Tik Tok කලාව සහ ඉස්ලාම් – ඩිජිටල් වසංගතය 01

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මීට දශක තුනකට පමණ පෙර (1990 දී) ලෝකයාට හඳුන්වාදුන් ‘අන්තර්ජාලය’ තාක්ෂණය අද සමස්ථ ලෝකයම එනම්, වර්ග කිලෝමීටර මිලියන 510.1 (510.1 million km²) ක භූමිය එක ඇඟිලි තුඩ අඟට ගෙන ඒමට සමත් වී ඇත. මේ ආකාරයට තාක්ෂණිකව ලෝකය අද අත්විඳිමින් තිබෙන සීඝ්‍ර දියුණූව සතුට ට කාරණයකි. නමුත් එම දියුණු තාක්ෂණය මානවයාගේ ඉදිරි පැවැත්මට යොදා ගන්නවාට වඩා හුදු විනෝද ආස්වාදයන් සදහා පමණක්ම යොදා ගැනීමට සමාජයේ අති බහුතරය කටයුතු කරමින් සිටීම කණගාටුවට කාරණයකි. ඒ අතරින් ද රටක, සමාජයක කොඳුනාරැටිය බඳු වූ තරුණ ප්‍රජාව පෙරමුණ ගෙන සිටීම මෙම අවාසනාවන්ත පරිහානියේ භයානක කම වඩ වඩාත් හොදින් කියාපාන්නකි.

මෙම 21 වන සියවසයේ මිනිස් මූලික අයිතාවාසිකම් අතර ‘අන්තර්ජාලය’ ද එකක් යැයි සිතෙන හා නම් කරන තරමට එය නූතන මානවයාට සමීප වී සහ එයට ඔවුන් වහල් වී හමාරය. විශේෂයෙන් ලොවපුරා පැතිරුණූ කොවිඩ් 19 මහා වසංගතය අවසානයේ අපට ඉතිරි කොට ඇති වසංගත ගණනාවන් අතර මෙම අන්තර්ජාලය හා බැඳුනු Online Game, Tiktok, Youtube (shorts)… යනාදී ඩිජිටල් වසංගත ද එකකි. කෝවිඩ් 19 වසංගතය ලොවපුරා පැතිරෙනවාත් සමඟ තම නිවසේ බිත්ති හතරට කොටු වූ තරුණ ප්‍රජාව තම අධ්‍යාපන කටයුතු සදහා ඔන්ලයින් (Online) තාක්ෂණය යොදා ගැනීමට නැඹූරු විය. නමුත් කාලයත් සමඟ ඔන්ලයින් අධ්‍යාපනය ආශිර්වාදයක් කොටගෙන අධ්‍යාපනය මුවාවෙන් පරිගණක හා ස්මාර්ට් දුරකථන ක්‍රීඩාවන්ට සහ ඉහතින් සදහන් ‘ටික්ටොක්’ වැනි සමාජ ජාල විනෝද කටයුතු සදහා යොමු වූ අතර අවසානයේ ඔවුන් එයට ඇබ්බැහි විය.

අද වනවිට මෙම ඩිජිටල් වසංගතය ලොවපුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින වසංගතයක් වී ඇත. ලේ වගුරවමින්, මිනී මරමින් කරන ඩිජිටල් සාහසික ක්‍රිඩා අද දරුවන් හා තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රියය. එසේම කිසිදු අරුතක් අරමුණක් නැතිව කාලය ගෙවා දමන Tiktok, Youtube (shorts)… වැනි සමාජ ජාල වැඩසටහන් ද තරුණ ප්‍රජාව අතර ජනප්‍රියය. මේවා අපගේ මනස විකෘති කරන හානිකර ක්‍රීඩා හා වැඩසටහන් යැයි අප පවසන විට ඇතැම්හු ඒවා විනෝදය සපයන බවත්, තාර්කික බුද්ධිය වඩවන බවත් සිතීමේ පරාසයන් වැඩි කරන බවත් තර්ක කරයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඩිජිටල් ක්‍රීඩා හා සමාජ ජාල වැඩසටහන්වලට ඇබ්බැහි වීම ‘මානසික ආබාධයක්’ ලෙස ප්‍රකාශයට පත්කොට තිබීම මෙහි භයානක කම මනාව කියාපායි.

ලොව ඕනෑම වසංගතයක් ඉක්මණින් වැළදගන්නා ශ්‍රී ලාංකීය අප මෙම ඩිජිටල් වසංගතය සම්බන්ධයෙන් දෙවැනි වී නැත. මේ වන විට මෙරටේ ද පාසල් දරුවන් විශාල සංඛ්‍යාවක් මෙම ඩිජිටල් වසංගතයට ගොදුරු වී තිබෙනවා යන්න නූතන සමීක්ෂණයන් තුලින් අනාවර්ණය වෙමින් තිබෙන බව පැවසේ. අප රටේ සෑම ප්‍රධාන රෝහලකම මෙවැනි ඩිජිටල් වසංගතයන්ට ගොදුරු වූ ළමුන් සහ තරුණ ප්‍රජාවට ප්‍රතිකාර සදහා ඒකකයක් ඇති කොට තිබීම මෙම පරිහානියේ තරම මනාව කියාපාන්නක් නොවේද?. (මීට අමතරව මෙම විෂය සම්බන්ධයෙන් අප රට තුල ආයතන ගණනාවක්ම ක්‍රියාත්මක වීම මෙම තත්වයේ භයානකකම කියාපාන්නකි) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා වරක් පුවත්පතකට මෙම වසංගතය පිලිබදව කරුණු දැක්වීමේ දී ‘මෙම ඩිජිටල් වසංගතයට ඇබ්බැහි වූ දරුවන් රැසක් මවුපියන් විසින් ප්‍රතිකාර සඳහා මා හමුවට ද කැඳවාගෙන එන අතර එම ඇබ්බැහි වීම මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සමාන ලක්ෂණ පෙන්වයි’ යනුවෙන් පැවසීම අප රටේ ළමුන් සහ තරුණ ප්‍රජාව තුල වර්ධනය වෙමින් තිබෙන ඩිජිටල් වසංගත පරිහානියේ තරම තව තවත් හොදින් පිළිඹිබු කරන්නකි.

ඉහතින් සදහන් ආකාරයට කායිකව හා මානසිකව දුර්වල වෙමින්, දවසේ වැඩි කාලයක් කාලය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ පාලනයකින් තොරව මෙම ඩිජිටල් වසංගතය තුල ගෙවා දැමීම සහ තම අත්‍යවශ්‍ය කටයුතුවලට පවා වටිනා කාලය යෙදවීමට අතපසු කිරීම මෙම වසංගතයේ මූලික ලක්ෂණ බව මා මෙහි පැහැදිලි කොට ඔබ අවබෝධ කර ගතයුතු කාරණයක් නොවේ යයි සිතමි. මෙම වසංගතයට ඇබ්බැහි වීම තුලින් කය හා සිත වර්ධනය වන විනෝදාංශ කෙරෙහි ඇති ඇල්ම අඩු වී හිසේ සිට පාදය දක්වා විවිධ කායික රෝග මතුවිම දක්නට ලැබේ. එහි විශේෂයෙන් ඇස් පෙනීම අඩුවීම හා ඇස් ආශ්‍රත වෙනත් රෝග මතුවීම මෙන්ම එකම තැනක වැඩි වේලාවක් ගතකිරීම නිසා අධික ස්ථුලතාවය වැනි රෝග හා එය ආශ්‍රත වෙනත් දියවැඩියාව, රුධිර පීඩනය… වැනි රෝග ගණනාවක් ඇතිවීම ද බහුලව දක්නට ලැබේ. කායිකව ඇති වන ඉහත රෝගී තත්වයන්ට අමතරව මානසිකව ද විවිධ ව්‍යාකූලතාවයන් මේ තුල ඇති වේ . එහි අධික කෝපය, අසහනය, ආතතිය, හුදෙකලාව ප්‍රිය කිරීම හා නුරැස්සන ස්වාභාවය විශේෂයෙන් මෙහි සදහන් කලහැක.

මෙහි අවාසනාවන්තම කාරණය නම්, කායිකව හා මානසිකව අපව දුර්වල හා විකෘති කරන මෙම ඩිජිටල් වසංගතයට මුස්ලීම් සමාජය ද සැලකිය යුතු තරමින් ගොදුරු වී සිටීමයි. දෛනික ආගමික කටයුතු අතපසු කරමින් සහ තම වටිනා කාලය පලදායි කාරණයක් සදහා යොදවනවා වෙනුවට මෙලෙස නිෂ්පල විටෙක පාපතර ක්‍රියාවන් තුල යොදවමින් කටයුතු කිරීම මුස්ලීම්වරයෙකු හට කිසිසේත් නොගැලපෙන ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් නොවේද? මෙතැන දි මුහම්මද් (සල්) තුමාණන් පැවසූ හදීසයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි.

කිසිදු මිනිසෙක් (විනිශ්චය දිනයේ දී) තම ලෞකික දිවිය කොයි ආකාරයට ගතකලාද? යන ප්‍රශ්නයටත්, තම තරුණ අවදිය කොයි ආකාරයට ගතකලාද? යන ප්‍රශ්නයටත් පිළිතුරු නොදී කියාමත් (විනිශ්චය) දිනයේ තමා සිටින ස්ථානයෙන් එක් අඩියක් වුවද සෙලවිය නොහැක.

මූලාශ්‍ර ග‍්‍රන්ථය – තිර්මිදි

දිනෙන් දින ඩිජිටල් වසංගතය තුල ගිලෙමින් විනාශය ලඟා කරගන්නා මුස්ලීම්වරුන් වන අප කියාමත් (විනිශ්චය) දිනයේ ඉහත පැනයන්ට අල්ලාහ් (දෙවි ) හමුවේ කුමක් නම් පවසන්න සිතා සිටින්නෙමුද?. එය බුද්ධිමත්ව තීන්දු කිරීම ඔබට ම බාරය. මිල කල නොහැකි නිරෝගි බව සහ වටිනාකම තක්සේරු කල නොහැකි කාලය නිකරුණේ කා දමන මේ ඩිජිටල් වසංගතයට ඇබ්බැහි වන මුස්ලීම් සමාජයේ බුද්ධිමත් විමසුමට තවත් හදීසයක් මෙහි ගෙන එන්නට කැමැත්තෙමි.

මිනිසුන්ගෙන් බහුතරයක් (මුලාවට පත්ව ඔහුට හිමි) භාග්‍යයන් දෙකක් අහිමි කරගන්නේය. එනම්,
* නිරෝගි බව
* විවේකය

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරී

තම ජීවිතයේ වටිනාම කාලය, නිෂ්පල, විටෙක කායිකව හා මානසිකව රෝගි කරවන පාපකාරී Online ක්‍රීඩා නම් වූ විවිධ ප්‍රබන්ධයන් අනුගමනය කිරීමටත්, Tiktok හා Youtube (shorts), යන පාපකාරී වීඩියෝ නිර්මාණය කොට එය ප්‍රසිද්ධ කරමින් විනෝද වීමටත් යොදා ගනිමින් අල්ලාහ් (දෙවි)ගේ මාර්ගය ප්‍රතික්ෂේප කරන පිරිස පහත අල්කුර්ආන් වාක්‍යය වෙත මොහොතක් අවදානය යොමු කරන්න.

මිනිසුන් අතර සමහරුන් සිටින්නේය. ඔවුන් අනවබෝධයෙන් ප්‍රබන්ධ මිලට ගෙන, ඒවා මිනිසුන්ට පෙන්වා ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමඟ යවන්නත්, අල්ලාහ්ගේ මාර්ගය සමච්චලයට ලක් කරන්නත් කටයුතු කරන්නෝය. මෙවැන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත.

අල්කුර්ආනය 31- 6

ඉහත අල්කුර්ආන් අවවාදය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් සහ මෙම ඩිජිටල් වසංගතයෙන් යාඅල්ලාහ්!, අපවත් සමස්ථ ලෝකවාසී ජනතාවත් ආරක්ෂා කරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම සටහන අවසන් කරමි.

සමාජීය විමසුම

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම