මේ නිදහස් දිනය අර්ථවත් කරමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ උදාවන ජාතික නිදහස් දිනය පෙරදැරි කොටගෙන රටම නිදහස සමරන්නට සූදානම් වන මේ මො‍හොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙන්ම රටේ සුළු ජාතිය හා සුළු ආගම නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස මේ උදාවන නිදහස් දිනයේ සමස්ථ ජාතියේ අවධානයට කරුණූ කිහිපයක් යහමග ඔස්සේ පවසන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව පසුගිය කාලවල අන්තර්ජාලය තුල හා අනිකුත් මාධ්‍යයන් තුල නිරන්තරයෙන් කථාබහට ලක්වූ කරුණූ කිහිපයක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. විශේෂයෙන් අද වනවිට සෘජුවම ඉස්ලාම් දහම හා මුස්ලම් සමාජය විවේචනය කරන සිංහල භාෂාමය බ්ලොග් ගණනාවක්ම ක්‍රියාත්මකව පවතී. මේවා තුලින් නිරන්තරයෙන් මතු කරන චෝදනා කිහිපයක් නම්,

  • …මුස්ලිම්වරුන් තම ජනගහනය බෝ කරමින් ආගම පුළුල්කර ගන්නවා…
  • …නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ කල්ලියක් ක්‍රියාත්මකයි…
  • …ප්‍රේම සම්බන්ධතා මඟින් සූක්ෂම ලෙස බෞද්ධ තරුණයන් බිලි බාගනී…
  • …මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර සියල්ල බිද දැමිය යුතුයි…
  • …නැගෙනහිර පළාත මුස්ලිම්වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්බිම විය යුත්තේ සෞදිඅරාබිය…
  • …ඉස්ලාම් මූලධර්මවාදය ලොවපුරා පැතිරෙයි. මෙය ලංකාව තුල පතුරවන්නේ අසිපතින් නොවේ…
  • …එ වගේම දෙමවිපියො මුස්ලිම් වුවත් දරුවන් පහුවෙද්දි ඒ ආගමේ බොරුව අවබෝධ කරගෙන…
  • …ඉස්ලාම් කඩුවෙන් පතුරුවන ලද දහමක්…
  • …බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා…
  • …මීට අමතරව මුස්ලිම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිව ශ්‍රී ලංකාව තුල ලියවී තිබෙන පොත්පත්… ඒ පිලිබදව කියවීමට…

මා ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව නිතර නිතර එල්ල වන චෝදනාත්මක පාඨයන් කිහිපයක් පමණි. මේවා එකින් එක කරුණූ සහිතව “එම චෝදනාවන් කොතරම් දුරකට වලංගුද?” යන කාරණය පිලිබදව දීර්ඝ ලෙස හා පුළුල් ලෙස සාකච්චා කර ඇත. කෙසේ මෙවැනි සුවිශේෂි මොහොතක පවා නැවත නැවතත් එම කාරණයන් කථා කරන්නේ “එකින් එකා අතර අවබෝධතාවයන් ගොඩනැඟීම තුලින් පමණක් සැබෑ සමඟිය, සහයෝගය හා සමාදානය නිර්මාණය කල හැකි වන්නේ” යන්න දැඩිව විශ්වාස කරන නිසාය. එසේම ශ්‍රී ලාංකීය සමාජය තුල අවබෝධාත්මක සමඟියක් ගොඩනැගීම යහමග අඩවියේ ද ඒකායන අරමුණද වන නිසාය.

රටක නිදහස් දිනය යන්න එයට ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණුවරයන් ලබා දී එය පටු සීමාවන් තුල කොටු කලයුතු කාරණයක් නොවේ. එය ජාතී ආගම් භේදයකින් තොරව රටේ සියළු පුරවැසියන් එක්සේසත්ව සැමරිය යුතු දිනයකි. ඒ ජාතී ආගම් භේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම සාමුහිකව නිදහස දිනාගත් දිනයක් වන නිසාය. එසේම එය හුදෙක් ජාතීක කොඩිය එසේවීමකට හෝ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයින්ගේ දේශපාලන කථාවලට සීමා කලයුතු දිනයක් ද නොවේ. “මේ නිදහස සමරණ අද දවසේ සැබෑ ලෙසින්ම රටේ සියළු පුරවැසියන්ට එම නිදහස සාධාරණ ලෙස බෙදී ගොස් තිබෙනවාද?” යන්න සෑම පුරවැසියෙකුම තම හඳවතින් විපරම් කර බැලීම කාලීන මෙන්ම අත්‍යඅවශ්‍ය කාරණයක් වී ඇත. විශේෂයෙන් මේ නිදහස් දිනය පදනම් කරගෙන හෝ රටේ සෑම පුරවැසියෙකුගේම අවධානය යොමු වියයුතු කරුණූ කාරණා බොහෝමයක් ඇත. විශේෂයෙන් සුළු ජාතීන් හා මහා ජාතීන් අතර පවතින දුරස්ථභාවය, සුළු ආගම් හා මහා ආගම් අතර පවතින සීතල යුද්ධය, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතිවාදී අරඟල මේ අතර දැඩි අවධානයක් යොමු වියයුතු මුඛ්‍ය කාරණයන් වේ. කෙනෙකු හට “ඔය කියන තත්වයන් අප රටේ නැහැ” යනුවෙන් දේශපාලන අදහසක් පලකල හැක. නමුත් එවැනි තත්වයක් අප රට තුල තිබෙනවාද? නැද්ද? යන්න තම හඳවතින් විමසා බැලුවේ නම් හෘද සාක්ෂීය නිවරුදි උත්තර සපයනු ඇත. ඒ නැතත් LTTE සංවිධානය පරාජකල මොහොතේ ගරු ජනාධිපති තුමා කල කථාවේ “මේ රටේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ” යන ප්‍රකාශයට අපේ රටේ සුළු ජාතීන් අමන්දානන්දයට පත්ව දැක්වූ ප්‍රිති ඝෝෂාවත්, එම ප්‍රකාශයට ජන මාධ්‍ය හා රටේ පුරවැසියන් දුන්නු ප්‍රතිචාරත්, මා ඉහතින් සදහන් කල අවශ්‍යතාවය හා වර්ථමානයේ පවතින මත අරඟලයත් මනාව පිළිඹිබු කරන්නකි. එසේ නම් අපෙන් අතපසු වී ඇති එම කාරණය මෙවර නිදහස් දිනය මූලික කරගෙන හෝ විමසා බැලීමත් ජාතීන් අතර සමඟිය හා සහයෝගය සදහා අවශ්‍ය පිඹූරුපත් සැකසීමත් සිදුවන්නේ නම් මේ නිදහස රටේ හෙට දවස වෙනුවෙන් වඩාත් අර්ථවත් වනු ඇත.

අතීතයේ එකම ජාතියක් ලෙස එකම ශ්‍රී ලාංකිකයන් ලෙස දිනාගත් නිදහසට අද වනවිට විවිධ ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන එයට ජාතිවාදී හා ආගම්වාදී පාට අලේප කොට ඇත. දැන හෝ නොදැන “නිදහස දිනාගැනීමේ දී ලොකු කෑල්ල අපේ” යන බොළද තර්කයන් තුල ලබාගත් නිදහස අර්ථ ශූන්‍ය කොට ඇත. එදා එකම ජාතියක් ලෙස එක්සේසත් වූ පිරිස අද ජාතිමය සමානාත්මකතාවය ප්‍රතික්ෂේප කොට බහුතරය පදනම් කරගත් ප්‍රබලයා උතුම් ජාතිය බවටත්, සුළුතරය හේතුවෙන් දුබලයාගේ පාලකයා බවටත් ඔවුන් පත්ව ඇත. බුද්ධියෙහි ඉනිපෙත්තෙහි ජීවත් වන නූතන මානවයා ඉතිහාසමය වශයෙන් හා විද්‍යාත්මක වශයෙන් ඔප්පු කිරීමට අසමත් කාරණයක් පවතී නම් ඒ උපතින් හෝ කාලයෙන් උරුම වන ජාතිය උසස්ද? පහත්ද? යන්නයි. එවන් වූ ජාතියක් වෙනුවෙන් අරඟල නිර්මාණය කරමින් ඒ හේතුවෙන් රටක් ලෙස පසුබැසීම සමස්ථ ජාතියෙම අවාසනාවක් නොවේද?. ඔබගේ බුද්ධිමත් විමසුමට History of Religion නම් කෘතියේ එහි කතෘ තබන සටහනක් වෙත අවධානය යොමු කරවන්නට කැමැත්තෙමි. “මිශ්‍ර නොවූ ජාතියක් කොහේවත් නැත. ජාතිවාදී න්‍යායය කිසිදු විද්‍යාත්මක සාධක මඟින් තහවුරු කර ද නැත”. මේ අනුව ජාතිය පදනම් කරගත් මතවාද සුළු ජාතිය වුවත්, මහා ජාතිය වුවත් එය මනුෂයා තුල හටගත් අමනුෂ්‍ය ගුණාංගයක් මෙන්ම මිත්‍යාවක් යන්න පැහැදිලි වේ. මේ හේතුව නිසා තමා මීට සියවස් ගනනාවකට පෙ‍ර දෙවියන් දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිස් සමාජයට මෙසේ අවධාරනය කලේ,

“මිනිසුනි, අපි ඔබලා එක ම පුරුෂයෙක් හා ස්ති‍්‍රයක් තුළින් නිර්මාණය කළෙමු. පසුව ඔබලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පත් කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පත් තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න පුද්ගලයාය.”

ශුද්ධ වූ කුර්ආනය 49-13

ඉහත වාක්‍යය හොදින් විශ්ලේෂණය කලේනම්, මානවයාගේ ශ්‍රේෂ්ඨත්වය ඔහු නියෝජනය කරන ජාතිය තුල නොව ඔහුගේ ක්‍රියාව තුල අන්තර්ගත වන බව පැහැදිලි වේ. ඔහු කොතරම් සමානාත්මක ලෙස හා මනුෂ්‍යත්වය අගයමින් ක්‍රියා කරන්නේද ඒ තුල ශ්‍රේෂ්ඨත්වය ගැබ්ව ඇත. සරලව පවසනවා නම් මිනිසා නැවතත් ආරම්භයේ සිට ආරම්භ කලයුතුව ඇත. මිනිස්කමේ මූලික පාඩම යලිත් වරක් උගනීමට සිදුවී ඇත. මෙසේ එකම ජාතියක් ලෙස ගොඩනැ‍ඟෙනවාත් සමඟ මතවාදීව ද එකින් එකා ගරු කරන සමාජ පසුබිමක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. සමාජයක්, ඒකීය මතයක් ඔස්සේ ගොඩනැගෙනවා යන්න ප්‍රායෝගික නොවන කාරණයක් යන්න හි විවාදයක් නැත. සෑම විටම එක් මතයකට විරුද්ධව තවත් මතයක් හෝ කිහිපයක් නිර්මාණය වීම ලෝක ස්වභාවයකි. එවන් වූ මතවාදය ඔස්සේ පොදු ජනතාව මෙන්ම විද්වතුන් ද ඒකරාශී වීමත් තම මතවාදය සාධාර්ණීකරණය කිරීම පිණිස විද්වත් තර්ක විතර්ක ගොඩනැඟීමත් විරුද්ධ මතධාරීන් වැරදි බව සනාථ කිරීමට උත්සාහ කිරීමත් සියල්ලෙහි විසදුම තමන්ගේ මාර්ගය බවත්, සියළු අවුල්වලට හේතුව විරුද්ධ මතවාදයන් බවත් තර්ක විතර්ක ඉදිරිපත්වීමත් ලෝක ස්වභාවයකි. මෙතැනදී ද සියළු දෙනාට අතපසු වූ කාරණයක් ඇත. ඒ ඉහත දෙපාර්ශවයම සෑමවිටම නිවරුදි විය නොහැක්කා සේම විටෙක වැරදි වීමට ද නොහැක යන්නයි. ඒ මන්දයත් මේ දෙපාර්ශවයම වැදගත් කාරණයන් අතපසු කර තිබෙන්නට පුළුවන තම මතවාදය කෙරෙහි තිබෙන අනවබෝධය හා අන්ධ භක්තිය නිසා අනිකුත් මතවාදයන් වැරදි ලෙස පෙනෙන්නට පුළුවන. එසේම අනිකුත් මතවාදයන් කෙරෙහි තිබෙන අනවබෝධය නිසා පුර්ව නිගමනවල හිද තර්ක කරා වන්නට ද පුළුවන. සරලවම පවසනවා නම් කෙනෙකුට එක් ‍ක්ෂේත්‍රයක ඉහල කුසලතාවයක් පැවතිය හැක. ඒ නිසාම ඔහු සියළු ක්ෂේත්‍රයන් හි දක්ෂයකු යයි පැවසිය නොහැක. ඒ අනුව කිසියම් මතවාදයක් සැලකූවිට ඒ තුල හොද කරුණු පැවතිය හැක. නමුත් ඉන් අනිකුත් මතවාදයන් සියල්ල ප්‍රතික්ෂේප කලයුතුයි යන්න අදහස් නොවේ. නමුත් අප රටේ අවාසනාව බහුතර මතවාදය සුළුතර පිරිස මත බලෙන් යෙදවීමටත් එයට අවනත කර ගැනීමටත් ඒ ඔස්සේ විරුද්ධ මතවාදීන් ප්‍රබල මතධාරීන්ගෙන් බැගෑපත්විය යුතු වහලුන් ලෙස පත්කිරීමටත් වර්ථමානයේ සමහරක් පිරිස් කටයුතු කරමින් සිටීමයි.

දියුණු සංස්කෘති හා ශිෂ්ටසම්පන්න ඉතිහාසයන් පිලිබදව පුලපුලා කථා කරන අප ජාතිවාදය වැපිරීම හා අනිකුත් මතවාද ගැරහීම තුල සනාථ කොට ඇත්තේ ‘මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය ඔවුන්ගෙන් උදුරාගෙන’ යන්න පමණි. අවසාන වශයෙන් අකමැත්තෙන් වුවද කිවයුතු කාරණයක් ඇත. එනම් මානවයාගේ මූලික අවශ්‍යතාවයන් වන මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය පවා ආරක්ෂා කරන්නට තරම් විනයක් දහමකින් නොලබන්නේ නම් එහි කිසියම් වරදක් ඇත. එනම්,

  • ඒ දහමෙහි ඉගෙන්වීමන් තුල දුර්වලතාවයක්
  • දහම අවබෝධ කරගත් පිරිස තුල දුර්වලතාවයක්

මෙයින් වරද කොතැන පැවතුන ද එහි බලපෑම රටක් ලෙස සමස්ථ ජාතියටම බලපාන තත්වයකි. අද සමහරක් ආගම වෙනුවෙන් පෙනීසිටිනවා, එම දහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා, දහම පතුරුවනවා යයි පවසන බොහෝ වෙබ් අඩවීන් දෙස බලන කල එහි තමන් නියෝජනය කරනවා යැයි පැවසෙන එම ආගමික ඉගෙන්වීමන් හැර අන් සියළු දෑ අන්තර්ගතය. විශේෂයෙන් වෛරය, වියරුව, අපහසය, මුසාව, අවලාද… යනාදීය නම් අඩුවක් නැත. මේවා තුලින් නම් දැහැමි සමාජයක් නිර්මාණය කරන්නට යන්නේ එය මේ සමස්ථ ජාතීයම දෙවරක් සිතාබැලිය යුතු කාරණයකි. එසේම මෙවැනි සමාජ පසුබිමක් තුල නම් අප ජාතික නිදහස සමරන්නේ එය අර්ථවත් නිදහසක්ද? එය සැබෑ නිදහසක්ද? යන්නත් දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය. අවසාන වශයෙන් නැවතත් පවසන්නේ මේ නිදහස සමරන්නේ ජාතීන් අතර සමානාත්මකතාවය විවෘත මනසින් පිලිගත් එසේම විරුද්ධ මතවාද ගරු කරන සමාජ පසුබිමකද? එසේ නම් මේ නිදහස සෑබෑ නිදහසක් වනු ඇත. නොඑසේ නම් මෙය තවත් අර්ථ ශුන්‍ය නිදහස් උත්සවයක් පමණක් වනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම