සිනමාව ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මේ දිනවල මුස්ලීම් සමාජයේ තරුණ පිරිස් අතර ‘සිනමාව’ උණුසුම් මාතෘකාවක් වී ඇත. ඒ ඉන්දියානු දමිල චිත්‍රපට දෙකක් එකවර නිකුත්වීමත්, එහි ප්‍රධාන නළුවන් දෙදෙනා වන ‘අජිත්’ සහ ‘විජේ’ වටා ඔවුන්ගේ රසිකයන් (Fans) ඒකරාශී වී දෙපාර්ශවය අතර උණූසුම් තත්වයන් නිර්මාණය වී තිබීමත් හේතුවෙනි. ඉන්දියාව තරමට අප රටේ තත්වය දරුණූ නොවුනත්, මෙහි තත්වය ද එතරම් යහපත් නොවේ. මෙම අවාසනාවන්ත තත්වය කොතරම් ඔඩුදුවා ඇද්ද යන්න ඔබට පවසනවා නම්, මෙම විගඩම් රසිකාවියන් තුල මුස්ලීම් සමාජය ද සැලකිය යුතු තරමින් මැදිහත් වී තිබීමයි. එයට පහත වීඩියෝව කදිම නිදසුනක් යැයි සිතමි.

(මෙහි Click කොට එම වීඩියෝව බලන්න – මෙවැනි වීඩියෝ තවත් බොහෝමයක් අන්තර්ජාලය තුල ඇත. මෙය නිදසුනක් පමණි)

මෙවැනි මාතෘකාවක් මෙතෙක් මෙම අඩවිය තුල සාකච්චා කොට නැත. නමුත් වත්මන් සමාජ තත්වය දෙස බලන විට එය කාලීන මාතෘකාවක් වී ඇත. ඒ අනුව ‘සිනමාව සහ ඉස්ලාම්’ යන විෂය මෙතැන් සිට තරමක් ගැඹුරින් විමසා බැලීමට අදහස් කරමි. එනම්, මෙම සිනමාව නොහොත් චිත්‍රපට නැරඹීම ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුව හරාම්ද? (තහනම්ද?) හලාල්ද? (අනුමතයිද?) යන්නයි.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සිනමාව හරාම්ද? හලාල්ද? යන්න මුස්ලීම් සමාජයේ බොහෝ අයට තරමක් ව්‍යාකූල පැනයක් වන්නට පුළුවන. එයට හේතුව ඉස්ලාම් ප්‍රකාශ වූ මීට වසර 1400 කට පෙර සමාජයේ මෙවැනි දෑ දක්නට නොවීමත්, ඒ පිලිබදව දිව්‍ය පුස්තකය වන අල්කුර්ආනයේ හෝ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය වන අල්හදීසයේ මේ පිලිබදව කථා කිරීම දක්නට නොලැබීමත් හේතුවෙනි. ‘ඔව්’ මීට වසර 1400 කට පෙර ඉස්ලාම් ප්‍රකාශ වූ සමාජයේ මෙවැනි දෑ නොතිබුණූ බව සැබෑවකි. එසේම ‘අල්කුර්ආනයේ’ හෝ ‘අල්හදීසයේ’ මෙවැනි දෑ සදහන් නොවීමත් සැබෑවකි.

එසේනම් සර්වකාලීන දහමක් යැයි පවසන ඉස්ලාම් දහම තුල මෙවැනි දෑ පිලිබදව කථා නොවීම අඩුපාඩුවක් බව ඔබ අප සිතන්නෙමුද?. එවැනි අඩුපාඩුවක් ඉස්ලාම් දහම තුල පවතී නම්, එය තවදුරටත් සර්වකාලීන දහමක් වන්නට පුළුවන්ද?. නමුත් ඉස්ලාම් දහම එවැනි දුර්වලතාවයන්ගෙන් මිඳුනු දහමකි. මෙය ඕනෑම තැනක, ඕනෑම වේලාවක සියලු මිනිසුන් සඳහා මාර්ගෝපදේශයක් විය හැකි විශ්වීය දහමකි. එසේනම්, අපගේ මාතෘකාවට අදාල ඉස්ලාම් දහමේ දෘෂ්ටිකෝණය කුමක්ද? යන්න මේ දහම තුල අපට සොයාගත හැකි විය යුතුය. ඒ පිලිබදව දැන් බුද්ධිමත්ව විමසා බලමු.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සිනමා නැරඹීම අනුමතයිද? තහනම්ද? යන්න විමසා බැලීමේදී එය තීන්දු කිරීමට මඟපෙන්වන දිව්‍ය වැකි කිහිපයක් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල අපට හමුවේ. එවැනි වාක්‍ය කිහිපයක් මෙහි විමසා බලන්නේ නම්,

තමාගේ ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ අලංකාර ද, පිවිතුරු ආහාරද (භුක්ති විඳීමට) හරාම් (තහනම්) කළේ කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. මෙලොව ජීවිතයේදී මේ සියලූ දේ (ප්‍රථමයෙන්) ඊමාන් (විශ්වාස) කළ අයටය. කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේදී ඔවුනට පමණක් යැයි (නබි මුහම්මද්) පවසනු. නැණවත් පිරිසට මෙසේ අපගේ ආයාත් (සංඥාවන්-අණපනත්) පැහැදිලි කරන්නෙමු.

අල්කුර්ආනය 7-32

ඉහත අල්කුර්ආන් වාක්‍යය මඟින් අල්ලාහ් විමසා සිටින්නේ, ‘අල්ලාහ් (දෙවි) අලංකාරව ලබාදී ඇති එසේම අනුමත යමක් තහනම් කරන්නේ කුමන පදනමේ හිඳද?’ යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ මෙලොව සමහරක් කරුණූ විශ්වාසවන්ත මුස්ලීම්වරුන්ට ආශීර්වාද ලෙස නිර්මාණය කර ඇති අතර මුස්ලීම් නොවන සමාජ භාවිතයේ වුවද ඒවා තිබිය හැකි යන්නයි.

ඉහත ආකාරයට දේශනා කරන ඉස්ලාම් දහම එම පරිච්චේදයේම ඊලඟ වාක්‍යයෙන් කරන අවවාදයත් මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. එනම්,

මාගේ රබ් (පරමාධිපති) තහනම් කළේ ප්‍රසිද්ධ හෝ රහස්‍ය නින්දිත ක්‍රියාවන්ද (සියලූම) පාපකාරී ක්‍රියාවන්ද න්‍යායෙන් තොරව අක්‍රමිකතාවන්ද (අල්ලාහ්ගේ) අනුමැතිය පහළ නොවූ දෑ අල්ලාහ්ට සමානයන් ලෙස තැබීමද අල්ලාහ් ගැන නුඹලා නොදන්නා දේ කීමද යැයි (නබි මුහම්මද්) පවසනු.

අල්කුර්ආනය 7-33

ඉහත වාක්‍යයට අනුව මුස්ලීම්වරයෙකු ප්‍රසිද්ධියේ වූවද රහසිගතව වූවද කිසියම් ආකාරයක වැරදි ක්‍රියාවක නියලීමට දහම තුල අවසර නැත. එහිද ‘නින්දිත’ ක්‍රියාවන් විශේෂ කොට පවසයි. දැන් මෙම 7 වන පරිච්චේදයේ 32 හා 33 වාක්‍යය පදනම් කරගෙන ‘සිනමා නැරඹීම’ යන කාරණය දහමට අනුකූලද? නැද්ද? යන්න දැන් විමසා බැලීම පිණිස අප සරල පරීක්ෂණයක් කරමු. එනම්,

මුලින්ම අප නරඹන ලද චිත්‍රපටයන් අතුරින් එකක් මනසේ රදවාගෙන එය පදනම් කරගෙන පහත කරුණු වෙත අවංක අවදානය යොමු කරමු.

එම කරුණු නම්,

  • එම චිත්‍රපටය මට බොහෝ දේ උගන්වයි.
  • එම චිත්‍රපටය මා වඩා හොඳ පුද්ගලයෙකු වීමට සහ ජීවිතයේ වඩා හොඳ හැසිරීම් සහ පුරුදු සොයා ගැනීමට පොළඹවයි.
  • එම චිත්‍රපටය මා හට මානසික සුවය හා සතුට ලබා දෙයි.
  • එම චිත්‍රපටය සදහා මා යොදවන කාලය යහපත් දිවියකට කරන ආයෝජනයක් ලෙස මට සිතේ,
  • එම චිත්‍රපටය සදහා මා යොදවන කාලය නිෂ්පල එසේම නාස්තියක් ලෙස මට සිතේ
  • එම චිත්‍රපටය නරක වචන බොහොමයක් මට කියාදේ
  • එම චිත්‍රපටය මා තුල ප්‍රචණ්ඩත්වය, වෛරය හා වියරුව අවදි කරන අතර මාව සාමන්‍ය තත්වයෙන් විකෘති මානසිකත්වයකට යොමු කරයි.
  • එම චිත්‍රපටය තුල ‘මහර්මි’ නීතිය උල්ලංගනය වේ.
  • එම චිත්‍රපටය තුල ලිංගික දර්ශන අඩංගු වේ.
  • එම චිත්‍රපටය මාව තාත්වික ලෝකයෙන් මනක්කල්පිත ලෝකයකට ගෙනයයි.
  • එම චිත්‍රපටයන් තුල රඟපාන චරිතවලට මා තුල දැඩි ආදරයක් ගෞරවයක් ඇති වේ.
  • එම චිත්‍රපටය තුල ඇති සංගීතයන්ට මා ආකර්ශණය වේ.

ඉහතින් සදහන් කරුණු 12 අතුරින් අංක 1, 2, 3 සහ 4 යනු මනුෂ්‍යයා තුල වර්ධනය වියයුතු ගුණාංග ලෙස ඉස්ලාම් දහම ද අවදාරනය කරන අතර එවැනි සිනමාවන් බැලීම හා රසවිඳීම වරදක් ඇති නොවේ. එනම්, එය ‘හරාම්’ නොවේ. නමුත් තමන් නරඹන සිනමාව තුල ඉහත අංක 5 සිට 12 දක්වා කරුණු අන්තර්ගත වේ නම්, එහි 1, 2, 3 හා 4 තිබුණත් එවැනි සිනමාවන් බැලීම නොසුදුසු පාපකාරී ක්‍රියාවක් වේ. එනම්, ‘හරාම්’ වේ.

මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, ඉහතින් සාකච්චා කලේ කරුණු 12ක් මූලික කරගෙන වූවද මෙවැනි කරුණූ රාශියක් පදනම් කරගෙන ඉහත පරීක්ෂණය තවත් ගැඹුරින් සලකා බැලිය හැකි බවයි. එසේම යහපත් මුස්ලිම්වරයෙකු වීම යනු දේව ඇදහිලි පරිපූර්ණව ඉටු කරන තමන් කරන කියන සෑම කටයුත්තක්ම බියබැතියෙන් හා ඉතා පරිස්සමින් තෝරා බේරාගෙන කරන කෙනෙකු වේ. ඔවුන් මෙලොව අලංකාරයන්ට හා විනෝදයන්ට ප්‍රමුඛතාවය දී ඉස්ලාම් හි සීමාවන් බිඳ දමමින් පරලොව ජීවිතය අමතක කොට ක්‍රියා කරන්නේ නැත. එම කාරණය අල්කුර්ආනය ද මෙසේ අවදාරණය කරයි.

මෙලොව ජීවිතය කෙළි සෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් අයට පරලොව ඉතා හොඳය. (මෙය) නුඹලා වටහා නොගන්නෙහිද?

අල්කුර්ආනය 6-32

මේ අනුව සිනමාව නොහොත් චිත්‍රපට නැරඹීම ඉහත අංක 1, 2, 3 හා 4 සීමාවන්ට යටත්ව අනුමත වූවත්, එවැනි චිත්‍රපට එනම්, අංක 5 සිට 12 දක්වා කරුණුවලට යටත් නොවන චිත්‍රපට අද නිර්මාණය වෙනවාද? යන්න ගැටළුවකි. වාදයකට එසේ නිර්මාණය වී තිබුණත් ලෞකික ජීවිතයෙන් එහා පරලොව ජීවිතය පිලිබදව උනන්දු වන යහපත් මුස්ලීම්වරයෙකුට සිනමාවන් නරඹමින් තම වටිනා කාලය හා මුදල නාස්ති කිරීම කිසිසෙත් යහපත් ක්‍රියාවක් නොවේ. එය ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයට දැඩිව අවවාද කරන අයහපත් ගුණාංගයක් වන අතර ඒ පිලිබදව අල්කුර්ආනය කරන අවවාදයක් ඔබේ බුද්ධිමත් විමසුමට පහතින් තබමින් මෙතෙක් පෙලගැස්සූ කරුණු අනුව සිනමාව නොහොත් චිත්‍රපට නැරඹීම සම්බන්ධයෙන් වූ තීන්දුවත් ඔබට ම බාර කරමින් මෙම සටහන අවසන් කරමි.

ආදම්ගේ දරුවනි! සියලූම නැමදුම් වේලාවන්හීදි නුඹලාගේ අලංකාරය (රඳවා) ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නාස්ති නොකරනු නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) නාස්ති කරන සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය.

අල්කුර්ආනය 7-31

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම