ජාතික සමඟියට එකම මඟ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වර්ථමාන මිනිසා විවිධ හේතු කාරණාවන් පදනම් කරගෙන එකින් එකා ගැටෙමින් හා විවිධ බෙදී නිර්මාණය කරගනිමින් ඒවා තුල ජීවත්වනවා යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි ප්‍රායෝගිකව ලොව අත්විදින සත්‍යයකි. මේ ආකාරයේ වූ බෙදීම් සමාජය තුල නිර්මාණය වීමට විවිධ වූ හේතු හා ඒ ඔස්සේ ගොඩනඟාගත් වාද විවාද හා තර්ක විතර්කයන් ද පදනම් විය. ඒවා අතුරින් ප්‍රධාන තැනක් හිමිවුයේ විවිධ වාදයන් මුල්කරගෙන නිර්මාණය වූ බෙදීමන්ටය. එවැනි මතවාදී බෙදීමන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • ජාති වාද – තම ජාතිය අනිකුත් ජාතීන්ට වඩා උසස් බව පවසමින් ඉදිරිපත් කරන වාද
  • දේශීය වාද – තම දේශය අනිකුත් දේශයන්ට වඩා උසස් බව පවසමින් ඉදිරිපත් කරන වාද
  • භාෂාමය වාද – තමා කථාකරන භාෂාව අනිකුත් භාෂාවන්ට වඩා උසස් බව පවසමින් කරන වාද
  • ආගම් වාද – තම ආගම ලොව අනිකුත් ආගමන්ට වඩා උසස් ආගම බව පවසමින් කරන වාද
  • වර්ණ වාද – තම ජාතිය (වර්ණ දේහය අනුව) උසස් බව පවසමින් කරන වාද
  • කුල වාද – තම කුලය අනිකුත් කුලයන්ට වඩා උසස් බව පවසමින් කරන වාද
  • ගම් වාද – තම ගම අනිකුත් ගම්වලට වඩා උසස් බව පවසමින් කරන වාද
  • ආර්ය වාද – තමා ආර්ය ජනතාව බව පවසමින් කරන වාද

ඉහතින් සදහන් කොට ඇත්තේ කිහිපයක් වූවත් මේ ආකාරයේ වූ වාදයන් බොහෝමයක් සදහන් කල හැක. මේවා අතීත සමාජයේ නොව වර්ථමාන සමාජයේම දක්නට ලැබේ. විශේෂයෙන් ඉහත සියල්ල ලාංකීය සමාජයේ දක්නට ඇත. මෙම ලිපියෙහි අරමුණ මෙවැනි බෙදීම් පිලිබදව සමාජය දැනුවත් කිරීම නොවේ. මෙවන් වූ බෙදීමන් තුලින් සමාජය ලඟාකරගෙන ඇති ප්‍රථිපල හා එම අවාසනාවන්ත ඉරණමින් සමස්ථ සමාජය මූදවාගැනීමට අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය පිලිබදව සමාජය දැනුවත් කිරීමයි.

ඉහත සදහන් ආකාරයේ වූ සමාජ බෙදීම් නිසා ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික තලයේත් කලින් කලට විවිධ අමිහිරි අත්දැකීම් සෑම පුරවැසියකුටම නැතුවා නොවේ. විශේෂයෙන් මධ්‍යයන් තුලින් මේ පිලිබදව නිරන්තරයෙන් සාකච්චා වේ. මේ මොහොතේදීත් ලොව තුල සිදුවන ජාතිවාදී, ආගම්වාදී හා වර්ණවාදී ගැටුම් මේවා දිනෙන් දින සිහිකරමින් සිටී. මෙවැනි ගැටුම් තුලින් ලොවට අහිමි වී ගිය ජීවිත හා දිනෙන් දින අහිමිවන අහිමිවන ජීවිත කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මේවා තුලින් කියාපාන්නේ මෙම වාදයන්ට ජනතාව කොතරම් ඇබ්බැහි වී ජීවත්වනවාද යන්න නොවේද? මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ මෙවැනි වාදයන් තුල මනුෂ්‍යයා කොටූ වී ජීවත්වීම වැරදි බවත්, ඒවා මිත්‍යාවන් බවත් සෑම මනුෂ්‍ය බුද්ධිමත් ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කරයි. ඔවුන් විවිධ වාදයන් ද සමාජය හමුවේ තබයි. එනම්,

  • “ඔස්කෝම මිනිස්සූනේ” යන වාදය
  • “ඔක්කෝගේම ඇත්තේ රතුපාට එකම ලේ” යන වාදය
  • “ඔක්කෝම මව් කුසේ දසමසක් නේ හිටියේ” යන වාදය
  • “බුද්ධියක් තියෙන්නේ අපිට විතරයි නේ” යන වාදය
  • “ඔකකෝම මැරෙණ මිනිස්සුනේ” යන වාදය

මේ ආකාරයට එම වාදයන් පෙලගැසීමට හැක. මෙලෙස තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඉහත මතවාදයන්ට එරෙහිව කථා කලද තමන්ගේ ජීවිතයේ යමක් යයි එනවිට ඉහත මතවාදයන් සියල්ල පසෙකලා නැවතත් ඉහත වාදයන් තුල කොටු වී තීන්දු තීරණගනී. මෙහිදී අවධානය යොමු කලයුතු කාරණය වන්නේ ඉහත මතවාදයන් තුලින් කිසියම් යහපත් වෙනසක් සමාජය තුල හෝ ලෝකය තුල සිදුකර ගැනීමට හැකි වී තිබෙනවාද? යන්නයි. නමුත් පැහැදිලිවම එවැනි වෙනසක් සිදු කිරීමට ඉහත මතවාදයන් අසමත් යන්න අප ලෝකය තුල දකින යථාර්ථයයි. එසේ නම් මීලඟට අවධානයට ගතයුතු කාරණය ඇයි ඉහත මතවාදයන් සමාජය තුල යහපත් වෙනසක් ඇති කිරීමට අසමත් වූනේ? යන්නයි.

එහි දී එම මතවාදයන් කොතරම් බුද්ධිමත් මතවාදයන්ද? යන්නත්, එම මතවාදයන් ‍මනුෂ්‍ය හදවත්වලට කොතරම් බලපෑමක් ඇති කරනවාද? යන්නත් මොහොතකට කෙටි අවධානයක් යොමු කරමු. ප්‍රථමයෙන් “ඔස්කෝම මිනිස්සු” යන මතවාදය සැලකුවේ නම්, කිසිවකුටත් එය ප්‍රතික්ෂේප කල නොහැකි වාදයක් යන්න සැබෑවකි. නමුත් ඉන් මනුෂ්‍යා තුල තිබෙන වර්ණ භේදය, කුල භේදය, ජාති භේදය… යනාදී කාරණයන් බොරුවක් එසේත් නැත්නම් එය වලංගු නොවන වාදයක් යන්න පිලිඹිබු නොවේ. එසේම “ඔක්කෝගේම ලේ රතුපාටයි” යන වාදයත් එසේමය. ඒ තුලින් ද ඉහත වාදයන් පදනම් විරහිත වාදයක් යන්න පිළිඹිබු නොවේ. (මෙම වාදය බුද්ධිමත් ලෙස බැලුවේ නම් “එකම ලේ” යන වාදය තුල මිනිසාගේ ඒකීයත්වය නොව බෙදීම් තමා පිළිඹිබු වන්නේ එනම් ලේ තුල ඇති බෙදීම් වන A, B, AB, O සහා ඒ තුල ඇති (+) හා (-) අනු බෙදීම් මඟින් මෙම වාදයත් ප්‍රතික්ෂේප වී යයි.) මීට අමතරව “ඔක්කෝම මව් කුසේ දසමසක් නේ හිටියේ” යන වාදය සැලකුව ද මව් කුසේ දසමස යන්න මිනිසාට පමණක් ආවේනික පොදු ලක්ෂණයක් නොවන අතර එසේ එය මිනිසාට පමණක් ආවේනික ලක්ෂණයක් ලෙස උපකල්පනය කල ද ඉහතින් සදහන් කල වර්ණ භේදය, කුල භේදය, ජාති භේදය… යන වාදයන් ඉන් ප්‍රතික්ෂේප නොවේ. ඒ අනුව ඉහත මතවාදයන් සමාජයට කිසිදු බලපෑමක් ඇතිකල නොහැකි හිස්වාදයන් යන්න පැහැදිලිය. මේ නිසා මෙවැනි වාදයන් තුලින් ඉහත අවාසනාවන්ත ඉරණමින් මිනිස් සමාජය කිසිදු විටෙක මුදවා ගැනීමට කල නොහැක්කක් යන්නත් පැහැදිලිය.

ඉහත වාදයන් තුලින් තරමක් දුරට හෝ පාලනයක් ඇති කිරීමට හැකි වුවද මෙම වාදයන් ඉදිරිපත් කරන පිරිස් තුල පවා එය ප්‍රායෝගික නොවීම තුල එය සම්පූර්ණයෙන් අවලංගු තර්කයන් බවට පත්වී යයි. උදාහර්ණයකට කෙනෙකු කුල වාදයට එරෙහිව කථාකරන නමුත් ඔහු‍ගේ ජීවිතයේ කිසියම් කටයුත්තක දී කුලය පිලිබදව ඔහු සැලකිලිමත් වේ. ඒ ආකාරයටම වර්ණ වාදය එරෙහිව දැඩිව කථා කරයි. නමුත් ප්‍රායෝගික ජීවිතයේ ආදර්ශයන් ඔහු තුල නැත. මෙයට හොද නිදසුනක් ලෙස මීට වසර කිහිපයකට පෙර ලෝකයටම සාරධර්ම හා විනය කියාදෙන ඇමරිකාව එම රටේ පුරවැසියන් වන කළු ජාතීන් සුනඛයන් ලවා හැපීමට සැලැස්වීම කිසිවකුටත් අමතක වී නැතැයි සිතමි. ශ්‍රී ලාංකීය අප ද මේවා පිලිබදව කම්පා වී කථා කලෙමු. නමුත් දෙවරක් සිතා බැලිය යුතු කාරණය නම් එම සිදුවීමට පදනම් වූ “ජාතිවාදය” ප්‍රතික්ෂේප කරන්න අප ද සූදානම්ද? යන්නයි. මෙවන් වූ අවස්ථාවක වැදගත් වන්නේ එවැනි සිදුවීමන් පිලිබදව වාද විවාද කිරීම නොව එවන් වූ කාරණයන් අපේ ජීවිතයන් තුල කොතෙක් දුරට තිබෙනවාද? යන්න සහා මෙම අවාසනාවන්ත තත්වය ලොවින් තුරන් කිරීමට කලහැකි දායකත්වය කුමක්ද? යන්නයි.

සැබැවින්ම මෙම අවාසනාවන්ත තත්වයෙන් ලොව මුදවා ගැනීමට මඟක් හැකියාවක් පවතිනවාද? එය රටක නීතිරීති හා දඩුවම් මඟින් පාලනය කල හැකිවේද? රටක නීතියක් මඟින් මනුෂ්‍ය ආකල්පවලට ප්‍රබල බලපෑමක් සිදුකල නොහැක. මෙම මතවාදයන් බිදීමට නම් අනිවාර්යයෙන්ම මිනිස් සමාජයේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. ඒ සදහා මනුෂ්‍ය හදවතට කථාකරන ආකාරයට එම මෙහෙවර පැවතිය යුතුය. දැන් අප ඉදිරියේ ඇති ගැටළුව එවන් වූ මෙහෙවරක් සිදුකරන්නේ කෙසේද? ඒ සදහා භාවිතා කලහැකි ආදර්ශයන් ලොව තිබෙනවාද? යන්නයි. ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවේ නම් වර්ථමාන සමාජයටත් එහි ගිය ජාතිවාදය, කුලවාදය, වර්ණවාදය, දේශීයවාදය… රජකල යුගයක් හා ඉන් කිසියම් සමාජයක් මුදවාගත් ආදර්ශයක් ඉතිහාසගතව දක්නට ඇත. ඒ අන්කිසිවක් නොව මීට වසර 1400 කට පෙර ඉස්ලාම් දහම පෙන්වාදුන් ආදර්ශයයි. ඉස්ලාම් එදා ලොවට කියාපෑ ආදර්ශය වසර 1400ක් ගෙවීගිය අදට ද මුස්ලීම් සමාජයට එය ස්ථීරසාර පිලියමක් වී ඇත. මේ නිසා මුස්ලීම් සමාජයේ ජාතිවාද, කුලවාද, වර්ණවාද… වැනි වාදයන් දක්නට නැත. ඒ දිව්‍යමය දහමක් වූ ඉස්ලාම් දහම මනුෂ්‍යාගේ ස්පර්ශ කලයුතු නිවරැදි තැන ආදර්ශමත් ආකාරයට ස්පර්ශ කිරීම නිසාය. එය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 49-13 වාක්‍යය මඟින් මෙසේ සිදුකරයි.

“මනුෂ්‍යයිනි! ඇත්තෙන්ම අප ඔබ එක් පිරිමියෙක් හා එක් ගැහැණීයකගෙන් නිර්මාණය කලෙමු. කෙනෙකු අනිත් කෙනා හදුනාගැනීම පිණිස ඔබව ජාතීන් හා ගෝත්‍රයන් වශයෙන් කලෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යයි උඩඟු වීමට කිසිවක් නැත‍. එහෙත්) ඔබගෙන් කවුරුන් ඉතාමත් බියබැතිව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් (දෙවියන්)ගේ සන්නිධානයේ ඉතා ගෞරවණීය තැනැත්තාය.”

ඉහත වාක්‍යය පිලිබදව සදහන් කලයුතු කරුණූ කිහිපයක් ඇත. ඒ එම වාක්‍යයේ එක් ස්ථානයක “…ඔබව ජාතීන් හා ගෝත්‍රියන් වශයෙන් කලෙමු…” යනුවෙන් සදහන් වේ. මේ අනුව අල්ලාහ් (දෙවියන්)ම මිනිස් සමාජය ජාති හා ගෝත්‍ර වශයෙන් බෙදා සමාජය භේදබින්න කලායයි වැරදි වැටහීමක් ඇතිවිය හැක. එය එලෙස වටැගත නොහැක. අදටත් ලොව විවිධ ජාතීන් හා ගෝත්‍රයන් ජීවත්වනවා යන්න කිසිකුටත් ප්‍රතික්ෂේප කලනොහැක. මේවා ඉස්ලාම් දහම ද ප්‍රතික්ෂේප නොකරයි. නමුත් ඉන් එක් ජාතියක් අනෙක් ජාතියට වඩා උසස් යන්න හෝ එක් ගෝත්‍රයක් අනෙක් ගෝත්‍රයට වඩා උසස් යන්න හෝ අදහස් නොවේ. ඉස්ලාම් එය දකින්නේ සමාජීය අවශ්‍යතාවයක් ලෙසය. මන්ද අද පවතින සංකීර්ණ සමාජයේ නමක් කියූ පමණින් එකින් එකා හදුනාගැනීම පහසු කාර්‍යයක් නොවේ. මෙවැනි අවස්ථාවල ඔහුව නිවරැදිව හදුනාගැනීම පිණිස ඔහුගේ ජාතිය ගෝත්‍රය භාවිතා කිරීම ඉහත සංකීර්ණතාවය සරල කරගත හැකි පහසු මඟකි. මෙය අප සමාජයේ නිරතුරුවම දකින සංසිද්ධියකි. එය තමා ඉහත 49-13 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්)

“…කෙනෙකු අනිත් කෙනා හදුනාගැනීම පිණිස ඔබව ජාතීන් හා ගෝත්‍රයන් වශයෙන් කලෙමු…”

යනුවෙන් පවසන්නේ.

ඉස්ලාම් දහම ඉහත මිත්‍යා මතවාදය බිද දැමීම පිණිස ආදර්ශමත් ආකාරයට අනුගමනය කල ක්‍රියාමාර්ගය වෙත දැන් බුද්ධිමත් ලෙස අවධානය යොමු කරමු.

මුළු මිනිස් සමාජය මවන ලද්දේ එකම මිනිස් යුවලකින්

ඉහත ආකාරයේ මතභේදයන් හි මුළු මිනිස් සමාජය අමතක කර දැමු මූලික කාරණයක් ඉස්ලාම් සිහිකරවයි. ඒ අප කුමණ මතවාදයන් ඔස්සේ සමාජයේ බෙදී ජීවත් වුවත් අප සියළුදෙනා එකම මවකගේ හා පියෙකුගේ දරුවන් යන්නයි. මෙය බැලූ බැල්මට අවබෝධ කරගැනීම තරමක් අපහසු වන්නට පුළුවණි. නමුත් එය සරලව අවබෝධ කරගැනීම සදහා කලයුතු වන්නේ ලොව මනුෂ්‍ය ව්‍යාප්තිය පිලිබදව අතීතය දෙස අපසුහැරී බැලීම පමණි. එනම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයක් ජීවත් වේ. මීට අවුරුදු 200 ක් පමණ අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය කෝටි 200ක් පමණ වනු ඇත. ඊටත් වඩා අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය 1000ක්ද තවත් අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය 100ක්ද තවත් අතීතයට ගියේ නම් එදා මුළු ජනගහනය 10ක්ද තවත් අතීතයට ගියේ නම් ආරම්භක මිනිස් යුවලකින් ද අවසන් වේ. දැන් එතැන් සිට මිනිස් වර්ගයාගේ විකාශනය හා ව්‍යාප්තිය අධීක්ෂණය කලේ නම් මේ සියළුදෙනා ආරම්භක මිනිස් යුවලගේ දරුවන් යන්න මනාව පැහැදිලි වේ. ඒ අනුව අද ජීවත්වන කොටි 600 ක මේ මුළු මිනිස් සමාජයම එකම පවුලක් යන්නත් එහි ජීවත්වන සියළුදෙනා සහෝදර සහෝදරියන් යන්නත් කිසිවකුටත් කිසිදු ආකාරයකට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. එම මූලික සත්‍යය තමා මිනිස් සමාජයට ඉස්ලාම් අවධාරනය කරන්නේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා උදාහර්ණයක් ගෙන විමසා බලමු. එනම්,

කිසියම් පවුලක ළමුන් පහත ආකාරයේ විවිධ මට්ටම්වල ජීවත්‍ වෙනවා යයි උපකල්පනය කලේ නම්, එක් පවුලක A නම් දරුවා කළුපාට සමින් යුක්ත යන්නත්, B නම් දරුවා සුදුපාට සමින් යුත්කයන්නත්, C නම් දරුවා සිංහල භාෂාව කථා කරන බවත්, D නම් දරුවා දෙමල භාෂාව කථා කරනවා යන්නත්, E නම් දරුවා අරාබි භාෂාව කථා කරනවා යන්නත්, F නම් දරුවා බුදුදහම අදහන බවත්, G නම් දරුවා ඉස්ලාම් දහම අදහන බවත්, H නම් දරුවා නගරයේ ජීවත් වූ බවත්, I නම් දරුවා පිටිසර ගමක ජීවත් වූ බවත්, J නම් දරුවා උසස් අධ්‍යාපනයක් ලබා සමාජයේ උසස් තැනක සිටින බවත්, K නම් දරුවා අධ්‍යාපනයක් නොලබා සමාජයේ පහත් තලයක ජීවත්වන බවත්… යනදී වශයෙන්

ඉහත උපකල්පන පවුල පිලිබදව විමසුමක් කිරීමට පෙර එම උපකල්නය පිලිබදව සදහන් කරන්නේ නම්, මෙහි දී අවබෝධ කරගතයුතු කරුණක් ඇත. එනම්, ඉහත සියළු කාරණයන් එකම පවුලකට ප්‍රායෝගික නොවන මනක්කල්පියක් වන්නට පුළුවන, නමුත් ඉන් එකක් හෝ කිහිපයක් යන්න අප අවට සමාජයේ නිරන්තරයෙන් දකින්නට තිබෙන සත්‍යයක් යන්න කිසිවකුට ප්‍රතික්ෂේප කල නොහැක. ඒ අනුව ඉහත දරුවන් වන A B C D E F G H I J K… පිරිස් ඉහත කරුණු පදනම් කරගෙන එක් කෙනෙකුට වඩා අනෙකා උසස් හෝ පහත් යයි සලකන්නට හැකිවේවිද? එසේ හැකි නම් මෙලොව සෑම පවුලකම දරුවන් අතර මේ උසස් පහත් භේදය පවතිනවා යන්නත් කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එපමණක් නොව ඉහත වර්ගීකරණ කිහිපයට අනුව සැලකුවද මේ ලිපිය කියවන ඔබ විටෙක සමාජයේ උසස් පුරවැසියෙක් තවත් විටෙක සමාජයේ පහත් පුරවැසියෙක්, උදාහරණයක් ලෙස ඔබ අධ්‍යාපනයෙන් උසස් පුද්ගලයෙකු වන්නට පුළුවන නමුත් ඔබේ සම කළුපාට නිසා හෝ ඔබ හැදීවැඩුනේ පිටිසර ගමක නිසා ඔබ සමාජයේ පහත් පුද්ගලයකු වනු ඇත. එදා සරල පවුලක් වූ අප මෙය මිත්‍යාවක් ලෙස සිතූ අතර අද එම පවුලම තරමක් සංකීර්ණ වී නූතන පවුලක් වූ විට මේ ආකාරයටම ජාතිය, කුලය, ආගම, දේශය… යනාදී කාරණයන් සැලකීම නුතන සමාජයේ නැතුවම බැරි කාරණයක් බවට පත්ව ඇත.

අවාසනාව කියන්නේ බුද්ධියේ ඉනිපත්තෙහි ජීවත්වන නූතන මෙය අත්හැරීමට සූදානම් නොවීමය. නූතන මිනිසා වන ඔහු මේවාට එරෙහිව කථා කරයි නමුත් තම පවුලේ යමක් යයි ආ විට ජාතිය, කුලය, දේශය, වර්ණභේදය, භාෂාව… යනාදී සියල්ලටම මුල්තැන දෙයි. ඔහු කොතරම් එයතුල අන්ධ වෙනවාද යයි පවසනවා නම් තම ජාතියේ, කුලයේ, ආගමේ… කිසියම් කෙනෙකු තවත් ජාතියක, කුලයක, ආගමක… කෙනෙකු හා මතවාදයක් හෝ ගැටුමක් ඇති කරගත්තේ නම් එහි දී සාධාරණ අසාධාරණ සියල්ල පසෙක දමා තම ජාතියේ, කුලයේ, ආගමේ… පාර්ශවය වෙනුවෙන් පෙනීසිටිමට පෙළඹේ. මෙවැනි හේතුන් නිසා සමාජය තුල නිර්මාණය වන වෛරය ක්‍රෝධය එම සමාජයට දරුණු ප්‍රථිපලයන් ගෙනදෙයි. එවන් වූ අමිහිරි ඉතිහාසයන් ශ්‍රී ලාංකීය අපට බොහෝමයක් ඇත. මේවා තුලින් පැහැදිලි වන්නේ මෙවැනි වාදයන් තුල ජනතාව අන්ධයින් බවට පත්වෙනවා යන්නයි. ඒ ඔවුනට නිසි මඟපෙන්වීමන් නොමැති බැවිණි.

මා මෙසේ පවසන විට කෙනෙකුට සිතෙන්නට පුළුවන් “දැන් මේවා ගැන මිනිසුන් ඒ තරම් සැලකිලීමත් වන්නේ නැහැ” කියා. නමුත් බලන්න සතිඅන්ත පූවත්පතක මංගල දැන්වීම තීරුව මොහොතක් කියාවා බලන්න. මේවා තුල සමාජය කොතරම් ගිලී ජීවත්වෙනවද? යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. ලාංකීය සමාජය තුල කුලවාදය කොතරම් ඉහලින් රජ කරනවාද? යන්න එම පුවත්පත් දැන්වීම් තුලින් වටහාගත හැකිවනු ඇත. එපමණක් නොව සමහරක් ප්‍රදේශවල අදටත් ඉහල (ගොවි) කුලයේ මිනිස්සු පහල කුලයේ මිනිසුන් තම නිවෙස් තුලට නොගන්නවා යන්නත් ඔවුන්ගේ සිත් රිදෙන ආකාරයට සලකනවා යන්නත් මා පැවසූවේ නම් ඔබ පුදුමයට පත් නොවනු ඇත. එයත් ලාංකීය සමාජයේ කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. අප ශ්‍රී ලාංකීය අපගේ දියුණූ සංස්කෘතීන් ගැන කොතරම් යටිගිරියෙන් කෑගසමින් කියාපෑවත් තිත්ත වූ ඇත්ත එයයි. එපමණක් නොවේ මෑතකාලයේ ලාංකීය සමාජයේ වෙන කවරදාකටත් වඩා සිංහල භාෂාව පිලිබදව මහා ඉහලින් කථා කරයි. එනම්, “සිංහල භාෂාව තමා උසස්ම භාෂාව” යන්න ඔවුන්ගේ වාදයයි. මෙවැනි වාද වචනයට (පාර්ශවකරැවන්ට) අලංකාර වූවත් මේවාටත් කිසිදු පදනමක් නැත. මේවා තුල පිලිඹිබු වන්නේ මිනිසාගේ තිබෙන අනවබෝධය හා අන්තවාදීත්වය පමණි. භාෂාව අනුව මනුෂ්‍යාගේ උස්පහත් භේදයක් නිර්ණය කල නොහැක යන්න පැහැදිලි කාරණයක්. ලාංකීය සමාජය සැලකූවිට එහි භාෂා 10ක් පමණ ඇත. නමුත් අපට ආසන්න රට වන ඉන්දියාව සැලකූවිට එහි භාෂා 284 ක් ඇත.

සමස්ථ ලෝකයම සැලකූවිට කොතරම් සංඛ්‍යාවක් භාෂා පවතින්නට පුළුවන්ද? මේ සියල්ල අතුරින් සිංහල භාෂාව උසස් යයි පැවසීමට ඇති පදනම කුමක්ද? එය ලොව ආරම්භක මිනිස් යුවල කථා කල භාෂාවද?, එසේත් නැත්නම් ලොව පැරණිතම භාෂාවද? නොඑසේ නම් ලොව බහුතරයක් කථා කරන භාෂාවද? එසේත් නැත්නම් අඩුම තරමින් බුදුන් වහන්සේ විසින් කථා කල භාෂාවක්ද? (මේවා කිසිවක් මිනිසාගේ උසස් පහත් බව නිර්ණය කරන සාධක නොවේ) මේ සියල්ල නොවේ නම් සිංහල භාෂාව උසස්ම භාෂාවක් වන්නේ කෙසේද? නැවතත් පවසන්නට ඇත්තේ මෙය පැහැදිලිවම අනවබෝධය හා අන්තවාදීත්වයක් පමණි. වර්ථමාන ලොව තුල මෙම අවාසනාවන්ත තත්වය පවතින්නේ ඇයි?. මෙයට ප්‍රධාන හේතුව ඉස්ලාම් අවධාරනය කරන “සියළු මිනිසුන් නිර්මාණය කලේ එකම මිනිස් යුවලකින්” යන්න නිවරැදිව ලෙස සමාජය අවබෝධකර ගැනීම අතපසු කිරීමය. එදා ඉස්ලාම් ප්‍රකාශ වූ ආරම්භක සමාජය මෙවැනි මිත්‍යා විස්වාසයන් තුල ගිලී පැවතී කුරිරු සමාජයකි. වර්ථමාන සමාජයට සාපේක්ෂව එදා (මීට වසර 1400ක්ට පෙර) පැවති සමාජය ජාතිය, කුලය, දේශය, වර්ණභේදය, භාෂාව… වැනි උස් පහත් බේදයන් ඉහලින් සැලකූ සමාජයකි. නිදසුනක් කිහිපයක් පවසනවා නම්,

එදා සමාජයේ ප්‍රභූවරුන් ඉස්ලාමය පිලිගැනීම සදහා කොන්දේසියක් ලෙස පවසා සිටියේ මුහම්මද් (සල්) අපි ඔබ කියන දෑ පිලිගන්නම් හැබැයි. ඔබ සමඟ ඉන්න පහත් කුලේ පිරිස් සමඟ අපව එක්කරන්න එපා අපිට වෙනමම දහම දේශනා කරන්න ඒ අයට වෙනමම දහම දේශනා කරන්න අපේ තැනට ඒ අය කැදවාගෙන එන්න එපා. අරාබිවරුන් අනිකුත් භාෂා කථාකරන අයට පැවසුවේ “අජමී” යනුවෙනි. එහි තේරුම “භාෂාවක් නොමැති පිරිස” යන්නයි. එනම් අරාබිවරුන් සිතුවේ ලොව තිබෙන්නේ අරාබි භාෂාව පමණක් බවත් අන්සියල්ල භාෂාවන් නොවන බවත්ය. මෙවන් වූ සමාජයක් මධ්‍යයේ මුහම්මද් (සල්) තුමාණන් මගින් දිව්‍යමය පණිවුඩය වන ඉස්ලාම් ප්‍රකාශ වනවාත් සමඟම ඉහත ආකාරයේ වූ මිත්‍යාවන්ගෙන් මුස්ලීම් සමාජය මිදී මනුෂ්‍යත්වය පමණක් අගයන සමාජයක් නිර්මාණය විය. මෙම කාරණයට ඉස්ලාම් කොතරම් මූලිකත්වයක් ලබාදී කථා කරනවාද? යන්න අවබෝධ කරගැනීමට ශුද්ධ වූ කුර්ආනයේ මේ පිලිබදව කථා කරන බොහෝ වාක්‍යයන් සක්ෂි දරයි. එහි වැදගත්කම හා අවශ්‍යතාවය ඉහලින්ම සනාථ කරන අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන්ගේ කල අවසානම දේශනය සදහන් කලහැක. තම වසර 23 ක මෙහෙවෙර සාරාංශ කොට කල එම දේශනයේ දී මෙලෙස ද පවසා සිටින ලදී. එනම්,

“…ජනතාවනී ඉතා සාවදානව මට ඇහුම්කන් දෙන්න. අල්ලාහ් දෙවියන් පමණක් නමදින්න. දිනපතා පස්වේල සලාතය ඉටුකරන්න. රමළාන් මාසයේ උපවාසයෙහි යෙදෙන්න. ඔබගේ ධනයෙන් සzකාත් (මුස්ලීම්වරුන් විසින් දුප්පතුන්ට දෙන අනිවාර්ය බද්ධ) දෙන්න. වත්කම් ඇත්නම් හජ් වන්දනාවේ යෙදෙන්න. එක් මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුගේ සහෝදරයෙකු යන්න නුඹලා දන්නෙහිය. ඔබ සියළු දෙනා ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට වඩා උසස් නොවන සමානයෝ වන්නේය…”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 7343

ඉහත දැක්වෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් විසින් සිදුකල අවසාන දේශනයේ වැදගත් ස්ථානයකි. එනම් එහි සුවිශේෂත්වයක් වන්නේ ඉස්ලාමීය අනිවාර්ය යුතුකම් 05ක් වන අල්ලාහ් (දෙවියන්) පමණක් විශ්වාස කිරීම, දිනපතා පස්වේල නැමදීම, රමළාන් මාසයේ උපවාසයෙහි නිරතවීම, සzකාත් (මුස්ලීම්වරුන් විසින් දුප්පතුන්ට දෙන අනිවාර්ය බද්ධ) දීම හා හජ් වන්දනාවේ නිරතවීම යනාදී පංච කාරණය හා බද්ධ කොට “ඔබ සියළු දෙනා ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට වඩා උසස් නොවේ” යන්න පැවසීමයි. ඉහත අනිවාර්ය පංච යුතුකම හා බද්ධ කොට මෙම කාරණය ද පැවසීම තුල එයට කොතරම් වැදගත්කමක් ලබාදී තිබුනාද? යන්නත්, අද ලොව සෑම සමාජයක්ම අභිබවා ඉස්ලාමයට එය ජයගැනීමට හැකි වුයේ එදා එම මිත්‍යවට හා ඒ ඔස්සේ නිර්මාණය වූ දුර්වලතාවයන්ට “සියළුදෙනා එකම මිනිස් යුවලගේ දරුවන්” යන්න අවධාරණය කිරීම තුලින් ලබාදුන් විසදුම නිසා යන්නත් මනාව පිළිඹිබු වනවා නොවේද?

දැන් ඔබට ගැටළුවක් මතුවිය හැක. ඒ “ඉස්ලාම් පවසන්නේ මිනිසුන් අතර උස් පහත් භේදයක් නැතැයි කියාද?” යන්නයි. ඇත්තෙන්ම ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ මනුෂ්‍යාගේ උපතින් ඔහුට උසස් බවක් හෝ පහත් බවක් ආරෝපණය නොවනවා යන්නයි. එසේම ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව (ශුද්ධ වූ කුර්ආනය පවා පවසා සිටින්නේ) “සෑම කෙනෙකුම උපදින්නේ ඉස්ලාම් දහමේය නමුත් එම දරුවන්ගේ දෙමාපියන් විසින් තමා එම දරුවා වෙනත් පැතිවලට ‍(ආගම්වලට) හරවන්නේ” යන්නයි. මේ අනුව මනුෂ්‍යාගේ උපතින් උරුම වන ජාතිය, කුලය, දේශය, වර්ණය හෝ භාෂාව අනුව ඔහුට කිසිදු උසස් බවක් හෝ පහත් බවක් අත්නොවන නමුත් ඉහත 49-13 වාක්‍යයේ පවසන ආකාරයට කෙනෙකු මෙලොව ජීවත්වන ආකාරය අනුව දෙවියන් හමුවේ ඔහු උසස්ද? පහත්ද? යන්න තීරණය වන බව ඉස්ලාම් අවධාරණය කරයි. ඒ පිලිබදව දැන් අවධානය යොමු කරමු.

මෙම ලිපියෙහි තවත් කොටසක් වන දෙවියන් හමුවේ උසස් පුද්ගලයා කවුද? යන්න මෙතැනින් පිවිස කියවන්න…

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම