දුම්වැටි විරෝධි ජාත්‍යන්තර දිනය – 2014

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක් තියා ඒ සදහා වූ ගමනක් වුවද තවම දක්නට නැත. ඒ සදහා වූ ගමන කෙසේ වෙතත් පසුගිය දිනක පාර්ලිමේන්තු විවාදයක දී මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් උණුසුම් විවාදයක් අතරතුර ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා පැවසුවේ ‘ඔහොම තමයි අනවශ්‍ය දේවල්වලට තිත තියන්න ගියාම මෙහෙම දේවල් වෙනවා’ යනුවෙනි. ‘මතට තිත’ සම්බන්ධයෙන් ගරු කථානායක තුමාගේ අදහස එවැන්නක් නම්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ‘මහින්ද චින්තනයෙන්’ මීට වඩා යමක් රටේ පොදු ජනතාවට අපේක්ෂා කල හැකිවේද?.

මේ පැනය ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ ‘දැන් ඉතින් රටේ පොදු ජනතාව ලෙස අපට කලහැකි දෙයක් නැහැ’ යනුවෙන් උදාසීනව හා උපේක්ෂාවෙන් සියල්ල බලාසිටීමට නම් නොව රටේ වගකිවයුතු පුරවැසියන් ලෙස තනි තනිව හෝ කලහැකි යමක් පිලිබදව සිතා බැලීම අත්‍යඅවශ්‍ය යන්න අවදාරණය කිරීම පිණිසය. සුපුරුදු පරිධි මෙවරත් 2014 මැයි 31දිනට ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ උදාවනු ඇත. එය ජාතික මට්ටමෙන් සමහරක් සමරණු ද ඇත. තවත් සමහරක් එම දිනය කොඩිවලට ලඝු කොට විකුණාගෙන කනු ද ඇත. නමුත් ඔබෙත් මගෙත් දුවා දරුවන් මේ ඛේදවාචකයන්ට ඉදිරියේ දී ගොදුරු නොවන්න මේ කිසිවකුත් කිසිවෙකුත් සහතික නොවනු ඇත. මෙම තත්වයන් අවබෝධ කොට මේ වෙනුවෙන් තමන්ට කලහැකි යමක් තිබේද? යන්න බුද්ධිමත්ව විමසා බැලීම හා ඒ වෙනුවෙන් යමක් කිරීම මේ රටේ සුභඅනාගතය අපේක්ෂා කරන, යහපත් සමාජයකට සිහින දකින සියල්ලගේ වගකීම නොවේද?.

මේ තත්වය අවබෝධ කොට සිටින ‘යහමග’ අඩවිය දුම්වැටි හා මත්පැන් භාවිතයේ ආදීනය මෙන්ම අප රට තුල එහි ඇති වී තිබෙන සීඝ්‍ර වර්ධනය නිසා රටක් ලෙසත්, රටේ ජනතාව ලෙසත් විශේෂයෙන් තරුණ පිරිස මෙම දුරාචාරයට ගොදුරුවන ආකාරයත් කරුණු සහිතව හා සංඛ්‍යාලේඛන සහිතව විටින් විට මෙම අඩවිය තුල කරුණු සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. විශේෂයෙන් ආගමික කරුණුවලට මුල්තැන දී කරුණු සාකච්චා කරන වෙබ් අඩවියක් ලෙස එක් එක් ආගම්වල මේ විෂය පිලිබදව කථා කර ඇති ආකාරයත්, ඉස්ලාම් දහම මේ පිලිබදව දරණ ස්ථාවරයත් දීර්ඝ ලෙස මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ආකාරයත් ඔබේ මතකයේ ඇතැයි සිතමි. කෙසේ වෙතත් ඔබේ මතකයට එවැනි ලිපි කිහිපයක් නැවත ගෙන එන්නේ නම්,

මේ උවදුරට ඇබ්බහි වී ඇති පුද්ගලයා, පවුල, සමාජය, රට එම තත්වයෙන් මුදාවා ගැනීමේ ක්‍රියාවලිය තුල ආගම්වලට කලහැකි බොහෝ දෑ ඇත. ලොව කිසිදු දහමක් මෙම උවදුර අනුමත කරන්නේ නැත. එපමණක් නොව එවැනි ඇබ්බැහිවීම්වලට එරෙහිව අවවාද කරන ආකාරයන් ද එම ආගම් තුල දැකිය හැක. එසේනම් තවදුරටත් රටේ නීතිය හා එහි ක්‍රියාත්මක ආකාරය පිලිබදව අපේක්ෂාභංගත්වයෙන් බලාසිටීම නොව කලයුතු වන්නේ මේ රට, සමාජය, පවුල, පුද්ගලයා දැහැමි මඟකට යොමු කිරීමයි කලයුතු වන්නේ. ඉස්ලාම් දහම මෙම අභියෝගය මීට වසර 1400 ක‍ට පෙර ජයගැනීමට හැකිවිය. එක් ශුද්ධ වූ වාක්‍යයක් එම සමාජය උඩුයටිකුරු කලේ විශ්මය ජනක ආකාරයටය. එම විපර්යාසය දුටු අපරදිග විද්වත් මතවාද කිහිපයක් ප්‍රථමයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ නම්,

* ඉස්ලාම් ධර්මය, එහි විශ්වාසයන් ගැන වඩාත් සැලකිලිමත් වෙයි. එහෙයින් මත් පැන් පානය කිරීම හා සූදුකෙලීම වැනි දේ පාපයක් ලෙස සලකයි.
* ඉස්ලාමයට පෙර පැවති අරාබි සමාජය සුරා සූදුවට බෙහෙවින්ම ඇබිබැහි වී සිටියෝය. විවාහයට සීමාවක් නොතිබුණි. දික්කසාද එලෙසම විය. විටෙක පියාගෙන් පුතනුවාට උරුමයෙන් ලැබෙන වස්තු අතර භාර්යාවන්ද වූහ. පුතනුවා තමන්ට රිසි අන්දමට ඔවුන් පරිහරණය කලේය. විටෙක තම භාර්යාවන් ලෙස තබා ගත්තේය. තවත් විටෙක දාසියන් ලෙස විකුණා දැම්මේය. ඉස්ලාම් මගින් මේ සියලූම තත්ත්වයන් සම්පුර්ණ යෙන්ම වෙනස් කරන ලදි.
* මිනිස් ඝාතනය, බිලිපූජාව, දැරියන් වළලා දැමීම, සුරාපානය, සූදුව හා තවත් බොහෝ දේ අහිතකර ක‍්‍රියාවන් ශුද්ධවූ කුරාන් නියෝග මගින් තහනම් කරනු ලැබිණ. එහි ප‍්‍රතිථලය වූයේ ඉතිහාසය තුළ මිනිස් සංහතියට යහපත් සේවාවන් කළ ඉහළම පුද්ගලයා ලෙස මුහම්මද් නබිතුමා සලකනු ලැබීමයි. මන්ද එම ක‍්‍රියාවන් මත විශාල සංස්කෘතියක් බිහිවිය.

මේ මත් උවදුර ‘නොසැලෙන නුවණක්කාරයෙක් පවා ඔලමොට්ටලයෙක් බවට පත්කිරීමේ හා ශිෂ්ඨ සම්පන්න පුද්ගලයෙක් පවා අමානුෂික සතෙක් බවට පෙරළීමේ බලය මධ්‍යසාර සතුයි’ යන්න අපරදිග විද්වත් මතවාදයකි. එවන් භයානක උවදුරින් මේ මිනිස් සමාජය මුදවා ගැනීමට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට හැකි වුවා නම්, එය ඒ සමාජය දැහැමි සමාජයක් ලෙස ගොඩනැඟීමේ ප්‍රතිපලයකි. මධ්‍යසාර තුළ ගිලී පැවතී සමාජයක් තුළ බිහිවූ ඉස්ලාම් එම අහිතකර පුරුද්ද සහමුලින්ම සමාජයෙන් අතුගා දැමීමට පමණක් නොව එම පුරුද්ද මුල් කරගෙන සමාජය තුළ රජකරමින් පැවති නූගත්කම, දූෂණය, මමත්වය, ප‍්‍රචණ්ඩත්වය, දුගී බව… වැනි බොහෝ අගතීන්ද තුරන් කරන්නට සමන්වි ය. මුහම්මද් (සල්) තුමාණන් එම සමාජයේ පැවතී බේබැදිකමේ අගතීන්ට විරුද්ධව සටන් කළේ දිව්‍යමය මගපෙන්වීමක් මුල්කරගෙනය. මධ්‍යසාරවලට ඇබ්බැහි වීමේ අනිටු විපාකයන් ගැන එතුමාණන් මිනිසුන්ට පහදා දුන්නේය. සිහිබුද්ධිය හා හෘද සාක්‍ෂිය වෙත ආයාචනයක් යොමු කරමින් තහනම පිළිබඳ දිව්‍යමය පණිවිඩය ඉදිරිපත් කළේය. එම වාක්‍යයේ සරල විග්‍රාහය මෙසේය…

මධ්‍යසාර මඟින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේය. දෙවියන් වහන්සේ සිහිපත් කරධීමෙන් ද නියෝග හා පණත් අනුගමනය කිරීමෙන්ද ඔබ වළක්වාලයි. සොම්නසේ මාර්ගයෙන් ඔබ ඉවත්කොට සීමා ඉක්මවීම හා ගර්හාවට ඇද දමන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 5-91

මේ දිව්‍යමය අනුශාසනාව සවන් වැකුනු සැනින් එම සමාජයේ ප්‍රතිචාරය මා ඉහතින් සදහන් කලාසේ විශ්මය ජනක එකක් විය. මත්පැන් තොල ගාමින් ප‍්‍රීති ප‍්‍රමෝදයේ පසු වූ අයත් තම නිවෙස් වල ගබඩා කරගෙන සිටි අයත් යන සියලූ දෙනාම මහ මඟට බැස තමන් සතුව තිබූ සියලූම මත් පැන් මහා මාර්ග ඔස්සේ කානු දිගේ ගලා යන්නට සලස්වමින් එහි භාජන හා මුට්ටි බිඳ දැමූ ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුත්තකි. මේ පිලිබදව ඇසින් දුටූ සාක්ෂි වාර්ථා කරන අනස් බින් මාලික් (රලි) තුමා මෙසේ පවසයි.

මෙම (දේව වාක්‍යය) නියෝගය පිළිබඳ පුවත අප වෙත ලැබෙන විට අපි කණ්ඩායමක් (ධනකුවේරයෙකු වන) අබු තල්හා (රලි) තුමාගේ නිවෙස තුළ (මත්පැන්) සාදයකට සහභාගී සිටියෙමු. එහි තිබූ සියලූම මත්පැන් ඉවතට ගෙන ගොස් කානුවට වත්කර දමන ලෙස අබු තල්හා (රලි) තුමා මගෙන් ඉල්ලා සිටියේය. මා සියලූම භාජන එළියට අරන් ගියෙමි. සමහර භාජන කඩා බිඳ දමන ලද අතර තවත් සමහර භාජන හිස් කොට සෝදන ලදී. කොතරම් මත්පැන් හළා ඉවත් කරන ලද්දේ ද යත් ඉන්පසු කාලයක් ගතවන තුරුම මදීනා නුවරදි වැසිදවස් වල මත් පැන් සුවඳ හා වර්ණය සැම තැනම දක්නට තිබුණි.

මූලාශ්‍රය – හදීස්

එදා සිට අද වන තුරුත් ලෝකයේ නන් දෙස වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම්වරු මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි ලෙස වැළකි සිටින්නෝය. මේ විපර්යාසය කරා සෑම දහමක්ම තම අනුගාමිකයන් මෙහෙයවිය යුතු යන්න යහමඟ යෝජනාවයි. අවසාන වශයෙන් ප්‍රාර්ථනයක් එක් කලයුව ඇත. එනම්, සමාජ සහජීවනයට, ජාතික සමඟියට එරෙහිව කල්ලි කන්ඩායම් හා සේනා සංවිධානය කරන පාර්ශවයන් හා ආගමික නායකයින් හට මෙවැනි උවදුරුවලන් රටත් ජාතියත් බේරාගැනීමට නුවණැස පෑදේවා !, යන්නයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම