ඉස්ලාම් දහම

From Yahamaga


  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහම යනු කුමක්ද?, එය අවබෝධ කරගන්නේ කෙසේද?. ධර්මිෂ්ඨ ජීවිතයක් යනු කුමක්ද?, මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද?. මොලොව යහපත් දිවියක් ගොඩනඟා ගන්නේ කෙසේද?. පරලොව විමුක්තිය සදහා අප කලයුත්තේ කුමක්ද?. මෙවැනි පැනයන් රාශියක් අප ඉදිරියේ ඇත. මේ සියළු පැනයන් සදහා වූ මූලික දැනුම පෙලගැසීම මෙම පිටුවෙහි අරමුණයි. ඒ අනුව ඉස්ලාම් දහමේ දැනුම් පද්ධතිය ව්‍යූහාත්මකව පෙලගැසීම මෙතැන් සිට ඉදිරිපත් කරමි.

ඉස්ලාම් දහම

'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, 'අවනත වීම' සහ 'සාමය' යන්නයි. සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම 'ඉස්ලාම්' නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

මේ පිලිබදව වැඩිදුර කරුණු ඉස්ලාම් යනු කුමක්ද? යන ලිපිය තුලින් කියවන්න

විශ්වාස/පිලිපැදීම/ඇදහිල්ල

ඉස්ලාම් දහමේ මට්ටම් තුනක් පිලිබදව මුහම්මද් (සල්)තුමාණන් මුස්ලීම් සමාජයට දේශනා කොට ඇත.එනම්, "ඊමාන්", "ඉස්ලාම්" සහ "ඉහ්සාන්" එම ව්‍යූහයයි. මේ පිලිබදව කථා කරන හදීස් ජිබ්රීල් නම් අල්හදීසය එයට එක් නිදසුනකි. මේ පිලිබදව වැඩිදුර කරුණු පහතින් විස්තර කෙරේ...

ඊමාන්

ඉස්ලාම් දහම මූලික විශ්වාසයන් 06 ක් මත ගොඩනැඟී ඇත. එනම්, දේව විශ්වාසය, දේවපුස්තක විශ්වාස කිරීම, පෙරනියම (කද්ර්) විශ්වාස කිරීම, මලාඉකාවරුන් විශ්වාස කිරීම, වක්තෘවරුන් විශ්වාස කිරීම, විනිශ්චය දිනය විශ්වාස කිරීම, එම විශෟවාසයන් හයයි. මෙම විශ්වාසයන් නිසිලෙස පිලිගත් තැනැත්තා "මුස්ලීම්" වේ.

මේ පිලිබදව වැඩිදුර කරුණු ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති යන ලිපිය තුලින් කියවන්න.

දේව විශ්වාසය

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලීම්වරයෙකුම විශ්වාස කලයුතු මූලික කරුණූ 06 අතුරින් ප්‍රධාන හා එහි පලමු තැන මිහි වන්නේ ‘අල්ලාහ්’ දෙවියන් පිලිබදව වූ විශ්වාසයටයි. ඉස්ලාම් පවසන දේව සංකල්පය ලොව අනිකුත් ආගම් හා සමාජ සම්ප්‍රදායන් තුල පවතින දේව සංකල්පයන්ට වඩා සහමුලින් වෙනස් වූ ආකාරයේ එකකි. එනම් ඉස්ලාම් දහම පවසන දෙවි "සර්වබලධාරිය". මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.

මලාඉකාවරුන් විශ්වාස කිරීම

ඉස්ලාම් දහමේ මූලික විශ්වාසයන් අතර දෙවැනි තැන හිමි වන්නේ දේවදූතයන් (මලාඉකාවරුන්)' හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව වූ විශ්වාස කිරිම යන්නටයි. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.

දේවපුස්තක විශ්වාස කිරීම

අල්ලාහ් දෙවියන් පිලිබදව හා ඔහුගේ දේවදූතයන් පිලිබදව විශ්වාස කරන මුස්ලීම්වරුන් මිළඟට විශ්වාස කලයුතු ප්‍රධාන කාරණය නම්, එම දූතයන් මඟින් ප්‍රකාශ වූ 'දේවපුස්තකය' විශ්වාස කිරීමයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලොව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හට 'අල්කුර්ආනය' ප්‍රකාශ වුවද එතුමාණන්ට පෙර පැමිණි වක්තෘවරුන් හටද එවැනි දේව පණිවුඩ ප්‍රකාශ වී ඇත. මෙය ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුල සවිස්තරාත්මක ලෙස පවසයි. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.


වක්තෘවරුන් විශ්වාස කිරීම

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. ඉස්ලාම් දහමේ ද එවැනි පිරිස් පිලිබදව සදහන් වන අතර මෙම පිරිස ඉස්ලාම් දහම "නබිවරුන්" හෙවත් වක්තෘවරුන් ලෙස හදුන්වයි. ශාස්තෘවරුන් පිලිබදව ඉස්ලාම් දහම තුල ද සදහන් වන අතර ඒ අතුරින් වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට ප්‍රධාන තැනක් හිමි වේ. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.


විනිශ්චය දිනය විශ්වාස කිරීම

අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව හා ඒ මත ජීවත් වන මිනිසුන් ඇතුළු සියළු ජීවීන්, ගස් කොළන්… ඇතුළු සියළු දේ කිසියම් දිනක දෙවියන් විසින් විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවියන් පමණි යනුවෙන් විශ්වාස කිරීම ඉස්ලාමීය තවත් විශ්වාසයකි. මෙසේ සියල්ලෙ හි විනාශය විශ්වාස කරන මුස්ලීම්වරයා ඒ සමඟම විශ්වාස කලයුතු තවත් කාරණයක් ඇත. ඒ සියල්ල විනාශ වීමෙන් පසුව යලිත් වරක් මිනිස්සුන් නැගිට්ටුවා ඔවුන් (මෙලොව දී කල දෑ වෙනුවෙන්) විනිශ්චය කරන බවයි. ඒ විනිශ්චයට අනුව යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් පිරි නිරයද ලබාදීම සිදුවන බව විශ්වාස කිරීම තවත් මූලික විශ්වාසයකි. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.


පෙරනියම (කද්ර්) විශ්වාස කිරීම

මෙම විෂය ඉහත විශ්වාසයන් 05 ට වඩා තරමක් සංකීර්ණ මිනිස් බුද්ධියට පහසුවෙන් අවබෝධ කරගත නොහැකි විශ්වාසයකි. එය සරලව පවසනවා නම්, ‘අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ පෙර සැලැස්මට අනුව සිදුවන බවට විශ්වාස කිරීමයි.‘ මෙම දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. ඉස්ලාම් දහම තුල බොහෝ කරුණූ සදහා තර්කානුකූල විග‍්‍රහ ලබාදීමේ හැකියාව පැවතුණ ද එවැනි විග්‍රහ ලබාදිය නොහැකි කරුණූ කිහිපයක්ද? ඇත. එවැනි එක් විෂයක් වන්නේ 'දෛවය' පිලිබදව ඉස්ලාමීය විග්‍රාහයයි. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.

ඉස්ලාම්

ඉස්ලාම් දහම ප්‍රධාන කුළුණු පහක් මත ගොඩනැඟී ඇත. එනම්, කලිමාව පිලිගැනීම, සලාත් නම් නැමදුම, උපවාසය රැකීම, සzකාත් නම් බද්ධ, හජ් වන්දනය යන්න එම කුළුණු පහයි. මෙම මූලික ආගමික පිළිවෙත් 05 පිළිපදින්නේ නම් මිස කිසිම මුස්ලිම්වරයෙකුට අධ්‍යාත්මිකව ඉදිරියට යා නොහැක.

මේ පිලිබදව වැඩිදුර කරුණු ඉස්ලාම් හි මූලික වගකීම් යන ලිපිය තුලින් කියවන්න.

කලිමාව පිලිගැනීම

‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න ‘කලිමාව’ යන්නයි. මෙය හඳවතින්ම පිලිගෙන මුවින් පැවසීමත් සමඟ ඔහු හෝ ඇය ‘මුස්ලීම්’ බවට පත්වේ. එම කලිමාව කුමක්ද? යන්නත්, ඒ පිලිබදව වූ ඉස්ලාම් දහමේ කොන්දේසි පැහැදිලි කිරීමන් මෙහි පහතින් කියවීමට පුළුවන.

සලාත් නම් නැමදුම

‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පළමුවැන්න වන ‘කලිමාව’ පිලිගෙන පැවසීමත් සමඟ තවත් වගකීම් 04 ක් මුස්ලීම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වේ. එයින් ප්‍රධාන එක වන්නේ 'සලාතය' නම් 'දෛනික පස්වේල් දේව නැමදුමයි'. මෙම සලාතාය යනු කුමක්ද?, එය ඉටු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් නීති-රීති හා කොන්දේසි මොනවාද?... යන කරුණු පහතින් පෙලගසා ඇත.


උපවාසය රැකීම

‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් තෙවැන්න ‘උපවාසය’ යන්නයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු වාර්ෂික උදාවන උපවාස මාසයේ මාසය පුරාවට උපවාසයේ නිරතවීම අනිවාර්‍ය වගකීම වේ. මෙම උපවාසය සම්බන්ධ නීති-රීති මොනවාද?, එය ඉටු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඇති කොන්දේසි මොනවාද?... යන කරුණු පහතින් පෙලගසා ඇත.


සzකාත් නම් බද්ධ

‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් හතරවැන්න ‘සzකාතය’ යන්නයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු තමන් උපයන මුදල සදහා බද්ධ ගෙවීම ඉස්ලාම් දහම අනිවාර්‍ය කරයි. එම බද්ධ ඉස්ලාම් දහම ‘සzකාත්' බද්ධ යනුවෙන් හදුන්වන අතර එය මුස්ලීම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වගකීම වේ. මේ අනුව එම බද්ධ නිසි ලෙස ඉටු කරන්නේ කෙසේද?, එම බදු මුදල් බෙදාදෙන්නේ කවර අනුපාතයකින් කාටද?, වැනි නීති-රීති සහ කොන්දේසි මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පහතින් කියවන්න.


හජ් වන්දනය

‘ඉස්ලාම්’ පවසන අනිවාර්‍ය හා මූලික වගකීම් 05 අතුරින් පස්වැන්න නොහොත් අවසාන වගකීම වන්නේ ‘හජ්’ නැමදුමයි. ‘කලිමාව’ පිලිගෙන දෛනිකව පස්වේලක් අනිවර්‍යයෙන් 'සලාතය' ඉටු කරන මුස්ලීම්වරයෙකු උපවාස මාසයේ 'උපවාසයේ නිරත වී තමන් උපයන මුදල සදහා 'සzකාතය' ද නිසි ලෙස ගෙවා තමන්ට මක්කාවට ගොසින් 'හජ්' නැමදුම ඉටු කිරීමට හැකියාව ඇත්නම් එම 'හජ්' වගකීම ඉටු කිරීම අනිවර්‍ය වේ. මෙම 'හජ්' වන්දනය සම්බන්ධයෙන් නීති-රීති සහ කොන්දේසි මේ යටතේ සාකච්චා කෙරෙන අතර එම සාකච්චා පහතින් කියවන්න.

ඉහ්සාන්

“ඉහ්සාන්” යන්නට ආගමික විග්‍රාහය වන්නේ, මුස්ලීම්වරයෙකු (කිසියම් ක්‍රියාවක නියැලෙන විට) අල්ලාහ් (දෙවි) අප ඉදිරියේ සිටිනවා යැයිද, අප ඔහුව දකිනවා යැයිද සිතා එම ක්‍රියාවේ නියැලීමයි. මෙහිදී අප ඔහුව නොදැක්කාත්, ඔහු අපව දකින බව විශ්වාස කලයුතු අතර එම විශ්වාසයෙන් යුතුව තම ක්‍රියාව අවංකව, පරිපූර්ණත්ව, (ඡේතනාව)යහපත්ව සහ (ආගමික ආදර්ශ පිලිපැද) නිවැරදිව දහමේ මඟපෙන්වීම අනුව විශිෂ්ඨ අන්දමින් එය ඉටු කිරීම "ඉහ්සාන්" වේ.

මේ පිලිබදව වැඩි විස්තර ඉහ්සාන් යනු කුමක්ද? යන ලිපිය තුලින් කියවන්න.


මූලාශ්‍ර

කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නට අදහස් කරන්නේ නම්, එය වත්මන් මුස්ලීම් සමාජය දෙස බලා හෝ ඇසූදුටූ කරුණූ පදනම් කරගෙන කල නොහැක. එයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය සහා අල්හදීසය පරිශීලනය කිරීම අත්‍යාවශ්‍ය වේ. මේ දෙකෙන් පරිභාහිර වෙන කිසිවක් තුලින් ඉස්ලාම් දහම අවබෝධ කරගත නොහැක. මේ පිලිබදව සවිස්තරව පහතින් කියවීමට පුළුවන.


අල්කුර්ආනය

‘අල්කුර්ආනය’ යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ "මුහම්මද්" (සල්) නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයකි. මෙය වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අණපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදියෙහි එකතුවකි. මෙය ප්‍රකාශ වූ මොහොතේ ම ලේඛණ ගත වූ ග්‍රන්ථයකි. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරුණු පමණක් වන බැවින් එය ‘ශුද්ධ වූ කුර්ආනය’ යනුවෙන් හදුන්වනු ලැබේ. මේ පිලිබදව වැඩිදුර කරුණු පහතින් කියවීමට පුළුවන.

අල්හදීස්

අල්කුර්ආනය මඟින් ප්‍රකාශ වූ දේව නියෝග දේවවක්තෘ මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමාජය හමුවේ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා පෙන්වීම් ඒකරාශි කොට සැකසූ ග්‍රන්ථය "අල්හදීස්" නම් වේ. මෙයත් දිව්‍යමය මඟපෙන්වීමක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මේ පිලිබදව වැඩිදුර කරුණු පහතින් කියවීමට පුළුවන.


වෙනත් මූලාශ්‍ර

ඉහතින් සදහන් ඉස්ලාමීය මූලාශ්‍රයන් දෙක වන අල්කුර්ආනය සහ අල්හදීසයට අමතරව කිසිදු මූලාශ්‍රයක් ඉස්ලාම් දහම තුල නැත. මුස්ලීම් සමාජය තුල විවිධ නම්වලින් වෙනත් මූලාශ්‍ර තිබුණත් ඒ කිසිවක් ඉස්ලාම් නොවේ. මන්ද ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීමන් මත ගොඩනැඟුනූ දහමක් වන බැවිණි.

මිනිසුන් වර්ග

ඉස්ලාම් දහමෙහි ඉගෙන්වීම අනුව මිනිස් සමාජය විවිධ කොටස්වලට ගොනු කරයි. එනම්, මුස්ලීම්, මූමීන්, මුර්තද්, මුනාෆික්, මුෂ්රික්, ජාහිලියත්... එවැනි කිහිපයකි. ඉස්ලාම් ආගමික විශ්වාස හා පිලිගැනීම් හි තත්වය අනුව මුස්ලීම් සමාජය ද කොටස් කිහිපයකට ගොනු කොට ඉස්ලාම් කථා කරයි. ඒ පිලිබදව වැඩි විස්තර පහතින් ඉදිරිපත් කෙරේ...

මුස්ලීම්

මුස්ලිම් (Muslim) යනු ඒකදේව සංකල්පය හා මුහම්මද් (සල්) තුමාණන් ගෙන ආ දහම පිලිගෙන එයට අනුව ජීවත් වන පිරිස මෙලෙස හැදින්වේ. මොවුන් අල්කුර්ආනය දෙවියන්ගේ වචනය ලෙසත්, අල්හදීසය මුහම්මද් (සල්)තුමාගේ ඉගැන්වීම ලෙසත් පිලිගනිති. මෙම ‘මුස්ලිම්’ යන අරාබි වචනයෙන් ‘ඉදිරිපත් කරන්නා’ යන තේරුම ලබාදෙයි.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මූමීන් සහ මුස්ලීම් යන ලිපිය කියවන්න.

මූමීන්

මුමින් (Mumen) යනු අල්කුර්ආනයේ සහ අල්හදීසයේ නිතර නිතර සදහන් වන අරාබි වචනයකි. එහි අර්ථය ‘ඇදහිලිවන්තයා’ යන්නයි. අල්ලාහ් (දෙවි)ට පූර්ණ ලෙස අවනත වී ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් ජීවත් වන තැනැත්තා ‘මූමීන්’ ලෙස එසේත් නැත්නම් ‘පරිපූර්ණ මුස්ලිම්වරයෙක්’ ලෙස හැදින්වේ.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මූමීන් සහ මුස්ලීම් යන ලිපිය කියවන්න.

මුනාෆික්

ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත් එරෙහිව විවිධ කුමණ්ත්‍රණයන් ක්‍රියාත්මක වන අවස්ථාවල එම කුමණ්ත්‍රනකරුවන් හා කරට කර හිඳ ඉස්ලාමයට හා මුස්ලීම්වරුන්ට එරෙහිව කුමණ්ත්‍රන කරන මුස්ලීම් නම්දරයන් නොහොත් ‘කුහකයින්’ (අරාබි බසින් ‘මුනාෆික්වරුන්’ යන්න සිංහල බසින් ‘කුහකයින්’) ලෙස හැදින්වේ. ‘ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ තමන් මුස්ලිම්වරයකු ලෙස පෙනීසිටින නමුත් ඉස්ලාමය හඳවතින් ප්‍රතික්ෂේප කරමින් හෝ ඉස්ලාමයට එරෙහි වෙමින් ඉස්ලාමයට හෝ මුස්ලීම්වරුන්ට එරෙහි සතුරන් සමඟ එක් වී කුමණ්ත්‍රනය කරන පිරිස’ ඉස්ලාම් ‘මුනාෆික්වරුන්’ ලෙස හදුන්වයි.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මුනාෆික් (කුහකයින්) පිලිබදව විමසුමක් යන ලිපිය කියවන්න.

මුෂ්රික්

මුෂ්රික් (Mushrik) යනු ඉහත කාෆිර්වරුන්ගේම එක් කොටසකි. එනම් අල්ලාහ් (දෙවි)ට වෙන කිසිවක් හෝ කිසිවෙක් සමාන කොට ඇදහීම හෝ පිලිගැනීම ‘ශිර්ක්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර එම ක්‍රියාවේ නියලෙන පිරිස ‘මුෂ්රික්’ ලෙස හැදින්වේ.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මූමීන් සහ මුස්ලීම් යන ලිපිය කියවන්න.

මුර්තද්

ඉස්ලාම් දහම පිලිගෙන පසුව එය ප්‍රතික්ෂේප කර යන පිරිස "මුර්තද්" ලෙස ඉස්ලාම් හදුන්වයි. මොවුන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම වෙනම නීති මාලාවක් යෝජනා කරයි.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මූමීන් සහ මුස්ලීම් යන ලිපිය කියවන්න.

ෆාසික්

ෆාසික් (Fasik) යනු ඉස්ලාමීය නීති උල්ලංගනය කරන අයෙකු හඳුන්වන අරාබි වචනයකි. ‘ෆාසික්’ යන්න විශ්වාස කළ නොහැකි යැයි සලකන බැවින් ඔහු විසින් ඉදිරිපත් කරන සාක්ෂිය ඉස්ලාමීය අධිකරණවල පිළිගනු නොලැබේ. ෆාසික් යන වචනයට ‘අශිෂ්ඨ’ යන අරුථ ද ලබාදී ඇත.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මුනාෆික් (කුහකයින්) පිලිබදව විමසුමක් යන ලිපිය කියවන්න.

කාෆිර්

කෆීර් (Kafir) යන වචනයේ අර්ථය ‘අවිශ්වාසවන්තයා’, ‘ප්‍රතික්ෂේප කරන්නා’, ‘නොඇදහිලිවන්තයා’… යනාදීය වේ. මෙම යෙදුමෙන් අදහස් කරන්නේ ඉස්ලාමය හෝ ඉස්ලාමයේ මූලධර්ම අනුව අල්ලාහ් (දෙවි)ව ප්‍රතික්ෂේප කරන හෝ අවිශ්වාස කරන, දෙවියන්ගේ ආධිපත්‍යය අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන පිරිස මෙලෙස හැදින්වේ.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ මුනාෆික් (කුහකයින්) පිලිබදව විමසුමක් යන ලිපිය කියවන්න.

ජාහිලියත්

ජාහිලියා (Jahiliya) යනු ඉස්ලාම් දහම පිලිබදව හෝ එහි ඉගෙන්වීමන් පිලිබදව කිසිදු අවබෝධයක් නොමැතිව ජීවත් වන ජන සමාජය මෙලෙස හැදින්වේ. මේ ගොනුව යටතේ ගතහැකි කෙනෙකු අද මිහිතල මත සිටිනවාද? යන්න සැක සහිතය. සමහර විට වනවාසී ගෝත්‍රයන් මෙම ඝනයට අයත් විය හැක.

මේ පිලිබදව වැඩිදුර කියවීම සදහ ජාහිලියා සමාජය යන ලිපිය කියවන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම