ආගම් අපහස කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ අප ගෙවමින් සිටින්නේ වෙන කවරදාකටත් වඩා ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා යන විපරීත වූ වකවානුවකි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ මිනිස් සමාජයට යහමග පෙන්වීම හා ඔවුන්ව අධ්‍යාත්මිකව දියුණු කිරීම තම මෙහෙවර කරගත් ආගමික පූජකවරුන් හා නායකයින් ද ඉහත තත්වයට ගොදුරක් වී සිටීමයි. මෙහි ඛේදනීයම තත්වය වන්නේ සාමාන්‍ය පොදු ජනතාවට වඩා මෙම පූජකවරුන් සහා ආගමික නායකයින් පෙරමුණගෙන සිටීමයි.

මෙසේ "ජනප්‍රියත්වය" හා "මුදල්" මූලික ඉලක්කය කරගත්, ඉහත කී "ආගමික නායකයින් සහ පූජකයින්" තම අරමුණු ලඟකර ගැනීම පිණිස භාවිතා කරන ජනප්‍රිය තුරුම්පුව “අන්‍ය ආගම් අපහසයට හා උපහාසයට ලක්කිරීමයි”. මෙය ජාත්‍යන්තරය තුල ද නිතර අසන්නට හා දකින්නට ලැබෙන අතර ජාත්‍යන්තරයට නොදෙවැනි ලෙස දැන් දැන් අප රට තුල ද මෙය නිතර අසන්නට හා දකින්නට ලැබේ. මෑත කාලීනව අප සමාජයේ ජනප්‍රිය වූ එවැනි පුවත් සිරස්තල කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

ඉහත සිරස්තල කියවන ඔබ තුල මෙම සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන චරිත මේ සමාජය තුල ක්‍රියාකල සහ ක්‍රියාකරන ආකාරය කෙසේද? යන්න පිලිබදව හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. ඔවුනට තම සමාජය තුල ඇති පිලිගැනීම නොඑසේ නම් ජනප්‍රියත්වය, ඔවුන් ගෙවන සුඛෝපභෝගි ජීවිතය, ඔවුන් භාවිතා කරන යාන-වාහන (මේ අතර සමහරක් පූජකවරුන් ජනතාව අතර ජනප්‍රිය වී ඇත්තේ ඔවුන් භාවිතා කරන වාහනයේ නමිනි. උදාහර්ණයට “V8”) මේ සියල්ල ඔවුන්ගේ ඉහත කී පටු න්‍යායපත්‍රය මනාව පිළිබිඹු කරන්නකි.

මෙවැනි පිරිස සමාජය තුල හදුනා ගැනීම එතරම් දුෂ්කර කාරණයක් නොවේ. ඔවුන්ගේ පොදු ලක්ෂණය නම්, මොවුන් බොහෝ විට දේශපාලඥයින්ගේ වරදාන, වරප්‍රසාද සහ ආශිර්වාද ලබන, ඉතා සියුම්ව සමාජය තුල ක්‍රමන්ත්‍රණ සැලසුම් කොට හිටී හැටියේ මතු වී සමාජය තුල ජාතිවාදය, ආගම්වාදය ඇති කොට සමස්ථ සමාජයම අවුල්වියවුල් තැනකට පත්කොට ඔවුන් යහපත්, ගුණවත් චරිත ලෙස නැවත පෙනී සිටීන චරිත වේ. මෙවැනි පිරිස් නිසි ලෙස හදුනාගන්න තරම් සමාජය බුද්ධිමත් වියයුතුය. නමුත් මානව හිතවාදී විඥානයක් නැති අප රටේ බහුතර ජනතාව තවමත් ජාතිවාදයට හා ආගම්වාදයට ආවඩයි. මෙම තත්වය මා ඉහත කී කුමන්ත්‍රණකරුවන් සමාජය තුල තම පටු න්‍යායපත්‍ර ක්‍රියාවට නංවා ලෞකික දිවිය සාර්ථක කරගැනීමට ආශිර්වාදයක් කරගෙන ඇත.

ආගම දහමට අපහස කිරීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය මීට පෙර ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් දහමේ ස්ථාවරය යන ලිපිය තුලින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. නමුත් අවාසනාවකට අප රටේ ජනතාව එකසේ බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කරන ජනතාවක් නොවන බව ඕනෑවටත් වඩා මේ සමාජය තුල ඔප්පු කොට පෙන්වා ඇත. “හාමුදුරුනමක් අපවත් කලා” යැයි බොරු ප්‍රචාරයක් පතුරුවා අලුත්ගම නටපු නාඩගම හා කල විනාශය මෙයට කදිම නිදසුනකි. මෙවැනි සමාජයක් තුල රටේ නීතිය තදින්ම ක්‍රියාත්මක වියයුතු යන්නෙහි විවාදයක් නැත. එසේම “ජෙරම්” සහ “නටාෂා” සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක වියයුතු බවට බෞද්ධ සමාජයෙන් ද ඉල්ලීමක් ඇත. ඔවුන් සම්බන්ධයෙන් නීතිය තදින් ම ක්‍රියාත්මක වන ආකාරයක් ද දක්නට ඇත. මෙය ඉදිරියටත් මේ ආකාරයටම ජාති ආගම් භේදයකින් තොරව සාධාර්ණව “තදින්” ක්‍රියාත්මක වියයුතු යන්න යහමග පැතුමයි.

එවැනි සාධාර්ණ වූ සමාජයක් මේ පොළොව මත බිහිවේවා! යන පැතුමින් ද, ඉහත කී කුමන්ත්‍රණකාරී බැටළු හම පොරවාගත් වෘකයන් හදුනාගෙන ඔවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීමට මේ සමාජයට නුවණැස පෑදේවා! යන පැතුමින් ද මේ කෙටි සටහන අවසන් කරමි.


ආගම් අපහාස කිරීම සම්බන්ධයෙන් සමාජ කථිකා - මේ දිනවල රටේ උණුසුම් කථිකාවක් වී තිබෙන්නේ ආගම්වලට අපහස කිරීම සහ ඒ තුලින් සමාජය තුල ජාතිවාදයක් මතු කිරීමට උත්සාහ කිරීම යන්නයි. මේ පිලිබදව විවිධ මාධ්‍යයන් තුල සිදුවූ සංවාද මෙහි පෙලගැසේ...

ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද?

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය.

ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුව දක්‍ෂ බව කී මන්ත්‍රීවරයා පසුගිය සති දෙකම තුන තුළම ජනතාව නිරන්තරයෙන් ෆාස්ටර් ජෙරම්, ෆාර්ටර් චාල්ස් සහ නතාෂා ගැන කථා කළ බව ද සඳහන් කළේය.

මිනිස්සු බඩු මිල ගැන කථා කිරීම අඩු කරලා ෆාස්ටර් ජෙරම්ට දඩුවම් දෙන විදිය කථා කරන අතරම නතාෂා හිරේ දානවාද යන්න පිළිබඳව ද අවදානයෙන් ජනතාව සිටින බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඒ අය කරන ක්‍රියාව හරහා ජනතාව එදිනදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අමතක කර ඇති බවත්ය.

බදුවලට, විදුලිබිලට එරෙහිව සහ ඡන්ද කල්දැමීමට එරෙහිව ජනතාව ක්‍රියානොකරන නිසා ආණ්ඩුවට ඡන්ද කල්දාන්න උදව් කළ කෙනෙක්ට උතුරේ ආණ්ඩුකාරවරයා තනතුර දී ඇති බවත් අරගලයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් බවත් ඒ මහතා කීය.

අරගලයේ ක්‍රියාකාරිව සිටි වෙනත් කිසිවෙක් ජයග්‍රහණය කර නොමැති බවත් එහි විශාල කාර්යක් කළ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ දරුවෝ ජය නොලැබූ අතර එහි හිටපු කැඳවුකරු වසන්ත මුදලිගේ මාසෙන් මාසට හිරේ යවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙරට මෑත ඉතිහාසයේ කිසිදිනක නැති ආකාරයට බරපතල ගණයේ අපරාධ කල්ලි නැවත එළියට පැමිණ ඇති ඇති බව කී ඒ මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයන් 19 ක් මණයට පත්වී ඇති බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය හෝ ජනාධිපතිවරයාව සිටියදී පාතාලය හිස එසවීම සාමාන්‍ය තත්වයක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් කීය.

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) එසේ පැවසීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-/101-633920

ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටෙි තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවෙියැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇත.

අදාල බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට අද (29) උපදෙස් දෙනු ලැබූවේ පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවෙි එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමෙිදීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිදියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර එ්වා වලක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙන්නේ ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-633911

සද්ධා රතන හිමි රිමාන්ඩ්

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F-%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-633916

නතාශා එදිරිසූරිය රිමාන්ඩ්

ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%81%E0%B7%8F-%E0%B6%91%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/1-633868

ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක්

ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-633860

බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇතැයිද තොරතුරු අනාවරණයවී ඇති බව පැවසූ අමාත්‍යවරයා ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට යටවී මෙලෙස කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමටද පියවර ගන්නා බව සඳහන් කළේය.


https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/1-633989

ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ

ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාිවෙන් විවිධ අරමුණු සහිත පිරිස් සම්බන්ධයෙන් අවධානය යොමුකර බවද ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිවන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය කාලයේ ජනතාව දරුණු ආර්ථික අර්බුද වලට මුහුණ දුන් බවත්, එම දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවද අමාත්‍යවරයා කීය.
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%89%E0%B6%A9-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90/1-633991

බෞද්ධයනට නිගාව දේශපාලන ජවනිකාවක්

ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ.

බෞද්ධාගම ප්‍රමුඛ අනකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුලුල් විනිවිධ පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ එසේ කීහ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%A2%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-634045

ආගම් ප්‍රශ්නය ආරක්ෂාවටත් ගැටළුවක්

ආගම්වලට අගෞරව පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවත්, විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම කීය.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු,සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හටගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත්, කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත්, නීතිය පරිබාහිරව යම් කිසි පුද්ගගයකු ඒ ආකාරයේ ප්‍රකාශ සිදුකරන්නේ නම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 https://www.lankadeepa.lk/news/%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-634126

ජාති - ආගම් බේද මවන අමනයන් පිටුදකිමු

අප රට එක් අතකින් කෙතරම් අවාසනාවන්ත දැයි කියතොත්, එක් බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරමින් සිටින විට, රට ළඟින් යන නැවක් හෝ ගිනි ගනී. මේ දිනවල ද එබඳු ගින්නක් අප රට තුළ ඇවිළී තිබේ. එම ගින්න නම්, ආගම්වලට පරිභව කිරීමේ ප්‍රවණතාවකි. බහුතරක් ජනයා අතිශයින්ම ශිෂ්ට සම්පන්න වන හෙයින්, එම අකල් ගිනි මහා ගිනි ජාලා බවට පත් නොවේ. සිදු විය යුත්තෙත් එයමය. එහෙත්, කුඩා ගිනි පුපුරකින් මහා ගිනි ජාලාවක් මැවිය හැකි බව අවධාරණය විය යුතුය.

‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යැයි මාක්ස් ලියා තැබුවේය. එක් ජාතියක් තවත් ජාතියක් පීඩාවට පත් කිරීමේ නියත ප්‍රතිඵලය මාක්ස් විවරණය කළේ එසේය. ඉහත කියමන ආගම් සම්න්ධයෙන් වුව ද මනාව ගළපාගත හැකිය. ආගම් සම්බන්ධ ගැටුම්වලට අදාළ උදාහරණ අප රටෙන් ද අසල්වැසි ඉන්දියාවෙන් ද ලෝකයේ තවත් බොහෝ රටවල්වලින් ද ලබාගත හැකිය. යූටියුබ් අම්බරුවන්ට මේවා තේරුම් ගැනීමට සමත් මොළයක් ඇතැයි අපි නොසිතමු. මංචාඩියක් තරම් මොළයක් මේ අම්බරුවන්ට තිබුණේ වී නම්, ප්‍රසිද්ධියේ මෙසේ ආගම්වලට පරිභව නොකරනු ඇත.

ආගම්වලට පරිභව කළ යූටියුබ් අම්බරුවන් ගැන ඇතැමකු කියා සිටියේ, මොවුන් යූටියුබ් ගණිකාවන් බවය. එහෙත්, එම කියමන සමග අපි එකඟ නොවෙමු. මන්දයත්, ගණිකාවන් තම ශරීරය මිස ආධ්‍යාත්මය නොවිකුණන බැවිනි. මෙම යූටියුබ් අම්බරුවන්ට විකිණීමට හෝ ආධ්‍යාත්මයක් නැත. ‘‘ආධ්‍යාත්මය පැහැරුණු පුද්ගලයාට රැක ගැනීමට කිසිවක් නැතැයි’’ කියමනකි. ජාතිය, ආගම, සභ්‍යත්වයට ගරහමින් මෙම අම්බරුවන් ඩෙඟා නටන්නේ එහෙයිනි.

තිස් වසරක් පුරා පැවැති යුද්ධයේ කටුක අත්දැකීම් අපට තවමත් මතකය. රණවිරුවෝ දහස් ගණනක් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පරිත්‍යාග කරමින් ඒ සැහැසි ග්‍රහණයෙන් අප රට මුදාගත්හ. මේ රට යළිත් එබඳු නරකාදියකට ඇද දැමීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. එබන්දන් අල්ලා ගස් බැඳිය යුතුය. ජාතික සමගියත්, ආගමික සංහිඳියාවත් අපගේ ශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය වේ. එයට එරෙහිව විවිධ මාදිළියෙන් හා විවිධ වර්ණයෙන් කරළිගත වන ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරාතිරම් බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ, ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවය.

ස්වයං විනයකින් යුතුව කටයුතු නොකරන්නේ නම්, ඔවුන් නීතියේ රැහැනින් බැඳ දැමිය යුතුය. මෙම යූටියුබ් අම්බරුවන්ට රට, ජාතිය, ආගම දහම ගැන ගෞරවයක් නැත. එමෙන්ම, මෙම අම්බරුවන් සතුව නීතියට භයක් මෙන්ම ගෞරවයක් ද නැත. තමන්ගේ අවිචාරවත් මනස්ගාත වමාරමින් ආගම දහමට පරිභව කරන්නේ එහෙයිනි. ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම අතිශයින්ම කාලෝචිත මෙන්ම වැදගත් වන්නේ එහෙයිනි.

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පසුගිය කාලය පුරා රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවේ යැයි කියන ජනාධිපතිවරයා, ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව අවශ්‍ය කඩිනම් තීරණය ගෙන ඇති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

අදාළ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට උපදෙස් දී තිබෙන්නේ, පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසය.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී, ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහ කිරීමක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරෙහි සඳහන්ව ඇති බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙම ප්‍රවණතාව රටේ සාමකාමී පැවැත්මට මාරාන්තික බව ඉතා පැහැදිලිය. පිස්සු බල්ලන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම නොකළ යුතුය. එපරිද්දෙන්ම, මෙම උමතු පිරිස් ගස් බැඳිය යුතුය. එය සාමකාමී හා සහජීවනයෙන් පිරීගත් රටක් සම්බන්ධ අපේක්ෂාවෙන් යුත් සියල්ලන්ගේම ඉල්ලීමය.

https://www.lankadeepa.lk/editorial/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92---%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94/117-634133

සෝභිත හිමි හඬ අවදි කරයි කාදිනල් හිමිගෙත් බලවත් විරෝධය රාජාංගනේ හිමි කියන්නේ කවුද ? සියල්ල හෙළිවෙයි ?

නතාශා - බෲනෝ යළි රිමාන්ඩ්

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු අනාවරණය වන බැවින් සහ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම දෙවැනි සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%81%E0%B7%8F---%E0%B6%B6%E0%B7%B2%E0%B6%B1%E0%B7%9D-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-634401

දේවගැති ජෙරම් අත්අංගුවට

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙවන දිනටත් ප්‍රකාශ ලබාදීමට අද (1) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඊයේ (30) දිනයේ ද මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එනම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.

. දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබියදි ඔහු ඉකුත් මැයි මස 16 දින පවුලේ අය සමග දිවයින්නේ පිටත් ව ගොස් .තිබුණි.

එසේ ගොස් මාස 6 පසුව ඔහු ඉකුත් (29) අලුයම යළිත් දිවයිනට පැමිණියේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-643847

විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් "ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය .

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) තුන වගන්තිය ගැනෙන වරදක් බවට අනාවරණය නොවන හෙයින් සැකකරුට ඇප ලබාදෙන බවට සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට දන්වා සිටියේය .

සැකකරුට එරෙහිව මුදල් විසුද්දී කරන පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ බැංකු ගිණුමට පසුගිය මාස 10 ඇතුළත රුපියල් මිලියන තුනක මුදලක් බැර වී ඇති බවට සඳහන් කළේය .

සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය .

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290,291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමි දෙසැම්බර් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%87%E0%B6%B4/101-645848

බෞද්ධාගමට නිගා කළ තව අයෙක් මාට්ටු

මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජනයා හා බෞද්ධයන් අතර කැළඹීමක් හෝ ගැටුමක් ඇතිවිය හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව සැකකරු ඊයේ25 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AD%E0%B7%80-%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94/1-646731

විශ්ව බුද්ධි පෙර ඇප මත මුදා හරී

රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී රොෂාන් රණසිංහට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරු පෙර ඇප මත මුදා හැරීමට අද (29) නියෝග කළේය.

බුදු දහමට , සංඝයා වහන්සේලාට නිගා වන වීඩියෝ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන විවේචනය කරන ප්‍රකාශ කළහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරමින් දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

සැකකරුට ඇප ලබාදීමේදී ඇප කොන්දේසියක් ලෙස මෙවන් වැරදි නොකරන ලෙසට නියෝග කර නොතිබූ හෙයින් සැකකරු එය උපයෝගී කර ගනිමින් යළි යළිත් අපහාසාත්මක වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමෙන් සිටින බව දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේය.

දිලිප පීරිස් මහතා මෙසේද පැවසීය.

රණසිංහ ආරච්චිලාගේ රොෂාන් මේනක රණසිංහ නම් මොහු 1998 උපත ලබා ඇති අතර 2019 වසරේදී කොලූපිටියේ අවරකීර්ති යන නමින් පැවිදි දිවයට පිවිසිලා තියෙනවා.එම වසරේදීම සිවුර හැර දමා සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇති සැකකරු යළි ලංකාවට පැමිණ රාමඤ්ඤ මහා නිකායේ පැවිදි භාවය ලබාගෙන තිබෙනවා.2020 වසරේ ජනවාරි මාසයේදී මොහුගේ ගිණුමට රුපියල් විසිපන් ලක්ෂ අනු දෙලක්ෂයක මුදලක් බැර වී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙනවා.මොහුට විරුද්ධව නඩු කටයුත්තක් ආරම්භ වූ බැවින් ගිණුම්වල මුදල් යළි ලබාගෙන තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ද අල්විස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රාමඤ්ඤ මහා නිකාය මගින් පසුගිය දහවෙනි දිනයේ සිට ඔහුගේ පැවිදි භාවය අහෝසි කර බවට දැනුම් දී ඇති බවය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න මහතා, පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද තිබ්බොටුවාව මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියේය.

බෞද්ධ ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් සැකකරුට එරෙහි නඩුව මාර්තු 28 වෙනි දින කැඳවීමට නියමිතය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%87%E0%B6%B4-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B7%84%E0%B6%BB%E0%B7%93/1-646873

ඥානසාර හිමි වසර හතරක් හිරගෙට

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය.

කූරගල විහාරස්ථානය සම්බන්දයෙන් කළ කතාවකින් ජාතීන් අතර අසමගිය ඇති කළේයැයි කියන චෝදනාව මත නීතිපතිවරයා විසින් කළ චෝදනාවට විනිසුරුවරයා අදාල දඬුවම් පැමිණවීය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%A5%E0%B6%B1%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A-%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%A7/1-649846

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම විසි වෙයි

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (02) ප්‍රතික්‍ෂෙප කළේය.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂි නැතැයි උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක දඩයකටද මීට පෙර අවස්ථාවක යටත් කෙරිණී.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී පැවති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගමික සංහිඳියාවට හානි කළ බවට ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් චෝදනා දෙකටම වරදකරු කොට විනිසුරුවරයා ඔහුට අදාළ දඬුවම් නියම කෙරිණී.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%A5%E0%B6%B1%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%B8%E0%B6%9C-%E0%B6%87%E0%B6%B4-%E0%B6%89%E0%B6%BD%E0%B6%BD%E0%B6%B8-%E0%B7%80%E0%B7%83-%E0%B7%80%E0%B6%BA/1-650091

ඥානසාර හිමිට ‘ජම්පරය’ට සමාන ඇදුමක්

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර සිරකරුවෙක්ට සුදුසු බන්ධනාගාරයෙන් දුන් ඇඳුමක් ඇඳ සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ඇඳුම සිරකරුවන් අඳින ‘ජම්පරය’ට සමාන සුදු පැහැති එකක් බවත් එය බන්ධනාගාර නීති රීතිවලට පටහැනි නොවන ඇඳුමක් බවත් එම නිලධාරියා කීය.

https://www.lankadeepa.lk/news/%E0%B6%A5%E0%B6%B1%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%B8%E0%B6%A7-%E0%B6%A2%E0%B6%B8%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B7%83%E0%B6%B8%E0%B6%B1-%E0%B6%87%E0%B6%AF%E0%B6%B8%E0%B6%9A/101-650242%7CDiscussion]]


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/06/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම