හාස්කම් යන්න ආගම දහමක මූලික පදනම විය හැකිද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉහත මාතෘකාව ‍තරමක සංකීර්ණ මෙන්ම පුළුල් ලෙස කථා කලයුතු මාතෘකාවකි. නමුත් එම විෂය පිලිබදව එතරම් සංකීර්ණ කරුණුවලට නොයා ඒ පිලිබදව කෙටි අවධානයක් මෙම යහමඟ වෙබ් අඩවිය හරහ‍ා යොමු කිරීමට මා අදහස් කරමි. ඊට සමීපතම හේතුව වුයේ මුස්ලිම්වරු න් විසින් ඉටු කලයුතු අනිවාර්‍ය යුතුකම් අතුරින් “හජ්” සමය උදාවෙමින් තිබෙන මෙම වකවානුවේ. එක්තරා Email පණිවුඩයකින් ලද Video දර්ශණයකි. ඒ පිලිබදව අවධානය යොමු කිරීමට මත්තෙන් ඉහත විෂය මිනිස් සමාජය දකින ආකාරය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්,

අද ලොව සෑම දහමකටම නැතුවම බැරි එසේම වැඩි වැඩියෙන් කථාබහ වන අංගයක් ලෙස මෙම “හාස්කම්” යන්න හැදින්විය හැක. මෙම හාස්කම් පිලිබදව ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේත් විවිධ කාලවල විවිධ මාතෘකා ඔස්සේ පුළුල් වශයෙන් කථාබහට ලක්වේ. එයට ප්‍රධාන හේතුව වර්ථමාන ආගම් ජනතා ආකර්ශණය පහසුවෙන් දිනාගැනීමට මෙය මහත් පිටුවහලක් වන බැවිණි. මේ නිසාම හාස්කම් පෑම පිලිබදව ද ආගම් අතර ඇත්තේ තියුණු තරඟයකි. විශේෂයෙන් ආගමික (මූලාශ්‍රයන් පදනම් කරගෙන එහි) ඉගෙන්වීමන් අවබෝධ කරගන්නවාට වඩා ජනතාව වැඩි කැමැත්තක් දක්වන්නේ මවිතකරවන, කුතුහලය උපදවන හා බියගන්වන කරුණු කාරණාවලටය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාව බුද්ධිමත් ජනතාව තම බුද්ධිය පසෙකලා හාස්කම් පසුපස හඹායාමයි. මේ ආකාරයට හාස්කම් තුලින් දහමක් අවබෝධ කරගන්නට කැමැත්තක් දක්වන ජනතාවගේ එම දුර්වලතාවය හදුනාගත් සමහරක් ආගමික පූජකවරැන් හා එහි විද්වතුන් තම දහම ලොව අනිකුත් දහමන්ට සාපේක්ෂව ඉහල තැනක තිබෙන බව ජනතාවට හේතු ගැන්වීම පිණිස විවිධ හාස්කම් ද ලොවට කියාපාන ලදී. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  •  මරියම් තුමියගේ පිලිරැවෙහි ඇස්වලින් ලේ වැගිරීම
  •  සමහරක් මෘත ශරීරවල රෝම හා කෙස් වැවීම
  •  මිනිස් ශරීරයේ ආගමික වාක්‍යයන් සටහන්ව පැවතීම
  •  ආබාධිතයන් යාඥා මගින් සුවකිරීම
  •  දේව දඩුවම් ලෙස මනුෂ්‍යා විකෘතිභාවයන්ට හා වෙනත් ස්වරෑපවලට පරිවර්ථනය වීම

යනාදිය ජාත්‍යන්තරතලයේ සිදුවීම් කිහිපයකි. එසේම ජාතිකතලයේ සිදුවීම් කිහිපයක් ද සදහන් කල හැක. එනම්,

  •  පසුගිය කාලයේ සිදුවූ දොළුකන්ද සිදුවීම
  •  බෝ ගස් මුලින් බුදුරැව මතුවීම
  •  යාඥා වැඩමුළු මගින් ලෙඩරෝග සුවකිරීම
  •  බුදුපිලිමවලින් රැස් විහිදීම

යනාදිය සදහන් කලහැක. මෙවැනි හාස්කම් හමුවේ ආගමික භක්තිය දොරෙගලන සැදැහැවතුන් ඒවා කෙරෙහි අන්ධ භක්තියක් ගොඩනඟාගෙන ඒ පසුපස හඹායයි. මෙයට සරල නිදසුන් ලෙස දොළුකන්ද හාමුදුරැවන්ගේ හාස්කම සහා බුදුපිලිම තුලින් බුදුරැස් විහිදෙනවා යයි ජනගංඟා ඒවා කෙරෙහි ඇදීගිය ආකාරය සදහන් කලහැක. මේවා කෙරෙහි ජන ගංඟා ඇදීගියේ දැඩි භක්තියකිනි. අද රැපියල් 18 ත් ගන්නට බැරි බිත්තරය එදා දොළුකන්ද හාමුදුරැවෝ හාස්කම් පානවිට රැපියල් 2 ටත් කුකුල් ගොවිපල හිමියන්ට විකුණාගන්නට බැරිවිය. ජනතාව තුල ඒ තරමටම ආගමික භක්තිය දෝරෙගලන්නට විය. ඒ ආකාරයටම බුදුපිලිම තුලින් රැස්විහිදෙන බව සමාජය තුල මතවාදයක් ඇති වූ මොහොතේ ඒ බුදුපිලිම වෙත ජනතාව රැස්කකා ඇදීගියේ එය ප්‍රතික්ෂේප කල ස්වාමිණ්වහන්සේලාටත් බැනවදිමිනි. ඒ බුදුරැස් දැකීමේ අරමුණින් හා භක්තියෙනි. එම බුදුරැස් එහි රැස්වූ සෑම බෞද්ධයෙකුම දුටුවා යන්න පැවසුවා මිස කිසිවෙක් එය ප්‍රතික්ෂේප කලේ නැත. (නමුත් මා ද බුදුපිලිම කිහිපයක් හමුවට ගොස් බුදුරැස් දැකීමට උත්සාහ කලද එය දැකීමට මාහට නොහැකි විය. එයට හේතුව මා පවසන්නට මෙහි දී උත්සාහ නොකරමි. එසේම මීට වසර කිහිපයකට පෙර හම්බන්තොට පිහිටි කොහොලංකල ගමේ රශීන්පුර මුස්ලීම් දේවස්ථානයේ පිං පෙට්ටිය මුතුපිට කව්බාව (මක්කාවේ පිහිටි පල්ලිය) පෙනෙන බව පවසමින් ජනතා ගංඟාව ඒ වෙත ඇදුනු මොහොතේ මා ද එය දැක ගැනීමට උත්සාහකලත් එවැනි කිසිවක් මාහට නොපෙනුණි. නමුත් එම ස්ථානයට ගිය සෑම මුස්ලීම්වරයෙකුම පාහේ ඉහත බෞද්ධ ප්‍රජාව සේම පවසා සිටියේ තමා එය දුටුබවයි) මේ ආකාරයට කලින් කලට සමාජගත වන හාස්කම් හිරැදුටු පිණි මෙන් නැතිවී යන්නේ ඒ ඒ ආගමික භක්තිකයන් ප්‍රෝඩාවන් හා මුලාකිරීමන්වලට ලක්කරමිණි. එහි අවසාන ප්‍රථිඵලය වන්නේ දැඩි භක්තියකින් ඇදී ආ ජනතාව කලකිරීම හේතුවෙන් ආවාට වඩා වේගයෙන් ඒවායින් දුරස්වීමයි. මෙය ශ්‍රී ලාංකීය අපට සුළභ වූ දසුනකි.

මෙම තත්වය කිසියම් ආගමකට හෝ ආගම් කිහිපයකට පොදු වූ කාරණයක් නොවේ. මේ අවාසනාවන්ත ඉරණමට ලොව සියළු ආගම් ගොදුරැවී ඇත. ආගමික මූලාශ්‍රයන් තුලින් එහි ඉගෙන්වීමන් අවබෝධ කරගෙන ඒ අනුව තම ජීවිතය සකසා ගන්නවා වෙනුවට මේ ආකාරයේ කෙටික්‍රම භාවිතා කිරීම එම ආගම්වල ඉගෙන්වීමන්ට පවා පරස්පර වූ කාරණයන් බව එහි අනුගාමිකයන් නොදැන සිටීම අවාසනාවන්ත තත්වයකි. විශේෂයෙන් ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව පෙනෙන කාරණයක් තමා කිසිදු ආගමික ශාස්තෘවරයෙකු හාස්කම් පා ඒ තුලින් ජනතාව තම මතවාදයට නතුකරගෙන නැති බව. ඔවුන් ජනතාව දිනාගත්තේ ආදර්ශයන් තුලින් හා ආගමික ඉගෙන්වීමන් දේශනා කිරීම තුලිනි. නමුත් අද සමාජය බලා සිටින්නේ හාස්කම්පාමින් ඒ තුලින් ජනතාව දිනාගැනීමටය. මෙහි අවාසාවන්තම තත්වය වන්නේ ශුද්ධ වූ දහමකට හා ශුද්ධ වූ දේව ග්‍රන්ථයකට උරුමකම් කියන මුස්ලීම් සමාජය ද මෙවැනි හාස්කම් පසුපස හඹායාමයි. මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවා ද යන්න දැන් අවධානය යොමු කරමු.

හාස්කම් පිලිබදව ඉස්ලාමීය දැක්ම

ඉහත ලිපිය කිය වූ ඔබට දැන් ප්‍රශ්නයක් මතු වන්නට පුළුවනි. ඒ “එසේ නම් ඉස්ලාම් දහම ‘හස්කම්’ යන්න ප්‍රතික්ෂේප කරනවාද?” කියාය. එසේ නොවේ පැහැදිලිවම “හාස්කම්” යන්න ඉස්ලාම් පිලිගන්නා එසේම අනුමත කරන කාරණයකි. මෙම හාස්කම් සම්බන්ධයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 41:53 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි,

“ඇත්තෙන්ම මෙය (දහම) සත්‍ය යයි ඔවුනට පැහැදිලි වන තෙක් භූමියෙහි ද තමන් තුලද බොහෝ ද්‍රෂ්ඨාන්තයන් (හාස්කම්) අප ඔවුනට පෙන්වන්නෙමු…”

මෙහි ඉහත දැක්වෙන්නේ මුස්ලීම් සමාජයේ බහුතරයක් හාස්කම් ලෙස සලකන අවස්ථා කිහිපයකි.

ඉහත වාක්‍යයට අනුව හාස්කම් යන්න ඉස්ලාම් දහමට පරස්පර වූ කාරණයක් නොවන බව පැහැදිලිය. මේ නිසා තමා මුහම්මද් (සල්) තුමාණන් වරක්, “මට පෙර පැමිණීශාස්තෘවරුන්ට (නබිවරුන්ට) අල්ලාහ් (දෙවියන්) විවිධ හාස්කම් ලබාදී තිබුණා. මට ලබාදී ඇති හාස්කම තමා මෙම ‘කුර්ආනය’ යනුවෙන් පැවසුවේ ය.”

ගැටළුව ඇත්තේ හාස්කම් විශ්වාස කිරීම තුල නොව එයට ලබාදී ඇති තැන පිලිබදවයි. කිසිවකු සමස්ථ දහම ම මෙම හාස්කම් පදනම් කරගෙන අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ නම් එය ඉස්ලාම් අනුමත නොකරයි. නමුත් ඉන් ඉස්ලාම් හාස්කම් ප්‍රතික්ෂේප කරනවා යන්න අදහස් නොවේ. ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ වාක්‍යයන් තුල මෙවැනි හාස්කම් අන්තර්ගතව ඇත. (ඒවා මෙම වෙබ් අඩවිය තුලම “විද්‍යාව” යන ‍ක්ෂේත්‍රය තුල පුළුල් ලෙස කථා කොට ඇත.) මේවා අන්ධ භක්තියෙන් නොව බුද්ධිමත් ලෙස අධ්‍යනය කොට පිලිගන්නා ලෙස මිනිස් සමාජයට එම ශුද්ධ වූ කුර්ආනයම අවධාරනය කරයි. ශුද්ධ වූ කුර්ආනයේ අන්තර්ගතය පවා එලෙස පිලිගතයුතු බවට ඉස්ලාම් අවධාරණය කරන විට ඉන් පරිභාහිරව සිදුවන හාස්කම් කොතරම් බුද්ධිමත් ලෙස අධ්‍යනය කලයුතු නොවේද? බලන්න මේ පිංතූර දෙක දිහා එකක දැක්වෙන් ගසක් “සුජූද්” කර (මුස්ලිම්වරු න් පස්වේල සලාතයේ දී සිටින එක ඉරිඅව්වක) සිටින ආකාරයයි. අනෙක් රෑපයෙන් දැක්වෙන්නේ (මෑත ලාංකීය පුවත්පතවල පලවූ) බෝගසක් පාමුලින් මතු වූ බෝගසේ මුලකි. මේ දෙකම ඒ ඒ ආගමික “හාස්කම්” ලෙස තම සමාජයට හදුන්වා දෙන ලදී. මාගේ තර්කය “මේ දෙකම නිවරැදි නම් ඉන් අදහස් කරන්නේ එම දහමන් දෙකම නිවරැදි යන්නයි.” මේ ආකාරයටම ලොව සෑම ආගමකම පාහේ මෙවැනි හාස්කම් කිහිපයක් හෝ බොහෝමයක් දක්නට ලැබේ. ඒ අනුව ලොව ලොව සෑම ආගමක්ම නිවරැදි යන නිගමනයකට එළඹීමට සිදුවේ. එය පිලිගන්න ආගම්වාදීන් සුදානම්ද? ඔවුන් සූදානම් වුවත් අදේව වාදය, බහුදේව වාදය හා ඒකදේව වාදය පවසන එම ආගම් එය පිලිගන්න කිසිසේත් සූදානම් නැත.

මේ අනුව හාස්කම් යන්න ආගමක වලංගු අවලංගුභාවය තීරණය කරන සාධකයක් නොවන බව පැහැදිලිය. එහි භයානකම තත්වය එය නොවේ මෙම හාස්කම් පසුපස හඹායන පිරිස බොහෝ විට මා ඉහතින් සදහන් කලාසේ නතර වන්නේ මුලාවකය. එහි දී ඔවුනට ඇතිවන පරාජය හා ඒ තුලින් ඇතිවන කලකිරීම හේතුවෙන් ඔවුන් සත්‍ය වූ මාර්ගයෙන් පවා දුරස්වීමන් සිදුවේ. මේ නිසා මෙවැනි කාරණාවන්හිදී අන්ධ භක්තිකයන් නොවී බුද්ධිමත් ‍ලෙස, විශේෂයෙන් ආගමික ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයක් ඇතුව කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය වේ.

මෙම අවාසනාවන්ත ඉරණමට මුස්ලිම්වරු න් ද නතුවී ඇති බැවින් සරල වූ නිදසුනක් මුස්ලිම්වරු න්ට ගෙනහැර දැක්වීමට හැක. එනම් පසුගිය කාලයේ මුස්ලීම් සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කාරණයක් ලෙස කුර්ආනයට අපහස කල කාන්තාවක් (දේව දඩුවම වශයෙන්) විකෘතිභාවයට පත්වූ පුවතක් රූපරාමු ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකීය සමාජය පුරා සාකච්චා වුනි. මෙය ජාතික මට්ටමේ පමණක් නොව ජාත්‍යන්තර තලයේත් සාකච්චා වූ බව අන්තර්ජාලයේ සැරිසැරීමේ දී මාහට අවබෝධ විය. එයට සාක්ෂියක් ලෙස පහත වීඩියෝ දර්ශනය සදහන් කලහැක.

ඉහත වීඩියොව නැරඹු ඔබ තුලද ඉස්ලාම් දහම කෙරෙහි කිසියම් බියක් හා බැදුනු භක්තියක් අති වනවාට නොඅනුමානය. නමුත් ඉහත වීඩියෝ දසුන තාක්ෂණයත් සමඟ බැදුණු නිර්මාණයක් පමණි. එසේම එය එක්තරා වෙබ් අඩවියකින් උපුටාගත් මනක්කල්පිත රූපයක් පමණි. patriciapiccinini.net යන අඩවිය තුල මෙවැනි රූප බොහෝමයක් දැකගත හැක. නිදසුනක් ලෙස 1 හා 2 හි Click කොට එවැනි ත්‍රිමාන රූප නැරඹීය හැක. එපමණක් නොව මා ඉහත කියු සිදුවීම තහවුරු කිරීමට මෙම වෙබ් අඩවියෙන් උපුටාගත් රූපය පිලිබදව එම වෙබ් අඩවියේ නිල හිමිකාරිනී කරන අදහස් දැක්වීම ද එහි දැකගත හැක. මේ ආකාරයට සමහරක් පිරිස් පරිගනක තාක්ෂණය උපයෝගි කරගෙන පටු අරමුණුවල හිද කටයුතු කිරීම ඉතා භයානක තත්වයකි. මෙහි ඉතා අවාසනාවන්ත තත්වය එය පමණක් නොවේ. මෙවැනි තත්වයන් පිලිබදව ඉස්ලාම් ආගමික මූලාශ්‍රයන් තුල කුමක් සදහන්ව තිබෙනවාද? යන්න සමාජයට නිසි අවබෝධයක් නොපැවතීමයි. එයට හොද නිදසුනක් තමා ඉහත සිදුවීම. ඉහත තත්වය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? ඒ පිලිබදව ආගමික මූලාශ්‍රයන් තුල ගවේෂණයක් කලේ නම්, අපට ‍මෙලෙස “හදීසයක්” හමුවේ,

“වරක් මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කිහිපයක් කරන ලදී ඉන් එකක් තමා ‘මාගේ සමුහයේ කිසිවකු විකෘතිභාවයන්ට හෝ වෙනත් ජීවියකු බවට පරිවර්ථනයන් සිදුකරන්න එපා?’ යනුවෙන් කරන ලද ප්‍රාර්ථනය. (මෙලෙස ප්‍රාර්ථනාවක් මුහම්මද් (සල්) තුමාණන් සිදුකිරීමට හේතුව මීට පෙර ජන සමූහයන්වල දෙවියන් විසින් මිනිසුන් කල වරදට දඩුවම් වශයෙන් ඔවුන් වදුරන් හා ඌරන් බවට පරිවර්ථනය කලබව ආගමික මූලාශ්‍රයන් හි සදහන්වීමය) ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් කල එම ප්‍රාර්ථනාව අල්ලාහ් (දෙවියන්) විසින් පිලිගන්නා ලදී.”

ඉහත හදීසයට අනුව මෙම (එනම් මුහම්මද් (සල්) තුමාණන්ව අනුගමනය කරන) ජනසමූහය වන අප කිසිදු දවසක මනුෂ්‍ය රුවින් වෙනත් ස්වරූපයකට පරිවර්ථනයක් සිදුනොවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ඉස්ලාමීය ඉගෙන්වීම් දැනුම නොමැති සමාජය නතරවුයේ කොතැනද? ඉහතින් මා මේ ඉදිරිපත් කලේ එක් නිදසුනක් පමණි. මෙවැනි බොහෝමයක් සිදුවීම් එදිනෙදා ජීවිතයේ අප ආසා ඇත්තෙමු. අන්තර්ජාලය තුල ද මෙවැනි බොහෝ නිර්මාණයන් දක්නට ලැබේ. මේවා සියල්ල තාක්ෂණ හරඹයන් පමණි. එවැනි තවත් තාක්ෂණික හරඹයක් තමා මෙම ලිපියට පාදක වූ ඉහතින් මා සදහන් කල වීඩියෝ දසුන දැන් එය නරඹමු.

ඉහත වීඩියෝ දර්ශණය තුලින් Angel හෙවත් “මලාඉකාවරු” මක්කාවේ “කවබාව” වෙත පැමිණීමේ රූපරාමු ගෙනහැර දක්වයි. එම වීඩියෝ දසුන සම්බන්ධයෙන් මා ප්‍රශ්න කිහිපයක් ඔබේ බුද්ධියට යොමු කිරීමට කැමැත්තෙමි. එනම්,

  •  මලාඉකාවරු පිලිබදව හා ඔවුන්ගේ ස්වරූපය පිලිබදව ඉස්ලාම් පවසන කරුණු පිලිබදව ඔබට කොතරම් අවබෝධයක් තිබෙනවාද?
  •  මේ රූපරාමු දකින්නට පෙර මලාඉකාවරු පිලිබදව ඔබට අවිශ්වාසයක් පැවතුනාද?
  •  මලාඉකාවරු මිනිස් ඇසට නොපෙනී සිටිය යුතුයි යන්න දේව නියමය නම්, එම දේව නියමය තාක්ෂණය හමුවේ පරාජ වෙලාද?
  •  එසේත් නැත්නම් එය මිනිස් ඇසට පෙනීම අත්‍යඅවශ්‍ය නමුත් එය පියවී ඇසට පෙනෙන ආකාරයට මැවීමට දෙවියන් හට නොහැකි වුවාද?
  •  මලාඉකාවරු මනුෂ්‍ය ඇසට වසන්ව සිටීම ප්‍රතික්ෂේප කොට දේව නියමයට එරෙහි වුවාද?
  •  හජ් වන්දනය (අවශ්‍යද? / අනවශ්‍යද? යන්න) පිලිබදව මෙතෙක් සැකයක් පැවතී මේ වීඩියෝ දර්ශනය හේතුවෙන් එම ගැටළුව නිරවුල් වුවාද?
  •  මෙම දර්ශනය දකින තුරු ඉස්ලාම් දහම පිලිබදව කිසියම් කුතුහලයක් පැවත එය තුරන් වුවාද?

ඒ අනුව මෙම වීඩියෝ දර්ශනය තුලින් පවසන්නට උත්සාහ කරණ කාරණය,

  •  ප්‍රතික්ෂේප කිරීම බුද්ධිමත් තීරණයක්ද?
  •  එය පිලිගැනීම බුද්ධිමත් තීරණයක්ද?

එය ප්‍රතික්ෂේප කිරීම තුල ඉස්ලාමීය ඉගෙන්වීම් බොහෝමයක් අනුමත කරන තැනටත්, එය පිලිගැනීම තුල ඉස්ලාමීය ‍ඉගෙන්වීම් බොහෝමයක් ප්‍රතික්ෂේප කරන තැනටත් දැන හෝ නොදැන අප තල්ලුවේ. ඒ අනුව එහි තීරණය ඔබට බාරය.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ හාස්කම් යනු ඉස්ලාම් නොවේ. එසේම හාස්කම් යන්න ආගමක වලංගුභාවය තීරණය කරන සාධකයක්ද නොවේ. එපමණක් නොව ආරබි අකුරු සටහන් වී තිබූ පමණින් හෝ කුර්ආන් පාඨයන් පසුබිමින් ඇසූ පමණින් එහි ඉදිරිපත් කරන සියල්ල ද ඉස්ලාම් නොවේ. ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවියන්)ගේ වාක්‍යයන් අන්තර්ගත පුස්ථකය වන ශුද්ධ වූ කුර්ආනයේ හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අන්තර්ගත “හදීසයේ” සදහන් කරුණු පමණි. ඒ අනුව ලොව ශුද්ධ වූ දහමකට උරුමකම් කියන මුස්ලිම්වරු න් වන අප තවදුරටත් අන්ධ භක්තියෙන් හාස්කම් සරණේ නොයා ආගමික ඉගෙන්වීමන් තුලින් එම හාස්කම් දකින බුද්ධිමත් සමාජයක් බවට පත්වීමට දැඩි අධිෂ්ඨාන කරගත යුතුය.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම