මුස්ලීම් අපේ ප්‍රතිපදාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද වී ඇත.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා එම ඉගෙන්වීමන් හි යථාර්තය පිලිබදව හරි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් දහම හා එහි ඉගෙන්වීමන් තමන්ගේ සම්ප්‍රදායන් සමඟ සංසන්ධනය කරමින් විවේචනය කිරීම මුස්ලීම්වරුන් වන අපට අළුත් තත්වයක් නොවේ. නමුත් එවන් විවේචනයන් හමුවේ මුස්ලීම්වරුන් තම දහමේ ඉගෙන්වීමන් නොසලකා හැර එසේත් නැත්නම් ඉහත විවේචකයන් හමුවේ දුර්වලයන් ලෙස නොඑසේ නම්, ලෞකික පටු අරමුණුවලට වහල්ව ඉස්ලාමීය රාමුවෙන් පිටත කටයුතු කිරීමට හා එවැනි විවේචකයන්ට ආවඩන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමට සමහරක් මුස්ලීම්වරුන් කටයුතු කරමින් සිටීම දැන් දැන් සුලභව දක්නට ඇති අවාසනාවන්ත තත්වයකි. එවැනි අවස්ථාවන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි සදහන් කරන්නේ නම්,

  •  නිෂ්පාදනවල ‘හලාල්’ සටහන් කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටළුවේ දී සමහරක් මුස්ලීම්වරුන් එවැනි ක්‍රියාවලියක් මුස්ලීම් සමාජයට අවශ්‍ය නොවන බවට ප්‍රකාශ නිකුත් කරමින් ජාතික සමඟිය පිලිබදව කථා කරන ලදී.
  •  වර්ථමානයේ අප රට තුල ක්‍රියාත්මක මුස්ලීම් සංවිධාන අඩපණ කරන්න ජාතිවාදීන් කටයුතු කරන විට එම සංවිධාන අගමික අන්තවාදීන් ලෙසත්, ත්‍රස්ථවාදීන් ලෙසත් පාවාදී තම පටු අරමුණු මුදුන්පත් කරගන්නට සමහරක් මුස්ලීම්වරුන් කටයුතු කරන ලදී.
  •  අද උණුසුම් වෙමින් තිබෙන ‘හිජාබය’ හා ‘නිකාබය’ සම්බන්ධ ගැටළුවල ද සමහරක් පිරිස් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එවැනි වස්ත්‍ර ඇදීමක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ නිකුත් කරමින් ජාතික සමඟිය පිලිබදව කථා කරමින් සිටී.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හා එහි යථාර්තයන් ඉස්ලාම් විවේචකයන්ට පැහැදිලි කරනවා වෙනුවට මෙලෙස විවේචකයන්ට ආවඩන හා ඔවුන්ගේ ක්‍රියාකාලාපයන් සාධාර්ණීකරනය කරන පිරිස් සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස කටයුතු කලයුත්තේ කෙසේද? යන්න දැන්වත් පැහැදිලිව වටහාගත යුතුව ඇත. මෙවැනි තත්වයන් හමුවේ අපගේ ස්ථාවරයන් හා ක්‍රියාමාර්ගයන් කෙසේ වියයුතුද? යන්න අවබෝධ කරගතයුතුව ඇත. ඒ සදහා මෙම ‘මුස්ලීම් අපේ ප්‍රතිපදාව’ නම් ලිපිය ඔබට පිටුවහලක් වේවා! යන පැතුම හා බලාපොරොත්තුව ඇතුව ඉදිරියට යොමු වන්නේ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ප්‍රථමයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි.

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට (අවනත වී, ඔහු අනුමත කළ දේ කිරීමෙනුත්, තහනම් කළ දෙයින් වැළකී සිටීමෙනුත්) බිය විය යුතු ආකාරයට බියවන්න. තවද, ඔබ මුස්ලිම්වරුන් විලසින් ම මිස මිය නොයන්න.

ශුද්ධ වූ කුර්ආනය 3-102

මුස්ලීම්වරුන් නිතර අසන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් අතර මෙම වාක්‍යය ද ප්‍රධාන එකකි. බොහෝ විට ආගමික දේශනයක් අරඹන්නේ මෙම ශුද්ධ වූ වාක්‍යය පාරායනය කරමිනි. එම වාක්‍යයෙන්ම මේ මාතෘකාවට පිවිසෙන මා ඒ තුල අන්තර්ගත ආමණ්ත්‍රනය හා අවවාදය පිලිබදව ඔබේ බුද්ධිමත් විමසුම ප්‍රථමයෙන් යොමු කරන්න අදහස් කරමි.

ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) ‘විශ්වාසවන්තයණි’ යනුවෙන් ආමණ්ත්‍රනය කරයි. එසේනම්, මේ අල්ලාහ් ‍(දෙවි) ආමණ්ත්‍රනය කරන්නේ අල්ලාහ් (දෙවි) විශ්වාස කල පිරිසකටය. එනම්, ඒ ‘මුස්ලීම්වරුන්ටය’. මුස්ලීම්වරුන්ට ආමණ්ත්‍රනය කරන අල්ලාහ් (දෙවි) ඊලඟට පවසන අවවාද දෙක මෙහි ඉතා වැදගත් වේ. එනම්,

  •  ඔබ අල්ලාහ්ට බිය විය යුතු ආකාරයට බියවන්න.
  •  ඔබ මුස්ලිම්වරුන් ලෙස මිස මිය නොයන්න.

අද මුස්ලීම්වරුන් අල්ලාහ් (දෙවි)ට බියබැතිව ජීවත් වන බව සැබෑවකි. නමුත් එය ඉහතින් සදහන් ආකාරයට ‘අල්ලාහ් (දෙවි)ට බියවියයුතු ආකාරයට ද?’ යන ගැටළුව ඇත. අද ‘ජාතිවාදීන්ගේ කුමණ්ත්‍රනවලින් අපට කුමක් සිදුවේද?, අපගේ ව්‍යාපාරයේ අනාගත ඉරණම ක්‍රමක්වේද?, අපේ දරුදැරියන්ගේ අනාගතය කුමක් වේද?…’ යනාදී ලෙස සිතා කුමණ්ත්‍රනකරුවන්ට ආවඩමින් ඔවුනට බියව සමහරක් මුස්ලීම්වරුන් ඉස්ලාමීය රාමුවෙන් පිටත කටයුතු කරනවා මිස ඔවුන් අල්ලාහ් (දෙවි) කෙරෙහි සැබෑ බියබැතිව කටයුතු කරන ආකාරයක් දක්නට නැත. ලෞකික අරමුණූ පෙරටු කරගෙන මෙලෙස අප තවදුරටත් කටයුතු කරන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි) කරන දෙවන අවවාදය එනම්, ‘මුස්ලීම්වරුන් ලෙස මියයෑම’ යන භාග්‍යය අපට හිමි විය හැකිද?. නියත වශයෙන්ම අපට එම භාග්‍යය අහිමි වෙනවා යන්නෙහි සැක නැත. අපගේ අවසානය ඒ අයුරින් සිදුවූයේ නම්, අපගේ ලෝකොත්තර දිවියේ ඉරණම ඔබ මොහොතක් සිතා බලන්න. එය මා මෙහි පැහැදිලි කිරීම අවශ්‍ය ‍නොවනු ඇතැයි සිතමි. එහි තත්වය තවදුරටත් වටහා ගැනීම පිණිස. අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය තුලින් කරන තවත් අවවාදයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි තබන්නට කැමැත්තෙමි. එනම්,

මිනිසුනි! ඔබ සියල්ල එක ප‍්‍රාණයකින් මැවුවා වූ ඔබගේ ස්වාමියාට ඔබ සෑම බියවන්න. තවද, එම ප‍්‍රාණය තුළින් ම ඔහුගේ සහකාරිය ඔහු මැවුවේ ය. අනතුරුව, එම ප‍්‍රාණ දෙක මඟින් (ලොවෙ හි) අපමණ පුරුෂයන් ද, ස්තී‍්‍රන් ද උත්පාදනය කර හැරියේය. එහෙයින් ඔහුට පමණක් බියවන්න. ඔහු තුළින්මය ඔබ එකිනෙකා (තමන්ගේ උරුමයන්) ඉල්ලා සිටින්නේ. තව ද, (ඔබගේ) ලේ ඥාතීන්ට දයාන්විත වන්න. නියත වශයෙන් ම අල්ලාහ් ඔබ නිරීක්‍ෂණය කරමින් සිටී.

ශුද්ධ වූ කුර්ආනය 4- 01

ඉහත වාක්‍යය හොදින් විමසා බලන්න. ඔබට අල්ලාහ් (දෙවි) කර ඇති භාග්‍යය ඉතා පැහැදිලිව එහි සදහන් කරයි. එපමණක් නොව ඔබ බිය විය ‍යුත්තේ අල්ලාහ් (දෙවි)ට පමණක් බව ද එහි පවසයි. තම අවශ්‍යතාවයන් උරුමයන් ඔහු හමුවේ පමණක් ඉල්ලා සිටින ලෙසත්, සහෝදරත්ව බැදීම වර්ධනය කරගන්නා ලෙසත් එහි පවසයි. එහි අවසානයේ අප අතුරින් බොහෝ දෙනෙකු අද අමතක කොට කටයුතු කරමින් සිටින ‘අල්ලාහ් (දෙවි) ඔබව නිරීක්ෂණය කරමින් සිටින බවද’ මතක් කරයි.

ලෞකික පටු අරමුණු ඉවත දමා ඉහතින් සදහන් ආකාරයට ඉස්ලාම් දහමේ රාමුව තුල අල්ලාහ් (දෙවි)ට අවනතව එසේම අවංකව මුස්ලීම් සමාජය කටයුතු කරන්නේ නම්, කුමණ්ත්‍රන කරුවන් කවර ආකාරයේ ක්‍රියාවන්ට යොමු වූවත්, නියත වශයෙන්ම මුස්ලීම්වරුන්ගේ ක්‍රියාවන් සියල්ල අල්ලාහ් (දෙවි) යහපත් කරනවා යන්නෙහි සැක නැත. එය අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට බියවන්න. තව ද, අවංක වචනයෙන් (පමණක්) පවසන්න. අල්ලාහ් ඔබගේ කි‍්‍රයාවන් යහපත් කරයි, තව ද, ඔබගේ පාපයන්ට සමාව දෙයි. කවරෙකු අල්ලාහ් ට සහ ඔහුගේ වක්තෘවරයාට අවනත වන්නේ ද, හෙතෙම විශිෂ්ඨ ජයක් අත්පත් කරගනී.

ශුද්ධ වූ කුර්ආනය 33- 70, 71

ඔබ දැන්වත් සැබෑ විශ්වාසවන්තයෙකු ලෙස ජීවත් වී මුස්ලීම්වරයෙකු ලෙස මියැදෙන්න සිතන්නේ නම්, ඉහත දේව නියෝගයන් කෙරෙහි ඔබේ විශ්වාසය දැඩි වියයුතු නොවේද?. එසේම ඒවා ඔබේ දිවිය තුල ක්‍රියාවට නැංවීය යුතු නොවේද?. එසේ වන්නේ නම්, ඉහත 30 – 70 හා71 වාක්‍යයේ සදහන් ආකාරයට ඔබගේ පාපයන් සදහා අල්ලාහ් (දෙවි) සමාව දෙනු ඇත. එපමණක් නොව ඔබ අල්ලාහ් (දෙවි)ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වූ මුස්ලීම්වරයෙකු ලෙස කටයුතු කරන්නේ නම්, ඔබට එරෙහිව කවුරුන් කවර ආකාරයේ කුමණ්ත්‍රන සිදු කලත් ඒ සියළු කුමණ්ත්‍රනයන් අභිබවා ඔබ නියත වශයෙන්ම විශිෂ්ඨ ජයග්‍රාහනයන් අත්පත් කරගනු ඇත. ඒ සදහා ඔබ තුල තිබිය යුත්තේ අල්ලාහ් (‍දෙවි) කෙරෙහි විශ්වාසයෙන් යුතු සැබෑ අවනතභාවය හා ඔහුගේ රසූල්වරයාගේ ආදර්ශයන් පමණි. මෙය මුහම්මද් (සල්) තුමාණන් ද වරක් ඉතා දැඩිව මෙසේ අවවාද කරන ලදී.

වාක්‍යන් අතරින් වඩා හොඳ වාක්‍යය දේව වාක්‍යය (වන අල්-කුර්ආනය) වෙයි. මඟ පෙන්වීම අතුරින් වඩාත් නිවැරදිම මඟ පෙන්වීම මුහම්මද් (සල්) තුමාගේ මඟ පෙන්වීම (වන හදීසය) වෙයි. ඉස්ලාම් හි ඉතාමත් නින්දිත (පහත්) කාර්‍යයන් වන්නේ (ඉස්ලාමයේ සත්‍ය ඉගැන්වීම්වලට පටහැනි ව) අළුතින් (දහමට) යමක් එක් කිරීමයි. එසේ එක් කරනු ලබන කාර්‍යයන් (බිද් අත්) වේ. එක් එක් අළුත් කාර්‍යයන් (මිනිස් සමාජය) නොමඟ යවන්නක් වේ. නොමඟ යවන සියල්ලක් ම නිරයේ ගින්න දක්වා ඇදයනු ලැබේ.

මූලාශ‍්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

මේ ලිපිය ආරම්භයේ සදහන් කල 3-102 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය සේම මුස්ලීම් සමාජය නිතර අසනු ලබන හදීසයක් වේ නම්, ඒ ඉහත හදීසයයි. එම හදීසය තුල අල්ලාහ් (දෙවි)ගේ නියෝගයන්ට අමතරව මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් ද මුස්ලීම් සමාජයට ඉතා වැදගත් බව පැහැදිලිව පවසයි.

මෙහිදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එක් කාරණයක් පැහැදිලිව වටහා ගතයුතුව ඇත. එනම්, අද ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අප මේ රට තුල පසු කරමින් සිටින සමාජ තත්වය ඉස්ලාම් කිසිදු දිනෙක නොදුටු අළුත්ම තත්වයක් නොවේ. මීට වඩා අවාසනාවන්ත දරුණු ඉරණමයන්ට මුස්ලීම්වරුන් ගොදුරු වූ සිදුවීම් හා සිද්ධීන් ඉතිහාසය පූරාවට අපට දක්නට ඇත. විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කාලය තුල මීට වඩා අවාසනාවන්ත සිද්ධීන් හා තත්වයන් දක්නට තිබූ බව හදීසයන් තුලින් අපට අදටත් කියවීමට ඇත. එවැනි අවස්ථාවන් මෙම අඩවිය තුල සාකච්චා කොට ද ඇත. විශේෂයෙන් බිලාල් (රලි), අබුදර් (රලි), රූමි (රලි)… යනාදී (මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන) සහාභාවරුන්ට අත් වූ ඉරණමයන් මෙන්ම මුහම්මද් (සල්) තුමාණණ් ඇතුළු මුස්ලීම් පිරිස් තායිෆ්, හුදෙයිබියා, උපනි බිමින් පිටුවහල් කොට කඳුපාමුලක දීර්ඝ කාලයක් ජීවත් වූ අවස්ථාවන්… එවැනි සංවේදී නිදසුන් කිහිපයකි. ඒ සියළු අවස්ථාවල මුහම්මද් (සල්)තුමාණන් ක්‍රියා කල ආකාරය හදීසයන් හි පැහැදිලිව දක්නට ඇත. එතුමාණන්ගේ ආදර්ශයන් පැහැදිලිව අප ඉදිරියේ තිබිය දී ආදර්ශ භංඝ සමාජයක් ලෙස ස්වමත හා පටු අරමුණුවල කටයුතු කිරීම, මුස්ලීම්වරුන් වන අප අල්ලාහ් (දෙවි)ගේ නියෝග පමණක් නොව, මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් ද ප්‍රතික්ෂේප කොට කටයුතු කිරීමක් නොවේද?.

එසේනම් ලෞකික පටු අරමුණු වෙනුවෙන් ඉස්ලාමීය රාමුවෙන් පිටත මෙතෙක් කටයුතු කල හා කරනු ලබන පිරිස් ඉහත කරුණු මෙන්ම පහතින් සදහන් ශුද්ධ වූ වාක්‍යයන් ද බුද්ධිමත් දැන් විමසා බැලිය යුතුව ඇත. අවසාන වශයෙන් ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) කරනු ලබන පහත අවවාදයන් දෙක ඔබේ විමසුමට තබමි.

අල්ලාහ් මෙසේ පවසයි:

අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා (නබි) කිසියම්කාර්‍යයක් සඳහා තීන්දුවක් දුන්නේ ද, පසුව එම කාර්‍යය සම්බන්ධයෙන් තමන්ටවිකල්ප තීන්දුවක් ගැනීමේ අයිතියක් දේව විශ්වාසය ඇත්තා වූ කිසිදු පුරුෂයෙකුටහෝ කිසිදු ස්ත‍්‍රියකට හෝ නොමැත. තවද අල්ලාහ් ට හා ඔහුගේ වක්තෘවරයාටකවරෙකු අකීකරු වන්නේ ද ඔහු පැහැදිළිවම දුර්මාර්ගයෙහි සිටියි.

ශුද්ධ වූ කුර්ආනය 33:36

තවත් ද…

(මුහම්මද්!) ඔබගේ ස්වාමියා කෙරෙහි දිවුරා (පවසමි!) ඔවුනතර ඇතිවන ආරවුල් හි ඔබව විනිශ්චය කරු බව පිළිගෙන, ඔබ විසින්දෙනු ලබන තීන්දුව සම්බන්ධයෙන් ඔවුන්ගේ සිත් තුළ යම් කිසි අතෘප්තියක්නොමැතිව සම්පූර්ණයෙන් එයට අවනත වන තෙක් ඔවුන් ඊමාන්ධාරීන් (විශ්වාසවන්තයින්) නොවෙයි.

ශුද්ධ වූ කුර්ආනය – 04- 65

ඉහත වාක්‍යයන් දෙක සෑම මූස්ලීම්වරයෙකු ම බුද්ධිමත්ව විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. ලෞකික කටයුතුවල වේවා, ආගමික කටයුතුවල වේවා මුස්ලීම්වරයෙකුගේ ක්‍රියා කලාපය හා ස්ථාවරය කෙබඳු වියයුතු ද? යන්න ඉහත වාක්‍යයෙන් ඉතා පැහැදිලිව අල්ලාහ් (දෙවි) අපට පවසයි. එසේනම්, ඒ අනුව කටයුතු කිරීම‍ට ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයටත් සමස්ථ මුස්ලීම් ලෝකයටත් නුවණැස පෑදේවා! යන පැතුම ඇතුව මේ සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම