ජාතිවාදය එපා
අද වනවිට වාර්ගික අර්බුද ලොවින් තුරන් වෙමින් ශිෂ්ඨ යුගයක් කරා මිනිස් සමාජය පියමං කරමින් ඇත. අතීත මේ පොළොව මත රජකල ගෝත්‍රීය සංකල්ප දැන් බොහෝ ජන සමාජ තුල අද දක්නට නැත. ජාතිවාදී හා වාර්ගික සංකල්පවලට කනේ පහර දෙන ආකාරයට මිනිස්කම සමාජය තුල ගොඩනැඟෙමින් ඇත. ජාතීන් අතර පැවතී වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය වෙනුවට මිනිස්කම අගයන සහෝදරත්වයේ දෑත් දිගු වන තරමට අද සමාජය ශිෂ්ඨ සම්පන්න වෙමින් ඇත. මේ ආකාරයට අතීත වැරදි නිවැරදි කරගෙන හා ගෝත්‍රීය සංකල්ප වෙනුවට දියුණු මිනිස් ගුණාංග පෙන්නුම් කරමින් නූතන සමාජය යහමග යොමුව සිටීම සතුටට කාරණයක් බව මා මෙහි ආඩම්භරයෙන් සටහන් කලයුතුව ඇත.
නමුත් අතීත සමාජයේ පැවතී මිලෙඡ්ච ගුණාංග වන “ජාතිවාදය”, “ආගම්වාදය” සහ “වර්ගවාදය” එකම පිලිසරණ කරගත් සහ එයින් පිටත පැවැත්මක් සිතා ගැනීමට පවා නොහැකි සහ ඒ මතම යැපුනු විකෘතිකයන්ට නම්, මේ නූතන සමාජය ලෝකයට දෙන අප තවදුරටත් ජාතිවාදීන් හෝ ගෝත්‍රවාදීන් නොවෙමු යන පණිවුඩය දරාගත නොහැකි හිසරදයක් යන්නත්, එය ඔවුන්ව වියරුවට පත් කරවන කාරණයක් යන්නත් නොඅනුමානය. මෙවන් පසුබිමක මනුෂ්‍යත්වය සහ ශිෂ්ඨත්වය පිලිබදව කිසිදු තැකීමක් නොකරන, එසේම විකෘති හා වියරු මානසිකත්වයෙන් පෙලෙන “ජාතිවාදී” ඔවුන් ඉදිරියේ ඇති එකම අභියෝගය වන්නේ තමන්ගෙන් ගිලිහෙන පිරිස් තවදුරටත් රුකගන්නේ කෙසේද? යන්න සහ තම පැවැත්ම ආරක්ෂා කරගන්නේ කෙසේද? යන්න පමණි. ඔවුන්ගේ එම අරමුණ දිනාගැනීම පිණිස කොතරම් අශිෂ්ඨ හා කෲර පියවරයන්ට වූවද යොමුවීමට පසුබට නොවනු ඇත. එය අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලාංකීය භූමිය මත ඔවුන් ඔප්පුකොට පෙන්වා ඇති අතර එය අප අත්දැකීමෙන්ම දන්නා කාරණයකි. එවැනි අශිෂ්ඨ හා කෲර ජාතිවාදී ක්‍රියාවන් මේ පොළොව මත පසුගිය දශක දෙක තුල ක්‍රියාත්මක කල ආකාරය මෙම අඩවිය තුල "ජාතිවාදය" යන ගොනුව යටතේ ඔබට වැඩිදුර දැනගැනීම පිණිස කියවීමේ හැකියාව ද ඇත.
ශ්‍රී ලාංකීය රට දශක ගණනාවක් පුරාවට මෙවැනි “ජාතිවාදී” ඛේදවාචකයන් අත්විඳිමින් ඇත. මිල කල නොහැකි ජීවිත හා දේපල අහිමි කරගෙන ඇත. කිසිදා සුවපත් කළ නොහැකි තරමට සැකය, අවිශ්වාසය වැනි රෝග මිනිස් මනස තුල වපුරා ඇත. රට ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයටම රුගෙන ගොස් ඇත... මේ ආකාරයට රෝගී වූ රට දැන් කෙමෙන් කෙමෙන් පටු ජාති හා වාර්ගික වාද අත හැර ශිෂ්ඨ යුගයකට පියමන් කරමින් “කිරි වීදුරුවක්” මෙන් පිවිතුරු සමාජයක්ව පරිවර්ථනය වෙමින් ඇත. නමුත් මේ සමාජය තුලම ඉහතින් කී අශිෂ්ඨ හා විකෘති ජාති හා වර්ගිකවාදී ආකල්පයෙන් පිරි “ගොම බිඳක්” බඳු රෝගී වු ජාතිවාදීන් ද වෙසෙන බව අප අමතක නොකල යුතුව ඇත. එසේම ඔවුන්ව හෝ ඔවුන්ගේ ප්‍රකාශ හෝ ක්‍රියාකලාප කිසිවිටෙක සුළුකොට තැකිය නොහැක. මන්ද කපටි ඔවුන්ගේ සළුව “ජාතියා” හා “ආගම” වැනි සමාජ සංවේදී කාරණයන් වන බැවිණි. මෙවන් සමාජ පසුබිමක “බහුතරය ශිෂ්ඨ වුවත් අශිෂ්ඨ කිහිපදෙනෙකු ප්‍රමාණවත් සමස්ථ සමාජයටම වින කරන්නට” යන සත්‍යය අප තේරුම් ගතයුතුව ඇත. නිදසුනක් ලෙස පසුගිය කාලවල අප රටේ ජාතිවාදීන් වැපිරූ ජාතිවාදී බීජ රටේ බහුතර පොදු ජනතාව අනවබෝධයෙන් කරමත තබාගෙන ගිය ආකාර අප දුටුවා නොවේද?. වඳ කොත්තු, වඳ ඇදුම, හලාල් ලාංඡන, වඳ සැත්කම්, ත්‍රස්ථවාදය වපුරන මද්ද්‍රසා... වැනි එදා මේ සමාජය තුල වැපිරූ බොරු සටන් පාට හා වාද අද මුසාවක් පමණක් නොව විහිළුවක් බවටත් පත්වෙලා නොවේද?. නමුත් මෙවැනි මුසාවාදයන් තුලින් එදා ශ්‍රී ලාංකීය සමස්ථ සමාජයට ම කල බලපෑම් කොතරම්ද?. මෙවන් තත්වයන් තවදුරටත් මෙම සමාජය තුල පැවතිය යුතු යැයි ශිෂ්ඨ සම්පන්න ඔබ සිතන්නේද?. ජාතිවාදයට නොව ජාතිවාදී සෙවණැලිවලටවත් මේ රට තුල තවදුරටත් ඉඩ තැබිය යුතුවේද?.
අද වන විට අපේ රට ආර්ථිකමය වශයෙන් විශාල වැටීමකට ලක්ව රටේ ජනතාව අනේක දුක් කරදර විඳිමින් සිටී. රට තුල පවතින අක්‍රමවත් පාලන, සොරකම්, වංචා, දූෂණ හා වාර්ගික ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ රට පිරිහෙමින් පවතී. එපමණක් නොව රට තුල උද්ගත වී ඇති උද්ධමන තත්වය සහ ආපදා තත්වයන් හේතුවෙන් රටේ ජනතාව කඹලෙන් ලිපට වැටී සිටී. රටේ පවතින රුකියා විරහිතභාවය සහ ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් උගතුන් සහ ශ්‍රමිකයින් රට හැර යමින් සිටී. රටේ වටිනා දේපල හා සම්පත් විදේශිකයින්ට විකිණෙමින් පවතී. ඖෂධ හිඟය, පොහොර හිඟය, ප්‍රවාහන පහසුකම් ගැටළු, වෙලාවකට විභාගයක් පවත්වා ගත නොහැකි අධ්‍යාපන ක්ෂේත්‍ර ගැටළු... මේ ආකාරයේ එකීනොකී ගැටළු රාශියකින් රටත්, ජාතියත් මිරිකී පණ අදිමින් සිටී. මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකොට යලිත් මේ පොළොව මත ජාතිවාදය වපුරන්න කිසිවකු උත්සාහ කරන්නේ නම්, ඔහු කොතරම් නරුම, කෲර හා විකෘති වියරුවෙන් පෙලෙන රෝගියෙකු විය යුතුද?. එය මේ රටේ ශිෂ්ඨ සම්පන්න සහ මිනිස්කම හඳුනන හා අගයන බුද්ධිමත් ජනතාවගේ විමසුමට ම තබමින් මෙම සටහනට විරාමය තබමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න