වෘෂණ කෝෂ පරිත්‍යාග සහ බද්ධ ප්‍රායෝගිකද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනවල අප රටේ විශේෂයෙන් මාධ්‍යයන් තුල උණූසුම් පුවතක් වූයේ බොරැල්ල රෝහලක සිදුකෙරෙනවා යැයි පැවසෙන ‘වෘෂණ කෝෂ’ ජාවාරම සහ ‘වකුගඩු’ ජාවාරම පිලිබදව වූ පුවතයි. තරුණයකුගේ වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක මුදලකට විකිණෙන බව එහි වාර්ථා වුණි. ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලාංකීය ජනයා අතර මෙම පුවත විටෙක හාස්‍ය ජනක ලෙසත්, විටෙක ගැඹූරු විද්වත් සංවාද ලෙසත් සාකච්චා වූ අතර එම තත්වය රටේ පාර්ලිමේන්තුව තුලත් සාකච්චා වීම නොඅඩුව දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක ‘යහමග’ අඩවිය තුලින් මෙම මාතෘකාව ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේ මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි. එනම්,

වෘෂණ කෝෂ බද්ධ කිරීම් අප රට තුල ප්‍රායෝගිකද? නොඑසේ නම් මෙය තවත් ජාතිවාදී නාඩගමක්ද?

මිනිස් අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් ලෝකය තුල දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ අතරින් වකුගඩු, අක්මා, ඇස්, ඇටමිදුළු බද්ධ කිරීම සුලබව අසන්නට ලැබෙන කාරණයකි. නමුත් ‘වෘෂණ කෝෂ’ බද්ධ කිරීම යන කාරණය අපට පමණක් නොව ලෝකයටම අලුත් කාරණයකි. එය අප රටේ වෛද්‍යවරුන්ගේ මතය අනුව එය කිසිසේත් ප්‍රායෝගික නැති කාරණයකි (ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුගේ මතය මෙතැනින් කියවන්න). නමුත් මේ සම්බන්ධයෙන් වූ ඉතිහාසය අන්තර්ජාලය තුල මා සොයාබැලීමේ දී ජාත්‍යන්තර ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් 2019 වසරේ දී සර්බියාවේ බෙල්ග්‍රේඩ්හි කරන ලද පැය හයක ශල්‍යකර්මයක් මඟින්, වෘෂණ කෝෂ නොමැතිව උපත ලැබූ 36 හැවිරිදි පුද්ගලයෙකුට ඔහුගේ නිවුන් සහෝදරයෙකුගෙන් ලබාගත් වෘෂණ කෝෂයක් බද්ධ කල පුවතක් දක්නට ලැබේ. ඊට අමතරව 1978 දී ලොව පලමු මානව වෘෂණ කෝෂ බද්ධ සිදුකල බවටද වාර්තාවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් වෘෂණ කෝෂ බද්ධ කිරීම් පර්යේෂණාත්මක හා අවදානම් තත්ත්වයක පවතිනවා යන්නත්, ඒ සදහා දියුණූ ක්ෂුද්‍ර ශල්‍ය උපකරණ සහ ශිල්පීය ක්‍රම අවශ්‍යවනු ඇත යන්නත් ජාත්‍යන්තර පිලිගැනීමයි. මේ අනුව අප රට මේ පිලිබදව ඇති වෛද්‍ය මතයන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන තාක්ෂණික දියුණූවට සාපේක්ෂව මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් මේ රට තුල කොතරම් දුරකට ප්‍රායෝගික වේද?. යන්න තීන්දු කිරීම ඔබට ම භාර කරමින් මෙවැනි මාතෘකාවක් අප රට තුල මෙතරම් උණූසුම් වීමට හේතුව කුමක්ද? යන්නත් මෙහි කෙටියෙන් විමසා බලමු.

වකුගඩු රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය මුස්ලීම් ජාතික විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු මුස්ලීම් ජාතිකයින් බහුතරයක් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ‘වෙස්ටන්’ රෝහල මෙම සිද්ධියට සම්බන්ධ වීමත්, තැරැව්කරුවකු යැයි පැවසෙන මොහොමඩ් රජාබ්දීන් නොහොත් ‘බායි’ නැමැත්තා මුස්ලීම් ජාතිකයෙකු වීමත් මෙම පුවත රට උණූසුම් කරවන විශේෂ කාරණයක් විය. මේ රට තුල යළි ජාතිවාදය අවුස්සා තම TRP එක ඉහල නංවා ගැනීමටත්, මියැදමින් සිටින ජාතිවාදී දේශපාලඥයින් හට ඔක්සිජන් ලබාදිමටත් වස්තු බීජයක් සොයමින් සිටින සමහරක් ජඬමාධ්‍යයන්ට මෙම පුවත මහා අස්වැසිල්ලක් විය. මෙම පුවත දුටු මට එදා සිතුණේ ඔවුනට ‘ෂාෆි නාඩගම් – 2’ සදහා මාතෘකාවක් ලැබුණා යනුවෙනි. නමුත් පටු ජාතිවාදීන් පාගා බුද්ධිමත් ජනයා නැඟීසිටින වත්මන් සමාජය තුල එවැනි ජාතිවාදයන්ට තවදුරටත් ඉඩ නොමැති බව ඔප්පු කරමින් එම ජාතිවාදී බීජය ‘උපන් ගෙයදීම තිඹිරි ගෙයක්’ කරදමන ලදී.

අප රටේ මෙවැනි ජනප්‍රිය හා උණූසුම් මාතෘකා නිර්මාණය කිරීමත්, අවසානයේ ඒ සියල්ල ‘පුස්සක්’ වීමත් අපට අලුත් කාරණයක් නොවේ. ඉහතින් සදහන් කල ‘අම්මලා වඳ කල ෂාෆි වෘත්තාන්තය’ එයට හොඳ නිදසුනකි. මීට අමතරව වඳ කොත්තු, වඳ ඇදුම්… යනාදි ලෙස කොතරම් නම් මෙවැනි මාතෘකා මෙහි පෙලගස්සට හැකිද?. කෙසේ වෙතත් දැන් මෙම ‘වෘෂණ කෝෂ බද්ධ’ චෝදනාවන් නීතිය ඉදිරියේ සාකච්චාවට බඳුන් වෙමින් ඇත. එහි කවුරුන් කෙසේ වරදකරුවන් වන්නේද? යන්න තින්දු කිරීම අදාල ආයතනයන්ට ම බාර කරමින් මා මෙම ලිපියේ දෙවන කොටස වන ‘මිනිස් ශරීර අවයව පරිත්‍යාග කිරීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?’ යන කාරණය මෙම ලිපියේ තවත් කොටසකින් සාකච්චා කිරීමට පොරොන්දුවෙන් මෙම ලිපියට විරාමය තබමි.

මෙම ලිපියේ දෙවන කොටස – මිනිස් ශරීර අවයව පරිත්‍යාග කිරීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන ලිපියට මෙතැනින් පිවිසෙන්න.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම