හැලෝවීන් සැමරුම හා ඉස්ලාම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ දිනවල ලොවපුරා උණුසුම් මාතෘකාවක් වී ඇති ‘හැලොවීන්’ උත්සවයයි. ඒ පිලිබදව ‘යහමග’ අඩවිය තුලින් ඔබේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. විශේෂයෙන් නොවැම්බර් 02 අද දිනය ‘මළවුන්ගේ දිනය’ ලෙස ලෝකයා සමරණ දවසේ ‘හැලෝවීන් සැමරුම’ නම් මෙම මාතෘකාව පිලිබදව කථා කිරීමට බලපෑ ප්‍රධාන හේතු කාරණා 02 ක් ඇත. එනම්,

  • මෙම ‘හැලෝවීන්’ උත්සවය සීඝ්‍රයෙන් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පැවතීම,
  • මුස්ලීම් රටවල් තුල ද මෙම උත්සවය සැමරීමේ ප්‍රවණතාවයක් දැන් දැන් දක්නට තිබීම,

‘හැලෝවීන්’ උත්සවය යනු මීට වසර 2500 කට පෙර විසූ ‘කෙල්ට්’ නම් වූ ජන සමාජයක් මධ්‍යයේ පැවතී ආගමික උත්සවයකි. එය මියගිය අය සැමරීම සහ යක්ෂයන් වන්දනය කිරීම සදහා වූ ‘සෞඅන්’ නම් උත්සවයෙන් පැවත එන උත්සවයකි. එහි ඉතිහාස ගමන් මඟ කෙටියෙන් සදහන් කරන්නේ නම්,

  • ක්‍රි:පූ: 5 වන සියවස – කෙල්ට්වරු සෞඅන් කියන උත්සවය සැමරුවේ ඔක්තෝබර් මාසයේ අවසානයේදීය. වෙනත් කාලවලට වඩා ඒ කාලෙදී හොල්මන් සහ භූතයන් පොළොවේ සැරිසරනවා කියා ඔවුන් විශ්වාස කලේය.
  • ක්‍රි:ව: 1 වන සියවස – රෝමවරු කෙල්ට්වරුන්ව පරාජය කිරීමත් සමඟ සෞඅන් චාරිත්‍රත් ඔවුන් ඈඳා ගත්තේය. .
  • ක්‍රි:ව: 7 වන සියවස – හතරවන බොනිෆස් පාප්වරයා ප්‍රාණ පරිත්‍යාගීන්ට වාර්ෂිකව ගරුබුහුමන් කිරීමට දිනයක් යොදා එය මෙම දිනය ලෙස සැලකෙනවා. සියලු සාන්තුවරයන්ගේ දිනය ලෙස හඳුන්වන්නේ එයයි.
  • ක්‍රි:ව: 11 වන සියවස – මළවුන් සිහි කිරීමට නොවැම්බර් 2වෙනිදා මළවුන්ගේ දිනය ලෙස නම් කලේය.
  • ක්‍රි:ව: 18 වන සියවස – හැලෝ ඊව්නිං (ඔක්තෝබර් 31වෙනිදා සන්ධ්‍යාව) යන්න හැලොවීන් උත්සවය ලෙස පත්තරවල පළ වෙන්න පටන්ගත්තේය.
  • ක්‍රි:ව: 19 වන සියවස – අයර්ලන්තයෙන් ඇමරිකාවට ආ මිනිස්සු හැලොවීන් චාරිත්‍ර ඇමරිකාවට හඳුන්වා දුන් අතර බ්‍රිතාන්‍යය, ජර්මනිය, අප්‍රිකාව සහ වෙනත් රටවලින් පැමිණි අයත් ඒ හා සමාන චාරිත්‍ර ඇමරිකාවට ගෙන ආවේය.
  • ක්‍රි:ව: 20 වන සියවස – හැලොවීන් ඇමරිකාවේ ජනප්‍රිය නිවාඩු දිනයක් බවට පත් කලේය.
  • ක්‍රි:ව: 21 වන සියවස – ලෝකය පුරාම පැතිර ඇති උත්සවයක් බවට පත් වුණේය.

ලෝකයේ බොහෝ රටවල් මෙන්ම දැන් දැන් ලංකාවෙත් හැලොවීන් උත්සවය සමරන්න පටන්ගෙන ඇත. මෙහි අවාසනාවන්තම කණගාටුවට කාරණය නම්, සම්පූර්ණයෙන් ම ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට පරස්පර මෙම උත්සවය මුස්ලීම් රාජ්‍යයන් තුලත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව සිදුවීමයි. මෙවර සවුදිආරබියේ දී මෙම උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවීම මෙහි විශේෂයෙන් සදහන් කලයුතු ම කාරණයක් වන අතර මෙවැනි මාතෘකාවක් යහමග තුල කථා කිරීමට මූලික වූ කාරණයත් එයයි.

සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම සදහා කරන මෙම ‘හැලෝවීන්’ උත්සවය ‘ඒවා ජනප්‍රවාද පමණයි’ යැයි සලකා එය රටේ සංචාරක කර්මාන්තය වැඩි දියුණූ කිරීමටත්, විනෝද වීමටත්, සමාජයේ නිර්මාණ කුසලතා වැඩිදියුණු කිරීමටත්… අවස්ථාවක් කර ගැනීමේ ඇති වරද කුමක්ද? යැයි රටේ නායකයින්ට සහ බලධාරීන්ට සිතෙන්නට පුළුවන. එසේම ජනප්‍රවාදවල එන සුරංගනාවියෝ ගැන, යක්ෂයන් ගැන විශ්වාසයක් නැති අපි විකට ඇඳුම් සංදර්ශනයක සිරිය ගන්න විනෝදකාමී මෙම උත්සවයේ විනෝද වීම එතරම් ලොකුවට හිතන්නේ ඇයිද? ඒක දහමේ ඉගෙන්වීමන්ට අවනත නොවීමක් වන්නේ කොහොමද? යනුවෙන් පොදු ජනයා වන ඔබට සිතෙන්නට පුළුවන. මෙම ලිපිය ඉදිරියට බුද්ධිමත්ව කියවන්න. එවිට එම උත්සවයේ තිබෙන භයානක පැති ඔබට අවබෝධ වනු ඇත.

‘හැලොවීන්’ උත්සවය පිලිබදව ඉස්ලාමීය විමසුම

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය සහ අල්හදීසයේ ඉගෙන්වීමන් හා සංසන්දනාත්මකව ‘හැලොවීන්’ උත්සවය පිලිබදව විමසා බැලීමේ දී එය ආකාර දෙකකින් විමසා බැලිය හැක. එනම්,

  • හැලෝවීන් සම්ප්‍රදාය පිලිපැදීම, දායකවීම සහ ඉස්ලාම් දහමේ ඊට ඇති අවසරය,
  • හැලෝවීන් විශ්වාසය හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම,

මෙහි පලමු කාරණය වන ‘හැලෝවීන්’ සම්ප්‍රදාය අනුගමනය කිරීමට මුස්ලීම්වරුන් සම්බන්ධ වීම පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න ප්‍රථමයෙන් විමසා බලන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලිව ම මෙසේ පවසා ඇත.

‘කවරෙකු තවත් ජන සමාජයක සංස්කෘතීන් අනුකරණය කරයිද?. ඔහුත් ඔවුන් අතරම කෙනෙකු වේ’

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූ දාවූද්

ඉහත හදීසයට අනුව මුස්ලීම්වරයෙකු හට මුස්ලීම් නොවන ජන සමාජයක ආගමික ඇදහිලි හෝ විශ්වාසයන් මූලික කරගත් සංස්කෘතීන් අනුගමනය කිරීමට අවසර නැත. ඒ අනුව මායාකාරියන් හා හූනියම්, යක්ෂ හා භූතාත්මයන් සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධවීම් වැනි විශ්වාසයන් මූලික කරගත් ‘හැලෝවීන්’ උත්සව සැමරීම ඉස්ලාම් දහමට අනුව මහා පාපයකි. එසේම මෙම උත්සවය මහා විශාල දනස්කන්දයක් වැයකොට සංවිධානය කරන අතර එයට මුස්ලීම්වරයෙකු දායක වීම ඉස්ලාම් දහමට අනුව ‘යක්ෂයාගේ සහෝදරයා’ යන තැනට පත්වන තරම් මහා පාපයකි. එය අල්කුර්ආනයේ මෙසේ පවසයි.

නියත වශයෙන් නාස්තිකාරයෝ ෂෙයිතාන්ගේ සහෝදරයෝ වෙති. ෂෙයිතාන් ඔහුගේ රබ්(පරමාධිපති)ට අකෘතඥය.

අල්කුර්ආනය 17-27

මේ අනුව ‘හැලෝවීන්’ වැනි මිත්‍යා දෘෂ්ඨීය සංස්කෘතීන් අනුගමනය කරමින්, ඒ සදහා තම ධනය යොදවමින් කටයුතු කිරීම ඉස්ලාම් දහමෙන් බැහැර වෙන තරම් විශාල පාපයක් යන්න ඔබට දැන් පැහැදිලි වියයුතුය. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස ‘හැලොවීන්’ විශ්වාසය හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම යන දෙවන කාරණය වෙත දැන් අවධානය යොමු කරන්නේ නම්,

මෙම ‘හැලොවීන්’ උත්සවයට මූලික පදනම වී ඇත්තේ මිත්‍ය විශ්වාසයන් කිහිපයකි. එනම්,

  • මායාකාරියන් හා හූනියම – මෙය මුස්ලීම්වරුන් පිලිගැනීම ඉස්ලාමයෙන් බැහැර වන තරම් ‘ශිර්ක්’ නම් මහා පාපයකි. මේ පිලිබදව අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ මෙසේ පවසයි,
ගුප්ත කරුණූ පිලිබදව වූ යතුර ඇත්තේ තමා (අල්ලාහ්) හමුවේය. ඔහු හැර වෙන කිසිවකු ඒ පිලිබදව නොදනී. ඔහු ගොඩබිමේ මෙන්ම මුහුදේ ඇති දෙය ද හොදින් දනී. (ගසකින්) පත්‍රයක් බිම වැටුනත් එයත් ඔහු නොදැන නොවේ. මේ භූමියතුල ඝන අඳුරෙහි ඇති බීජයක් වුවද, එය තෙත්ව ද වියලිව ද පැවතුනේ යන්නත්, පැහැදිලි පලකයේ නැතුවා නොවේ.

ශුද්ධ වූ කුර්ආනයේ 6-59

  • යක්ෂ හා භූතාත්ම – ලෝක විනාශය දක්වා වූ කාලය පුරාවට මිනිසුන් ආපායට යොමු කරවන බවට දෙවියන්ට ම අභියෝග කොට පැමිණි යක්ෂයා (හෙවත් ශෙයිතාන්) මුස්ලීම්වරුන්ගේ පරම හතුරාය. ඔහුව කැඳවීමේ මිත්‍යා විශ්වාසය පදනම් වූ උත්සවයක් වන ‘හැලෝවීන්’ උත්සවයට මුස්ලීම්වරුන් සම්බන්ධ වීම සහ දායකවීම කොතරම් ඛේදජනකද?. මේ පිලිබදව අල්කුර්ආනයේ අනතුරු ඇඟවීම මෙසේය,
මනුෂ්‍යයිනි, මහපොළොවෙහි ඇති දේවල්වලින් හලාල් වූ(අනුමත කළ දේ)ත් පිරිසිදු වූත් දෙයම අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියගැට අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට හතුරාය.

ශුද්ධ වූ කුර්ආනය 2-168

  • මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම – මළවුන් සහ මේ ලෝකයේ ජීවත් වන පිරිස අතර පැහැදිලි තිරයක් යොදා ඔවුන් අතර බාධකයක් ඇති කොට ඇතැයි යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එසේ තිබියදී මළවුන් කැඳවීමේ ‘හැලෝවීන්’ උත්සවයට මුස්ලීම්වරුන් සම්බන්ධ වීම සහ දායකවීම මහා පාපයක් නොවේද?. මේ පිලිබදව පවසන අල්කුර්ආන් වාක්‍යය මෙසේය,
ඔවුන්ගෙන් යමකුට මරණය පැමිණි කල්හී මාගේ  රබ් (පරමාධිපතියාණෙනි)  මා ආපසු (ලොව වෙත) යවනු මැනවියි කියන්නේය. මන්ද, මා අත්හල දෑහී මට යහකම් කරන්නට හැකිවන සේ, (මා ආපසු යවනු මැනවි). නියත වශයෙන් එය ඔහු කියන වදනකි. යළි නැගිටුවන ලබන දිනය දක්වා (නැවත මෙලොවට ඒමෙන් වළක්වන) ආවරණයක් ඔවුන් ඉදිරි පසින් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 23- 99/100

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘හැලොවීන්’ උත්සවය වූවත්, එවැනි වෙනත් උත්සවයක් වූවත් එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට පරස්පර වේ නම්, යහපත් මුස්ලීම්වරයෙකු එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. එය රටේ බහුතරය සමරණවා යන්න හෝ මුස්ලීම් රටවල් සමරණවා යන්න එය හරිද? වැරදිද? යන්න තීන්දු කරන මිනුම් දණ්ඩක් නොවේ. මා එසේ පවසන්නට හේතුව ‘බහුතරය’ යන්නත්, ‘මුස්ලීම් රටවල්’ යන්නත් ඉස්ලාම් නොවන බැවිණි. එමනිසා මේ අවාසනාවන්ත ඛේදවාචකයෙන් සම්පූර්ණයෙන්ම අප ඈත් වී අපගේ ඊමානය (දේව විශ්වාසය) ආරක්ෂා කරගැනීමට අල්ලාහ් (දෙවි)ගේ ආශීර්වාදය අපට හිමිවේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම