හා විකෘති කිරීමට විවිධ කාලවල ජාතිවාදී ව්‍යාපාර හා එහි බුද්ධිමතුන් ලෙස පෙනීසිටින ජාතිවාදීන් නොයෙක් අවස්ථාවල උත්සාහයන් දැරුවත් ඒ කිසිවක් ඔවුන් අපේකෂා කල තරමට සාර්ථක නොවීය. එයට හේතුව වූයේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එම කුමණ්ත්‍රණයන් හොදින් අවබෝධ කොටගෙන ඉතා ඉවසීමෙන්, බුද්ධිමත්ව කටයුතු කිරීමයි. නමුත් අතීතයේ පටන් ආරක්ෂා කොට ගෙනආ ඒ ප්‍රතිපදාව බිඳලමින් මුස්ලීම් නම්දරයන් කිහිපදෙනෙකු විසින් ‍මේ රට තුල 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයක් දියත් කරමින් ඒ ප්‍රෞඩ ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඉතා අවාසනාවන්ත තැනකට ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඇද දමන ලදී.

දැන් ජාතිවාදී ව්‍යාපාරවල හා එහි ක්‍රියාකාරීන්ගේ අපේක්ෂිත අරමුණ ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉහලින් ඉටුවී ඇත. ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට තවදුරටත් ‘ප්‍රෞඩ ඉතිහාසයන්’ ගැන මේ රටේ කථා කිරීමේ අයිතියක් නැති තැනට ඔවුන්ව කොන් කොට අවසන්ය. සමාජය තුල ඔවුන් හුදෙකලා කොට ඇත. ඔවුන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් පවා හඬක් නැඟිය නොහැකි තරමින් ඔවුන් අසරණ කොට ඇත. මේ සියල්ල ඉදිරියේ නැඟී සිටින්නට වෙර දරණ විට කොරෝනා වෛරසය ද නැවත ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ආර්ථික හා මානසික ශක්තිය බිඳ දමමින් අමිහිරි කටුක මතකයන් රාශියක් තුල තව තවත් ඔවුන්ව අසරණ කොට ඇත.

‘අපි මුස්ලීම්, අල්ලාහ් (දෙවි)ව පිලිගෙන ඔහුට අවනතව ජීවත් වන අපිට මෙතරම් දුක්කරදර ඇයි?’ මේ ඉහතින් සදහන් ආකාරයට අසරණ වී සිටින සමහරක් මුස්ලීම්වරුන් අද සිතන විදියයි. මුස්ලීම් නම් ප්‍රශ්න ඇති වෙන්න බැහැ… මුස්ලීම් නම් දුක ඇති වෙන්න බැහැ… මුස්ලීම් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන… මේ තවත් සමහර මුස්ලීම්වරුන් සිතන විදියයි. මුස්ලීම්වරුන් එලෙස සිතුවත් ඉස්ලාම් එවැනි පොරොන්දුවක් මුස්ලීම් සමාජයට කිසිදු කලක කිසිදු අවස්ථාවක ලබාදී නැත. එසේ ලබා නොදුන්නා පමණක් නොව එයට පරස්පරව ‘නුඹලාට දුක් කරදර ඇති කොට නුඹලාව පරීක්ෂා කරන්නෙමු’ යනුවෙන් අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයෙන් පහත ආකාරයට මිනිස් සමාජයට අවවාද කරයි.

…බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිත හා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක‍ෂණයන් හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්ය දන්වා සිටිනු.

අල්කුර්ආනය 2-155

ඉහත වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) පවසන්නේ මුස්ලීම් සමාජයට බියගැන්වීම්, කුසගින්න, වගාහානිය, ජීවිතහානිය… වැනි තත්වයන් ඇති කොට එවැනි තත්වයන් හමුවේ ඔවුන් කොතරම් ඉවසිලීවන්තව කටයුතු කරනවාද? යන්න පරීක්ෂා කරන බවයි.

ඉස්ලාමයේ ඉගෙන්වීම අනුව මෙලොව ජීවිතය යනු පරලොව ජීවිතය සදහා සූදානම් වීමට අවශ්‍ය තාවකාලික නවාතැන් පලක් පමණි. එහි මුස්ලීම්වරුන්ට ගඟක් මෙන් ගැටළු, තර්ජන, ගර්ජන, තාඩන, පීඩන… ගලාගෙන එනු ඇත යන්න එහි ඉගෙන්වීමයි. මෙම බාධක සියල්ල හමුවේ නොසැලී සත්‍ය මාර්ගය තුල සිටීමින් ඉවසීමෙන් හා අල්ලාහ් (දෙවි) කෙරෙහි අවනතභාවයෙන් කවුරුන් කටයුතු කරන්නේද ඔවුන් සැබෑ ජයග්‍රාහකයින්ය. ඔවුනට අල්ලාහ් (දෙවි) හැර වෙන කිසිවක් හෝ කිසිවකු ගැන බියක් නැත. ඔවුන්ට එරෙහිව දියත්වන කුමණ්ත්‍රන හා එදිරිවාදිකම් හමුවේ ඔවුන් සැලෙන්නේ ද නැත. ඔවුන් ‘අල්ලාහ් අපට ප්‍රමාණවත්ය’ යන දැඩි අධිෂ්ඨානයෙන් අල්ලාහ් (දෙවි)ගේ උපකාරය අපේක්ෂාවෙන් පමණක් ජීවත් වන්නේය. මෙය අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ එක් තැනක මෙසේ පවසයි.

ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ (දේව) විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහුවනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

මුස්ලීම්වරුන්ට එරෙහිව මතුවන විවිධ වූ තාඩන, පීඩන, තර්ජන, ගර්ජන… හමුවේ සැබෑ මුස්ලීම්වරයෙකගේ ප්‍රතිපදව කෙසේ වියයුතුද යන්න ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මනවා පැහැදිලි කරයි. ඒ ‘ඔවුන් බියගැන්වූ සෑම විටකම එය ඔවුන්ගේ දේව විශ්වාසය දේව අවනතභාවය වඩාත් ශක්තිමත් කරනවා මිස ඔවුන් කිසිවිටෙක දුර්වලයන් හෝ නොඉවසීමෙන් සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට පොළඹවන්නේ නැත’ යනුවෙන් පවසයි. එසේනම්, ඉස්ලාමීය ඉගෙන්වීම නිසි ලෙස අවබෝධ කොටගෙන ඉස්ලාමීය මඟනේවීම අනුව කටයුතු කිරීමට අප පුරුදු වියයුතුය.

ඒ සදහා අල්ලාහ් (දෙවි) අපට ශක්තිය ධෛර්‍ය ලබාදෙත්වා! යන පැතුමින් මෙම ලිපිය අවසන් කරන්නේ එලෙස ක්‍රියා කරන සැබෑ මුස්ලීම්වරුන් හට අල්ලාහ් (දෙවි) පවසන ශුභාරංචියක් ද පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි.

…තවද නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවවු. ඔවුන් කුමන්ත්‍රණය කරමින් සිටින දෑ පිළිබඳව නුඹ පීඩනයෙහි පසු නොවවු. කවරෙකු බිය භක්තිකයින් හා දැහැමියන් වන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් සමඟය.
ශුද්ධ වූ කුර්ආන් 16-127,128

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම