අවනතව ඉවසීමෙන් කටයුතු කරමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. තවත් සරලව පවසන්නේ නම්, මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට ඇත්තේ අනාගතය පිලිබදව වූ අවිනිශ්චිත තත්වයකි. එය අද ලොවපුරා අතිබහුතරයක් මුස්ලීම්වරුන් වෙසෙන ‘ඉස්ලාමීය රාජ්‍යයන්‘ යයි කියාගන්නා රාජ්‍යයන් පටන් සුළුතරයක් වෙසෙන අප වැනි රටවල් දක්වා එහි වෙනසක් නැත. එහිද මුස්ලීම්වරුන් සුළුතරයක් වෙසෙන රාජ්‍යයන් හි මෙහි තත්වය තවත් දරුණුය. එයට සමීප නිදසුන් ලෙස මියන්මාරය හා අප රට මෙහි සදහන් කලහැක. මෙවන් පසුබිමක මුස්ලීම්වරුන් වන අප කාට අවනතව කොතරම් දුරකට ඉවසීමෙන් කටයුතු කලයුතු ද යන්න මෙහි ඔබට මතුවන ගැටළුවයි. ඒ පිලිබදව මෙහි කෙටියෙන් විමසා බලමු.

විශේෂයෙන් ඉතා සුළුතරයක් වෙසෙන අප රට තුල දිනෙන් දින දියත්වෙමින් පවතින ජාතිවාදී රුල්ල දෙස බලන විට මේ රට තුල ‘ශ්‍රී ලංකීය මුස්ලීම්වරුන්ගේ අනාගතය කුමක් වේද?‘යන ප්‍රශ්නය සෑම මුස්ලීම්වරයෙකුගේම හදවත් තුල කැකෑරමින් ඇත. රටේ උත්තරිතර සභාවේ සිට ගමේ ගොඩේ බෝක්කු පාළුවන් හා කුඩුකාරයන් දක්වා සියළු තරාතිරමේ බහුතර ජාතිවාදී පිරිස්,

  • මුස්ලීම්වරුන් මේ රටින් තුරන් කලයුතුයි,
  • ඔවුන් රටින් නෙරපා දැමියයුතුයි

යන න්‍යාය පත්‍රය ඔවුන් ඔවුන් මට්ටමින් හා ජාතික මට්ටමින් අත්වැල් බැඳ සැලසුම් කරමින් සිටී. මේ සදහා දිරිගන්වන විවිධ මට්ටමේ තනිපුද්ගල හා සංවිධානාත්මක ජාතිවාදී සිංහල භාෂාමය වෙබ් අඩවි හා සමාජ ජාල අඩවි හොදම නිදසුනකි. මීට අමතරව ඉස්ලාම් දහම සෘජුවම විවේචනය කරමින් දිනපතා ලියවෙන පොත්පත් හා සඟරා ද තවත් හොඳ නිදසුනකි. (මේ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත) මෙවන් පසුබිමක මුස්ලීම්වරුන් වන අප කුමක් කලයුතුද?.

මේ පැනයට මුස්ලීම් සමාජයේ ද විවිධ තරාතිරමේ පිරිස් ඔවුන් ඔවුන් නැණ පමණින් විවිධ විසඳුම් යෝජනා කරයි. ඒවා සමහරක් ඉතා දැඩි සටන්කාමි යෝජනා වන අතර තවත් සමහරක් ‘බලාගෙන ඉන්නවා හැර වෙන මොනවා කරන්නද?‘ යයි පවසන තරම් ඉතා උදාසීන යෝජනා වේ. මෙවැනි මතවාදයන්ම මුස්ලීම් සමාජය භේද වන තරමට සංකීර්ණ ගැටළුවක් වී ඇත. නමුත් මෙහි වැදගත් වන්නේ කාගේ මතවාදය පිලිගන්නවාද? යන්න නොව මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. ඒ පිලිබදව විමසා බැලීමේ දී මෙවැනි අල්කුර්ආන් පාඨයක් අපට හමුවේ.

“විශ්වාසවන්තයණි! (මුස්ලීම්වරුනි) නුඹලාට කුමක් හෝ යහපතක් පැමිණියේ නම් ප්‍රතික්ෂේප කරන්නන් (ඉස්ලාම් විරෝධීන්) හට එය දුකක් ගෙනදෙන්නේය. නුඹලාට අයහපතක් සිදුවන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නන් හට සතුට ගෙනදෙන්නේය. නුඹලා (ඔවුන් සම්බන්ධයෙන්) ඉවසීමෙන් හා දෙවියන්ට අවනතව කටයුතු කලේනම් ඔවුන්ගේ කුමණ්ත්‍රන මඟින් නුඹලාට කිසිදු අයහපතක් සිදුකිරීමට ඔවුන් හට නොහැකි වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් හොදින් නිරීක්ෂණය කරන්නේය.”

ශුද්ධ වූ කුර්ආනය – 3-120

ඉහත අල්කුර්ආන් පාඨය හොදින් විමසා බලන විට එක් කාරණයක් අපට පැහැදිලි වේ. එනම් සෑම මුස්ලීම්වරයෙකුම අල්ලාහ් (දෙවි)ට අවනතව හා ‘ඉවසිලිවන්තව‘ ක්‍රියා කරන්නේ නම්, මුස්ලීම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිව කරන කුමණ්ත්‍රන හා එදිරිවාදිකම් සම්බන්ධයෙන් කලබල වීමට කිසිවක් නොමැති බවයි. සරලව පවසනවා නම් මුස්ලීම්වරුන් සැබෑ මුස්ලිම්වරුන් වීම පමණයි මෙහි අවශ්‍ය වන්නේ. ජාත්‍යන්තරයේ මෙන්ම අප රට තුල ද මුස්ලීම් සමාජයේ ‘ඉවසීම‘ බිඳලන්නට අනේකවිද උපක්‍රම ඉස්ලාම් විරෝධීන් භාවිතා කරන ආකාරය අපට නිතර නිතර දක්නට ලැබේ. මේ පිලිබදව විටින් විට යහමග ඔබගේ අවධානයට කරුණු යොමු කලා මතක ඇතැයි සිතමි. සැබැවින්ම මුස්ලීම්වරුන්ගේ ජයග්‍රහණය ඇත්තේ මේ ‘ඉවසීම‘ තුල මිස අන් කිසිදු විකල්පයක නොවන බව සනාථ කරන අපමණ නිදසුන් ඉස්ලාමීය ඉතිහාසය පුරාවට අපට දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන මුස්ලීම් සමාජයට සාපේක්ෂව ඉස්ලාම් දහමේ ආරම්භ අවදියේ එනම් නබිතුමාණන්ගේ කාලය හා ඊට පෙර කාලවල මුස්ලීවරුන් මේ ඉස්ලාමය පිලිපැදීම හේතු කොටගෙන වින්ද දුක් දොම්නස් අපට එය තව තවත් සනාථ කරයි. එය කියාපාන නබිවදනක් (හදීසයක්) ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

‘එක්තර අනුගාමිකයෙක් (සහාබිවරයෙකු) නබිතුමාණන් හමුවට පැමිණ ‘ඔබතුමා අප වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් උපකාර පැතිය යුතු නොවේද?, අප වෙනුවෙන් ප්‍රාර්ථනා කලයුතු නොවේද?’ යනුවෙන් විමසුවෙය. එයට එතුමාණන් ‘නුඹලාට පෙර විසූ ජනසමූහයන් හි (මුස්ලීම්වරුන්) ඔවුන් බෙල්ල දක්වා පොළොවෙහි වළලා කියතක් ආධාරයෙන් ඔහුගේ හිස දෙකඩ කරන ලදී. ඔහුගේ ශරීරය යකඩ පනාවන් මඟින් පීරා මස් ඉරා දමන ලදී. ඒ කිසිවක් තුලින් ඔවුන්ගේ (දේව) විශ්වාසයට හානියක් සිදුකිරීමට (ඉස්ලාම් විරෝධි) ඔවුනට නොහැකි විය.’ යනුවෙන් පැවසූ නබිතුමාණන් තවදුරටත් මෙසේ ද පවසන ලදි.”
“අල්ලාහ් (දෙවියන්) මත දිවුරා පවසමි, නියත වශයෙන්ම මේ සත්‍යය දෙවියන් විසින් පරිපූර්ණ කරනු ඇත. (කොතෙක් දුරටදයත්) ‘සන්ආ’ නම් නගරයේ සිට ‘හලරමව්ත්’ නම් නගරය දක්වා ගමන් මඟියෙකු (නිදහසේ) ගමන් කරයි. (ඔහුට තුල) අල්ලාහ් (දෙවියන්) කෙරෙහි ඇති බිය මිස වෙන කිසිදු බියක් නොපවතිනු ඇත… එනමුත් ඔබලා ඉක්මන් වන්නේය” යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ඉගෙන්වීම තුල මුස්ලීම්වරයෙකු කොතරම් ඉවසීමෙන් හා දහමට අවනතව දෙවියන්ගේ උපකාරය පිලිබදව පූර්ණ විශ්වාසයෙන් කටයුතු කලයුතු ද යන්න ඉතා හොදින් පැහැදිලි වේ. මුස්ලීම් සමාජයේ ඉවසීමේ සීමාව බිදලන්නට කරන කුමන්ත්‍රණයන් හමුවේ අප කලබල වියයුතු නොවේ. නමුත් මෙවැනි ඉගෙන්වීමන් පිලිබදව තිබූ අනවබෝධය හා ආවේගයන්ට වහල්වී යම් යම් අවස්ථාවල මුස්ලීම් සමාජයේ ඉතා සුළුතර පිරිසක් කලබල ගත් සමහරක් ක්‍රියා මාර්ග නිසා සමස්ථ සමාජය දරුණු බේදවාචකයන් ට ගොදුරු වූ බවත්, ඉස්ලාම් විරෝධීන් තම පටු ඉලක්ක සපුරාගත් බවත් අප දැන්වත් වටහාගතයුතු වේ. මෙම තත්වය අප තවදුරටත් වටහා නොගන්නේ නම්, එහි ප්‍රතිපලය මීට වඩා දරුණූ වෙනවා යන්නෙහි කිසිදු සැකයක් නැත.

ඉහත 3-120 අල්කුර්ආන් වාක්‍ය යෙන් අල්ලාහ් (දෙවි) පවසනවා සේ ‘…ඔවුන්ගේ ක්‍රියාවන් අල්ලාහ් (දෙවි) හොදින් නිරීක්ෂණය කරයි…‘ අප කලබල වියයුතු නොවේ. නියත වශයෙන්ම ඔහු ඉස්ලාම් විරෝධීන් අතින් මුස්ලීම්වරුන් වන අපට අසාධාර්ණයක් නොකරනු ඇත. එසේම තර්ජන, ගර්ජන, අපහස, විවේචන, හිංසන… යන්න මුස්ලීම් සමාජයට අලුත් තත්වයක් නොවන බවත්, එය අතීතයේ මෙන්ම වර්ථමානයෙත් අනාගතයටත් දකින්න තිබෙන යථාර්ථය බවත් අප තේරුම් ගතයුතුය. එය ඉහත කරුණුවලින් ද සනාථ විය. එසේනම්, මෙවන් වූ පසුබිමක් තුල අවශ්‍ය වන්නේ මුස්ලිම්වරුන් වශයෙන් ඉස්ලාමීය ආදර්ශයන්ට අනුව ‘ඉවසීමෙන්‘ කටයුතු කිරීම හා අල්ලාහ් (දෙවි)ගේ උපකාරය අයද අපේක්ෂාවෙන් සිටීම පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම