ඊද් දින සැමරුමට ඉස්ලාමීය මඟපෙන්වීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මාසයක උපවාසය අවසන් කිරීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. උපවාස මාසය අවසන් වීමත් සමඟ ඊට පසු දින “ඊද්-උල්-ෆිතර්“ නම් ප්‍රීතිමත් උත්සවය සැමරීමට නියමිතය. මෙම සැමරුම ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාගේ අවුරුදු උත්සව දින සැමරුමයි. මුස්ලීම්වරුන් සදහා වසරකට උත්සව දින දෙකක් ඇති අතර එය උපවාස සමය අවසන් වීමත් සමඟ උදාවන “ඊද්-උල්-ෆිතර්“ සහ හජ් නැමදුම් සමය මූලික කරගෙන සමරණ “ඊද්-උල්-අල්හා“ නම් සැමරුම් දිනයයි. මෙම උත්සව දිනය “ඊද්“ දිනය ලෙස ඉස්ලාම් හදුන් වන අතර එහි අරුථ වන්නේ උත්සවය, ප්‍රීතිය, සතුට යනාදියයි.

“රමළාන්“ නම් උපවාස මාසය පුරාවට උපවාසයේ සහ විවිධ වූ නැමදුම් කටයුතුවල නිරත වී ඉන්පසු උදාවන “ෂව්වාල්“ මාසයේ මුල් සඳ දැකීමත් සමඟ උපවාසය නවතා සතුටින් “ඊදුල්-ෆිතර්“ උත්සවය සැමරීම ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාගේ ආගමික සිරිතයි. මෙම දිනය කවර ආකාරයට සැමරිය යුතුද?. එම දිනයේ දී මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ කෙසේද වැනි කරුණු පිලිබදව ඉස්ලාම් දහම පැහැදිලි ලෙස මුහම්මද් (සල්) තුමාණන් මඟින් මුස්ලීම් සමාජයට ආදර්ශ සපයා ඇත. එම ආදර්ශ අතර ප්‍රධාන කරුණු 05 ක් ඇත. ඒ පිලිබදව දැන් විමසා බලමු.

  • “තක්බීර්“ පාරායනය

නබි මුහම්මද් (සල්) තුමා රාමසාන් මාසයේ අවසාන දිනයේ ඉර බැස ගිය මොහොතේ පටන් පසු දින “ඊද් යාඥාව (යහමග අඩවිය තුල මෙම යාඥාව පිලිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.)]]“ ඉටු කරන මොහොත දක්වා තක්බීර් පාරායනය කිරීම සිදු කොට ඇත. මෙය පිරිමින් ශබ්ද නඟාද, කාන්තාවන් මනසින් හෝ ශබ්ද නොනැගෙන සේද පාරායනය හෝ පැවසීම කලයුතු අතර එසේ කරන එම “තක්බීරය“ වන්නේ,

අල්ලාහු අක්බර්... අල්ලාහු අක්බර්... අල්ලාහු අක්බර්... අල්ලාහු අක්බර්...
  • ඇඳුම් ඇඳීම

ඊද් දිනයේදී සියළුදෙනා ස්නානය කොට ලස්සන ඇඳුම්වලින් සැරසී “ඊද් නැමරුදම“ සදහා “මුසල්ලාව (නැමදුම් ස්ථානයට) සහභාගි වියයුතු අතර එහිදී පිරිමි පාර්ශවයට සුවඳ විලවුන් ආලේප කිරීමට අවසර ඇති නමුත් කාන්තාවන්ට ඒ සදහා අවසර නොමැත.

  • නැමදුමට පෙර ආහාර ගැනීම

“ඊද්-උල්-ෆිතර්“ ඊද් නැමදුම සඳහා “මුසල්ලාව“ වෙත පිටත් වීමට පෙර රට ඉඳි කිහිපයක් අනුභව කොට පිටත්වීම සුන්නාව නොහොත් නබිතුමාණන්ගේ ආදර්ශය වේ. මේ පිලිබදව අනස් ඉබ්නු මලික් (රලි) තුමා පැවසීමේ දී, “මුහම්මද් (සල්) තුමාණන් “ඊද්-උල්-ෆිතර්“ දින උදෑසන "රටඉඳි ඔත්තේ ගණනක්" අනුභව කලේය“ යනුවෙන් පවසයි.

  • මුසල්ලාව වෙත යෑම

මුසල්ලාව නොහොත් නැමදුම් පිටියට යාමේදී සහ නැමදුම් අවසන් කොට නැවත නිවස කරා පැමිණිමේදී විවිධ වූ මාර්ග භාවිතා කිරීමත් සුන්නාව නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය වේ. මෙය ජාබීර් (රලි) තුමා විස්තර කිරීමේ දී "ඊද් දිනයේදී නබි (සල්) තුමාණන් එක් මාර්ගයකින් මුසල්ලාව වෙත ගොස් තවත් මාර්ගයකින් ආපසු නිවසට පැමිණියහ“ යනුවෙන් පැවසීය.

  • “සදකතුල් ෆිත්රා“ ගෙවීම

“ඊද්-උල්-ෆිතර්“ දිනයේ ඊද් නැමදුමට පෙර හෝ ඊට පෙර දිනයේ කළ යුතු ප්‍රධාන හා වැදගත් කටයුත්තක් වන්නේ “ෆිත්‍රා“ ගෙවීමයි (මේ පිලිබදව වැඩිදුර කරුණු ෆිත්රා තුලින් ඉස්ලාමය කියා දෙන ආදර්ශය යන ලිපිය තුලින් කියවන්න). එනම්, කුඩා, මහළු, කාන්තා පිරිමි... සෑම මුස්ලීම්වරයෙකුම ආසන්න වශයෙන් තමන් අනුභව කරන ධාන්‍ය වර්ගයකින් 2.5 kg හෝ ඊට සමාන වටිනාකමක් ඇති ආහාර ද්‍රව්‍ය දුප්පතුන් සදහා බෙදාදීම සිදු කලයුතු වේ (මෙම බෙදාදීම තුල එම ධාන්‍ය වටිනාකමට සම වන ලෙස මුදල් සහ අනිකුත් ආකාර පාන වර්ග ලබාදීම කල හැකිද? යන්න පිලිබදව මුස්ලීම් සමාජය තුල විවාදයක් ඇත). මෙම බෙදාදීම “ෆිත්‍රා“ ලෙස හදුන්වන අතර නිදසුනකට නිවස දහ දෙනෙකු සිටියේ නම්, එම පවුල ධාන්‍ය 25 kg ක් දුප්පතුන් සදහා බෙදාදීම අනිවාර්‍ය වේ.

විශේෂ අවදානයට -  මීට අමතරව මුස්ලීම් නොවන සමාජය තුල මෙන්ම මුස්ලීම් සමාජ‍ය තුල ද “ඊද්“ සුභ පැතුම් සංස්කෘතියක් ද දක්නට ලැබේ. එහිදී විවිධ සුභ පැතුම් පාඨයන් පැවසීම ද දක්නට ලැබේ. නමුත් එවැනි ක්‍රියාවන් සදහා ඉස්ලාම් දහම තුල ආදර්ශයන් නොමැති බව මෙහි අවදාරණය කරන අතර දෙදෙනෙකුගේ හමුවක දී සුපුරුදු “සලාමය“ (මේ පිලිබදව ද වැඩිදුර කරුණු සලාමය සුබ පැතුමකට එහා ගිය ප්‍රාර්ථනයකි යන ලිපිය තුලින් කියවන්න.) භාවිතා කිරීම පමණයි ඉස්ලාමීය මඟපෙන්වීම වේ. 

මේ ආකාරයට එම “ඊද්“ දිනය මුස්ලීම්වරුන් සැමරුම් දිනයක් ලෙස ගෙවාදැමීම කලයුතු අතර එම දිනය තුල ඉස්ලාමයට පරස්පර නොවන ක්‍රිඩා උත්සව පවත්වමින් විනෝද වීමේද වරදක් නැත. මන්ද ඉස්ලාම් දහම තුල ඒ සදහා ද ආදර්ශයන් ඉස්ලාමීය ඉගෙන්වීමන් තුල දක්නට ලැබෙන බැවිණි. (වැඩිදුර කරුණු සදහා ක්‍රීඩාව පිලිබදව ඉස්ලාමයේ දැක්ම යන ලිපිය කියවන්න.) මේ අනුව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සමාජයේ සෑම මුස්ලිම්වරයෙකුම “ඊද්“ දිනය සතුටින් හා සිනා මුසු මුහුණින් ගත කිරීමට අවශ්‍ය පරිසරය උදා වේවා!, ඒ සදහා අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමි වේවා!, යන ප්‍රාර්ථනයෙන් මෙම සටහනට විරාමය තබමි.




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම