සැබෑ මුස්ලිම්වරයෙකුට ජාතිවාදී විය නොහැක

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාමය යනු සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගත් සර්වසම්පූර්ණ ජීවන පද්ධතියකි. මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමීමේ දුෂ්ඨකම් අතුරින් ‘ජාතිවාදය හා වර්ගවාදය’ට ඉස්ලාමය ප්‍රධාන තැනක් ලබාදෙයි. සමේ වර්ණය, ජාතිකත්වය සහ භාෂාව පදනම් කරගෙන මිනිසුන් අතර වෙනස් කොට සැලකීම ඉස්ලාම් තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් නබිතුමාණන් මුස්ලීම් සමාජයට කල අවවාදයක් අබූදාවූද් නම් හදීස් ග්‍රන්ථයේ මෙසේ සදහන් වේ.

“කෙනෙකු ‘අසාබියා’ (මෙම අරාබි වදනේ අරුථ ජාතිකවාදය හෝ ගෝත්‍රවාදය යන්නයි.) ඉල්ලා සිටින, අසාබියා වෙනුවෙන් සටන් කරන හෝ අසාබියා වෙනුවෙන් මිය යන්නෙකු නම්, ඔහු අපෙන් (මුස්ලීම්වරුන්ගෙන්) කෙනෙකු නොවේ. ”

මේ පිලිබදව තවදුරටත් කථා කරන ඉස්ලාමය එහි ප්‍රධාන මූලාශ්‍රය වන ශුද්ධ වූ කුර්ආනය මගින් තවදුරටත් මෙසේද අවදාරණය කරයි.

“මනුෂ්‍යයානි!, අපි නුඹලාව (ආදම-හව්වා (ඒවා) නම්) එක් පුරුෂයෙකුගෙන් හා ස්ත්‍රියකගෙන් මැවූවෙමු. පසුව නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ජාතීන් හා ගෝත්‍රයන් බවට පරිවර්ථනය කළෙමු. අල්ලාහ් (දෙවි) ඉදිරියෙහි ඔබලා අතුරින් උතුම්ම තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න තැනැත්තාය. ”

අල්කුර්ආනය 49-13

ඉහත වාක්‍යයට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ තවත් බොහෝ තැන්වල මෙම විෂය පිලිබදව කථා කරයි. එවැනි තවත් වාක්‍යයක් කෙරෙහි අවදානය යොමු කලේනම්,

අහස්ද භූමියද උත්පාදනය කර තිබීමත්, ඔබලාගේ භාෂාවන් හා වර්ණයන් වෙනස් වී තිබීමත්, ඔහු (අල්ලාහ්)ගේ විශ්මිත නිර්මාණයන් (සාධකයන්)ගෙන් එකකි. බුද්ධිමත් ජනයාට නියත වශයෙන්ම මෙහි (විශ්මිත නිර්මාණයන් පිලිබද වූ බොහොමයක්) සාධකයන් ඇත්තේමය.

අල්කුර්ආනය 30-22

ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) අවදාරණය කරන්නේ මිනිස් සමාජයේ තිබෙන භාෂාමය, වර්ණමය, ජාතිමය… විවිධත්වය අල්ලාහ් (දෙවි)ගේ නිර්මාණයෙහි විශ්මිත බව කියාපාන සාධකයක් මිස ඔවුන් අතර උස්-පහත් භේද ඇති කරගත හැකි සාධකයක් නොවන බවයි. එම කාරණය ඔබේ බුද්ධිමත් අවදානයට දැඩිව අවදාරණය කරමින් ජාතිවාදය, වර්ගවාදය හා කුලවාදය එදා දරුණුවටම ක්‍රියාත්මක වූ අරාබිකරයේ එයින් එම ජනතාව මුදවාගැනීම පිණිස මුහම්මද් (සල්) තුමාණන් බොහෝ සේ වෙහෙසෙන ලදී.

එහිදී මුහම්මද් (සල්) තුමාණන් එම සමාජය තුල කටයුතු කල ආකාරය හා එම දුර්මතය සමාජයෙන් තුරන් කිරීමට ප්‍රායෝගිකව ගත් පියවරයන් ඉතිහාසය තුල පැහැදිලිව සදහන් වේ. එයින් බිඳක් මෙහි ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

  • වර්ගවාදීන්ගේ දැඩි හා අඛණ්ඩ වධහිංසාවෙන් නිදහස් කර බේරාගත් කළු ජාතිකයෙකු මෙන්ම එවකට වහලෙකු ද වූ බිලාල් (රලි) තුමාව වහල් භවින් ද නිදහස් කොට තම සමීපතම මිතුරෙකු බවට මුහම්මද් (සල්) තුමාණන් පත්කර ගන්නා ලදී. එයින් ද නතර නොවූ නබිතුමාණන් එම ප්‍රදේශයේ ප්‍රධාන මස්ජිදයේ (පල්ලියේ) ඉස්ලාමයේ ප්‍රධාන නැමදුම වන පස්වේල වන්දනය (වන සලාතය) සදහා කැදවුම් නිවේදනය (අසzනය) කරන උතුම් භාග්‍යය ද එතුමාණන්ට පවරන ලදී.
  • ඉස්ලාමීය ආරම්භ කාලයේ තීරණාත්මක අවස්ථාවක් වන ඔටුවන් 4,000 ක් සහ අශ්වයන් 300 ක් සමඟ වූ 10,000 ක හමුදාවක් මදීනා නගරයේ මුස්ලීම්වරුන් විනාශ කිරීමේ අරමුණින් සටනට පැමිණී අවස්ථාවේ සතුරන් මදීනාවට ඇතුල්වීම වැලැක්වීම සදහා විශ්මිත අගල් හෑරීමේ යෝජනාව ඉදිරිපත් කල ෆාරිසිවරයෙකු වන සල්මාන් අල් ෆාර්සි (රලි) තුමාගේ යෝජනාවට ගරුකොට එය ඉහලින්ම පිලිගත් මුහම්මද් (සල්) තුමාණන් එතුමා ද එකතු වී එම අගල් හෑරීම සිදුකරන ලදී. මේ හේතුව නිසා සතුරන් මදීනාවට ඇතුල්වීම වලක්වා ගැනීමට හැකි වූ අතර එදා එම යෝජනාව පිලිගෙන ක්‍රියාත්මක කිරීම නිසා ඉස්ලාමයට හා මුස්ලීම්වරුන් එල්ලවීමට ගිය ප්‍රබල ප්‍රහාරයක් ද වලක්වා ගැනීමට හැකි විය.
  • අබ්දුල්ලාහ් ඉබුනු සලාම් (රලි) තුමා එවැනි තවත් චරිතයකි. යුදෙව් ගෝත්‍රයට අයත් විද්වතෙකි. එතුමා ඉස්ලාමය පිළිගැනීම සහ නබි (සල්) තුමාට එරෙහිව යුදෙව්වන් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තීරණ ගැනීමට එතුමා විශාල රුකුලක් විය.

ඉහත නිදසුන් 03න් පෙන්වා ඇත්තේ ඉස්ලාමීය ඉතිහාසයේ විවිධ වාර්ගික පසුබිම්වලින් පැමිණි පිරිස් ඔවුන්ගේ ජනවර්ගය හෝ තරාතිරම නොසලකා මනුෂ්‍යත්වය මත පදනම්ව පමණක් ඉස්ලාම් කටයුතු කල ආකාරයයි.

මෙහි කණගාටුවෙන් වුවද සදහන් කලයුතු කාරණයක්ද ඇත. ඒ ඉහත අතීත ප්‍රෞඩ ඉතිහාස මහා උරුමය නොතකා අද ජාතිවාදය, වර්ගවාදය හා කුලවාදය සමහරක් මුස්ලිම්වරුන් අතර විවිධ ස්වරූපයෙන් පවතීමයි. මුස්ලීම් සමාජය තුල විවාහයන් තීන්දු කරන අවස්ථාවන්වල මේ ජාතිය, ජනවර්ගය හා කුලය පිලිබදව සැලකිල්ලක් දක්වන ආකාරයක් දක්නට ඇත. එපමණක් නොව මුස්ලිම් මිනිසුන් මරණයට පත්වූ විට එම මෘතදේහය භූමදානය කරන සොහොන් බිම පවා ජන වර්ගය හා කුලය මත පදනම්ව වෙන්කරන ආකාරයක් දක්නට ඇත. එපමණක් නොව අද වනවිට භාෂාව පදනම් කරගෙන ද උසස්-පහත් ලෙස සමාජය භේද වන ආකාරයක්ද දක්නට ඇත. මේ ජාතිවාදය, වර්ගවාදය හා කුලවාදය මිනිසුන් අතර බල අසමානතාවයක් ඇති කරයි. නිදසුනක් වශයෙන්, යම් භාෂාවකට පමණක් දැනුම ලබා ගත හැකි වූ විට අපට පෙනී යන්නේ ප්‍රජාව තුළ ප්‍රමුඛ ස්ථානයක් දරන්නේ එක්තරා ජාතියක්, ජනවර්ගයක් පමණි. මේ අනුව, වර්ගවාදය මිනිසුන් අතර බෙදීම් ඇති කරයි, එයින් ඔවුන් තුල වෛරය ගොඩනඟයි. අවසානයේ ශාරීරික හිංසනයට පවා මග පාදයි.

මෙම අවාසනාවන්ත තත්වය අද ඇමරිකාව තුල උපරිමයෙන් අප දකින්නෙමු. එහි ජාතිවාදයේ බලපෑම් හි හිඟයක් නොමැත. මානසික හා ශාරීරික හිංසනය, අධ්‍යාපනය නොමැතිකම, දුර්වල නිවාස, දරිද්‍රතාවය සහ අපරාධ වැනි ගැටළු රාශියක් මේ තුල නිර්මාණය වේ. කෙසේ වෙතත්, මෙම තත්වයන් ඉස්ලාමයේ ඉගෙන්වීමට මුළුමනින්ම පටහැනි වන අතර ඉස්ලාමයේ ඉගෙන්වීම මිනිස් සංහතියට දයාවක් ලෙස හෙළි වී ඇත. එසේම ජාති, වර්ණ වැනි පටු සීමාවෙන් මිදී අල්ලාහ් (දෙවි)ගේ ඒකීයභාවය මත ජනතාව එක්සත් කිරීම කෙරෙහි ඉස්ලාම් අවධානය යොමු කර ඇත. ඒ ආකාරයට සමාජයක් තුල ජන වාර්ගික යුක්තිය පවතින විට, ජාතිවාදයට හා වර්ගවාදයට හේතු වන ගැටළු මැකීයාම පමණක් නොව, ඉස්ලාමයේ සැබෑ උත්කෘෂ්ටභාවය ද අපට පෙනේ. එපමණක් නොව මුස්ලිම් නොවන අයට පවා එය කෙරෙහි ආකර්ශණයක් ඇති වේ.

එම ඉලක්කය දිනාගන්න නම්, මුස්ලීම්වරුන් වන අප යුක්තිය වෙනුවෙන් අවංකව මැදිහත් වියයුතුය. එය අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ අවදාරණය කරයි.

…යුක්තිය ඉටු කරන්න. එය (දෙවියන් කෙරෙහි)බියබැතිමත් භාවයට ඉතා කිට්ටුය…

අල්කුර්ආනය 5-8

දෙවියන් කෙරෙහි බැතිමත්ව මෙම යුක්තිය සමාජය තුල ඉටුකිරීම යන්න තනිපුද්ගල ක්‍රියාවන් හා කථාවන් තුළින් පමණක් කල හැක්කක් නොවේ. පවුලේ අය, මිතුරන් සහ අවට සමාජය… යනාදී ලෙස පියවරින් පියවර ව්‍යාප්ත වන ආකාරයට මෙම යුක්තිය ක්‍රියාවට නැංවීම අවශ්‍යය. ඒ සදහා දැනුවත් කිරීමන් සහ නබිතුමාණන් පෙන්වාදුන් ආකාරයේ නිවැරදි ක්‍රමවේදයකට ක්‍රියාත්මකවීමටත් අප සියළුදෙනා අධිෂ්ඨාන කරගමු. යන ආරාධනාව කරමින් මුහම්මද් (සල්) තුමාණන් සිය සමුගැනීමේ දේශනය අතරතුරදී ඇදහිලිවන්තයන් ඇමතූ කඳුකරයේ දෝංකාර දුන් කථාවේ කොටසක්, ඔබේ විවෘත මනසේ විමසුමට තබමින් මේ ලිපිය අවසන් කරමි.

…සියලු මනුෂ්‍ය වර්ගයා ආදම් සහ ඒවගෙන් වන අතර, අරාබි ජාතිකයෙකු අරාබි නොවන කෙනෙකුට වඩා උසස් බවක් හෝ අරාබි නොවන කෙනෙකු අරාබි ජාතිකයෙකුට වඩා උසස් බවක් නැත. ධර්මිෂ්ඨකම සහ යහපත් ක්‍රියාව හැරෙන්නට සුදු ජාතිකයෙකු කළු පැහැයට වඩා උසස් බවක් හෝ කළු ජාතිකයෙකු සුදු පැහැයට වඩා උසස් බවක් නැත…

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම