ශෙයිතාන් නම් අමනුෂ්‍ය මැවීම පිලිබදව ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මනුෂ්‍ය ඇසට ගෝචර නොවන ‘අමනුෂ්‍යයන්‘ පිලිබදව වූ විශ්වාසයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ඈත අතීතයටම දිවයන විශ්වාසයක් වන අතර එම විශ්වාසය ආගම්, සමාජ, සම්ප්‍රදාය හා ගෝත්‍ර… යන කාරණයන් මත විවිධ වේ. මනුෂ්‍ය අපේ පියවි ඇසට නොපෙනෙනමෙම අමනුෂ්‍ය බලවේග මනුෂ්‍යයන් වන අපට වඩා අති ප්‍රබල බවටත්, ඔවුන් සතුව අසීමිත බලයන් ඇති බවටත් සමාජයේ පිලිගැනීමක් ඇති අතර ඒ අතර තුර ‘නෑ නෑ ඔවුන්ට එවැනි අසීමිත බලයක් නැහ. ඔවුන් ද අප මෙන්ම තවත් ජීවි කොට්ඨාශයක් පමණි‘ යනුවෙන් තර්ක කරන පිරිස් ද අප අතර ඇත. මනුෂ්‍යාගේ මෙම පිලිගැනීම මුදල් ඉපයීම සදහා වූ සාර්ථක ව්‍යාපාරයක් කරගත් භූත දෝෂ, ප්‍රේත දෝෂ, යක්ෂ දෝෂ, අමනුෂ්‍ය දෝෂ… පිලිබදව අනාවැකි පවසන හා ඒවා දුරු කරන පිරිස් ද අප අතර ඇත. මෙවැනි ව්‍යාපාර ශ්‍රී ලාංකීය සමාජය තුල ද විටින් විට උණූසුම් මාතෘකාවන් වීම පිලිබදව අත්දැකීම් ඇති ඔබට මෙය අළුත් කාරණයක් ද නොවන ඇත.

මේ අතර මෙම අමනුෂ්‍ය බලවේග පිලිබදව විශ්වාස නොකරණ ‘යක්ෂ, ප්‍රේත, භූත,අමනුෂ්‍ය… යනාදීය මනුෂ්‍යා තුල ඇති වන මනෝ විකාරයන් මිස එහි කිසිදු යථාර්ථයක් නැත. මේවා මානසික රෝග පමණි.‘ යනුවෙන් වාද කරන, එවැනි විශ්වාස දරණ පිරිසට අභියෝග කරන පිරිස් මෙන්ම සංගම් ද අතීතයේ පටන් අප අතර දකින්නට ඇත. මේ පිලිබදව ලොව ප්‍රකට මතදාරියෙකු මෙන්ම ආචාර්‍යයරයෙකු ද වන ‘කෝහූර්‘ මහතා මෙන්ම එතුමා විසින් ස්ථාපනය කරන ලද අදටත් ක්‍රියාත්මක ‘හේතුවාදී සංගමය‘ මෙයට සංවේදී නිදසුන් දෙකකි. මේ ආකාරයට අමනුෂ්‍යයන් පිලිබදව විශ්වාසයේ විවිධ පැතිකඩ ඔබේ අවදානයට තබමින් මෙම ලිපිය තුලින් මා අද අවදානය යොමු කිරීමට උත්සාහ කරන්නේ මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදවයි.

මනුෂ්‍යයන් නොවන ‘අමනුෂ්‍යයන්‘ පිළිබඳ වූ විශ්වාසය ලොව සෑම දහමක්ම කථා කරන පොදු විශයකි. ශ්‍රී ලාංකීය සමාජයේ පවතින ආගම් ඇදහිලි හා ඒහා බැඳුනු විශ්වාස සැලකුවද බුදු දහම, කිතුණූ දහම, හින්දු දහම… යනාදී ආගම් තුල ද මෙම දෙවියන්, යක්ෂයන්, පේ‍්‍රතයන්, භූතයන්… යන විශ්වාසය අඩුවැඩි වශයෙන් දක්නට ඇත. මෙවැනි සමාජ පසුබිමක විශේෂයෙන් හින්දු හා බෞද්ධ සමාජයේ අමනුෂ්‍යයන් පිලිබදව වූ විශ්වාසයන් ආභාෂයට ගෙන කටයුතු කරන මුස්ලීම් සමාජයේ අවබෝධය පිණිස මෙන්ම අමනුෂ්‍යයන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීමට ‘ශෙයිතාන් නම් අමනුෂ්‍ය මැවීම පිලිබදව ඉස්ලාමීය විමසුමක්‘ යන මෙම ලිපිය තුලින් මෙතැන් සිට උත්සාහ කරමි. විශේෂයෙන් අනිකුත් සමාජ ආභාෂයට ගෙන මුස්ලීම් දේවාල, මුස්ලීම් ගුරුන්නාන්සේලා හා මුස්ලීම් ශාස්ත්‍රිකාරයන් බිහිවෙමින් තිබෙන වර්තමාන වකවානුවේ මෙවැනි මාතෘකා කාලීන වශයෙන්ද වැදගත් වේ.

මා ඉහතින් සදහන් කලාසේ ලොව සෑම දහමකම දක්නට ලැබෙන ‘අමනුෂ්‍යයන්‘ (එනම් මනුෂ්‍යයන් නොවන තවත් පිරිසක්) පිලිබදව වූ විශ්වාසය ඉස්ලාම් දහම තුලත් දක්නට ඇත. ඉස්ලාම් දහම තුල එය ප්‍රධාන ආකාර 03 ක් වේ. එනම්,

  •  සර්ව බලධාරී එකම දෙවි ‘අල්ලාහ්
  •  මලාඉකාවරුන් (හෙවත් දේව දූතයන් (දේවතාවන්))
  •  ‘ජින්වරුන්‘ (මේ ජින්වරුන් අතුරින් මනුෂ්‍යයන්ට අයහපත පමුණූවන්නන් ‘ශෙයිතාන්‘ ලෙස හැදින්නේ.)

‘යහමග‘ අඩවිය තුල මීට ඉහත පලමු හා දෙවන කාරණය සැලකිය යුතු තරමින් සාකච්චා කොට ඇත. නමුත් ඊට සාපේක්ෂව තුන්වන කාරණය වන ‘ජින් හෝ ශෙයිතාන්‘ නම් විෂය එ් තරමින් සාකච්චා කොට නැත. ‘යහමඟ‘ අඩවිය තුල ඉදිරිපත් කල ලිපි ගණනාවකම ‘ශෙයිතාන්‘ යන යෙදුම භාවිතා කර ඇතත් ඒ පිලිබද පැහැදිලි විග්‍රහයක් මෙතෙක් ඉදිරිපත් නොකිරීම මෙම අඩවිය තුල පැවතී අඩුවකි. මේ හේතුව නිසාද මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට මා අදහස් කල අතර ඒ අනුව මෙතැන් සිට ‘මේ ශෙයිතාන් යනු කවුද?‘ යන්න විමසා බලමු.

ඒ සදහා පිවිසුමක් ලෙසත්, මා පවසන්නට යන මේ ‘ශෙයිතාන්‘ පිලිබදව සරල අවබෝධයක් ලබාගැනීම සදහාත් මේ ශෙයිතාන්ගේ ජීවදත්ත (Bio data) එක වෙත මොහොතක් අවදානය යොමු කරමු.

ජීව දත්ත හෙවත් Bio-data

  • නම – ඉබ්ලීස්
  • ලිපිනය – ලොව සෑම තැනක්ම
  • වංශය – ජින් වංශය
  • සුරතල් නාමය – මුලාකරන්නා, නපුරා
  • ප්‍රතිපත්තතිය – සමස්ථ මිනිස් සමූහය නිරයට ඇතුල් කිරීම
  • අත්දැකීම් – ප්‍රථම දේව වක්තෘවරයාණන් පටන් සමස්ථ මිනිස් වර්ගයාම නොමඟ යැවීම. විශේෂයෙන් පලමු මිනිසා මෙන්වම දේව වක්නතෘවරයාණන් වන ‘ආදම්‘ නබිතුමාණන්ව නොමඟ යැවීම හා ස්වර්ගයෙන් බැහැර කිරීම
  •  තනතුර – සමස්ථ ශෙයිතාන්වරුන්ගේ නායකයා
  •  සුවිශේෂි හැකියාව – මිනිස් නහරවල පවා ගමන් කිරීමේ හැකියාව
  •  උපක්‍රම – යහපත් දෑ කෙරෙහි ඇති වන උනන්දුව අඩාල කිරීම හා අයහපත්, පාපකාරී මෙන්ම පිලිකුල් සහගත දෑ කෙරෙහි උනන්දුවක් ඇති කිරීම
  •  විනෝදාංශය – පවුල් තුල මෙන්ම සමාජය තුල භේද ඇති කිරීම හා ආගම තුල අලුත් ඇදහිලි (බිද්අත්) ක්‍රමයන් නිර්මාණය කිරීමට උනන්දු කිරීම

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල ‘ශෙයිතාන්‘ පිලිබදව සදහන් කරුණු සාරාංශ කොටය. මෙතැන් සිට ඔහු පිලිබදව පුළුල්ව විමසා බලමු.

ශෙයිතාන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

මා ඉහතින් සදහන් කලාසේ මෙම ශෙයිතාන් පිලිබදව මුස්ලීම් සමාජයම විවිධ මත පවතී. මේ හේතුව නිසාම ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න සවිස්තරව අධ්‍යනය කලයුතුව තිබේ. එනම්, මේ ශෙයිතාන් කවරෙක්ද? ඔහුට ඇති ශක්තිය කුමක්ද? මනුෂ්‍යයෙකුට කොතරමි බලපෑමි කලහැකිද?…යනාදිය එවැනි කිහිපයකි. ඒ අනුව ප්‍රථමයෙන් වටහා ගතයුතු කාරණය ඉස්ලාමි දහමේ ඉගෙන්වීමට අනුව ‘ශෙයිතාන්‘ නැමති ජීවියෙකු සිටිනවා යන්නයි. ඉන් අන්තුරුව වටහා ගතයුතු දෙවන කාරණය වන්නේ මේ ශෙයිතාන් හා මනුෂ්‍යයන් අතර අරඟලයක් අභියෝගයක් පවතිනවා මිසා අල්ලාහ් (දෙවි) හා ඔහුට කිසිදු ගටිටනයක් නොමැති බවයි. මෙය පහත 7-14 සිට 16 දක්වා වූ පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් වටහාගත හැක.

ඔවුන් (සියලූ දෙනාම) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මා පමා කරන්න යැයි ඔහු (ඉබ්ලීස්) කීවේය. නියත වශයෙන්ම නුඹ පමා කරනු ලැබූවන්ගෙන් කෙනකු යැයි අල්ලාහ් පැවසුවේය. ඔබ මා නොමඟ යැවූ නිසා ඔබගේ සෘජු මාර්ගයෙන් ඔවුනට (බාධාවක්ව) මම සිටින්නෙමියි ඔහු(ඉබ්ලීස්) කීවේය.

ශුද්ධ වූ කුර්ආනය 7-14 සිට 16

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව ලෝක අවසාන (කියාමත්) දිනය දක්වා මිනිසා නොමග යැවීමමේ අවස්ථාව ශෙයිතාන් ලබාගෙන ඇත. මෙම බලය හැර වෙනකිසිදු බලයක් ඔහුට ලබාදුන් බවක් ඉහතින් සදහන් නොවේ. නමුත් මනුෂ්‍යා විසින් ශෙයිතාන් අල්ලාහ් (දෙවි)ගෙන් ලද වරප්‍රසාදය අමතක කිරීම නිසාත්, එය අවතක්සේරු කිරීම නිසාත්, විවිධ අවස්ථාවල ශෙයිතාන්ගේ කුමණ්ත්‍රණවලට මිනිසා හසුවේ. ශෙයිතාන් පිලිබදව නිසා අවබෝධයෙන් මනුෂ්‍යයෙකු ක්‍රියා කරන්නේ නම් ඔහුට මනුෂ්‍යයා නොමඟ යැවීම පහසු නොවේ. මා මෙසේ කරුණූ ඉදිරිපත් කරන විට ‘ශුද්ධ වූ කුර්ආනය තුලින් ඔප්පු වන්නේ ශෙයිතාන්ට අදික බලයක් තිබෙන බව නොවේද?‘ යනුවෙන් පවසමින් සමහරක් පිරිස් ජනප්‍රිය තර්කයක් ඉදිරිපක් කරයි. එනම්, ශුද්ධ වූ කුර්ආනයේ 2-275 වාක්‍යය තුලින් කියවෙන්නේ ශෙයිතාන් මනුෂ්‍යයාට වඩා ප්‍රබල බව නොවේද? යනුවෙනි. ඒ පිලිබදව ද මෙහි කෙටි විමසුමක් කරන්නේ නම්, එම වාක්‍යය මෙසේය…

පොළී ගිළගන්නා ඔහුව ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහු උමතු වුවකු සේ නැගිටින ලෙසින් මිස, නොනැගිටියි…

ශුද්ධ වූ කුර්ආනය – 2-275

ඉහත වාක්‍ය පෙන්වා ශෙයිතාන්ට මනුෂ්‍යාගේ මනස විකෘති කිරීමේ හැකියාවක් බලයක් ඇතැයි සමහරක් පිරිස් තර්කකරයි. එම කාරණය පිලිබදව අවදානය යොමු කිරීමට ප්‍රථම මෙහිදී වටහාගත යුතු මූලික කාරණයක් ඇත. එනමි, ශුද්ධ වූ කුර්ආනයේ එක් සුවිශේෂ ලක්‍ෂණයක් නමි යහපත් යමක් පවසනවිට එය අල්ලාහ් (දෙවි) හා සමිබන්ධ කොට පවසන අතර අයහපත් යමක් පවසන විට එය ශෙයිතාන් හා බද්ධ කොට පවසයි. මෙම තත්වය නූතන අපට අවබෝධ කරගැනීම අපහසු නොවේ. අද සමාජයේ පවා කිසිවකු අයහපත් යමක් කලවිට එය අමනුෂ්‍යයා සමඟ සම්බන්ධ කොට ‘අමනුෂ්‍යා, තිරිසනා…‘ යනාදී ලෙස බැනවැදීමත්, යහපත් පුද්ගලයෙකු දුටුවිට ‘මේ මනුෂ්‍යා දෙවියෙක්‘ ලෙස ප්‍රශංසා කිරීමත් අපට අළුත් කාරණයක් නොවේ. මෙවැනි ක්‍රමවේද මුස්ලීම්වරුන් භාවිතා කිරීම නොසුදුසු වුවත් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙලෙස බොහෝ ස්ථානවල භාවිතා කොට ඇත. නිදසුනක් ලෙස එවැනි වක්‍යයන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  •  ශුද්ධ වූ කුර්ආන් 2-14 වාක්‍යය (මෙහි click කොට කියවන්න)
  •  ශුද්ධ වූ කුර්ආන් 6-112 වාක්‍යය (මෙහි click කොට කියවන්න)
  •  ශුද්ධ වූ කුර්ආන් 41-29 වාක්‍යය (මෙහි click කොට කියවන්න)
  •  ශුද්ධ වූ කුර්ආන් 38-41 වාක්‍යය (මෙහි click කොට කියවන්න)

මේ ආකාරයටම 2-275 වාක්‍යය තුලින් ද අල්ලාහ් (දෙවි) පවසන්නේ ඉස්ලාම් දහමේ මහා පාපයක් වන ‘පොලී‘ කන්නන්ට අත්වන ඛේදවාචකය නිසා එය ශෙයිතාන් හා බද්ධ කොට පවසයි. එපමණක් නොව මෙය ශෙයිතාන්ගේ ක්‍රියා කලාපයට සමාන ක්‍රියාවක් ලෙස ද ඉස්ලාම් සැලකීම මෙසේ පවසන්නට හේතු වියහැක. මෙසේ වටහා ගැනීමට මූලික වන අමතර කාරණයක් ද ඇත. එනම්, ශෙයිතාන්ගේ න්‍යාය පත්‍රයට අනුව මනුෂ්‍යයෙකුගේ මනස විකෘති කිරීම, ඔහුව ආබාධීතයෙකු කිරීම, ඔහුව මරණයට පත්කිරීම… ඔහු ලබන පරාජයක් මිස ජයග්‍රාහණයක් නොවේ. ඔහුගේ ජයග්‍රාහණය ඇත්තේ මනුෂ්‍යා නොමඟ යැවීම තුල පමණි. එසේ නොමැතිව මනුෂ්‍යා හට විකෘති මනසක්, ආබාධික තත්වයක්, මරණයක්… ඔහු ඇති කරන්නේ නම් ඔහුට එම මනුෂ්‍යා නොමඟ යැවීමේ අවස්ථාව ගිලිහී යාම ඔහුගේ පරාජයට කාරණයක් වේ. එය මනාව වටහා ගැනීමට මුහම්මද් (සල්) තුමාණන් පවසන ලද ශුද්ධ වූ හදීසයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

මනුෂ්‍යයන් තිදෙනෙකු සමිබන්ධයෙන් (මනුෂ්‍යාගේ හොද නරක ලියවෙන පලකයෙන්) පෑන ඔසවා තබා ඇත. එනමි,
1 නිදියන මනුෂ්‍යයා අවදිවනතෙක්
2 කුඩා දරුවකු හොද නරක වටහාගන්නා අවදිය වනතුරු
3 මනස විකෘතිවු පුද්ගලයකු එයින් මිදෙනතුරු

මූලාශ්‍ර ග‍්‍රන්ථය – නසාඊ, අබුදාවුද්, ඉබුනුමාජා

ඉහත කරුණුවලට අනුව ශෙයිතාන් හට මනුෂ්‍ය සිතේ බලපෑම් ඇති කල නොහැකි බවත්, එය ඔහුගේ න්‍යාය පත්‍රයට අනුව කිසිසේත් සිදු නොකරන කාරණයක් බවත් පැහැදිලිය. එසේනම් මීලඟට විමසා බැලිය යුතු කාරණය වන්නේ ඇත්තටම මේ ශෙයිතාන්ගේ ශක්තිය කොපමණද? ඔවනුගේ හැකියාවන් මොනවාද? යන්න පිලිබදවයි. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මෙම කාරණය අවබෝධ කරගත යුතු වන්නේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන මිස සමාජ ජනප්‍රවාද, මිත්‍යා විශ්වාස හෝ සමාජ සම්ප්‍රදායන් පදනම් කරගෙන නම් නොවේ. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන ශෙයිතාන්වරුන්ගේ හැකියාව ශක්තිය විමසා බලමු.

වෙස් මාරුකිරීම.

ජින්වරුන් වර්ග තුනකි. එනම්,

* එක් පිරිසක් සුලගේ පියාසරකරමින් සිටී,
* තවත් පිරිසක් (සුනඛයින් නොහොත්) බල්ලන් ලෙසත්, සර්පයින් ලෙසත් වෙස් ගෙන සැරිසරයි,
* අනික් කොටස සෑමතැනම (අදෘෂ්‍යමානව) ඇවිදෙමින් සිටියි

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි, හාකිමි

මුහම්මද් (සල්) තුමාණන් ජින්වරුන් පිලිබදව පැවසීමේ දී ඔවුන් ප්‍රධාන කොටස් තුනකට බෙදා විස්තර කර ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මේ ඉහත හදීසය තුල ජීන්වරුන් නම් අමනුෂ්‍ය පිරිසක් අප අතර සැරිසරන බව පමණක් නොව ඔවුනට වෙස් මාරුකිරීමේ හැකියාව පවතින බවත් සැබැවක් බව පැහැදිලි වේ. විශේෂයෙන් නපුරු ජින්වරුන් නොහොත් ශෙයිතාන්වරුන් කළු පාට බල්ලන් ලෙස මිනිසුන් අතර සැරිසැරූ බවට ශුද්ධ වූ හදීස් ගණනවෙක විස්තර කෙරේ. එවැනි එක් හදීසයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී – ‘සලාතය ඉටුකරන්නා තමා ඉදිරියෙන් සුත්ත‍්‍රා (නම් බාධකයක්) තබාගත යුතුය. මන්ද බූරුදෙනක් හෝ කළු බල්ලෙකු සලාතය ඉටුකරන්නා ඉදිරියෙන් ගොස් සලාතයට බාධා කරනු ඇත‘ එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් හමුවේ සිටි (අනුගාමික) සහාභිවරයෙකු ‘නබිතුමණි!, කළුපාට බල්ලන් හා සුදු රතු පාට බල්ලන් අතරත් ඇති වෙනස කුමක්ද?‘ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘කළු බල්ලන් ශෙයිතාන් වේ‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීමි

ඉහත හදීසය කියවන මුස්ලීම් හා මුස්ලීම් නොවන ඔබ බොහෝ දෙනෙකු තුල කුතුහලයන් ගණනාවක් ඇති විය හැක. විශේෂයෙන් ඉහත හදීසය දැකීමෙන් අනතුරුව ‘කළු බල්ලන්‘ ලඟට යාම භයානක කාරණයක් ලෙසත් බල්ලන්ගේ වෙස්ගෙන ශෙයිතාන් පැමිණියේ නම් එහි ඉමහත් භයානක තත්වයන් ඇති වියහැකි බවටත් ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මෙතැනදී එවැනි අවතක්සේරුවක් ඔබ ඇති කරගැනීමට අවශ්‍ය නොවේ. මන්ද ජින්වරුන් වුවත් බල්ලන් වෙස් ගත්තේනම් ඔහුට බල්ලන්ගේ ශක්තිය ඉක්ම වූ ශක්තියක් හිමි නොවේ. ඔහුට ලැබෙන්නේ බල්ලෙකුගේ ශක්තිය හා හැකියාව පමණි. මෙයට පහත හදීසය හොදින් සාක්ෂි දරයි.

මුහම්මද් (සල්) තුමාණන් මාව රමලාන් මාසයේ භාන්ඩාගාරයේ සකාත් වස්තූන් ආරක්‍ෂා කරන්නා ලෙස පත්කරන ලදී. දිනක් රාත‍්‍රියේ නාඳුනන කෙනෙකු පැමිණ භාණ්ඩාගාරයෙන් වස්තුන් සොරකම් කරද්දී මා විසින් ඔහුව අල්ලා ගන්නා ලදී.  පසුව එම සොරා පාපොචිචාරණය කල අතර මා විසින් ඔහුව නිදහස් කරන ලදී. පසුදා උදෑසන නබිතුමාණන් හමුවට ගියවිට ‘නුඔරාති‍්‍රයේ හමුවු සිරකරුවාට කුමක්කලාද ?‘ යනුවෙන් විමසන ලදී. එයට මා ‘ඔහුගේ පාපොචිචාරණය අසා ඔහුව නිදහස් කලෙමි‘යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘ඔහු හෙටත් ඒවී‘ යනුවෙන් පවසන ලදී. මේ ආකාරයට දෙවතාවක්ම එම සොරා නැවත නැවත පැමණි අතර සුපුරුදු පරිධි පාපොච්චාරණය කිරීමෙන් නිදහස් විය. අවසාන වතාවේ දී එම සොරාව අල්ලාගත් මොහොතේ ඔහුව නිදහස් කරන්නේනමි ඒ සදහා ප්‍රතිඋපකාරයක් ලෙස ශෙයිතාන්ගෙන් ආරක්‍ෂාවීමේ උපක්‍රමයක් කියාදෙන බව පවසා ශුද්ධ වූ කුර්ආනයේ 2-255 ‘ආයතුල් කුර්සි‘ නම් වාක්‍යය කියාදෙන ලදී. එය අසා මා නැවතත් ඔහුව නිදහස් කල අතර පසුවදා නබිතුමාණන් හමුවේ සිදුවූ සියල්ල පැවසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔහු බොරුකාරයෙකු වුවත් ඔහු පැවසු දෑ සත්‍යයකි.‘ යයි පවසන තවදුරටත් මෙසේ විමසන ලදී. ‘අබුහුරෙයිරා !,  ඒ රාතී‍්‍රන් තුනේදීම ආවේ කවුරුන්ද? කියා ඔබ දන්නෙහිද?‘ යනුවෙන් විමසා  ‘ඔහු තමා ශෙයිතාන්‘ යයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය දීර්ඝ හදීසයක කොටසක් වන අතර මෙම හදීසය තුල එසේ පැමිණි ශෙයිතාන්ගේ ශරීර අංග ලක්ෂණ පවා විස්තර කෙරේ. මිනිස් වෙස්ගෙන පැමිණී මේ ශෙයිතාන් පිලිබදව ඉහත තොරතුරු විමසා බැලීමේ දී ඔහුට මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියක් නොපැවතී බවත්, සමාන්‍ය මනුෂ්‍යයකු ලෙස නිදහස ඉල්ලා බැගෑපත් වූ බවත් මනාව පැහැදිලි වේ. ඉහත හදීසය තුලින් ජින්නුන්ගේ හැකියාව පිලිබදව දළ අවබෝධයක් ලබාගත් අප දැන් ඔහුගේ ශක්තිය පිලිබදව මොහොතක් විමසා බලමු.

ජින්නුන්ගේ ශක්තිය

ජින්නුන් ඉතාම ශක්තිවන්ත මැවීමක් ලෙස බොහෝ දෙනෙකු වටහාගෙන සිටී. නමුත් ඇත්තෙන්ම ඔවුන් එතරම් ශක්තිවන්ත ද? යන්න බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඔවුන්ගේ බොහෝ දුර්වලතාවයන් ද දැකගත හැක. එය අවබෝධ කරගැනීම පහසුව සදහා මේ දෙක වෙන වෙනම පෙලගසන්නේ නම්,

ජින්වරුන්ට ඇති සුවිශේෂි ශක්තීන්

  • වේගයෙන් ක‍්‍රියාකිරීමේ හැකියාව (කියවන්න – සබා රුජිණියගේ සිංහාසනය සුලෙයිමාන් නබිතුමා වාඩිවසිටි ආසනයෙන් නැගිටීමට පෙරම සුලෙයිමාන් තුමාගේ රජමාලිගාවට රුගෙන ඒම – ශුද්ධ වූ කුර්ආනයේ 27-38 වාක්‍යය.)
  • ආකාශයේ ගමන්කිරීමේ හැකියාව (කියවන්න – සත්‍ය වශයෙන්ම අප අහස ස්පර්ශකර බැලුවෙමු – ශුද්ධ වූ කුර්ආනය වාක්‍යය
  • වෙස් මාරුකිරීමේ හැකියාව (ඉහතින් ඔප්පුකල ආකාරයට ඔවුන් වෙස්මාරුකිරීමට සමත්ය)
  • ඉදිකිරීමි ක්‍ෂෙත‍්‍රයේ හැකියාව (කියවන්න – මෙය අල්කුර්ආනයේ 34-13 පවසයි
  • සිත්හි කලබලකාරි තත්වයන් ඇතිකිරීම –
නබිතුමාණන්ගේ බිරිද වන සෆියා (රලි) තුමිය පවසයි. නබිතුමා දිනක් ඉහ්තිකාෆ් (දේවස්ථානයේ රුදී)සිටින විට මම එතුමාණන් බැහැදැකීමට ගොස් නැවත නිවස කරා ඒමට සැරසුණු විට නබිතුමාත් මාගේ තනියට මා සමඟ පැමිණෙන ලදී. එම මොහොතේ අපදෙසට පැමිණි අන්සාරි සහාභාවරු (මදීනා නගර වාසී) දෙදෙනෙකු අපව දැක වේගයෙන් ගමන් කරන්නට විය. එයදුටු නබිතුමාණන් ‘මොහොතක් නතරවෙන්න මෙය මගේ බිරිද සෆියා‘යයි පවසන ලදී. මෙය ඇසු ඔවුන් දෙදෙනා මවිතයට පත්ව ‘සුබහානඅල්ලාහ් අල්ලාහ්ගේ දුතයානනි !‘ (ඔබ තුමාව අප සැකකරන්නේමුද?) යයි පවසන ලදී.  එයට නබිතුමාණන් ‘ශෙයිතාන් මනුෂ්‍යාගේ රුධිර නාලයන් සියල්ලෙහිම ගමන්කරයි ඔහු නුඹලාගේ සිත්තුල වැරදි සිතුවිලි ඇතිකරයි‘ යයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීමි

නබිතුමාණන් පැවසුවායයි ඉබුනුඅබිබාස් (රලි) තුමා පවසයි ‘නුඔලාගෙන් කිසිවකු සලාතය ඉටුකරන්න පටාන්ගත් විට ශෙයිතාන් ඇවිත් ඔහුගේ පිටුපස ප‍්‍රදේශයේ පිඹිනු ඇත. ඒ මගින් වුළු සිදුනාදෝයන සැකයක් ඔහු තුල ඇති වේ. නමුත් වුඵ සිදීනැත මෙවැනි තත්වයක් ඇතිවුවහොත් ශබිදය එසේත් නැත්නම් දුගද දැනෙනතුරු සලාතය සිදනොලන්න‘

මූලාශ්‍ර ග්‍රන්ථය – අල්-බස්සාර්

මෙම හදීසයට සමාන හදීසයන් බුහාරී හා මුස්ලීමි යන මූලාශ්‍ර ග්‍රන්ථවලද දක්නට ලැබේ. මේ තුලින් පැහැදිලි වන්නේ ශෙයිතාන් හට මනුෂ්‍යය සිත්වලට බලපෑමක් කලහැකි බවයි. විශේෂයෙන් ශෙයිතාන් විසින් යහපත් යැයි හැ‍ගෙන ආකාරයේ සිතුවිල් මනුෂ්‍ය සිතු තුල ඇති කොට ඒ තුලින් මනුෂය නොමඟ යැවීමට කරන බලපෑම ඉතා ප්‍රබලය. නිදසුනක් ලෙස අල්ලාහ් (දෙවි)ගේ මැවීමන් පිලිබදව සිතීම යහපත් දෙයකි නමුත් අවසානයේ අල්ලාහ්ගේ ආරමිභය කුමක්ද? ඔහුව මැව්වේ කවුද? යනාදී ලෙස සිතන්න යොමු කිරීම භයානක තත්වයකි.

ජින්වරුන්ට ඇති දුර්වලතාවයන්

  • ඔහු විසින් මුමීන්වරුන්ට කිසිවක් කල නොහැක (කියවන්න – ශුද්ධ වූ කුර්ආනයේ 17-65 15-39 15-40 15-42 16-99 16-100 34-21 19-83… යන වාක්‍යයන්)
  • මුමීන්වරු දුටුවිට බියවීම – ( නබිතුමාණන් උමර් (රලි) තුමා දෙස බලා ‘උමර් !, ඔබව දුටුවිට ශෙයිතාන් පලාදුවයි‘යයි පැවසීම සදහන් කල හැක (මූලාශ්‍ර ග්‍රන්ථ – අහ්මද්, තිර්මිද, ඉබුනුහිෆ්ෆාන්) යන හදීසයත්, ‘නුඔලා ගමනක නිරත වනවිට තමා ගමන්කරන සතාගේ නලලෙහි කෙස්රොදෙන් අල්ලා නුඔලාට අවශ්‍ය ආකාරයට ගමන්කරනවාසේ නිශ්චය වශයෙන්ම මුමීන්වරයෙකු (හෙවත් යහපත් මුස්ලීම්වරයෙකු) ශෙයිතාන්ගේ නලල්රොද අල්ලාගෙන ඇත‘ (මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්) යන හදීසයත් ශෙයිතාන්ගේ දුර්වලතාවය මනාව පැහැදැලි කරයි.

මනුෂ්‍යා නොමග යැවීම

ඉහතින් ජින්වරුන්ගේ හැකියාව මෙන්ම ඔවුන් සතු ශක්තිය කොතරම්ද? යන්න සාක්ෂි සහිතව විමසා බැලුවෙමු. එසේ වුවත් මුස්ලීම් සමාජය තුල ජින්වරුන් සම්බන්ධයෙන් වූ මිත්‍යා විශ්වාසයන් සැලකූවිට එම ඉහත විග්‍රාහයන් කොතරම් දුරකට පලදායි වනු ඇත්තද? යන්න සැක සහිතය. විශේෂයෙන් මෙම ජින්වරුන් උපයෝගි කරගෙන වෛද්‍ය ප්‍රතිකාර, විටෙක ශල්‍යකර්ම පවා සිදුකරන පුවත් සමාජය තුල අසන්නට ලැබේ. වෛද්‍ය විද්‍යාවෙන් සුවකල නොහැකි ඕනෑම රෝගයක් මේ මඟින් සුවකල හැකි බවට මුස්ලීම් සමාජය තුල විශ්වාසයන් ද පවතී. මෙවැනි විශ්වාසයන් මනුෂ්‍යාගේ සිත් තුල ඇති කොට ඒ තුලින් ශෙයිතාන් තම ඉලක්කය පහසුවෙන් දිනාගන්නා බව අවබෝධ කරගන්නට බොහෝ විට අසමත් වී සිටින්නෙමු. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ නබිවදනක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

අබ්දුල්ලා ඉබුනු මස්වුද් (රලි) තුමාගේ බිරිද සෙයිනබි (රලි)තුමිය පවසයි ‘දිනක් මාගේ ස්වාමියා නිවසේ නැති මොහතක මාහට ඇති වූ රෝගී තත්වයක් නිසා (මතුරා බලන) මහලු කාන්තාවක්  මගින්  මාහට මතුරමින්  සිටින විට මගේ ස්වාමියා නිවසට පැමිණෙන ලදී. නමුත් ඔහු සිරිතක් ලෙස නිවසට ඇතුල්වීමට පෙර දොරකොඩ අසලනතර වී තමා පැමිණි බව ඇඟවීම කරන නිසා ඒ අතර තුර මතුරමින් සිටී කාන්තාව ඇදයට සඟවාලන ලදී. එයින් අනතුරුව මාගේ ස්වාමියා මා අසන්නයට පැමිණිමොහතේ මගේ බෙල්ලේ ඇති නූලදැක මේ කුමක්ද? යයි විමසන ලදී. එයට මා (මතුරනලද) නුලක්යයි පිලිතුරු දුන්නේමි. එම මොහොතේම එම නූල  කඩාවිසිකරන ලෙස පැවසූ අබ්දුල්ලා ඉබුනු මස්වූද් (රලි) තුමා මෙසේ ද පවසන ලදී. එනම්, ‘නියත වශයෙන්ම අබිදුල්ලාගේ පවුල ශිර්ක්වලින් (නම් මහා පාපයෙන්) සහමුලින්ම දුරස්වු එකක් නොවේද?‘නියත වශයෙන්ම මැතිරීමත්, යන්ත‍්‍ර බැදීමත්, හුනියමි කිරීමත් ශිර්ක් (නම් මහා පාපයක්) වේ‘ යයි නබිතුමාණන් පැවසීම මම අසාඇත්තේමි යයි පවසන ලදී.
එයට මා ‘මෙලෙස මැතිරීමෙන් රෝග සුවයක් දැනෙනවා නොවේද?‘යයි පැවසුවෙමි. එයට ඔහු පිලිතුරු දෙමින් ‘එය ශෙයිතාන්ගේ කටයුත්තක් මෙම වෙනස ඔහුයි ඇතිකරන්නේ‘ යයි පවසා නබිතුමාණන් පැවසු ආකාරයට පැවසීම නුඔට ප‍්‍රමාණවත් නොවේද? (මැතිරීම අවශ්‍ය නොවේ) යයි පවසා පහත ප්‍රාර්ථනය කියාදෙන ලදී. එනම්,
‘මනුෂ්‍යන්ගේ දෙවියනි!, අපහසු තත්වයන් පහකරන්න. සුවයදෙන්නනි!, සුවයලබාදෙන්න. නුඹ වෙතින් ලැබෙන සුවයමිස වෙනත් සුවයක් නැත. යලිත් රෝගි නොවන සුවයක් ලබාදෙන්න‘

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනුමාජා, අබුදාවුද්, හාකිමි, අහ්මද්,

ඉහත හදීසය බුද්ධිමත්ව විමසා බලන්නේ නම් ශෙයිතාන් කොතරම් උපක්‍රමශීලීව මනුෂ්‍යා ‘ශිර්ක් (නම් මහා පාපය) කර රැගෙන යනවාද? මනුෂ්‍යා නොමඟ යවනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ.

අනාවැකි පැවසීම හා ඒවා සත්‍යවීම

මෙයද ඉහත ආකාරයටම මනුෂ්‍යයා නොමඟ යවන ශෙයිතාන්ගේ උපක්‍රමයකි. ශෙයිතාන්ගේ මෙම කුමණ්ත්‍රනයට හසුවී ‘ජින්නුන් මගින් අනාවැකි කියනවා‘ යයි පවසමින් සමහර පුද්ගලයින් ජනයානොමග යවන්න කටයුතු කරමින් ශෙයිතාන්ට සහය වෙමින් සිටිති. ඇත්තටම මෙම අනාවැකි පැවසීම යන්නෙහි සිදුවන්නේ කුමක්ද? යන්න විමසා බලන්නේ නම්, මෙවැනි ශාස්ත්‍රිකරුවන් පවසන කාරණයක් වන්නේ තමා තුල ශෙයිතාන් අරක්ගෙන සිටිනබවත් එම ශෙයිතාන්ගේ උපකාර ඇතුව සිද්ධ වු හා සිද්ධවන ඕනෑම කාරණයක් පැවසිය හැකිබවත්ය. මෙය සැබෑවටම වියහැකි කාරණයක්ද? සමස්ථ මුස්ලීම් සමාජය බුද්ධිමත්ව එය විමසා බැලිය යුතුය.

මෙහිදී ප්‍රථමයෙන් හා මූලිකව වටහාගත යුතු කාරණය වන්නේ ශෙයිතාන් ද අප මෙන්ම තවත් දේව මැවීමක් යන්නයි. තවත් සරලව පවසනවා නම් අප මෙන්ම තවත් ජීවියෙකි. එම මැවීමටද මනුෂ්‍යන් මෙන්ම සිතක්ඇත. ඔවුන්ද මනුෂ්‍යන්මෙන්ම සිතන්නේය. වෙනසකට ඇත්තේ පියවී ඇසට නොපෙනීම සහා සමහර අවස්ථාවල මනුෂ්‍යන්ට වඩා කාර්‍යක්‍ෂම වීම හා ශක්තිවන්ත වීමය. එය අප ඉහතින් සාකචිචාකලෙමු.මීට අමතරව තවත් උපක්‍රම කිහිපයකින් මිනිස් සමාජය නොමඟ යවයි. විශේෂයෙන් අනාවැකි පැවසීම එයින් ප්‍රධාන තැනක් ගනී. මේ ලිපිය තුලින් මා කොතෙක් පැහැදිලි කලත් ඔබ අතුරින් සමහරක් පිරිසට සිතේ වද දෙන පැනයක් පැවතිය හැක. එනම් ‘පවසන සමහරක් කරුණු සත්‍ය වෙනවා නොවේද?‘ යන්නයි. මෙය සැබෑවකි, නමුත් එසේ සිදුවන්නට හේතුවන කාරණා රාශියක් ඇති බව මෙතෙක් කථා කල කරුණු තුලින් මෙන්ම පහත කරුණුවලින් ද වටහාගත හැක. එනම්,

  • තම මෙහෙවර තුල ඇති අත්දැකීමි හා පලපුරුද්ද,
  • බහු අර්ථ ඇති සියල්ලට පොදු වචන භාවිතය,
  • කුමන්ත‍්‍රනකාරි ලෙස කලින් සංවිධානය කිරීම,
  • සිත්වලට බලපෑම් කොට විශ්වාසය ඇති කිරීම,
  • කලින් සිදුවූ දෑ තමන් විසින් බලා පසුව පැවසීම,

මේ ආකාරයට අතීතය විස්තර කිරීමට හෝ උපක්‍රමශීලිව මනුෂ්‍යා මුලා කිරීමට ශෙයිතාන්ට හැකියාව තිබුණත් මනුෂ්‍යාගේ අනාගතය කීමට හෝ එය විස්තර කිරීමට අල්ලාහ් (දෙවි) හැර මේ මිහිමත කිසිදු ජගතෙක් නැත. මන්ද මනුෂ්‍යාගේ අනාගතය ලියවී තිබෙන ‘ලව්හුල් මහ්ෆූල්’ නම් පලකය ජීන්වරුන්ට පවා ලඟාවිය නොහැකි ආකාරයට අල්ලාහ් (දෙවි) විසින් ආරක්ෂා කොට ඇති බව ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව පවසයි. මේ අනුව යම් යම් ක්ෂේත්‍රවල ජින්වරුන් මනුෂ්‍ය ශක්තිය ඉක්මවුවන් වූවත්, ඔවූන් මනුෂ්‍යයන්ට හානී කරන්න තරම් ප්‍රබලයන් නම් නොවේ. නමුත් යහපත් මනුෂ්‍යයෙකු (මූමීන්වරයෙකු) ලෙස අප ජීවත් නොවීම තුල අප ශෙයිතාන්ගේ පහසු ගොදුරක් වන අතර ඔහු අපගේ සිත තුල විවිධ බලපෑම් ඇති කරමින් අපව විනාශ මුඛයට ගෙන යන බව නම් ඉහත කරුණුවලින් පැහැදිලිය.

අවසාන වශයෙන් මුස්ලීම් ජනයා පැහැදිලිව එක් කාරණයක් අවබෝධ කරගත යුතුයි. එනම් ශෙයිතාන්ට අභියෝගය ඇත්තේ යහකටයුතුවල නිරතවන්නන් මිස අයහපත් කටයුතුවල නිරත වන්නන් නොවේ. අයහපත් කටයුතුවල නිරත වන්නන් කොහොමත් ශෙයිතාන්ගේ සහයකයින් වී හමාරය. ඔහුට අභියෝගය ඇත්තේ මූමීන්වරුන් හෙවත් යහපත් මනුෂ්‍යයන් සමඟය. මේ හේතුව නිසාමය මුහම්මද් (සල්) තුමාණන් ආදර්ශ පෙන්වා දුන්නේ සෑම ක‍්‍රියාවකම ආරම්භයේ ශෙයිතාන්ගෙන් ආරක්‍ෂාව පතන ලෙස. මේ ශෙයිතාන් ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරනවා ඇසු විට පලාදුවන බව හදීස්වල සදහන් වේ. නමුත් එම ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරන්නට පෙර ශෙයිතාන්ගෙන් ආරක්‍ෂාව පතන්නයයි ශුද්ධ වූ කුර්ආනය පවසයි. මන්ද එම කුර්ආනය පාරායනය කරන්න ආරමිභ වන මොහොතේ එම පාරායනයේ චෙතනාව ශෙයිතාන් වෙනස්කර බලන් ඉන්නා පිරිස් පිනවීම, නොඑසේ නම් තමා බුද්ධිමතෙක් දක්‍ෂයෙක් යයි ජනයාට පෙන්වීම… යනාදී පටු අරමුණු සිත් තුල ඇති කොට එම කුසල් ක්‍රියාවම අකුසල දක්වා ගෙනයන බැවිණි. මෙම ශෙයිතාන් අපගේ යහක්‍රියාවන්ට කොතරම් බලපෑමක් ඇති කරනවාද? යන්න තීන්දු කිරීමට තවත් හොද නිදසුනක් වන්නේ අප දිනපතා ඉටුකරන සලාතයයි.

අප සලාතය ඉටුකිරීම සදහා ‘අල්ලාහු අක්බර්’ යයි ආරම්භ කල විගස ශෙයිතාන් තම කර්තව්‍ය ආරම්භ කරයි. ඒ මොහොත දක්වා අප සිත්වලට කිසිසේත් පහල නොවූ සිතුවිල් අදහස් ගලා එන්න පටන්ගනී. එම සිතුවිල් අපගේ වන්දනයට කොතරමි බලපෑමි ඇති කරනවාද යන්න මුස්ලීම්වරයෙකුට මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අනවශ්‍ය මන්ද මෙම තත්වය සියල්ල අත්වීදින නිසාම. කෙසේ වෙතත් මතකය ආවර්ජනය සදහා කිහිපයක් පවසන්නෙ නම්, සිතන්න අප ලුහර් සලාතය ඉටුකරනවායයි. එහි සැකයක් ශෙයිතාන් ඇති කරයි. එනම්, ‘ මා දැන් වැන්දේ රකාත් තුනද? හතරද?’ මෙය රකාත් 04ක් නිසා යයි සිතන්නට කෙනෙකුට පුළුවන නමුත් සුබහ් සලාතයේ වැන්දේ එකද? දෙකද? යන සැකය ඔබ තුල ඇති වී නැද්ද?. තවදුරටත් පවසන්නේ නම්, රකාත් දෙකක නොව එකම රකාතයේ සජදා කලේ එකක්ද? දෙකමද? යන්න සැකය ඔබ තුල ඇති වී නැද්ද?. මේ ආකාරයට ඔබට අමතක වන්න තරම් ‘මාගේ මතකය දුර්වලයි’ යයි ඔබ සිතන්නේද? බොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. කිසිදා නොදැකපු ශෙයිතාන්ව අවබෝධ කරගන්නා මේ කාරණයම ප්‍රමාණවත් නොවේද?.

මේ ආකාරයට සාමාන්‍ය ජිවිතය තුල දේව වන්දනය ඉටුකරන විට සිතා ගැනීමට පවා අපහසු ආකාරයේ බලපෑම් මේ ශෙයිතාන් ඇති කරන්න නම්, අපගේ දෛනික දිවිය තුල මේ ශෙයිතාන්ට අප කොතරම් ගොදුරු වනවා ඇත්ද?. සලාතය තුල අපට ඇති වන මේ ප‍ටලැවිල්ල කවදා හෝ චිත‍්‍රපටයක් නරඹන විට, ක‍්‍රිඩාවක නියලෙන විට, නොඑසේ නම් වෙනත් නිශ්පල ක්‍රියවන් හි නියලෙන විට ඇති වී තිබෙනවාද?. එසේනම් අප තුල ක්‍රියාත්මක මේ ශෙයිතාන්ගේ සැඟවුනු බලවේගයෙන් ආරක්ෂා වියයුතු නොවේද? මේ නිසාමය ශුද්ධ වූ කුර්ආනයේ 2-168 මඟින් අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට ශෙයිතාන් පිලිබදව දැඩිව අවවාද නඟන්නේ එම අවවාදය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම ලිපිය මේ ආකාරයට අවසන් කරන්නේ ජින් හෝ ශෙයිතාන් පිලිබදව වූ ලිපියට පරිභාහිර කරුණු කිහිපයක් ද පහතින් ඔබේ දැනුමට එක් කරමිනි.

මනුෂ්‍යයිනි, මහපොළොවෙහි ඇති දේවල්වලින් හලාල් වූ(අනුමත කළ දේ)ත් පිරිසිදු වූත් දෙයම අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියගැට අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට හතුරාය.

ශුද්ධ වූ කුර්ආනය 2-168

ජින් හෝ ශෙයිතාන් පිලිබදව අමතර එක් කිරීමන්…

ඔවුනටත් නම් ඇත.

මනුෂ්‍යයන්ට මෙන්ම ජින්වරුන්ට ද හදුනාගැනීම් නම් ඇති බව මූලාශ්‍රයන් අධ්‍යනය කරන විට දැනගන්නට ලැබේ. ශුද්ධ වූ කුර්ආනයේ හා හදීසයේ සදහන් එවැනි නම් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • ඉෆ්රීත් – මෙම ජින් ගැන ශුද්ධ වූ කුර්ආනයේ 27-38 හා 39 වාක්‍යයේ සදහන් වේ.
  • හන්නාස් – මෙම ජින් ගැන ශුද්ධ වු කුර්ආනයේ 114-4 වාක්‍යයේ සදහන් වේ.
  • හන්ජබි – මෙම ජින්ගැන හදීසයේ සදහන් වේ . එනම්, උස්මාන් ඉබුනු අබුල් ආස් (රලි)තුමා පවසයි ‘අල්ලාහ්ගේ දුතයානණි!, ශෙයිතාන් සලාතයේ පැටලිලි ඇති කරයි’ යයි මා නබිතුමාණන්ට පැවසුවෙමි. එයට එතුමා ‘ හන්ජබි නැමති ශෙයිතාන්ගේ වැඩක් ඒක එවැනි දෙයක් ඔබට දැනුනේනම් අල්ලාහ්ගෙන් ආරක්‍ෂාව පතන්න පසුව දකුනුපස දෙසට (කෙල විසි නොවන තරම් සෙමින්) කෙලගසන්න’’ යයි පවසන ලදී පසුව මම එලෙස කල අතර ඉන්පසු එවැනි අපහසු තත්වයක් ඇති නොවුනි (හදීස්)


ජින්වරුන්ටත් නබි හෙවත් වක්තෘවරු ආවාද ?

ජින් හා මිනිස් සමුහයනී මාගේ වචනයන් නුඔලාට කියාපාන නුඔලාට අවසාන දිනය ගැන අවවාදකරන දුතයින් නුඔලාගෙන් නූඔලාට නොආවේද?

ශුද්ධ වූ කුර්ආනය 6-130

මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය බැලීමේදී පෙනී යන්නේ ජින් හා මිනිසුන් සදහා වෙන වෙනම දුතයින් හෙවත් වක්තෘවරුන් එවා ඇති බවයි. නමුත් ශුද්ධ වූ කුර්ආනයේ වෙනත් වචනයන් දෙස බැලීමෙදී පෙනී යන්නේ ජින්නුන් සදහාත් දුතයින් මනුෂ්‍යන්ගෙන්ම එවා ඇති බවයි මෙම මතය ප‍්‍රධාන ඉමාමිවරුන් වන ඉබුනු ජුරෙයිජ්, මුජාහිද් සහා ඉබුනු ජරීර් යන අය දරයි. මෙම මතය සදහා සාක්‍ෂි වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 4-163 57-26 46-29 46-30 යන වාක්‍යයන් පෙන්වයි. මෙහි 46-29 දෙස බැලීමෙදී පෙනීයන්නේ (බයිබලයේ සදහන් ආකාරයට ‘මෝසස්’ හෙවත්) මුසා නබිතුමාගේ කාලයේ ජින්නුන්ටත් නබි වශයෙන් එවා ඇත්තේ මුසා නබිතුමාම බවයි. ඒ අනුව ජින්නුන් සදහා දුතයින් ලෙස මිනිසුන් එවා ඇති බව පැහැදිලිය. දැන් මෙහි ඇති වන සාධාර්ණ කුතුහලය ජින්නුන්ගෙන් ජින්නුන්ට දුතයින් ආවේද යන්නයි?. එසේ නොආ බව තර්ක කරන පිරිස් ඒ සදහා ශුද්ධ වූ කුර්ආන් වාක්‍යක්ද පෙන්වයි. එනමි,

අප ඔවුනට වහී පහල කලා වු මිනිසුන් මිස නුඔට රසුල්වරයෙක් නොඑවිවෙමු

ශුද්ධ වූ කුර්ආනය 21-7

මෙම කුර්ආන් වාක්‍ය පෙන්වා දුතයින් හෙවත් වක්තෘවරුන් ලෙස එවන ලද සියල්ල මිනිසුන්ම බව තර්ක කරයි. නමුත් මෙහි ඉහත වචනයට දී ඇති පරිවර්තනය නිවරුදි එකක් නොවන බව ප්‍රථමයෙන් වටහාගත යුතුය. එනම්, ඉහත වාක්‍යයෙහි ඇති ‘මිනිසුන්’ යන්නට භාවිතා කර ඇති අරාබි වචනය වන්නේ ‘රිජාලන්’ යන්නයි. එම අරාබි වචනයට දියයුතු නියම අරුත වන්නේ ‘පිරිමීන්’ (පුරුෂ) යන්නයි. එසේ එම වචනයට අරුතය ලබාදීාම් දී වහී පිරිමින්ට පමණක්ම පහල කල බවද පැහැදිලි වේ. එසේම මනුෂ්‍යන් අතර මෙන්ම ජින්වරුන් අතර ද ස්ති‍්‍ර පුරුෂ බේදය ඇති නිසා ඔවුන්ගේ ද පිරිමි ජින්වරුන් වක්තෘවරුන් ලෙස දෙවියන් විසින් තොරාපත් කර ඇති බව වටහාගත යුතුය. ඒ අනුව ඉහත 6-130 වාක්‍යය මඟින් පැහැදිලි වන ආකාරයට ජින්නුන්ගෙන්ද නබිවරු හෙවත් වක්තෘවරුන් ඇවිත් ඇති බව පැහැදිලි වන අතර 4-163 වාක්‍යයට අනුව එය මනුෂ්‍යන් සදහා දුතයන් හෙවත් වක්තෘවරුන් ඒමට පෙර බව ද අවබෝධ කරගතයුතුය. ඒ අනුව මනුෂ්‍යයන් සදහා පැමිණි නබිවරුන් හෙවත් වක්තෘවරුන් ජින්වරුන්ටත් පොදු බව තවත් සරලව වටහාගතයුතුය. මෙම අදහස ඉබුනු අබිබාස් (රලි) තුමා ඉහත 6-130 වාක්‍යට විග්‍රාහයක් ඉදිරිපත් කිරීමේ දී ද පවසයි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම