අවංක හා සාධාර්ණ නොවන සමාජයක ඉරණම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වත්මන් ශ්‍රී ලංකාවේ ඉරණම බුද්ධිමත්ව විමසා බලන විට මෙවන් ඉරණමකට මේ රට මුහුණපාන්න මුලික වු ප්‍රධාන හේතු කාරණා කිහිපයක් ඇත. ඒ අතුරින් ප්‍රධාන හේතුව වන්නේ අවංක නොවන අවස්ථාවාදින් හට මේ රටේ තීරණාත්මක තීන්දු තීරණ ගැනිමේ බලය හා අයිතිය ලබාදිමයි. ඔවුන් සමාජයේ වගකිවයුතු තැන්වල හිඳ කිසිදු වගකිමකින් තොරව හා අවස්ථාවාදීව ගනුලැබු තීන්දු තිරණ අද මේ රට අනාගතයක් නැති අරාජික රටක් බවට පත්කොට ඇත.

අප සමාජයේ පහලම තලයේ සිට ඉහලම තලය දක්වා සෑම සියළු ක්ෂේත්‍රයකම ඔඩුදුවා ඇති මෙම අවාසනාවන්ත තත්වයට හොදම නිදසුන ලෙස අප රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු නියෝජනය මෙහි සදහන් කලහැක. රටේ උත්තරීතර සභාව ලෙස සැලකෙන එහි එයට නිසි සුදුසුකම් හිමි කිදෙනෙකු නම් නියෝජනය කරනවාද?. සමාජ විරෝධී ක්‍රියාවල නියලෙන හොරුන්, වංචනිකයන්. අපරාධකාරයින්… වැනි අශිෂ්ඨ පිරිස් එම සභාව නියෝජනය කිරීම අවාසනාවක් නොවේද? ඔවුන් තුලින් මේ සමාජයට යහපතක්, සාධාර්ණයක් අපේක්ෂා කිරිම විහිළුවක් පමණි.

මෙතැනදී නොසලකා හැරිය නොහැකි තිත්ත වු ඇත්තක් ද සටහන් කලයුතුව ඇත. ඒ මෙම අවංක නොවන අවස්ථාවාදීන් තෝරාගෙන, ඔවුන් රටේ වගකිවයුතු තැන්වලට පත් කලේ මේ සමාජයේ බහුතරය වන පොදු ජනයා වන අප විසින්ම යන්නයි. එමනිසා එහි විපාකය අත්විඳීමට සිදුව ඇත්තේත් අපටමය. මෙහි භයානකම තත්වය නම්, දිනෙන් දින මෙලෙස ආරජික වන සමාජය එනම්, ගම, නගරය, රට… යනාදී ලෙස දිගින් දිගටම අරාජිකත්වය කරා ගමන් කලේනම්, දිනෙක සමස්ථ ලෝකයම ආරාජිකත්වයට පත්විමයි.

මෙලෙස වර්ධනය වන එම භයානක ආරාජිකත්වයේ අවසාන ප්‍රථිපලය ඉස්ලාම් දහම මිට වසර 1400කට පෙරම දැක ඉතා පැහැදිලිව මිනිස් සමාජයට අවවාද කොට ඇත. එනම්,

අල්ලාහ් (දෙවි)ගේ වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළි) තුමා මෙසේ ප්‍රකාශ කරයි.

   ‘අවංකභාවය (සමාජයේ) නැති වූ විට ඔබලා (ලෝක විනාශයේ අවසන්) හෝරාව බලාපොරොත්තු වන්න.’ යයි වක්තෘවරයාණන් පැවසූවිට…
   ‘අවංකභාවය නැති වන්නේ කෙසේ ද? අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී!’ යැයි කෙනෙකු ඇසී ය.
   (එයට වක්තෘවරයාණන්) ‘වගකීම් ඒ සඳහා සුදුසු නොවන පුද්ගලයන් වෙත පැවැරෙන විට (කියාමත් නම් එම අවසන්) හෝරාව බලාපොරොත්තු වන්න’ යැයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මෙවන් අවාසනාවන්ත ආරාජිකත්වයෙන් මේ ලෝකය, රට, නගරය, ගම… යනාදී ලෙස සමාජය මිදෙන්නට නම්, සමාජයේ ඉහල සිට පහල දක්වා එක් එක් පුද්ගලයන් අවංක හා සාධාර්ණ වියයුතුව ඇත. එසේම වගකීම් පැවරී ඇති පිරිස් නිසිලෙස එම වගකීම් ඉටු කරමින් අවංකව හා සාධාර්ණව කටයුතු කලයුතුව ඇත.

එසේ කටයුතු කිරීම මෙලොව මෙන්ම පරලොව සාර්ථකත්වයට හේතුකාරණයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එය අල්කුර්ආනයේ මෙසේ පවසයි.

   …කවුරුන් තමන් වෙත (විශ්වාසයෙන් යුතුව) භාරකරුවකු ලෙස දුන් දෑ ද, (තමන් විසින් කළ) පොරොන්දු ද, ඒ අනුව ම (ඉතාමත් විශ්වාසවන්තව) ක්‍රියා කරන්නෝද, ඔවුන්ද, තවද කවුරුන් තමන්ගේ සාක්ෂි දීමෙහිද (වරදක් නොකොට) ස්ථීරවත්ව සිටින්නෝද, ඔවුන්ද, කවුරුන් තමන්ගේ සලාතයන්ද අවධානයෙන් (යුතුව නොකඩවා) නියමිත අන්දමට නමදිමින් සිටින්නෝද, ඔවුන්ද, ස්වර්ගයන්හි ඉතාමත් ගෞරව කරනු ලබන්නාහ.

අල්කුර්ආනය 70 – 32 සිට 35

ඉහත වාක්‍යයෙන් පවසන ආකාරයට සමාජයේ විවිධ තලවල වගකිම් පැවරී ඇති පිරිස් තමන් හට පැවරී ඇති වගකීමට ‘තමන් අයිතිකරුවන් නොව භාරකරුවන්’ යන යථාර්තය හොදින් තේරුම් ගෙන අවංකව හා සාධාර්ණව කටයුතු කරන්නේ නම්, මේ රටත්, ලෝකයත් ඉතා අලංකාර සුන්දර තැනක් වනවා නොඅනුමානය.

ඒ සදහා අප සමාජයේ වගකීම් දරණ නායකයින් හට නුවණ පහල වේවා! යන ප්‍රාර්ථනයෙන්ද, එවන් වගකීම් දැරිය හැකි අවංක සාධාර්ණ යහපත් නායකයින් තෝරා පත්කර ගැනීමට සමාජයට නුවණ පහල වේවා! යන ප්‍රාර්ථනයෙන්ද මෙම ලිපිය අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම