කළු සුදු අරගල හා මනුෂ්‍යත්වය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක ඇමරිකාවේ සුදු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වයස 46 ක් වූ කළු මනුෂ්‍යයෙකුගේ ගෙල පාගා ඝාතනය කරන ලදී. ඒ මොහෝතේ පටන් තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා ආරම්භ කල අරගලය අද වනවිට මුළු ඇමරිකාව තුලම විශාල අරගලයක් සිදුවෙමින් දිනෙන් දින එම රට ගිනිගොඩක් බවට පත්වන තැනට කටයතු වෙමින් ඇත. මුළු ලෝකයම කම්පනයට පත් කළ එම සිද්ධියෙන් පසු තවදුරටත් වර්ගවාදය ඉවසිය නොහැකි ජනතාව වර්ගවාදී හිංසනයට එරෙහිව අද පාරට බැස ප්‍රචණ්ඩකාරි ලෙස විරෝධතා වල නියලෙමින් ඇත. ඇමරිකාව තුල සිද්ධවෙමින් තිබෙන මෙම ප්‍රචණ්ඩත්වයේ ආරම්භයට ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණය හේතුවක් වූවත් ඔවුන්ගේ සැබෑ හඬ මනුෂ්‍යත්වයට එරෙහිව එම රට තුල සිදුවන ජාතිවාදී හිංසන හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව යන්න ප්‍රසිද්ධ රහසකි.

මානව හිමිකම පිලිබදව ලෝකයටම පාඩම් කියාදෙන ඇමරිකාව තුල මෙම ජාතිවාදී අරගලය අතීතයේ පටන්ම විවිධ අවස්ථාවල දකින්නට ලැබෙන තත්වයකි. එය 2013 පටන් ඇමරිකාව තුල ක්‍රියාත්මක BLM (Black Lives Matter) නොහොත් ඇමරිකාවේ වෙසෙන කළු මිනිසුන්ගේ මානව අයිතීන් සුරකීමේ සංවිධානය මනාව ඔප්පුකොට පෙන්වයි. ඇමරිකාවේ පමණක් නොව මානව හිමිකම් ගැන හා අවිහිංසාව ගැන මහ උජාරුවෙන් කථා කරන බොහෝ රටවල මෙම වර්ගවාදය බොහෝ විට දකින්නට තිබෙන පොදු තත්වයකි. වෙනත් රටවල්වල පමණක් නොව අපේ රටේ තත්වය මොහොතක් සිතා බලන්න. තම්බියා, දෙමළා, මරක්කලයා, දෙමලු, හම්බයා… ලෙස අප රටේ වර්ගවාදීන් සුළු ජාතීන් අපහසාත්මකව ආමන්ත්‍රණය කරන හා සලකන ආකාරයක්ද අපි දකින්නෙමු. මෙහි පමණක් නොව අප ආසන්න රට ඉන්දියාව ගත්තත් එහි තත්වයද මීට දෙවැනි නැත.

නමුත්, සැබෑව නම් මෙම වර්ගවාදී එසේත් නැත්නම් ගෝත්‍රවාදී වියරුව ලොව මුස්ලීම් බහුතරය වූ සමාජයන් හෝ රටවල් තුල කිසිසේත් දක්නට නැත යන්නයි. එයට හේතුව වන්නේ ඉස්ලාම් දහම වර්ගවාදය, ජාතිවාදය හා ගෝත්‍රවාදය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම හා එවැනි ක්‍රියාවන් කිසිදු වැදගත්කමක් නොමැති අනුවනක්කාර මනුෂ්‍යාගේ මූලික අයිතීන් උදුරාගන්නා ක්‍රියාවන් ලෙස දැකීමයි. එවැනි ඉස්ලාමීය ඉගෙන්වීමක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

…සමස්ථ මනුෂ්‍ය වර්ගයා ආදම් සහ ඒවගෙන් මෙලොවට බිහි වූ අතර, අරාබි ජාතිකයෙකු අරාබි නොවන කෙනෙකුට වඩා උසස් බවක් හෝ අරාබි නොවන කෙනෙකු අරාබි ජාතිකයෙකුට වඩා උසස් බවක් හෝ නැත. ධර්මිෂ්ඨකම සහ යහපත් ක්‍රියාව හැරෙන්නට සුදු ජාතිකයෙකු කළු පැහැ ජාතියෙකුට වඩා උසස් බවක් හෝ කළු ජාතිකයෙකු සුදු පැහැ ජාතියෙකුට වඩා උසස් බවක් නැත. මතකයේ රදවාගන්න යම් දිනක ඔබගේ ස්වාමියා (අල්ලාහ්) ඉදිරියේ පෙනී සිට ඔබගේ (මෙලොව) ක්‍රියාවන් සම්බන්ධයෙන් පිළිතුරුදීමට සිදුවෙනු ඇත…

ඉහතින් ගෙනහැර දක්වා ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිතයේ සිදුකල අවසානම දේශනයේ කොටසකි. එදා එම අවවාදය මුස්ලීම් සමාජයට දේශනා කිරීමට ප්‍රථම ඒ පවසන්නට යන කාරණයේ වැදගත්කම අවදාරණය කරමින් එහි රුස්ව සිටී ජනයාගෙන් ප්‍රශ්න තුනක් ප්‍රථමයෙන් විමසන ලදී.

එනම්,

ජනතාවනී!,

  • මෙම මාසය කුමක්ද?
  • මේ දිනය කුමක්ද?
  • මේ නගරය කුමක්ද?

මුහම්මද් (සල්) තුමාණන් කවදාවත් නොමැති ආකාරයට ශුද්ධ වූ නගරයක් වන මක්කාවේ, ශුද්ධ වූ මාසයක් වන හජ් නැමදුම කරන දුල්හජ් මාසයේ සුවිශේෂිම දිනය වන අරෆා දිනයේ හිඳ එහි රුස්ව සිටී ජනතාවගෙන් ඉහත ආකාරයට ප්‍රශ්න කොට එයින් විශ්මයට පත්වූ ජනතාව මුහම්මද් (සල්) තුමාණන් අපිට කුමක් පවසන්නට යනවාද? කියා විමසිල්ලෙන් හා ඉතා සාවදානව සවන්දෙන්නට සලස්වා නබිතුමාණන් මෙසේ තම දේශනය ආරම්භ කරන ලදී.

ජනතාවනී!, ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම
සෑම මුස්ලීම්වරයෙකුගේම ජීවිතයත්,
ධනයත්,
ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න.
ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් 
වංචනයන් සිදු නොකරන්න.
එසේම කිසිවෙකු හට වේදනා නොකරන්න. එවිට කිසිවකු ඔබට වේදනා නොකරනු ඇත.
සත්‍ය වශයෙන්ම ඔබගේ ස්වාමියාණන් (දෙවියන්) හමුවන බවත්, ඔහු සත්තකින්ම ඔබගේ ක්‍රියාවන් ගැන විමසන බවත්, තරයේ මතක තබා ගන්න…

යනුවෙන් තම දේශනය ආරම්භ කොට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අවවාදයක් කරන ලදී. එහිදී කරන ලද සුවිශේෂි තවත් අවවාදයක් තමයි මා ඉහතින් ඉදිරිපත් කල “…සමස්ථ මනුෂ්‍ය වර්ගයා ආදම් සහ ඒවගෙන් මෙලොවට බිහි වූ අතර, අරාබි ජාතිකයෙකු අරාබි නොවන කෙනෙකුට වඩා උසස් බවක් හෝ අරාබි නොවන කෙනෙකු අරාබි ජාතිකයෙකුට වඩා උසස් බවක් හෝ නැත. ධර්මිෂ්ඨකම සහ යහපත් ක්‍රියාව හැරෙන්නට සුදු ජාතිකයෙකු කළු පැහැ ජාතියෙකුට වඩා උසස් බවක් හෝ කළු ජාතිකයෙකු සුදු පැහැ ජාතියෙකුට වඩා උසස් බවක් නැත. මතකයේ රදවාගන්න යම් දිනක ඔබගේ ස්වාමියා (අල්ලාහ්) ඉදිරියේ පෙනී සිට ඔබගේ (මෙලොව) ක්‍රියාවන් සම්බන්ධයෙන් පිළිතුරුදීමට සිදුවෙනු ඇත…” යන අවවාදය. (මෙම සම්පූර්ණ දේශනය මෙම අඩවියේ “මුහම්මද් (සල්) තුමාණන්ගේ අවසාන දේශනය” කියවීමට හැක.)

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ලොව ජාතීන් අතර පවතින විවිධත්වයත්, ජන සමාජ අතර පවතින විවිධත්වයත් එකින් එකා උස්-පහත් යැයි සලකනු පිරිස නොව ඔවුන් එකින් එකා හදුනාගැනීම පිණීස හා විවිධත්වය තුල එකමුතුව ගොඩනඟා ගැනීම පිණිසයි. නිර්මාණය කරන ලද තත්වයන්ය. එය ශුද්ධ වූ කුර්ආනය ඉතා අලංකාර ලෙස පවසන අතර එම වාක්‍යය බුද්ධිමත් ජනයාගේ විමසුමට තබමින් මෙම ලිපිය අවසන් කරමි.

මනුෂ්‍යයනි!, අපි නුඹලා ව එකම එක පුරුෂයෙකුගෙන් හා ස්ති‍්‍රයකගෙන් නිර්මාණය කළෙමු. පසුව නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පරිවර්ථනය කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පාත්‍ර වූ තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න තැනැත්තාය.

ශුද්ධ වූ කුර්ආනය 49-13

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම